ඇතැම් රේගු , සුරා බදු නිලධාරීන් සහ දේශපාලකයන් විසින් සිදුකරන ජාවාරම් හේතුවෙන් සුරා බදු දෙපාර්තමේන්තුවටත් රේගු දෙපාර්තමේන්තුවටත් මෙම මුදල අහිමි වන බව ඔවුන් අවධාරණය කරයි.
මේ ජාවාරම් වැලැක්විය හැකිනම් රාජ්‍ය ආදායම් පහසුවෙන් වැඩි කර ගත හැකි බවත් පෙන්වා දෙයි.මේ අනුව මිලියන 400 ගනනේ වසරකට බිලියන 150 ක් පමණ රාජ්‍ය ආදායමට එකතුකර ගත හැකිය.
පසුගියදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ සංගමයද පෙන්වා දුන්නේ ආදායම් බදු පැහැර හරින්නන්ගෙන් සහ බදු වංචාවන් කරන පිරිසගෙන් නිසියාකාරව බදු එකතු කරගැනීම සිදු නොවන බවත් එලෙස අහිමි වන බදු ආදායම වසරකට කෝටි පහලොස් දහසක් පමණ වන බවය. ආදායම් බදු කොමසාරිස්වරුන් තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කරන්නේ නම් එසේ වන්නේ කෙසේද යන්න ගැන ගැටළුවක් තිබුණත් ඇත්ත එයය.
රටේ සමස්ත බදු ආදායමෙන් 85%ක් පමණ ඇත්තේ භාණ්ඩ හා සේවා මත වන වක්‍ර බදුය. 15%ක් පමණ ආදායම් බදු ලෙස පවති. පසුගිය ආණ්ඩු සමයේදී මෙම පරතරය සියයට 60 ක් සහ 40 ක් ලෙස වෙනස් කර සාමාන්‍ය ජනතාව මත පැටවෙන වක්‍ර බදු බර අවම කිරීම සඳහා පියවර ගත්තද එම තත්වය වත්මන් ආණ්ඩු සමයේදී වෙනස් කිරීමකට ලක් විය.
විශේෂයෙන්ම වැට් බද්ද අඩු කිරීම සහ උපයන විට බදු සීමාව ඉහළ දැමීම නිසා රුපියල් බිලියන 600කට වැඩි ප්‍රමාණයක් රජයට අහිමි විය.එනම් රුපියල් කෝටි හැටදාහක් පමණ. එහි කිසිදු වාසියක් සාමාන්‍ය ජනතාවට ලැබුණෙ නැත. මේ ලාභය ව්‍යාපාරිකයන් සහ ඉහළ වැටුම් ආදායම් ලබන්නන් විසින් අත්පත් කරගනු ලැබීය. එපමණක් නොවේ, සීනි බදු අක්‍රමිකතාවයෙන් පමණක් රුපියල් කෝටි එක්දහස් හයසිය කට වැඩි මුදලක් රජය අහිමි කර ගත්තේය. මේ වැනි බදු වංචා විශාල ප්‍රමාණයක් මෑත කාලයේ සිදුව තිබේ.
මේ වනවිට විගනකාධිපති වාර්තාව විසින් 2015-2019 අතර අවුරුදු පහේදි රුපියල් කෝටි හතළිස් එක්දහස් පහලොවක (කෝටි 41,015) ගෙවිය යුතු බදු සමාගම් විසින් ගෙවීම පැහැර හැර තිබෙන බව හෙළිකර තිබේ.
2020 වසරේ සමාගම් විසින් ගෙවිය යුතු බදු රුපියල් කෝටි දසදහස් පන්සියයක් (බිලියන 10.5) ගෙවීම පැහැර හැර තිබේ. මෙය කෝප් කමිටුව විසින් අනාවරණය කරගනු ලැබුවකි. ඒ අනුව 2015-2020 අතර අවුරුදු හය තුළ පමණක් ගෙවීම පැහැර හරින ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි පනස්දහසකට අධිකය.එනම් රුපියල් බිලියන 500 කට අධික ගනනකි.
එමෙන්ම රජය විසින් ගන්නා ඇතැම් ප්‍රතිපත්ති තීරණ නිසාද පසුගිය වසර දෙක තුළදී බදු ආදායම් බිලියන සිය ගනනක් අහිමි කරගෙන තිබේ. විශේෂයෙන්ම ඩොලර් හිඟය පියවා ගැනීමට වාහන ඇතුලු ආනයනයන් රැසක් තහනම් කිරීමට ගත් පියවර රාජ්‍ය ආදායම් අඩු කිරීමට හේතු විය. වාහන ආනයනය නිසා 2018 දී රුපියල් බිලියන 202 ක් ද, 2019 වසරේදී රුපියල් බිලියන 130 ක බදු අදායමක් ශ්‍රී ලංකා රේගුව වාර්ථා කර තිබිණි. එය 2020 දී බිලියන 44 ට අඩු වී 2021 වන විට එය නැත්තටම නැති විය.
