මෙම තත්වයට ලෝකය පත් වූයේ ලෝක ආර්ථිකයේ තරගකාරිත්වය මත සිදුවූ වියවුල් කාරිත්වයය. අද ලොව පුරා මිනිසුන් විසින් වගා කරනු ලබන වැදගත් ආහාරමය භෝග බොහොමයක් වෙනුවෙන් තිබෙන තරඟකාරිත්වය වැඩිවෙමින් පවති. පෙර යුගවල අතිරික්ත නිශ්පාදනයක් තිබුණද එය වෙනත් නිශ්පාදන කර්මාන්ත සඳහා යොමු කිරීමට පියවර ගැනිනි.
ගෝලීය වෙළෙඳපොළ තුළ ජෛව ඉන්ධන සෑදීම; පශු ආහාර, හයිඩ්‍රජනීකෘත තෙල් සහ පිෂ්ඨය වැනි සැකසුම් අමුද්‍රව්‍ය බවට භෝග පරිවර්තනය කිරීම සහ මුදල් ගෙවා ඒවා ලබා ගත හැකි රටවලට ඒවා විකිණීම මෙම තරඟකාරී භාවිතයන් අතරවේ. ඒ තත්වයන් හමුවේ වැඩි ලාභය වෙනුවෙන් භෝග අධි නිශ්පාදන තත්වයක් ඇතිවිය. මේ තත්වයන් මත සිදුවන්නේ ඒවා සෘජුවම මිනිසුන් පෝෂණය කිරීම වෙනුවට වඩ වඩා වෙනත් භාවිතයන් සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගැනීම සිදුවෙමින් තිබේ.
මෑතක ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ ප්‍රධාන භෝග 10 ක ගෝලීය අස්වැන්නෙන් 1960 ගණන්වල 51% ක් පමණ ඒවා නිෂ්පාදනය කරන ලද රටවලම ආහාර ලෙස සෘජුවම පරිභෝජනය කළ හැකිවූ අතර එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2030 දී 29% ක් පමණ වීමට ඉඩ ඇති බවයි. මෙම ප්‍රවණතාවය හේතුවෙන් ලොව ඉහළම තිරසාර සංවර්ධන ඉලක්කයක් වන ‘2030 වන විට කුසගින්න නිමා කිරීම’ සාක්ෂාත් කර ගැනීමට අපහසු බව ද පර්යේෂකයෝ පෙන්වා දෙතිති.
මෙහි ප්‍රතිඵලය වන්නේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් බිත්තර,මස් සහ කිරි නිෂ්පාදනයට යොමුවීමය. එහෙත් නිශ්පාදන වියදම් ඉහළ යෑම මත මේ ආහාර අනුභවයට ගනු ලැබීමේ වැඩි අවස්ථා හිමිවන්නේ සාමාන්‍යයෙන් දරිද්‍රතාවයෙන් ,මන්දපෝෂණයෙන් පෙළෙන අයට වඩා මධ්‍යම සහ ඉහළ ආදායම්ලාභීන්ටය. දුප්පත් රටවල ජනතාවගේ ආහාර වේල සමන්විත වන්නේ සහල්, ඉරිඟු, පාන් සහ එළවළු තෙල් ආදී ප්‍රධාන(staple) ආහාර වලින් නමුත් ලෝක ආහාර අවශ්‍යතාවයේ තරමට මේ බෝග ඒ වෙනුවෙන් ලැබෙන්නේ නැත. අද ලෝකයම ආහාර අර්බුදයකට ලක්වීම කෙරෙහි මේ තත්වය බරපතල ලෙස බලපා තිබේ.
පර්යේෂකයන්ගෙ අවධානය යොමු කෙරුණු ප්‍රධාන භෝගවන්නේ – බාර්ලි, සහල්,තිරිඟු, මඤ්ඤොක්කා, බඩ ඉරිඟු , කටු පොල්(oil palm), රැප්සීඩ් (කැනෝලා), ඉදල් ඉරිඟු, සෝයා බෝංචි සහ උක් ය.
මෙම මූලික භෝග 10යේ අස්වනුවලින් ලැබෙන කැලරි (ආහාර ශක්තිය මනින ඒකකය) ප්‍රමාණය සැලකූවිට එයින් 70% ක් ම කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ට කෙලින්ම පෝෂණය කිරීම වෙනුවට වෙනත් භාවිතයන් සඳහා යවනු ඇති බව පර්යේෂකයන් ගණනය කර ඇත. වෙනත් නිශ්පාදන සඳහා භෝග සැකසීමෙන් ඉඩම් ඒකකයකට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ගනනය කළ විට ආහාරයට ගන්නා භෝග මෙන් දෙගුණයක් වේ.
