ලංකාවේ අර්බුදය විසඳන්න පුළුවන් ජනතාවට. ආණ්ඩුවත් එක්ක බෑ.. Featured

Friday, 24 June 2022 14:02

අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුද ගනනාවේ මූලය ඇත්තෙ මෙරට විදේශ සංචිත හිඟවීම සම්බන්ධ ගැටළුව පදනම් කරගෙනය. මේ තත්වය ඇතිවීමට හේතුව වූයේ රාජ්‍ය පාලනයට හවුල් වූ දේශපාලනඥයන්ගේ මුගධ තකක්ඩි තීන්දු තීරණ නිසා බව පැහැදිලි නමුත් එම ගැටළුව නිරාකරණය වේ නම් මේ රටේ ආර්ථික අර්බුදයයන් විසඳා ගැනීම ප්‍රශ්නයක් නොවේ.

කඩිනමින් විසඳිය යුත්තේ ආර්ථික අර්බුදයද ,දේශපාලන අර්බුදයද යන්න ගැන විවාදයක් ද මේ වන විට පවතී. කෙසේ නමුත් මේ අර්බුද දෙකම එකිනෙක හා පැටලී තිබෙන්නකි. පාලකයන්ට රටේ ආර්ථික අර්බුදය විසදීමට අවශ්‍ය නම් ඊට පෙර දේශපාලන අර්බුදය විසඳා ගැනීම විය යුතුව තිබෙන බව වර්තමාන තත්වයන් විසින් පෙන්නුම් කර තිබේ.

රටේ දේශපාලන ක්‍රමය ගැන, දේශපාලන නායකත්වයන් ගැන ජනතාවට තිබෙන දැඩි කෝපය, අවිශ්වාසය මත ආණ්ඩුව ගන්නා කියන කවර පියවරයකට හෝ සහය නොදෙන තැනක බහුතර ජනතාවක් සිටී. ඒ සාධාරණය. මේ පාලකයන් හැමදාම කළේ ජනතාව රැවැටීමය. රට සංවර්ධනයට තිබු අවස්ථා මඟ හැර රාජ්‍ය දේපොළ, මුදල් වංචා කිරීම, නාස්තිකිරීම හැමදාම සිදු විය.ඒ නුගුණයන් වෙනස් කිරීමට අද මේ මොහොත දක්වා රටේ දේශපාලන නායකත්වයන් අසමත් වීම තුල තව දුරටත් ජනතාව මේ පාලකයන් විශ්වාස කරන්නේ නැත.

මේ නිසා රාජ්‍ය ආදායම් වැඩිකර දිමට ජනතාව උනන්දුවන්නේ නැත. බදු මුදල් ගෙවීමට හිතන්නේ නැත. නමුත් රජයෙන්ම තව දුරටත් සහනම ඉල්ලමින් රජයෙන්ම යැපෙන තත්වයට ජනතාව පත්ව සිටී. විදේශ ගත ශ්‍රමිකයන් මුදල් රටට එවන්නෙ නැත. ඒ මුදල් පාලකයන් කොල්ල කන බවට දැඩි විශ්වාසයක් තිබීමත් එයට හේතුවක් වී තිබේ.

ජනතවගේ අවිශ්වාසය දුරු කිරීම සඳහා සාධනීය ක්‍රියාමාර්ග කිසිවක් තවමත් ගෙන නොමැත. අඩුම තරමින් දේශපාලන ක්‍රමයෙහි වෙනසක් කර රට වැටී තිබෙන අර්බුදයයන්ගෙන් මුද්වා ගැනීම ඒකායන ඉලක්කය කරගත් කිසිදු වැඩ පිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක නැත. පක්ෂ දේශපාලන සහ හුදු පෞද්ගලික වුවමණා එපා කම් මත සටකපට දේශපාලන ගනුදෙනු සිදුවෙනවා හැර වෙනත් කිසිවක් මේ පසුගිය මාස කිහිපය තුළදීම දකින්නට ලැබී නැත.