පසුගියදා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා රාජ්‍ය ආදායම් අහිමි වූයේ ගෝඨාභය පාලන සමයේ දී බදු අඩු කිරීම නිසා නොව වාහන ආනයනය තහනම් කිරීම නිසා බවට පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේදී ප්‍රකාශ කළද එය සත්‍ය තත්වයම නොවන බව පැහැදිලිය.බදු අඩු කිරීම නිසා එම වසර දෙක තුළ රුපියල් බිලියන 1200 කට ආසන්න ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම් අහිමි විය.
රාජ්‍ය ආදායම් අහිමි කරගැනීම ගැන ඒ මොහොතේ බලයේ සිටින දේශපාලන කණ්ඩායම විසින් පමණක් වග කිවයුතු දෙයක් ලෙස ලඝු කළ නොහැක. මන්ද ආණ්ඩුව කුමණ තීන්දුවක් තීරණයක් ගත්තද වැරද්ද නිවැරදි කිරීමේ හෝ ඊට විකල්ප පෙන්වා දීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් සතු වගකීමකි. වත්මන් මහ බැංකු අධිපතිවරයා පසුගිය පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ මේ ඉතා තදින් අවධාරණය කරනු ලැබීය. එහිදී පසුගිය අවුරුදු දෙක තුළදී රටේ ආර්ථිකය හැසිරවීම ගැන විවේචනාත්මකව කතා කළ ඔහු රට අද මේ තත්වයට ඇද වැටීම ගැන එවකට සිටි නිලධාරීන්ට සෘජුවම චෝදනා කරනු ලැබීය.
කොහොම නමුත් මේ රට මේ තරම් බංකොළොත් තැනකට ඇද වැටීම සම්බන්ධයෙන් පාලක පංතිය සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ද එක ලෙසම වග කිව යුතුවේ. මේ දෙපිරිසගේම වගකීම වන්නේ රාජ්‍යයට අවංකව සේවය කිරීමය. මේ රටේ පුරවැසියාට අගතියක් නොවෙන්න ඔවුන්ව රැක බලාගැනීමය. රාජ්‍යය විසින් ඔවුන්ට වැටුප් දීමනා ආදිය ගෙවන්නේ ඒ වෙනුවෙනි. එම සේවය අවංකව සිදු නොවීම අද ජනතාව මුහුණ දෙන පීඩනයට හේතුව වී තිබේ.
මේ රටේ තමන්ගේ බඩගෝස්තරය ගැන පමණක් හිතන මුග්ධ මජර දේශපාලකයන් සිටියද සාමාන්‍යයෙන් දේශපාලකයා තීන්දු ගන්නේ ජනතාවගේ පැත්තේ සිටය. ජනතාවගේ වුවමණා එපාකම් අනුවය. ඒ තීන්දු රජයට හානියක් නොවෙන්න ක්‍රියාත්මක කළ හැකිද නොහැකිද නැතිනම් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග තිබේද ආදිය ගැන තීන්දු ගැනීම රාජ්‍ය නිලධාරියාගේ වගකීමකි. මේ අනුව දේශපාලකයා කවරක් කළත් රාජ්‍ය නිලධාරීන් අවංකව රාජ්‍යට පක්ෂපාතිව සේවය නොකිරීම රාජ්‍යයක් බංකොලොත් වීමට ප්‍රමාණවත් බව පැහැදිලි කාරණයකි.
බොහෝ රාජ්‍ය නිලධාරීන් දූෂණයට, වංචාවට, නාස්තිකාර කටයුතු වලට හුරු වීම මෙන්ම අකාර්යක්ෂමතාවය ප්‍රතිපත්තියක් කරගන්නා තැනකට පත්වීම නිසා රජයට ලැබිය යුතු ආදායම් අහිමි වීම පැහැදිලි අතර එමෙන්ම තවත් බරපතල ගැටළුවක් වන්නේ අති විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කිරීමට සිදුවීමත් මෙරට බංකොලොත් වීම කෙරෙහි වැඩි මනත් දායක වී ඇති බවය. රජයේ සංඛ්‍යා ලේඛන අනුවත් පෙන්වා දෙන සත්‍යයකි.