දුප්පතුන් හැරදා ධනවතුන්ට සේවය කිරීම
මෙම බරපතල වෙනස්කම් පෙන්නුම් කරන්නේ කෘෂිකර්මය සහ කෘෂි ව්‍යාපාර ගෝලීය මධ්‍යම පන්තියේ වර්ධනයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද සහ කොතැනද යන්නය. ආදායම වැඩි වන විට, මිනිස්සු වැඩිපුර සත්ව නිෂ්පාදන සහ (පහසුව දනවන) සැකසූ ආහාර ඉල්ලා සිටිති. එපමණක් ද නොව ශාක පදනම් වූ අමුද්‍රව්‍ය අඩංගු කාර්මික නිෂ්පාදන ද භාවිතා කරයි ජෛව ඉන්ධන, ජෛව ප්ලාස්ටික් සහ ඖෂධ ඔවුහු වැඩි වැඩියෙන් භාවිතයට පෙළඹෙති.
උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ වගා කරන බඩ ඉරිඟු වලින් ජනයා නැවුම්, ශීත කළ හෝ ටින් කළ ආහාර ලෙස අනුභවයට ගන්නා ‘sweet corn’ ලෙස ප්‍රචලිත වර්ගය වෙනුවෙන් මෙම අස්වැන්නේ යොදා ගන්නේ 1% ක් පමණ සුළු ප්‍රමාණයකි. ඉතිරි වැඩිකොටම සත්ව ආහාර සහ වෙළඳපොල වෙත නිපදවෙන ක්ෂේත්‍ර බඩ ඉරිඟු වන අතර එය ජෛව ඉන්ධන, සත්ව ආහාර සහ ආහාර ආකලන(food additives) නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ.
අපනයනය, සැකසීම සහ කාර්මික භාවිතය සඳහා වගා කරන ඉහත දැක්වුණු ප්‍රධාන භෝග 10 විශේෂයෙන් අභිජනනය කළ, වැඩි අස්වැන්න සහිත, දියුණු කරන ලද ප්‍රභේද වේ.
මෙම භෝග, කෙළින්ම ආහාරයට ගන්නා භෝගවලට වඩා සෑම භූමි ඒකකයකට වැඩි කැලරි ප්‍රමාණයක් නිපදවන අතර එම පරතරය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයන් විසින් ගණනය කරණු ලැබුවේ, කෙළින්ම ආහාර පරිභෝජනය සඳහා වගා කෙරෙන භෝගවලින් නිපදවනවාට වඩා කාර්මික භාවිතයට ගන්නා භෝග දෙගුණයක් කැලරි ලබා දෙන අතර ඒවායේ අස්වැන්න 2.5 ගුණයකින් වේගයෙන් වැඩි වන බවයි. අඩුම අස්වැන්නක් ලැබෙන්නේ කෙළින්ම ආහාර පරිභෝජනය සඳහා අස්වැන්න ගන්නා භෝගවලින්ය.
මේ දත්තයන් අනුව ලෝක ආහාර අර්බුදය විසඳා ගැනීම ගැන අදහසක් ගත හැකිය.එහෙත් ආහාර භෝග යොදා ගනිමින් සිදුකෙරෙන වෙනත් නිශ්පාදන නොකෙරේ නම් අද ලෝකයේ ආහාර හිඟතාව අවම කර ගත හැකි නමුත් ගැටලුව විසැදෙන්නේ නැත.මන්ද ලෝක ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට නම් තවත් වගා බිම් වැඩිකිරීමට සිදුවන බව ගනනය කර ඇති බැවිනි.
ආහාර අනාරක්ෂිත භාවයේ තවත් බොහෝ මානයන් ඇති අතර, ආහාර නිෂ්පාදනය වැඩි කිරීම පමණක් ආහාර ලැබීම, භාවිතය සහ ස්ථාවරත්වය සහතික නොකරයි. ආහාර නිශ්පාදනය සඳහා වැඩි වැඩියෙන් ඉඩම් යොදා ගැනීම ගැඹුරු පාරිසරික හා දේශගුණික බලපෑම් ඇති කිරීමේ අනතුරද තිබේ.මෙවැනි ගැටළුකාරිත්වයන්ද විසඳා ගැනීමට සිදුවෙනු ඇත.
ලංකාවේ ආහාර අර්බුදය
කෙසේ නමුත් පර්යේෂකයන්ගේ විශ්ලේෂණයට අනුව, රටවල් 48 ක් ඔවුන්ගේ ජනගහනය පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ දේශසීමා තුළ ප්‍රමාණවත් අයුරින් ආහාර (ප්‍රමාණවත් කැලරි ) නිෂ්පාදනය නොකෙරේ. මෙම රටවල් බොහොමයක් පිහිටා ඇත්තේ උප සහරා අප්‍රිකාවේය, එම රටවල් අතරට ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය වැනි ආසියාතික රටවල් ද හයිටි වැනි කැරිබියන් රටවල් ද ඇතුළත් ය. අවාසනාවකට මේ වන විට ශ්‍රී ලංකාව ද මේ කාණ්ඩයට ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකාව ද අද වන විට මන්දපෝෂණයෙන් පෙළෙන රටක් බවට පත්වෙමින් තිබේ.
