දැන්ම පාරට බහිමුද ? තවත් ඉවසමුද ? Featured

Saturday, 12 March 2022 13:02

මෙරට සමස්ත පුරවැසියාම මේ වන විට ඉන්නේ බරපතල පීඩනයක බව සැඟවිය යුතු නැත. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් භාණ්ඩ වල හිඟ තත්වය සහ මිළ ඉහළ යාම තවදුරටත් දරාගෙන සිටීමට නොහැකි තරමට වී තිබේ. බඩු මිල ඉහළ යන විට ආණ්ඩුවට දෝෂාරෝපණ පැමිණීම සාමාන්‍ය දෙයකි. තමන්ගේ ආදායමෙන් එදිනෙදා වැඩ කටයුතුවත් කරගෙන යාමට නොහැකි වූ විට ආණ්ඩුවට දෙස්දොවෝල් තැබීම පුරවැසියාගේ පැත්තෙන් සාධාරණය.

වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය බලයට පැමිණ කෙටි කලකින්ම පුරවැසියාට මුහුණ පෑමට සිදුවූ කරදර වලත් කෙලවරක් තිබුණේ නැත. සතියෙන් සතිය අලුත් ගැටළු නිර්මාණය වෙමින් පුරවැසියාවම පීඩාවට පත් කළේය. මේ පීඩාකාරී තත්වයන්ගෙන් තවකාලිකව හෝ පුරවැසියා මුදවා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පැත්තේ කළ කී දේවල් හී සාර්ථකත්වයන් හෝ දකින්නට නොලැබිණි. ඊයෙ පෙරේදා රුපියලට සාපෙක්ෂව ඩොලරයේ වටිනාකම ස්වභාවික ලෙස පාවෙනට ඉඩ හැරීමට ගත් තීරණයත් සමඟ මෙරට ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස බඩු මිල සීග්‍රයෙන් ඉහළ යැමට පටන් ගෙන තිබිණි.

මේ සමඟ මේ වන විට සමාජ මාධයන්හී නැගෙන අදෝනා විලාප මැද ඇතැමුන් යෝජනා කරමින් සිටින්නෙ දැන්වත් පාරට බහිමුද ? කියන යෝජනාවය. එනම් මේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගහමුය, ආණ්ඩුව පන්නා දමමුය කියන දැඩි බලපෑමය. මේ තරමක් නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ මෙතරම් ගැටලු කාරිත්වයන්ට පුරවැසියා මුහුණ දෙමින් තිබුණත් වත්මන් ආණ්ඩුව පන්නා දැමීමට පු‍රවැසියාගේ සූදානමක් නොතිබීම මත මේ ඉල්ලීම ඉදිරිපත් වෙන බවය. විශේෂයෙන්ම විපක්ෂ ක්‍රියාකාරිත්වයන් සමඟ බද්ධ කොටස් විසින් මේ මතය ප්‍රචාරය කරමින් තිබේ. එහෙත් විපක්ෂ දේශපාලන පකෂ වල හෝ එවැනි ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් ගන්නා විධිමත් වැඩ පිළිවෙලක් දකින්නට නොලැබේ. කොටින්ම මේ දිනවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල මන්ද බුද්ධිකභාවය හැර වෙන කිසිවක් දකින්නට තිබුණේත් නැත.

කෙසේ හෝ මේ සමස්තයම යම් නිශ්ක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කරමින් තිබෙන බව පැහැදිලිය. පාරට බහිමු කියා කරන යෝජනා කිසිවකුත් ගන්න ගන්නේ නැත. පුරවැසියා තව දුරටත් ඉවසා වදාරා සිටියි. විපක්ෂයට වැඩ පිළිවෙලවල් සැලසුම් හෝ අරමුණු ඉලක්ක හෝ නැති බවත් පැහැදිලිවම පෙනෙයි. මෙවැනි සමාජ ආර්ථික ගැටලු වෙනයම් රටක ඇතිවූවානම් මිනිස්සු දහස් ගනනින් ලක්ෂ ගනනින් පාරට බැස උද්ඝෝෂණය කරන අවස්ථා මෑත ඉතිහාසයෙ කොතෙකුත් දකින්නට ලැබිණි. ඒ නිසාම ආණ්ඩු ඉල්ලා අස්වී ගියේය. පසුගිය යහපාලන යුගයේදී එවකට විපක්ෂ ක්‍රියාකාරිත්වය වඩාත් ප්‍රබලව පැවැතීම මත ආණ්ඩු කෙරුවාව එදා පාලකයන්ට පහසු වූයේ නැත. අවසානයේ ඒ ආණ්ඩුව කුජිත ලෙස පරාජයට පත් කිරීමට තරම් එදා විපක්ෂය මෙන්ම ඒ විපක්ෂය අනුව කටයුතු කළ පුරවැසියාට හැකි විය. ඒත් ඒ එදා මෙතරම් උග්‍ර ගැටලු පැන නොනැගි තත්වයන් හමුවේය.