සාමාන්‍යයෙන් රාජ්‍ය බදු ආදායමෙන් සියයට 50- 60 ක් අතර ප්‍රමාණයක් රාජ්‍ය සේවක නඩත්තුව සඳහා අවැය වේ. පසුගිය 2021 වසරේ රාජ්‍ය බදු ආදයම් බිලියන 600 කින් පමණ අඩු වීම තුල එම වසරේ රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් එම බදු ආදායමෙන් සියයට 86 ක් පමණ වැය කිරීමට සිදුව තිබේ. මෙම රාජ්‍ය සේවක වැටුප් අතරට ආරක්ෂක අංශ වැටුප්ද ඇතුළත් වන අතර ඒ වැටුප් වෙනුවෙන් සමස්ථ රාජ්‍ය සේවක වැටුප් වියදමෙන් සියයට 50 ක පමණ වැය කිරීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපෙක්ෂව මෙරට රාජ්‍ය සේවය වුවමණාවට වඩා කිහිප ගුණයකින්ම විශාලය.මේ රටේ රජයේ අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩ කරන සමස්ථ ජනතාව සංඛ්‍යාත්මකව ලක්ෂ 80 ක පමණ වන විට ඉන් ලක්ෂ 15 ක් පමණ රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයන් වෙයි. එනම් සියයට 18 ක් පමණය. ජපානය කොරීයාව වැනි රාජ්‍යයක මෙය සියයට 8 කි. රටේ ජනගහනය අනුව මෙය තවත් කුඩා ප්‍රතිශතයක් ගනී.
ඩෙන්මාර්කය, නොර්වේ වැනි රාජ්‍යයන්හි මෙය සියයට 35 ක තරම් ඉහළ අගයක තිබුණද එම රාජ්‍යයන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වෙනුවෙන් දරණ රාජ්‍ය මැදිහත් වීම තුළ එම ඉහළ අගය ලැබී තිබේ. රාජ්‍ය සේවය සඳහා වන මානව සම්පත කොපමණද කියා තීරණය විය යුත්තෙ ඒ රාජ්‍යයේ අරමුණු සහ හැකියාව අනුවය.
එහෙත් මෙරට සිදුව ඇත්තේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට පත් වන මැති ඇමැතිවරුන් තමන්ගේ ඡන්ද පදනම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය සේවයට තොග වශයෙන් පිරිස් ඇතුලත් කිරීමය. අද රාජ්‍ය සේවක අතිරික්තයක් ඇතිව තිබේ. අද උපාධිධරයන් පවා රාජ්‍ය සේවයම ඉල්ලන තැනට පත්ව තිබෙන්නේ ඒ පුරුද්ද නිසාය. එහෙත් උපාධිධරයන් බහුතරයක් පාවා රාජ්‍ය සේවයේ සිටින්නේ කරන්න වැඩක් නැති නිකමුන් හැටියටය.
1990 දී රාජ්‍ය සේවක ප්‍රමාණය ලක්ෂ 6.5 පමණක් වූවද වසර 30 කට පසුව එමෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. එහෙත් ඉන් රාජ්‍යයට හෝ රාජ්‍ය සේවයට සිදුව තිබෙන ප්‍රයෝජනය දෙගුණ වී තිබේද?
අතිවිශාල අතිරික්ත සේවක සංඛ්‍යාවක් නඩත්තු කරමින් රාජය ආයතන පාඩු ලබමින් දශක ගනනාවක් තිස්සේ පවත්වගෙන යන රාජ්‍ය සේවය මුලු මනින්ම වෙනස් කරගැනීමට දැන්වත් සමත් නොවුණහොත් හෙට දවසේදීත් අද මුහුණ දෙන අර්බුදය එසේම පවතිනු ඇත.
එසේම මේ අධික රාජ්‍ය සේවක ප්‍රශ්නය සමඟ බැඳුනු අනෙක් කරුණ වන්නේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති විසින් ගොඩ නගාගෙන තිබෙන අධිකාරිත්වයයි. වෘත්තීය අයිතිවාසිකම් වලින් ඔබ්බට ගොස් තමන්ගේ පටු වුවමණාවන් සහ දේශපාලන පාක්ෂික බාවයන් මත නිරන්තරයෙන් වැඩ වරමින් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් කරන නාඩගමද දැන් රටට දරන්න අපහසුව තිබේ.
