පුනර්ජනනීය විදුලියට එරෙහි විදුලි බල මා‍ෆියාවට ඉඩ නොදෙමු! Featured

Wednesday, 08 June 2022 21:35

ශ්‍රී ලංකාවේ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයත්, සුළං විදුලි නිෂ්පාදනයත් විදේශ ආයෝජන  සමාගම් වෙත ලබා දීමේ සැලසුම ඇතිව 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කර, එය හෙට (09) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර  සම්මත කරගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව විදුලි සේවක වෘත්තීය සමිති කිහිපයක් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මෙම සංශෝධනයට අනුව කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සහ සුළං බලයෙන් විදුලිය නිපදවීම විදේශීය සමාගමකට පැවරීමට හැකියාව ලැබෙන බවත් ලංකාවේ ආණ්ඩුව විසින් සැලසුම් සහගතව ලංකාවේ විදුලි උත්පාදනය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට මෙසේ විදුලි බල පනත සංශෝධනය කරන බවත්, ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් (ජවිපෙ) පවසයි.

“2009 අංක 20 දරන විදුලි බල පනතේ 43 වන වගන්තියේ උප වගන්ති 3ට අනුව තාක්ෂණික වශයෙන් පිළිගත හැකි ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද තැනැත්තන් අතුරෙන් අඩු ම පිරිවැයකින් සැපයිය හැකි තැනැත්තෙකු කොමිෂන් සභාවේ කැමැත්ත ඇතුව සම්ප්‍රේෂණය කිරීමේ බලපත්‍රලාභියා විසින් තෝරා ගනු ලැබිය යුතු ය,” යන කාරණාව පනතේ නව සංශෝධන මගින් ඉවත් කර ඇති බවද පවසයි.

මෙමගින් ලංකාවට ඩොලර් ලැබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු නොවන බවත්, ඔවුන් අවශ්‍ය උපකරණ ගෙනවිත් ලංකාවේ විදුලි බල උත්පාදනය ආරම්භ කළ පසු ලංකාවට වැටෙන හිරු එළියෙන් සහ ලංකාව හරහා හමා යන සුළඟින් උත්පාදනය කරන විදුලිය වෙනුවෙන් ලංකාවේ ජනතාවට ඉන්දියානු සමාගමකට මුදල් ගෙවීමට පමණක් සිදු වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

එසේම අදානි සමාගමෙන් මෙරටදී නිපදවන විදුලි ඒකකයක් ඩොලර් ශත තුනකට (රුපියල් 10.75කට) මිලදී ගැනීමට තිබූ එකඟතාවය ද මේ වන විට ඩොලර් ශත හතක් (රුපියල් 25/=ක්) දක්වා වැඩි කර ඇති බවත් ඔහු පවසයි.

නමුත් මේවා අර්ධ සත්‍යයන්ය. නැතිනම් සත්‍යය විකෘති කිරීම්ය.

අද සහ පසුගිය දින කිහිපයේදීම ඇමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවලදී විදුලි වෘත්තීය සමිතිවලට පනත සංශෝධනය කිරීමෙහි ඇත්ත කරුණු ඇමතිවරයා පෙන්වා දී ඇතත් ඇතැම් පිරිස් ඒ පිළිගෙන ඇතත් මජර වුවමණාවන් මත කටයුතු කරන වෘත්තීය සමිති කිහිපයක් දිගින් දිගටම මේ සංශෝධන අකුලා ගත යුතු බව පවසා ඇත්තේ කිසිදු සාධාරණ කරුණු දැනවීමකින් තොරවය. වැඩ වර්ජනයට පෙළඹී ඇත්තේද එම සමිති කිහිපය.

මේ තත්වයන් යටතේ ආණ්ඩුව විසින් හෙට දිනයේ සම්මත කිරීමට සූදානම් වන මෙම පනතට එරෙහිව විදුලි ඉංජිනේරුවන් සහ විදුලි කාර්ය මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට දිවයිනේ පුරා විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

එහෙත් විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත හෙට (09)අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, පනත් සංශෝධනය හරහා කිසිදු ආකාරයකින් තරගකාරීත්වය අහිමි නොවන බව ය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා තිබූ නෛතික බාධාව ඉවත් කිරීම පමණක් බව එමගින් සිදුවන බව ඔහු පැවසීය.

විදුලි බල මණ්ඩලයේ සීමිත කොටසක් පමණක් මේ සඳහා විරුද්ධ බව ත් සශෝධනයෙන් පසුව වුව ද මිල ගණන් තීන්දු කිරීමේ බලය ඇත්තේ විදුලි බල මණ්ඩලය සතුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ, පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මට සහය නොදෙන්නේ නම් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව ය.