රට මෙතරම් දරුණු ව්‍යවසනයක් පාමුල තිබියදීත් මෙරට පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ කිසිවකුත් මේ අර්බුදයෙන් රට මුදවා ගැනීමේ දේශපාලන හෝ ආර්ථික වැඩ පිළිවෙලකට හෝ එකතු වූයේ නැත. තවමත් පක්ෂ විපක්ෂ භේදය වර්ධනය කරමින් කෑ කෝ ගසනවාට වඩා දෙයක් වී නැත.

දේශපාලන අර්බුද විසඳන්න කියා සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා, ජාතික එකඟතා යෝජනා ගෙන ආවත් වැඩක් වූයෙ නැත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබු පොදුජන පෙරමුණෙහි ආණ්ඩුව විසුරුවා හැර එක් ආසනයක් තිබෙන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරමින් දේශපාලන විසඳුමක් වෙත යෑමේ උත්සාහයක් ගත්තත් එය මෙතෙක් සාර්ථක වී නැත.

අගමැති රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තක් හෝ තිබෙනවාද යන්න හෝ කිසිවකුත් නොදනි. දන්නා තරමින් පාර්ලිමේන්තුව තුළ එහෙම එකඟත්වයක් නැත.ඔහුවත් ඉවත්කර ගැනීමේ කුමන්ත්‍රණ සිදුවෙමින් පවතිව බවත් කණින් කොණින් වාර්ථි වී තිබේ.

අගමැති වරයාටත් තවම කරන්න පුලුවන් වී ඇත්තෙ එදිනෙදා මුහුණ දෙන ගැටළු වලට පැලැස්තර විසඳුම් ගෙන ඒම පමණි. ලෝකයෙන් හිඟා කා ණය අරගෙන තත්වයන් තාවකාලිකව පාලනය කිරීම පමණක් සිදුවෙමින් තිබේ. එවැන්නක් කිරීමට හෝ ඔහු ඒ අභියෝගය බාරගැනීම ගැන සතුටු විය හැකිය. ඒත් ඔහුට විපක්ෂ පක්ෂවලින් සහයෝගයක් නැත.

සර්ව පාක්ෂික පාලනයකට එකතු වී මේ ප්‍රශ්නය විසඳා ගන්න කරන යෝජනාව විපක්ෂය අහක දමා මහ මැතිවරණයක් ඉල්ලමින් තිබේ. මහ මැතිවරණයක් මේ ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. අනෙක මේ මහ මැතිවරණයක් පැවැත්විය හැකි වෙලාවක් නොවේ. ඊට හැකියාවක් රටට නැත.පාන් කියා ගන්න බැරිව සිටින මහ ජනතාව මැතිවරණයක් ඉල්ලන්නේ ද නැත. ඔවුන්ට දැන් අවශ්‍ය එදිනෙදා ජීවිතය පීඩාවකින් තොරව පවත්වාගෙන යෑමේ වටපිටාවක් පමණය.

මැතිවරණ හරහා තවත් ආණ්ඩුවක් පත්විය හැකි නමුත් රටේ ප්‍රශ්න අර්බුද විසඳන්නෙ කොහොමද යන්න ගැන උපකල්පනයක් හෝ තිබිය යුතුය.එහෙත් එවැන්නක් කිසිවකු සත්ව නැත. අලුත් ආණ්ඩුවක් පිහි‍ටුවා ගත්තත් නැවත රට පත්වන්නේ මේ මොහොතෙ පවතින තත්වයට වඩා අසීරු තැනකට මිසක් අමුතු කිසිවක් සිදු නොවේ.