අද මෙ මොහොත වන විටත් විපක්ෂය අඩපණ වී තිබෙන්නෙත් පුරවැසියා නිශ්ක්‍රීයව සිටින්නෙත් ඇයිද යන්න විමසා බැලිය යුතුය. මෙට පළමු හේතුව පැවැති යහපාලනය ජනතාවට තිත්ත වී තිබිමය. නැවත ආණ්ඩු පෙරළියක් සිදුවනවා කියන්නේම මේ කූජිත යහපාලකයන්ම නැවත බලයට පත්වීමය. එයට බහුතර පුරවැසියා එකඟ නැත. මෙතරම් ගැටලු සහගත තත්වයකට මැදිව සිටියත් පැවැති යහපාලනය මෙයිට වඩා හොඳයි කියා කිසිවකුත් වැරදීමකින්වත් කියන්නෙ නැත්තේ ඒ නිසාය.

දෙවන කාරණාව රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි බහුතර පුරවැසියා තබා තිබෙන විශ්වාසයය. ගෝඨා මේක කොයි මොහොතක හෝ ගොඩදාන බවට පවතින විශ්වාසය මත පුරවැසියා ඒ දෙස අපේක්ෂා සහගතව තවදුරටත් සිටියි. මේ සියල්ලට වඩා වැදගත් දේ එය නොවේ. එනම් වත්මනේ රට මුහුණ දෙමින් තිබෙන ගැටළුකාරිත්වයට හේතුව කුමකද යන්න ගැන පුරවැසියාට තිබෙන අවබෝධයය.

වත්මන් පාලනය බිහිවන්නෙ රට ආර්ථිකමය වශයෙන් බරපතල කඩා වැටීමකට මුහුණ දෙමින් තිබියදීය. එසේම රටේ පුරවැසියාගේ ආරක්ෂාව බිංදුවටම වැටී කොයි මොහොතක හෝ තමන්ගේ ජීවිත විනාශ විය හැකි බව පාස්කු ප්‍රහා‍රයෙන් පසුව පුරවැසියා දැන ගෙන සිටියේය. අන්තවාදීට ත්‍රස්තවාදීන්ට හිතේ හැටියට රට තුල ක්‍රියාත්මක වන්නට ඉඩ කඩ සලසා තිබුණු තත්වයන් තුළ පුරවැසියා සිටියේ බියකිනි.

බියෙන් ජීවත් වීම යනු බඩගින්න දරාගෙන සිටිනවාට වඩා අමාරු දෙයකි. යහපාලනය පෙරලා දැමිමට මූලිකම හේතුව වූයේ මේ බියය. අද එහෙම බිය වන්නට කරුණු කාරණා නැති බව තහවුරු කර තිබේ.

ආර්ථික ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැඩපිළිවල අමුතු දෙයක් නොවේ. එය දශක ගනනාවක් තිස්සෙ මෙරට විද්වතුන් වෘත්තිකයන් උගතුන් බුද්ධිමතුන් නිරන්තරයෙන් ඉල්ලා සිටි වැඩ පිළිවෙලකි. දේශීය නිශ්පාදන ආර්ථකය ගොඩනංවා රට සංවර්ධනය කරා ගෙන යා යුතු බව ඔවුන්ගේ ඉල්ලීම විය. අදටත් සියලු දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති වල මේ කාරණය අඩු වැඩි වශයෙන් අඩංගුය. එහෙත් ජනතාව පිළිගත්තේ ගෝඨාභය ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙලය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ යන චරිතය විසින් ඒ වන විටත් ඔප්පු කර තිබු නායකත්වයේ ගුණයය. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ත්‍රස්ථවාදීන්ගේ තිස් වසරක යුද්ධයක් තීරණාත්මකව පරාජය කිරීම සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස ඔහු නගර සැලසුම් කරණයෙහි පෑ හපන් කම් නිසාත් ඔහු කෙලින් තීරණ ගන්න, කෙලින් වැඩ කරන, කිසිවකට පසු නොබසින අධිෂ්ඨානශිලී පුද්ගලයකු නිසාය.

මේ ගෝඨාභය රාජ්‍ය පාලනය අතට ගත්තේ පු‍ටු රත්කර කර, තනතුරු වල වරපසාද වල සැප විඳින්නට නොවේ. ඔහුට රට ගොඩනැගීම වෙනුවෙන් අවංක වුවමනාවක් තිබේ. ඒ බව ඔහු හැමදාම පෙන්වා තිබෙන ඇත්තකි. එය විපක්ෂ කොටස් පවා දන්නා ඇත්තකි. එහෙත් ඔහු හෝ පුරවැසියා හෝ බලාපොරොත්තු නොවු ලෙස පැමිණි බාධක නිසා තත්වයන් යම් තරමකට වෙනස් විය. එය රටේ අවසනාවකටද ගෝඨාභය ජනාධිපතිවරයාගේ අවාසනාවකටද කියා අප නොදනිමු.