“විදුලිබල මණ්ඩලය පසුගිය සතියේ මගෙන් ඉල්ලීමක් කළා 300% කින් විදුලි බිල වැඩි කරන්න කියලා විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි. අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 250යි. රුපියල් බිලියන 500ක හිඟයක් තියෙනවා.

හැබැයි වැඩිපුර මුදලක් යන්නෙ මොකට ද ? මේ ඩීසල් බලාගාරවලට ඉන්ධන මිල දී ගැනීම සඳහා යන මුදල ත් නිලධාරීන්ගේ වැටුප්වලට යන වියදම්. සෑම අවුරුදු 3කට සැරයක් නිලධාරීන්ගේ වැටුප 25%කින් වැඩි කරනවා.

එතකොට මේ වැඩි වෙන වැටුප්වලට ගෙවන්න ඕන මේ බිල ජනතාව මත දාල ද? මම පැහැදිලිව කියනවා එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගේන්න මම කටයුතු කරන්නේ නෑ.”

විදුලිබල මණ්ඩල නිලධාරීන් සිදු කළ යුත්තේ, උත්පාදන වියදම අඩු කිරීමට ක්‍රියා කිරීම මිස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කර සිය වැටුප් වැඩි කර ගැනීම සඳහා ජනතාව මත බර පැටවීම නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ගෙන එන සෑම විටම ඊට එරෙහිව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිත් මා‍ෆියාවක් ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. එය මීට පෙර පැවැති ආණ්ඩු සමයන්හීදී ද පැහැදිලිව පෙන්නුම් කර තිබුණි. මෙරට විදුලි බව අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් විටින් විට හදිසි අවශ්‍යතා හුවා දක්වමින් පෞද්ගලික ඩීසල් බලාගාර වලින් අධික මුදලකට විදුලිය මිලදී ගැනීම පුරුද්දක් කරගෙන තිබෙන අතර මේ හරහා විදුලි බල අමාත්‍යංශයේ සහ විදුලි බල මණ්ඩලයේ ඉහළ ප්‍රධානින්ට විශාල කොමිස් මුදල් ලැබෙන බවත් රහසක් නොවේ.

මේ නිසා ඩීසල් බලාගාර හරහා විදුලිය මිලදී ගැනීම් අවහිර කරවන, සීමා කෙරෙන රජයේ කිසිදු ව්‍යාපෘතියකට සහයෝගය නොදක්වා ඒවා කඩාකප්පල් කිරීම සිදු වෙයි. ඇතැම් අවස්ථාවක නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය බිඳ වැට්ටවීම ද මේ මා‌ෆියාවේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම් මත සිදුවන බවට තොරතුරු හෙළිව තිබිණි.

විශේෂයෙන්ම විදුලි වෘත්තීය සමිති නායකත්වයන් මෙම මා‍ෆියාව සමඟ සමීපව කටයුතු කරන බවත් පැහැදිලිය. එසේම තමන්ගේ බඩ ගෝස්තරයට පහර වදින විට දේශපාලනික හේතු හෝ වෘත්තීමය හේතු හුවා දක්වමින් වැඩ වර්ජනය සංවිධානය කරමින් ජනතාව වෙනුවෙන් සටන් වදිනවා කියමින් පවතින ආණ්ඩු කෙරෙහි ජනතාවගේ වෛරය ඇති කිරීම වෙනුවෙනුත් මෙම වෘත්තීය සමිති ක්‍රියාත්මක වීම පැහැදිලිව පෙනෙන්න තිබෙන තත්වයයි.

සෙසු රාජ්‍ය සේවක වැ‍ටුප් තල හා සැසදීමේදී ඉතා විශාල වැ‍ටුප් තලයකට හිමිකම් කියන විදුලි බල ක්ෂෙත්‍රයේ නිලධාරීන් මෑත ඉතිහාසය තුළ මෙම විදුලි බල මණ්ඩලය පාඩු නොවී පවත්වාගෙන යෑම වෙනුවෙන්ද කිසිවක් කර නැත. නමුත් තමුන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද ආදිය වැඩි කර ගැනීම නම් නියමාකරයෙන් සිදු කරගනු ලබයි.