රට වැසිය මේ දේශපාලකයන් කිසිවකුත් විශ්වාස කරන්නේ නැත. තමන් දැඩී පීඩනයකට ගොදුරුව තිබෙන බව දැන දැන දේශපාලන ගේම් වල නිරත වනවා මිසක් මේ පාර්ලිමේන්තුවේ කවර පක්ෂයක්වත් ජනතාවගේ අර්බුදය විසඳීමට උත්සුක නොවන බව අද ජනතාව ඉතා හොඳින් වටහා ගෙන තිබේ. මිනිස්සු පුරුද්දට ‍,රැල්ලට කාට හෝ ඡන්දය දී හෝ අලුත් ආණ්ඩු බිහි වූවත් ඒ් කෙරෙහි ජනතා විශ්වාසය ගොඩ නැගෙන්න හේතු බිහිවන්නේ නැත. 69 ලක්ෂයක බහුතර ඡන්දදායකයන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුව එම ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරන්න ගියෙ ඉතා කෙටි කාලයකි. ජනාධිපතිවරයාටත් පැවැති එම ආණ්ඩුවටත් වැඩි විරෝධයක් එල්ල වන්නෙත් එම පිරිසගෙන්ම බව කීවාට වැරදි නැත.

මේ නිසා ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩුව කල්පනා කරනවා නම් මුලින් දේශපාලන ප්‍රශ්නය විසඳා ගත යුතුව. ජනතාවට විශ්වාස තැබිය හැකි පාලන ක්‍රමයක් සැකසිය යුතුය. පැලැස්තර් විසඳුම් වලින් මේ අර්බුද පැටව් ගසනවා විනා ඒ නොවිසඳේ.

මේ දේශපාලන අර්බුද විසඳා ගැනීමෙන් පසුව ආර්ථික අර්බුදය විසදෙන්නේ කොහොමද යන්න තවත් ගැටළුවක් මතු කළ හැකි නමුත් රටේ මේ වන විට තිබෙන හැකියාවන් අනුව ඒ සිදු කළ හැකිය. එහෙත් ඊට ශ්‍රී ලාංකික මහජනතාවගේ උපරිම දායකත්වය ලබා ගත යුතුය. නමුත් එහෙම වෙන්නේ කලින් කී ලෙස මහජනතවට විශ්වාසය තැබිය හැකි දේශපාලන නායකත්වයක්, පාලන ක්‍රම වේදයක් සකස් වන්නේ නම් පමණි.

මේ අනුව මේ වන විට අවහිරව තිබෙන රටට ඩොලර් ලැබීමේ මාර්ග විවෘත කර ගත හැකිය. විශේෂයෙන්ම විදේශ ශ්‍රමිකයන්ට මේ ඩොලර් ප්‍රශ්නය සෑහෙන පරිමාණයකින් විසඳිය හැකිය.

සාමාන්‍යයෙන් මීට පෙර වසර හත අටක කාලය සලකා බැලූ විට වසරකට ඩොලර් බිලියන 7 ඉක්මවන විදේශ ප්‍රේෂණ සෑම වසරකම පාහේ රටට ලැබී තිබේ. එනම් මාසයකට ඩොලර් මිලියන 600 කට ආසන්න ප්‍රමාණයකි. මේ නිත්‍යානුකූලව බැංකු ක්‍රමවේදයන් ඔස්සේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය පමණි. උන්ඩියල්, හවාලා වැනි ක්‍රම නිසා ඇතැම් විට මේ හා සමාන හෝ වැඩි මුදලක් රටට නොලැබී තිබිය හැකිය. මන්ද මේ පහසු හා ලාබදායි ක්‍රමවේදයන් දැන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ රට තුළ ක්‍රියාත්මකව තිබුණු නිසා විශාල පිරිසක් මෙයට යොමුව ඇති බැවිනි.

වත්මන් අර්බුද හමුවේ ඩොලරයට නියමිත් අගය නොලැබීම සහ රජය කෙරේ විශ්වාසයන් පළුදු වීම මත විදේශ ශ්‍රමිකයන් අති බහුතරය උන්ඩියල්, හවාලා ක්‍රම වලට සීග්‍රයෙන් යොමු වීම මත මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය විශාල වශයෙන් අඩු විය.

