සමූහ දූෂණයට ලක් වී ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා ඇතැම් රටවල් දැනටමත් නීතිමය අවසරය දී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත.
සමූහ දූෂණයට හෝ දූෂණයට ලක්ව දැරියන්ට හෝ කාන්තාවන්ට උපදින දරුවන් යම් යම් කොන්දේසිවලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවක් ඇති විය යුතු අතරම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවද සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කර තිබේ.
වත්මන් ශ‍්‍රී ලාංකික සමාජය සලකා බැලීමේදී ළමා අපචාරවල වර්ධනයක් සිදු වෙමින් පවතින බව නොරහසකි. ස්ත‍්‍රී දූෂණ සහ ළමා අපචාර නිරන්තරයෙන්ම පුවත් මවන බරපතළ සමාජ පිළිලයක් බවට ක‍්‍රමයෙන් පත්වෙමින් පවතී.
වත්මන් සමාජය තුළ වැඩි වශයෙන්ම වාර්තා වන්නේ කායික අපයෝජන සහ ලිංගික අපයෝජනයි. එයිනුත් ලිංගික අපයෝජනය දිනෙන් දින ඉහළ යන උවදුරක් බවට අද වන විට පත්ව තිබේ. මෑතකදී මුලතිව් ප‍්‍රදේශයේ මියගිය 12 හැවිරිදි දියණියගේ පුවත මෙයට හොඳම උදාහරණයකි. අද වන විට සමාජය තුළ දරුවන් පත්ව ඇත්තේ අතිශයින්ම අවධානම් වූ ද අනාරක්ෂිත තත්ත්වයකටය. තමන්ගේම පියාගෙන්, සහෝදරයාගෙන්, ඥාතීන් අතින් දූෂණයට පත් වීමට තරම් අද සමාජය පිරිහීමකට පත් වී හමාරය. ළමා අයිතිවාසිකම් හුදෙක් යම් යම් පනත්වලට පමණක් සීමා වී තිබීම ශෝකයට කරුණකි. එසේ මියගිය මුලතිව් දැරියගේ පුවත හරහා නැවතත් කරළියට පැමිණි මාතෘකාව වූයේ ගබ්සාවයි. දැරිය මියයන්නේ මාස දෙකක ගැබක් නීතිවිරෝධී ලෙස ගබ්සා කිරීමට යෑමෙන් ඇති වූ අධික රුධිර වහනය නිසාවෙනි. ඉතින් ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් වෙනුවෙන් හෝ ලංකාවේ පවතින ගබ්සා නීතිය තරමක් දුරට ලිහිල් වූයේ නම් එම දැරියගේ අනාගතය අද වන විට සුරක්ෂිත නොවන්නේද? ලංකාවේ දරු පරපුර වෙනුවෙන් හෝ එවැනි නීති යාවත්කලීන කළ යුතු නොවේද ?
ලංකාවේ නීත්‍යානුකූල නොවන ගබ්සාවන් සඳහා සාමාන්‍යයෙන් වැඩි වශයෙන්ම යොමු වී ඇත්තේ අවිවාහක තරුණියන්, විවාහක මැද පෙරදිග රටවල සේවයේ නියතු කාන්තාවන්, අපේක්ෂා නොකළ දරු පිළිසිඳ ගැනීමට ලක් වූ විවාහක කාන්තාවන්, උපත් පාලන ක‍්‍රමයන්ගේ අසාර්ථක වීම් නිසා ගැබ් ගැනීමට ලක් වූ කාන්තාවන්, දූෂණයට ලක් වූ දැරියන්/ කාන්තාවන්, අසාමාන්‍ය කලල සහිත ගැබිනි මව්වරුන් යන කොට්ඨාසයන් වේ. නමුත් ලංකාව තුළ දැනට නීත්‍යානුකූල ගබ්සාවකට ලක් විය හැක්කේ මවගේ ජීවිතයට කායික හෝ මානසික ලෙස එම දරු උපතෙන්/ ගැබෙන් හානියක් පවතී නම් පමණි. එවැනි අවස්ථාවක රජයේ රෝහලක පිලිගත් වෛද්‍ය වරයෙක් හරහා සිදුවන ගබ්සාව නීත්‍යානුකූල ලෙස පිලිගැනේ. නමුත් අන් සියලූ අවස්ථාවලදීම ගබ්සාව සාපරාධී ක‍්‍රියාවක් ලෙස හඳුන්වනු ලබයි.