මෙරට පාඩු ලබන ප්‍රධානම ආයතන කිහිපයෙන් මුල් පෙලේ ආයතනයක් වන්නේද මෙම විදුලි බල මණ්ඩලයයි. දූෂණය, වංචාව, නාස්තිය, අකාර්යක්ෂමතාවයන් පිටුදැක මෙම ආයතනය යළි පිලිසකර කරන්න නොදෙන තත්වයන් යටතේ පවත්වාගෙන යෑමට මෙම නිල්ධාරීන් කටයුතු කරන්නේ තමන්ගේ බඩ වඩා ගැනීමට නම් මේ දුෂිත යාන්ත්‍රණය පවත්වාගෙන යායුතු නිසා මිසක වෙන කිසිදු හේතුවක් මත නොවේ.

මෙරට විදුලි බල අර්බුදය මධ්‍යයේ පුනර්ජනනීය විදුලිය මහා පරිමාණයෙන් නිපදවා ගැනීමේ අවශ්‍යතාවය දැන් කාලාන්තරයක් මුළුල්ලේ කතා බහට ගැනෙන මාතෘකාවකි. වත්මන් ආණ්ඩුව මෙන්ම පැවැති ආණ්ඩු විසින්ද මෙම පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ගොඩනැගීමට ගත් උත්සාහයන් සාර්ථක නොවෙන තැනට කඩාකප්පල් කළේම මේ වෘත්තිය සමිති මාෆියාව සහ ඒවා අනුබද්ද දේශපාලන පක්ෂ විසින්ය. ප‍ටු දේශපාලන වාසි තකා මෙම දේශපාලන පක්ෂත් මේ විදුලි බල මා‍ෆියාවේ මතයන් සමඟ කටයුතු කළේය. නමුත් මේවාට අද වන්දි ගෙවන්න සිදුව ඇත්තේ ජනතාවටය.

මිළ අධික විදුලි බිල් පත් නිසා පීඩවට පත්වන ජනතාව ගෙන හෝ අංශු මාත්‍රයක් මොවුන් කල්පනා කරන්නේ නැත. අද ඉන්ධන ගැටලුව නිසා විදුලි බලය සීමා කිරීමට සිදුව තිබෙන බවත් ඒ නිසාම රටම දරුණු ගැටළුවකට මුහුණ දී ඇති බවත් පැහැදිලි කරුණක් වූවද පුනර්ජනනීය බල ශක්තිය ඊට සෑහෙන තරම් විකල්ප විසඳුමක් බවද පැහැදිලි නමුත් මේ විදුලි බල මා‍ෆියාව එයට ඉඩ නොදීමේ වෑයම ජනතාව වෙනුවෙන් ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ගයක් නොව තමන්ට ලැබෙන කොමිස් මුදල රැක ගැනීමේ ක්‍රියාමාර්ගයක් පමණි.

මේ දූෂිත ආයතනයම පෞද්ගලික කරණය කළ යුතු බවට ජනතාවගෙන් හඬක් නැගෙන්නේ මේ හෙණගහන ඇත්ත ජනතාව හොඳින්ම දන්නා නිසාය. ඒ අනුව අදානි සමාගමට යොජිත සූර්ය /සුළං බල ශක්ති ව්‍යාපෘතිය ලබා දීම ගැන මේ රටේ කිසිදු පුරවැසියකු විරුද්ධ නොවනු ඇත. ජනතාව දිගින් දිගටම කියන්නේ මේවා පෞද්ගලික අංශ ලවා කළ යුතු බවය.

මේ දිනවල සිදුවන ජනතා අරගල තුළද මේ මතය රැව් පිළි රැව් දෙයි. එමඟින් විදුලි බල උත්පාදනය සඳහා රජය වැය කරන මුදල අඩු වීමත් ජනතාවට අඩු වියදමකින් අඛන්ඩව විදුලි බලය ලැබීමත් සිදු වෙනු ඇත. මේ වෘත්තීය සමිත් නොයෙක් තර්ක විතර්ක දමමින් කඩාකප්පල් කරන්න හදන්නේ පුරවැසියාගේ මේ සුබවාදී අනාගතයය.

විදුලි බල මා‍ෆියාවට එරෙහිව ඇමැති කාංචන විජේසේකර සහ ආණ්ඩු පක්ෂයත් ජනාධිපතිවරයාත් සෘජුව නැගී සිටිනවා නම් සමස්ත පුරවැසියාම එයට පූර්ණ සහයෝගය දැක්විය යුතුය. රටට පිළිලයක් වී ඇත්තේ දුෂිත දේශපාලකයන් පමණක් නොවේ, මේ දූෂිත නිලධාරී මා‍ෆියාවද බරපතල පිළිලයකි. ඒ පරාජය නොකර කිසිදා මේ රට ගොඩ නැගීමට නොහැකි වෙනු ඇත.

-the novemberist

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us