පසුගියදා විදුලි බල පනතට ගෙන ආ සංශෝධනයකට එරෙහිව රටේම විදුලි බලය විසන්ඳි කොට ඒ පනත් සංශෝධනය වැලැක්වීමට මේ විදුලි ඉන්ජිනේරු වෘත්ති සමිති ක්‍රියාත්මක කරන්නට සැලසුම් කළ ක්‍රියාමාර්ගය සිදු වූවා නම් අද රට අද වටෙන තැන සිතා ගැනීමටවත් නොහැකි වෙනු ඇත. ජනතාවගෙන් බරපතල විරෝධයක් එල්ල නොවෙන්න මේ මාෆියාව අද ජයගෙනය.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ ජඩ අරමුණ වූයේ ඩීසල් බලාගාර වලින් වැඩි මිළට ඩීසල් ලබා ගැනීම තුළ මේ විදුලි බල මණ්ඩල ඉන්ජිනේරු ප්‍රධානින්ට ලැබෙන කොමිස් මුදල් අහිමි වීමේ ගැටලුවය. මීට පෙරත් මේ විදුලි ඉන්ජිනේරු මාෆියාව අඩු වියදමකින් මෙරටට විදුලිය සැපයීමට ඇති අවස්ථා රැසක් අහිමි කර තිබේ. පුනර්ජනනිය විදුලි උත්පාදනයට පියවර ගන්න සෑම විටම ඊට එරෙහිව කටයුතු කර තිබේ.
කොටින්ම සූර්ය පැනල බාවිතා කරමින් ගෘහස්ත මට්ටමින් විදුලිය නිපදවීමේ වැඩ පිළිවෙලට දිගින් දිගටම මේ මාෆියාව එරෙහිව කටයුතු කරමින් තිබේ. අදටත් ගෘහස්ථ සූර්ය පැනල වලට අවසර නොදී එම ඉල්ලුම්කරුවන් දහස් ගනනකට ඒ අවස්ථාවත් ලබා නොදී තිබේ.
විදුලි බල මණ්ඩලය ලංකාවේ පාඩු ලබන ප්‍රධානම ආයතන කිහිපය තුළ ඇත්තේ මේ ඉන්ජිනේරුවන් රටට වගවන තරම අනුවය. ආයතනය පාඩු පිට පාඩු ලැබුවත් ලක්ෂ ගනනින් වැටුප් දීමනා ලබමින් ඒවා වසරින් වසර වැඩිකර ගනිමින් කොමිස් ජාවාරම් වල යෙදෙමින් මේ අය සේවය කරන්නේ රටට ද? මේ රාජ්‍ය වෘත්තීය සමිති මාෆියාවට එක උදාහරණයක් පමණි.
දොස්තරලා වැඩ වරන්නේ රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට අරගනිමිනි. ගුරුවරු දරුවන්ගේ අනාගතය සමඟ සෙල්ලම් කරයි. රේගුවට වරායට රටේ අපනයන ආනයන ආර්ථිකය මොහොතකින් නැවැත්විය හැකිය. මේ වෘත්තීය සමිති මාෆියාවේ අතීත කෙරුවාවල් පරීක්ෂා කළහොත් මේ අය කරපු තරමක් වැඩ වර්ජනය කර ඇත්තේ තමතමන්ගේ පටු වුවමණාවන් වෙනුවෙන් බව වටහාගත හැක.
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ වරමින් සටන් කරපු ඉතිහාසයක් මොවුන්ට නැත. මේවා රටට එරෙහි ත්‍රස්තවාදී ව්‍යාපාර වර්ගයක් ලෙස හැඳින්වූවත් වැරැදි නැත. එතරම්ම අනතුරුදායක සංවිධානයන්ය. රාජ්‍ය සේවයෙහි අධික පිරිස් බලය නිසා මේවායේ ශක්තියද වුවමණාවට වඩා වැඩිය. මොවුන්ගේ සාධාරණ වෘත්තීය ඉල්ලීමක් හෝ ඉටු කිරීමත් රජයට වඩා වැඩි බරක් දැරීමට වීමටත් එය හේතුවී තිබේ.
මෙරට රාජ්‍ය අයතන පාඩු ලැබීම ගැන රාජ්‍ය සේවයේ අවුල් සහගත බව පැහැදිලි කිරීමට තවත් ඔ්නෑ තරම් කරුණු කාරණා තිබේ. ඒ සියල්ලම විසින් පැහැදිලි කරනු ලබන්නේ මේ රට බංකොලොත් වීම කෙරෙහි මේ රාජ්‍ය සේවය කොතරම් දුරට දායක වී ඇති බවය.
මේ තත්වයන් වහා වෙනස් කළ යුතු වීම හදිසි අනිවාර්ය කටයුත්තක් ලෙස නොගෙන මඟ හැරීමට දැන් නොහැකිය.
-the novemberist