ඒ අනුව ගබ්සාව තව දුරටත් අපරාධයක් ලෙස නොසලකා එය තවත් එක් සෞඛ්‍ය ගැටලූවක් ලෙස පමණක් දැකිය යුතුය.අනෙක් සෑම සෞඛ්‍ය ක‍්‍රමවේදයක් මෙන්ම ගබ්සාව ද නිසි පාලනයක් සහ වෘත්තීය ප‍්‍රමිතියක් සහිතව සිදු විය යුත්තකි. ලොව අන් රටවල් සලකා බැලීමේදී එම රටවල් කිහිපයකම වර්තමානයේ ගබ්සාව පිළිබඳව යම් ලිහිල් නීති පද්ධතියක් අනුගමනය කරනු ලබයි. කැනඩාව, එක්සත් ජනපදය වැනි රටවල ගබ්සාව සාමාන්‍ය සෞඛ්‍ය සේවයේම එක් කොටසකි. ඉන්දියාව තුළ ගැබට සති 20 කට පෙර ගබ්සා කිරීම නිත්‍යානුකූල ලෙස සිදු කළ හැකිය. බංග්ලාදේශය තුළ සති 10 කට පෙර නීත්‍යානුකූල ගබ්සාවකට මවට භාජනය වීමේ හැකියාවක් පවතියි.
ඉතින් දරු උපතක් බලාපොරොත්තු නොවන තවත් දරුවෙක්ට/ කාන්තාවකට පවතින නීතිය යටතේ පමණක් දරුවෙක්ට උපත දී රැුකබලා ගැනීමට සිදු වීම කෙතරම් දුරට සාධාරණද ? එතුළින් ඒ මව මෙන්ම උපදින දරුවා ද ලක් විය හැකි බලපෑම මොනතරම් සුවිශාලද? එසේම දූෂණයට ලක් වූ දරුවෙක්ට/ කාන්තාවකට ගබ්සාවකට අවශ්‍ය සුරක්ෂිත සෞඛ්‍ය පහසුකම් ලබා දී එම දරුවාගේ හෝ කාන්තාවගේ අනාගතය බේරා ගැනීම කොතරම් නම් වර්තමානය හා උචිතද ? ඉතින් මේ මානව ශිෂ්ඨාචාරයේ තීරණාත්මක සාධකය දරුවා බව අප කවුරුත් තරයේ සිහි තබාගත යුතුමය.
ඊයේ දිනට දී තිබුණ කාන්තා දිනය වෙනුවෙන් සෑම රූපවාහිනී මාධ්‍යකම ,මුද්‍රිත මාධ්‍යකම ,සමාජ මාධ්‍යයකම අපට අසන්නට දකින්නට ලැබුණේ කාන්තාව අභිමානවත්ව වර්ණනා කර තිබු අයුරුය..එහෙත් අවුරුද්දේ එක් දවසකට පමණක් ඇයගේ අභිමානය ගැන කතා නොකොට මෙරට ජිවත්වන සෑම කාන්තාවකටම නිදහසේ ජිවත් විය හැකි පරිසරයක් තැනීම ,ඇයට සමාජයෙන් හිමිවිය යුතු සැබෑම යුතුකම් වලට දොරගුළු විවර කිරීම විය යුතුය...ඒ නිසාම මෙතෙක් කළක් මෙරට නිහඩ මාතෘකාවක් බවට පත්ව තිබු ගබ්සාව පිලිබදව වත්මන්අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හඩ අවදි කිරීම පැසසුමට ලක් විය යුතුය..එය මෙරට සිදු කළ යුතුම ඉතා වැදගත් නීති සංශෝධනයක් වනු ඇත.
-පංචාලි