පොදු මඟී ප්‍රවාහනය ආකර්ෂණීය සේවාවක් කරන්න හදනවා ලු !   Featured

Friday, 10 June 2022 11:48

මඟී ආකර්ෂණ ඇති වන ආකාරයට පොදු මඟී ප්‍රවාහන සේවා විධිමත් ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබෙන බව වාර්ථා වෙයි.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් ව සිටින මොහොතක දී හා පොදු මඟී ප්‍රවාහනය සඳහා දැඩි ඉල්ලුමක් පවතිද්දි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයිද කියැවෙයි.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (09) පැවති සාකච්ඡාවක දී තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් ව සිටීමත් ඒ සමඟ පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මෙහිදී දුම්රිය හා බස් රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡාවට ලක් ඇත. ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන හල් මඟින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට ද තීරණය වී ඇත.

Park & Drive ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමටත් තීරණය කරන ඇත.

ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදා ගැනීමටත් යෝජනා කර තිබේ. කාර්යාල සේවය ඉලක්ක කර ගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් පියවර ගැනීම ගැනත් සාකච්ඡා කර තිබේ.

පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම ගැන කාලාන්තරයක් මුලුල්ලේ විවිධ මට්ටමින් සාකච්ඡා පැවැත් වූවද ක්‍රියාමාර්ග ගත්තද මේ කිසිවක් බලාපොරොත්තු වන මට්ටමින් මේ දක්වා සාර්ථක වී නොමැත. පවතින අර්බුද හමුවේ පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම ගැන හදිසි අවශ්‍යතාවයක් ඇති වීම තුළින් හෝ මේ වෙනුවෙන් නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේනම් ඒ වැදගත්ය.

එහෙත් පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම සම්බන්ධයෙන් විටින් විට ගන්න ක්‍රියාමාර්ග අසාර්ථක වන්නේ ඇයිද යන්න ගැන පසු විපරමක් නම් සිදුව තිබූ බවක් අසන්නට නැත. පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත නොකර ජනතාව වැඩි මුදලක් වැය කරමින් පෞද්ගලික ප්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු කරන්නේ මන්ද යන්න ගැන විමසුමක් කර නැත.

මහා මාර්ග වලට බස් දැමූ පමණින්, දුම්රියට අලුත් මැදිරි එකතු කළ පමණින් මේ ප්‍රශ්නය විස‍ඳෙන්නෙ නැත. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කළ යුත්තේ මොකටද ? ඒ කළ යුත්තේ කෙසේද ? යන්න ගැන මෙරට විද්වතුන් කළ සමීක්ෂණ අධ්‍යන වාර්ථා කිහිපයක්ම තිබුණත් මේවා ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමත් හැමදාම දකින්නට ලැබුණ දෙයෙකි. මෙලෙස ඉදිරිපත් කරන යෝජනා වල ඇති අලුත් මිලදී ගැනීම් හෝ ටෙන්ඩර ආදියට දේශපාලකයන් සහ නිලධාරීන් උනන්දු වනවා මිසක එම වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම සිදු වන්නෙ නැත.

පසුගිය කාලයේ කොළඹ වාහන තද බදය අවම කිරීමට යැයි කියමින් ක්‍රියාත්මක කළ පාර්ක් ඇන්ඩ් ඩ්‍රව් නමින් වූ බස් සේවය සාර්ථක වීමක් හෝ කොළඹ මාර්ග තදබදය අවම කිරීමට හෝ හේතු වී ඇති බවක් හෝ මේවා ක්‍රියාත්මක කළ නිලධාරීන් සොයාගෙන තිබෙනවද? නැත. මේවා හුදු සංදර්ශන පමණකි. එහෙත් කාගේ හෝ අතකට කොමිස් මුදලක් යෑම නම් අනිවාර්යෙන්ම සිදුව ඇති බවට සැක නැත.

තව දුරටත් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට යැයි කියමින් සංදර්ශන පමණක් සිදුවුවහොත් එය නැවත රටට ජනතාවට තවත් බරක් වීම මිසක් වෙනකක් සිදු වන්නේ නැත.

ඉන්ධන හිඟය නිසා පෞද්ගලික වාහන පාවිච්චි කළ සියලු දෙනා පීඩාවට පත්ව තිබීම මත පාලකයන්ට එරෙහිව වන උද්ඝෝෂණ පැන නැගීම කෙරෙහි විශාල බලපෑමක් සිදු විය. මෙම පිරිස් වැඩි වශයෙන්ම තමන්ගේ කියා වාහනයක් (යතුරු පැදියක්/ත්‍රීවිලරයක්/ සාමාන්‍ය මෝටර් රථයක්) පාවිච්චි කිරීමට යම් කාලයක පෙළඹුණේ පොදු ප්‍රවාහන සේවාවන් හී පවතින දුර්වල තාවය නිසාය.

කොළඹ දිස්ත්‍රික්කයම උදාහරණයකට ගත්තත් ජනතාවගේ අවශ්‍යතාවයේ තරමට පොදු මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නැත.ප්‍රධාන මාර්ග වල බස් රථ ධාවනය වීමෙන් පමණක් මේ ප්‍රවාහන ගැටලුව විස‍ඳෙනෙන් නැත. අද නාගරිකව තිබෙන ප්‍රධාන ගැටලුව ප්‍රධාන මාර්ග ආශ්‍රිතව පමණක් බස් රථ ක්‍රියාත්මක වීමේ ගැටලුවය. අතුරු මාර්ග වල බස් නැත. මීට බොහෝ කලකට පෙර අතුරු මාර්ග වල බස් රථ ක්‍රියාත්මක වූවද දැන් නැත.

බස් රථයකට ගොඩ වීමට කිලෝ මීටර් දෙක තුනක් පයින්ගමන් කිරීමට සිදුවෙනවා නම් එම පිරිස තමන්ගේම කියා වාහනයකට මාරුවීම සිදුවෙයි. නාගරික වාහන තදබදයට ප්‍රධාන හේතුව මෙයය. එයට විසඳුමක් ඇති නොකර ප්‍රධාන පාරට අලුත් බස් දැම්මාය, දුම්රිය මැදිරි එකතු කළාය කියා ප්‍රශ්නය විස‍ඳෙනෙන් නැත. මේ සරළම දේවත් විසඳා ගැනීමට රජය අසමත් වේ නම් එතැනින් එහාට කතා කර වැඩක් නැත.

පොදු මඟී ප්‍රවාහන සේවාවන් හී ගමන් කිරීමේදී අත්විඳින්නට සිදුවන පීඩා අපහසුතා ද ජනතාව මෙම සේවාවලින් ඈත් කිරීමට හේතුවී ඇත. දහඩිය පෙරාගෙන, කුණු දූවිලි තවරගෙන, තැලී පොඩිවී, පැය ගනන් රස්තියාදු වෙමින්, කොන්දොස්තරගෙන් රියැදුරුගෙන් පවා බැණුම් අහමින් ගමන් කරන්න කිසිවකු කැමැති නැත. වෙලාවට බස් එක, දුම්රිය එන්නේත් නැත.. යන්නේත් නැත. පොදු මඟී ප්‍රවාහන ක්‍රමය වඩා සුවපහසු භාවිතයක් දක්වා දියුණු කිරීමද අත්‍යාවශ්‍ය කාරණයකි.

Last modified on Friday, 10 June 2022 11:49

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us