මෙරට රසායනික පොහොර සහ පළිබෝධ නාශක තහනම් කර කාබනික පොහොර බාවිතයට බලකිරීම වත්මන් ආහාර අර්බුදයට ආසන්නතම හේතුව විය. ප්‍රධාන වගාව වූ වී වගාව පසුගිය කන්න දෙකෙහිම අසාර්ථක වී අවශ්‍ය අස්වනු ප්‍රමාණය ලැබිය නොහැකි විය. ඉදිරි කන්න දෙක තුනමත් අසාර්ථක වීමට නියමිතය.
පසුගිය කොඩිඩ් 19 වසංගත තත්වය නිසා ලෝක ආහාර නිශ්පාදනය අඩාල වීමද වර්තමානයේ ධාන්‍ය ආහාර වැඩි වශයෙන් නිපදවන යුක්‍රේනය යුද්ධයක පැටලීම නිසාත් ලෝක ධාන්‍ය ආහාර මිළ වැඩිවීමට බලපා තිබේ. මේ නිසා විශේෂයෙන්ම තිරුඟු පිටි ආනයනයට වැඩි පිරිවැයක් දැරීමට සිදු විය.
මේ ආහාර අර්බුදයෙන් මීදීම මේ වන විට ශ්‍රී ලංකාවට අභියෝගයක්ව පවති. විදේශ විනිමය නොමැති තත්වය තුළ ඒ ආනයනය කිරීමේ හැකියාවන්ද අහෝසි වී ඇති අතර වෙනත් රාජ්‍යයකින් ලැබෙන ණය ආධාර ලෙස සහල් , තිරිඟු , පරිප්පු වැනි ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට සිදුව තිබේ.
මේ වන විට සෑම බිම අඟලකම වගා කළ යුතු බවට මතයක් සහ ඒ වෙනුවෙන් යම් යම් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබුණද මේවායේ සාර්ථකත්වයන් අවිනිශ්චිතය. විශේෂයෙන්ම පොහොර සහ පළිබෝධ නාශක නොමැති තත්වය සෘජුවම මේ කෙරෙහි බලපා ඇත.
එසේම රටේ ජනතාව අතුරෙන් බොහොමයක් මන්දපෝෂණයෙන් පෙළෙන රටවල ආහාර භෝගවල ඵලදායිතාව වැඩි කිරීම පිණිස විද්‍යාඥයන් සහ කෘෂිකාර්මික විශේෂඥයන් කටයුතු කරමින් ඇති එනමුත් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ප්‍රමාණවත් නැත. මේ නිසා නිශ්පාදන වියදම් ඉහළ යෑම තුළ අධි මිළකට ආහාර පාරිභෝජනය කිරීමේ හැකියාවද බහුතර ජනතාවගෙන් ඈත් වී ඇත.
මේ නිසා ශ්‍රී ලංකාව වැනි මන්දපෝෂණයෙන් පෙළෙන රටවල ඇතිව තිබෙන ආහාර අර්බුදයන් විසැඳීමට තව තවත් ආහාර බෝග වගා කිරීමට ධනවත් ජාතීන්ට ඒත්තු ගැන්වීම සහ එම අතිරේක නිමැවුම මෙම රටවලට යොමු කිරීම පිණිස ක්‍රමවේදයක් ලෝක මට්ටමින් ඇතිවිය යුතුව තිබේ. එහෙත් එය මේ අර්බුදයට ස්ථිර විසඳුම නොවේ. මෙය කෙටිකාලීන විසඳුමක් වනු ඇත.
මෙම අධ්‍යයනයට සම්බන්ධ පර්යේෂකයින් විශ්වාස කරන්නේ ආහාර අතින් අනාරක්ෂිත රටවල ආහාර ලෙස සෘජුවම භාවිතා කරන ආහාර බෝග වැඩියෙන් වගා කිරීම සහ ඒවායේ අස්වැන්න වැඩි කිරීම පුළුල් ඉලක්කය විය යුතු බවයි. අද ලංකාව තුළ යළි වගා සංග්‍රාමයන් ඇරැඹීම ගැන වැඩි වශයෙන් සාකච්ඡා වුණද ඒවායේ අරමුණ සෘජුවම භාවිතා කරන ආහාර බෝග වගාව ගැන යොමු විය යුතුය. කුඹුරුවල වී වෙනුවට මෙරට සත්ව ආහාර සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා බඩ ඉරිගු වැවීම, සීනි නිශ්පාදනය වෙනුවට එතනෝල් නිශ්පාදනයට උක් වගාව යොමු කිරීම, එළවළු වැවිය හැකි සාරවත් පසක් තිබෙන තැන් වල දුම්කොළ වැවීම වැනි දේ ගැන නැවත සිතා බැලිය යුතුව තිබේ.
ඒ කොහොම නමුත් මේ මොහොතේ ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් ලෝක මට්ටමින් යොමු නොකරන්නේ නම්, කුසගින්න තුරන් කිරීම හුදෙක් දුරස්ථ ඉලක්කයක්ම පමණක් වනු ඇත.
- SJ