මෙම බාධක මොනවාද කියා අමුතුවෙන් කිව යුතු නැත. බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබුණු රටට කොවිඩ් වසංගත තත්වයන් හමුවේ සිදුවූ ප්‍රහාරය තිස් වසරක යුද්ධ හමුවේවත් සිදු වූයේ නැත. ඇහැට පෙනෙන සතුරකු පාලනය කිරීම පහසු වූවත් වෛරසයක් එහෙම නැත. එමෙන්ම මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වූයේද නැත. මෙය ගෝලිය ප්‍රශ්නයකි. වසංගතය විසින් ගෝලීයව ඇතිකළ බලපෑමට ද මෙ රට ගොදුරු විය. එම තත්වයන් ආණ්ඩුවකට පාලනය කළ හැකි දේ නොවේ. අපට කළ හැකිව තිබුණේ ඇති විය හැකි බලපෑමෙන් වන හානිය අවම කර ගැනීමට උත්සහ කිරීම පමණි. එහෙත් ඒ වන විටත් බංකොලොත් ආර්ථිකයක්ව තිබූ රට මේ තරමින් හෝ බේරාගැනීමට හැකි වීම අශ්චර්යයක් කීවාට වැරදි නැත.

අද රටේ ප්‍රධාන ආරථික ගැටළුව බවට පත්ව තිබෙන්නෙ විදේශ විනිමය හිඟ වීම නිස සමස්ථ ආර්ථික පද්ධතියම අඩපණ වීමෙ ගැටළුවය. එයින් රට මුදා ගැනීම වෙනුවෙන් පියවරයන් ගනනාවක් ආණ්ඩුව ගත්ත ද හිතූ තරමට සාර්ථක වූයේ නැත. විශේෂයෙන්ම අද ගෝලීයව තිබෙන අර්බුදවල බලපෑම එන්න එන්නම දරණු තිබේ. විශේෂයෙන්ම යුක්‍රේන - රුසියා යුද්ධය නිසා තව දුරටත් බරපතල ප්‍රතිවිපාක වලට ලෝකයටම මුහුණ දීමට සිදුව් තිබේ. ශ්‍රී ලංකාව යුද්ධට සම්බන්ධ නොමැති වූවත් ලැබෙන අයහපත් ප්‍රතිවිපාක බාර ගැනීමට සිදුවේ.

මෙම තත්වයන් ගැන යළි යළිත් ටොකු ඇණ ඇණ මෙරට පුරවැසියන්ට කියා දිය යුතු නැත. පුරවැසියාට ඒ ගැන මනා අවබෝධයක් තිබේ. දැන් පාරට බහිමුය... ආණ්ඩුව පෙරළමුය.. කියා විපක්ෂ පාර්ශ්ව කොතෙකුත් කෑ ගැසුවද පුරවැසියා වගේ වගක් නැතිව ඒ ඉවසා දරා සිටින්නේ ඇත්ත කරුණු කාරණා ගැන තිබෙන අවබෝධය නිසාය.

එසේම යළිත් යහපාලකයන් බලයට පත්කර තමන්ගේ ජීවිත දැන දැනම විනාශ කර ගන්නට පුරවැසියා සූදානම් නැත. බඩගෝස්තරය ගැන හිතමින් මෝඩ තීන්දු තීරණ ගන්න අද පුරවැසියා සූදානම් නැත.

පවතින අමාරුකම් තාවකාලිකය. මේ වන විට රට නිවැරදි මාර්ගයකට යොමු කරමින් අනාගතය උදෙසා වැදගත් තීන්දු තීරණ රැසක් ක්‍රියාවට නගමින් ඇත්ත සංවර්ධනය කරා රට ගෙන යෑම වෙනුවෙන් සියලු වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මකව තිබේ. ගෝලීය වශයෙන් මුහුණ පෑමට තිබෙන අර්බුද හමුවේ වී තිබෙන පසුබෑම නුදුරු මොහොතක ඒ සමතයට පත් වනු ඇත. එවිට රට නියම පාරට වැටෙනු ඇත. වත්මන් ආණ්ඩුව මෙන්ම පුරවැසියත් අපේක්ෂා සහගතව මේ අමාරුකම් විඳදරාගෙන් සිටින්නෙ එතෙක්ය. එය මොහොත අනිවාර්යෙන්ම එළඹෙනු ඇත. මන්ද මේ සියල්ල තාවකාලික ගැටළු වන නිසාය.

ඒ අනුව යම් නුදුරු දිනයක පුරවැසියන් පාරට බසින්න ඉඩ තිබේ. ඒ සංවර්ධිත නිදහස් ලංකාවක සුවය විඳින්නටය. ඒ එක්කම පාරට බහිමුය කියමින් සිටින විපක්ෂ කොටස් වලටත් මේ සිහිබුද්ධියක් තිබෙන පුරවැසියා පිටුපසින් පැමිණිය හැකිය.

 

- The Novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us