ඒ අනුව ලංකාවේ විදේශ ප්‍රේශන 2022 පෙබරවාරි ඩොලර් මිලියන 205 ක්ද, මාර්තු මිලියන 318 ක්ද, අප්‍රේල් මිලියන 248.1ක්ද, මැයි මාසය වන විට ඩොලර් මිලියන 304.1 ක්ද ලැබුණි. ඩොලරයට සාධාරණ අගයක් ලැබීමත් දේශපාලනිකව යම් ස්ථාවරත්වයක් ඇති සාමාන්‍ය තත්වයන් යටතේ නම් මේ ලැබීම් දෙගුණ විය යුතුය. රට ගොඩ නැංවීම සඳහා අවංක උත්සාහයක් නිශ්චිත වැඩ පිළිවෙලක් සැකසිය හැකිනම් මේ තවත් ගුණයකින් ඉහළ දමා ගැනීම අපහසු නොවේ. මාසයකට ඩොලර් බිලියනයක ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ඇත.

මේ වන විට මෙරට විදේශ ශ්‍රමිකයන මිලියන 4 ( ලක්ෂ 40) කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව පුරා වැඩ කරමින් සිටී. කම්කරු මට්ටමේ රැකියාවක් කරන්නකු පවා මාසයකට ඩොලර් 500 ක හෝ ආදායමක් ලබයි. මේ ආදායම් වලින් වැඩි කොටසක් මෙරට තමන්ගේ යැපෙන්නන් වෙත එවන බව සැක නැත. මේ අවම වැටුපෙන් අඩක් (ඩොලර් 250) හෝ නිත්‍යානුකුල මාර්ගයන්ගෙන් ගෙන්වා ගත හැකි නම් ඩොලර් බිලියනයේ ඉලක්කය පහසුවෙන් සපුරා ගත හැක. මේ හරහා පමණක් මෙරට ගෑස් සහ ඉන්ධන වියදම් සපුරා ගත හැක.

ලංකාවේ ගෑස් ආනයන වියදම බැලූ විට . ලිට්‍රෝ සමාගමේ මාසික ආනයන වියදම ඩොලර් මිලියන 20-23 පමණ වෙයි. ලාෆ් සමාගමට අවශ්‍ය ඩොලර් මිලියන 7-10 ක් පමණය.ඒ අනුව සමස්ත මාසික ගෑස් ආනයන වියදම ඩොලර් මිලියන 30 ක් පමණ වේ . වාර්ෂික ගෑස් අවශ්‍යතාව ගෑස් මෙට්ට්‍රික් ටොන් 440000 කි. වාර්ෂිකව ආනයන වියදම උපරිම ඩොලර් මිලියන 360 කට ආසන්නය.

මාසික ඉන්ධන අවශ්‍යතාවට සාමාන්‍යයෙන් වැය වූයේ ඩොලර් මිලියන 310 කට ආසන්න මුදලකි. එහෙත් වරාය ප්‍රමාද ගාස්තු, අතරමැදි ගනුදෙනු, Spot Buying (වැඩි මිලට කඩිනම් මිළදී ගැනීම්) සහ ඉන්ධන හිඟයකට බියෙන් මහජනතාව වැඩිපුර ඉන්ධන ගබඩා කරගැනීමෙන් වු ඉල්ලුම ඉහළ යෑම නිසා අප්‍රේල් මාසයේ මිලියන 700 ක් පමණ වැය කරන්න සිදුව තිබිණි. මේ අනවශ්‍ය මිළ ඉහළ යෑම නිවැරැදි ලෙස පාලනය කරගත හැකි එකක් වන අතර ඒ අනුව මාසයකට උපරිම ඩොලර් මිලියන 500 කින් මේ ප්‍රශ්නය විසඳිය හැකිය.එය වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක පමණ ආනයන බිලකි.

ලංකාවේ මාසික ඉන්ධන සහ ගෑස් බිල පියවාගැනීමට අවශ්‍ය වන්නේ උපරිම ඩොලර් මිලියන 530 ක් පමණය.මේ අනුව ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය මේ විදේශ ප්‍රේශන මඟින් පමණක් විසඳා ගත හැකිය.

