ලෝක බැංකුවේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට පොහොර අර්බුදයක්, ආහාර හිඟයක් හා බලශක්තිය පිළිබඳ අවුලක් ද ලෝක මට්ටමෙන් ව්‍යාප්ත වනු ඇත. ඊට මුහුණ දීම සඳහා උපායමාර්ග එකිනෙක රාජ්‍යයන් සොයා ගත යුතුව තිබේ.-
යල කන්නය අත්හරින්න එපා යැයි මෙරට ජනාධිපතිවරයා වී ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රසායනික පොහොර හෝ කාබනික පොහොර හෝ යොදමින් වී වගාව කරගෙන යන ලෙස ද රාජ්‍ය නායකයා ඉල්ලීමක් කරයි. රසායනික පොහොර සම්බන්ධයෙන් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලීම් කර ඇති අතර ඊට සාර්ථක ප්‍රතිචාර ලැබී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. මේ අනුව අපේ වී ගොවීන් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ වන විටත් රජය පනවා තිබූ රසායනික පොහොර තහනම ඉවත් කරගෙන රසායනික පොහොර ආනයනය ආරම්භ කර තිබේ.
ළඟ එන ආහාර අර්බුදයක් ගැන හැම පැත්තෙන් ම අනතුරු හැඟවීම් ලැබී ඇත. කෘෂිකර්ම විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ හැකි සෑම බිම් අඟලකම වගා කිරීම හැර මීට වෙනත් විසඳුමක් නැති බවය. ගෙවතු වගා වැඩසටහනක් ද මේ අතර ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ භූමිය, පස, දේශගුණය ඇතුළු තවත් බොහෝ සාධක ගොවිතැනට හිතකරය. ඒ හැරෙන්නට ගොවිකම පිළිබඳ අතීත උරුමයක් ද අපට තිබේ. අතීතයට එබී බැලුවහොත් ශ්‍රී ලංකාව යනු ආහාර අතින් ස්වයංපෝෂිත රාජ්‍යයකි. පෙරදිග ධාන්‍යාගාරය යන නමින් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ද ඒ නිසා ය. එහෙත් එය ඉතිහාසයට සීමා වී ඇත. මේ වන විට බොහෝ දේවල් පිටරටින් ගෙන්වීමට අප හුරු-පුරුදු වී ඇත.
මේ කන්නයේ වී වගාවෙන් බොහෝ ගොවීන් ඉවත් වී සිටින බවට ද ඒ ඔස්සේ යල කන්නයේ අස්වැන්න බොහෝ සෙයින් අඩු විය හැකි බවට ද වාර්තා පළ වී ඇත. සමහරු මෙය අතිශයෝක්තියට නඟමින් සහල් කිලෝව රුපියල් පන්සියයක් වනු ඇතැ’යි ද සහල් පෝලිම් අත ළඟ එනු ඇතැ’යි ද පුරෝකථන ඉදිරිපත් කරති. එය එසේ වීමටත් නොවීමටත් හැකිය..එහෙත් එය එලෙසින්ම සිදුවනවා දැකීමට ඇතැම් දේශපාලන පක්ෂ හීන දකිමින් යයි..එහෙත් ඔහුන්ට අමතක මෙරටට සිදු වනවානම් යම් අර්බුදයක් අඩු වැඩි වශයෙන් ඔහුන්ටද එයින් බැට කෑමට සිදුවන බවය. කෙසේ වෙතත් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත යුතුය. ආහාර සුරක්ෂිතතාව ගැන ද අවධානය යොමු කළ යුතුය. අර්බුදය ගැන විවේචන ඉදිරිපත් කිරීමට වඩා ඊට විසඳුම් ලෙස කුමක් හෝ ඉටු කිරීම වඩා වැදගත් වන්නේ අන්න එ නිසාය.
-මහේෂි