රටේ විදේශ විනිමය අවශ්‍යතාවය මේ කරුණු දෙකට පමණක් ලඝු කළ නොහැකි බව ඇත්තකි. එහෙත් රටට විදේශ විනිමය ලැබෙන තවත් මාර්ග ගනනාවක් තිබේ.

ලංකාවේ 2020 අපනයන ආදායම ඩොලර් බිලියන 10.05 කි. කොවිඩ් වසංගතය තත්වය හමුවේත් , අපනයන ආදායම 2021 වන විට ඩොලර් බිලියන 15.72 දක්වා වර්ධනය විය.

2022 මාර්තු මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.057. අප්‍රේල් අපනයන ආදායම ඩොලර් මිලියන 915.3 දක්වා අඩු වුවත් මැයි මාසයේ ඩොලර් බිලියන 1 ඉක්මවා ගිය බව වාර්තා විය.

අපනයන කර්මාන්ත වෙනුවෙන් වන අමුද්‍රව්‍ය ආදියට වන විදේශ විනිමය වියදම් ආදිය අඩුකළ විට ඩොලර් මිලියන 500 ක වත් ඩොලර් සංචිතයක් මාසයකට ඉතිරිවේ .

රජයේ තවත් ඩොලර් ආදායම් මූලාශ්‍ර කිහිපයක්ම තිබේ. සංචාරක ව්‍යාපාරය හරහා වසරකට ඩොලර් බිලියන 12 ඉක්මවන (මාසයකට ඩොලර් බිලියනයක පමණ) ආදායමක් 2019 වසරේදි ලැබී තිබිණි. කොවිඩ් තත්වය හමුවේ බිඳ වැටුණු මෙම ආදායම් යළි අත්පත් කරගත හැකි අතර ඒ සෙමින් සිදුවෙමින් තිබේ. එසේම තවදුරටත් වර්ධනය කරගත හැකිව තිබෙන්නකි.

දැන් ඇත්තටම විසඳන්න තරම් ගැටළුවක් රට හමුවේ තිබෙනවාද යන්න කල්පනා කළ හැකිය. එහෙත් රටේ ණය කන්දරාව මෙයට හරස් වී තිබේ. මේ විසඳා ගැනීමට නම් අප තවත් විදේශ විනිමය ලැබෙන ණය නොවන මුලාශ්‍ර සොයා ගත යුතුය. තිබෙන දේ වැඩි දියුණු කර ගත යුතුය.

රට මුහුණ දී තිබෙන අර්බුද හමුවේ වැඩි දෙනා රටින් පිටවීමේ අවස්ථා සොයමින් සිටිම මේ දිනවල වාර්ථා වන්නකි. මේ අවස්ථාව පවා රටේ අභිවෘද්ධියට යොදා ගත හැක. එහෙත් මේ වෙනුවෙන් රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් නැත.

මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 04ක් නිකුත් කර ඇති නමුත් තවමත් විදේශගත වී ඇත්තේ, ඉන් 70,000ක් පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබිණි. එනම් මෙතැන ගැටළුවක් තිබේ.

මෙරට පිරිස් විදේශගත වන්න බලාපොරොත්තු වන්නේ රැකියාවක් කර ඒ් ආදායම් තමන්ගේ යැපෙන්නන් වෙත එවීමේ අපේක්ෂාව අනුවය. ගමන් බලපත්‍ර ගත්තත් විදේශගත වීමට නොහැකි වීම ගැන දැන් ගැටළුව වී ඇත්තේ විදේශ රැකියා සොයා ගැනීමේ සහ ඒ වෙනුවෙන් දැරිය යුතු මූලික වියදම් සොයා ගැනීමේ ගැටළුවය. එමෙන්ම නිසි මඟ පෙන්වීමක් නොලැබීමය. ඊට රජයට මැදිහත් විය හැකිය. තමන්ගේ ආදායම් නිත්‍යනුකූල ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවීමේ කොන්දේසියක් යටතේ හෝ මේ පිරිස් විදේශගත කළ හැකි නම් ඒ රටට ලැබෙන විදේශ විනිමය ඉහළ දමා ගැනීමේ මහගු අවස්ථාවකි.

අනෙක් වැදගත්ම දේ අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට රජය කටයුතු කළ යුතුවීමය. පසුගිය කාලයේ ඩොලර් වැය වීම පාලනය කිරීමට කියා ආනයනය තහංචි විශාල ප්‍රමාණයක් දැමීම නිසා එය අපනයනයන් කෙරෙහිද බරපතල ලෙස බලපා තිබු අතර ලබා ගතව හැකිව තිබූ අපනයන ආදායම් පවා ඉන් නොලැබී ගියේය. අද වැඩිම අපනයන ආදායම් ගෙන එන ඇගළුම් කර්මාන්තය, තේ කර්මාන්තය පවා අනතුරක පවතී.එම ගැටළු විසඳීම විය යුතුය. එසේම මෙරට තුළ ඇති සම්පත් වැඩි වශයෙන් යොදා කළ හැකි අපනයන නිශ්පාදනය හඳුනාගැනීම දැන් විය යුතුය. ඒ වෙනුවෙන් නව ව්‍යවසායකත්වයන් ගොඩ නැංවීමට සහය විය යුතුය. මෙය රජයට නොකළ හැක්කක් නොවේ.

රටක සංවර්ධනය කෙරේ විශාලම දායකත්වයක් ලැබෙන ක්ෂේත්‍රය වන්නේ විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමය. විදේශ විනිමය සේම නව සංවර්ධන උපාය මාර්ග, නව තාක්ෂණය, නව රැකියා ආදිය මේ හරහා රටට ලැබේ. එහෙත් මේ රට තවමත් සැලකෙන්නේ විදේශ ආයෝජනයට දුෂ්කර රටක් ලෙසය. ව්‍යාපාර කිරීමට දුෂ්කර රටක් හැටියටය. යල් පැනගිය හා දැඩි නීති රීති, පටු සමාජ ආකල්ප, දේශපාලන මැදිහත් වීම්, කොමිස් තර්ජන නිසා මෙරටට විදේශ ආයෝජයන් පැමිණිමට මැලිකමක් දක්වයි. ආවත් ආපසු යෑම සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ භූ පිහිටීම මත නිසි සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූවා නම් කලාපයේ සංවර්ධිතම රාජ්‍යය ශ්‍රී ලංකාව විය හැකිව තිබිණි. නමුත් ඒ් අවස්ථා අප මඟ හැර ගත්තේ අපේම වැරදි නිසාය. මේ ගැන අද සියළු දෙනාට හොඳ වැටහීමක් තිබිය යුතුය.මන්ද අර්බුද විසින් අපට ඒ පාඩම් උගන්වා තිබෙන නිසාය. දැන් විය යුත්තේ ඒ වැරදි නිවැරදි කරගනිමින් රට ගොඩනැඟීම පමණය. මේ මොක කරන්නත් කලින් විශේෂයෙන්ම මහජනතාව තුළ රජය, ආණ්ඩුව කෙරේ විශ්වාසය තහවුරු කිරීම විය යුතුය.

මුලින් කී ලෙස රටේ දේශපාලන ක්‍රමය නිවැරදිව සකස්කර ගැනීම මූලික කරගෙන නිශ්චිත ප්‍රතිපත්තීන්, සැලසුම් , වැඩපිළිවෙළ සහ ක්‍රියා මාර්ග ගැනීම විය යුතුව තිබේ.ආර්ථික අර්බුදය විසැඳීම ගැන පියවරයන් ඒ සමඟ ගත යුතුය. ඒ එසේ සිදුවෙනවා නම් අනිවාර්යෙන්ම දෙස් විදෙස් සියළු රට වැසියන් රට ගොඩනැංවීම වෙනුවෙන් දායකවීම වෙනවා ඇත. අපේ රටේ මිනිස්සු කියන්නේ කොහේ හිටියත් රටට ආදරය කරන පිරිසක් වීම ඊට ඇති වඩාත්ම වාසිදායක තත්වයය.

- the novemberist

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us