ඒ අමෙරිකන් ඩොලර් 130ක් ලෙසිනි. ප්‍රතිශතයක් ලෙස සලකන්නේ නම් සියයට දහයකි. යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර සම්බාධක පැනවීම මධ්‍යයේ තෙල් බැරලයක් ඩොලර් 300ක් දක්වා ඉහළ යනු ඇතැයි පසුගිය 08 වැනිදා රුසියාවේ බලශක්ති කටයුතු අධීක්‍ෂණය කරන නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් අනතුරු ඇඟවීය.
රුසියාව ලෝකයේ තුන් වැනි විශාලතම තෙල් නිෂ්පාදකයාය. යුරෝපයේ ගෑස් ඉල්ලුමෙන් සියයට හතළිහක් පමණ සපයන්නේ ද රුසියාවය. අනපේක්ෂිත මිල ඉහළ යෑම පිළිබඳ අදහස් දක්වන ලෝ ප්‍රකට ආයෝජන උපදේශක සමාගමක් වන Again Capital LLC හි ආරම්භක හවුල්කරුවකු වන ජෝන් කිල්ඩෆ් පවසන්නේ, රුසියන් තෙල් සහ නිෂ්පාදන සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමේ අපේක්ෂාව මත ඉන්ධන මිල අපේක්ෂා නොකළ අයුරින් වැඩි වෙමින් පවතින බවය.
ලෝකයේ පවතින මේ පරිසරය හමුවේ ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් සෘජු බලපෑමක් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. අසල්වැසි ඉන්දියාවේ මධ්‍යම හා ප්‍රාන්ත රජය අය කෙරෙන බදු පෙට්‍රල් සඳහා සියයට 58කින් ද, ඩීසල් සඳහා සියයට 52කින් ද ඉහළ දමමින් ඉන්ධන අර්බුදයට මුහුණ දෙමින් සිටියි. ලෝකයේ ඛනිජ තෙල් වැඩියෙන්ම භාවිත කරන රටවල් අතුරින් තෙවැනි ස්ථානය හිමි වන්නේ ඉන්දියාවටයි. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යෑම අපේ රටටත් වඩා දැඩිව බලපාන්නේ ඉන්දියාවටය. මේ අතර වසර තුනක් පුරා මුහුණ දුන් කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු බොහෝ රාජ්‍යයන් 2021ආරම්භයේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේය. ඊට හේතු වූයේ සෞඛ්‍යය සඳහා අනපේක්ෂිතව විශාල වියදමක් දැරීමට සිදු වීමය.
එසේම ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හමුවේ අප වැනි කුඩා රටකට ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීම අතිශය දුෂ්කර කාර්යයකි. ඒ අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුවත් අඛණ්ඩව ලබා දෙන ජනතා සහන හේතුවෙන් ලබමින් සිටින පාඩුව දෙගුණ තෙගුණ වීම පමණක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණ තත්ත්වයකි.
කෙසේ වුවද ඉන්ධන මිල ශ්‍රී ලංකාවේ පමණක් නොව, මුළු ලෝකය තුළම විශේෂයෙන්ම ඉන්ධන නිෂ්පාදනය නොකරන සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය ආර්ථික හා දේශපාලන අර්බුදයකි. අපේ රට කාලීන වශයෙන් මුහුණදී ඇති වර්තමාන අර්බුදය වන්නේ වසර පහකට පෙර තිබූ තත්ත්වයට වඩා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබීම හා මේ වන විට රුපියල අවප්‍රමණය වීමෙන් තෙල් ආනයන වියදම ද ඉහළ ගොස් තිබීමය. තවත් අතකින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට රජයට අවශ්‍ය වියදම් දැරීමට වීම හා බදු ආදායම අඩු වීමෙන් මහා භාණ්ඩාගාරයට වන බලපෑමද ඇත. කොවිඩ් වසංගතය පාලනය කිරීම සහ ජනතාවට එම වකවානුව තුළ ලබා දුන් සහන ද මෙහිදී අමතක කළ නොහැකිය.
මෙරට ඉන්ධන මිල ගණන් වැඩිවීම පාලනය කිරීම සඳහා පසුගිය රජය මිල සූත්‍රයක් හඳුන්වා දී තිබිණි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් උච්චාවචනය වීමේදී එයට සාපේක්‍ෂව මිල ගණන් සංශෝධනය කිරීම මෙහි අරමුණක් වී පැවති නමුත්, මිල සූත්‍රය පිළිබඳ විවේචන පැවතිණි. ඊට හේතු වූයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමක් සිදු නොවීම නිසා මිල සූත්‍රය ගැළපීමේදී මිල ගණන් දිගින් දිගටම ඉහළ යෑමයි. මේ තත්ත්වය තුළ තව දුරටත් මිල සූත්‍රය ප්‍රායෝගික නොවන බව පෙනේ.
ඒ අනුව පෙනීයන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම තුළ මොන යම් හෝ ආණ්ඩුවකට දීර්ඝ කාලීනව තෙල් මිල ගණන් පාලනය කළ නොහැකි බව පෙනී යන සත්‍යයයි. 2015 - 2019 දක්වා ආණ්ඩු කාලය තුළදී තෙල් මිල විසි දෙවතාවක් සංශෝධනය කරන්නේ මේ හේතුවෙනි. එසේ නම් ඛනිජ තෙල් මිල තව දුරටත් දේශපාලනීකරණය නොකර ආර්ථික අර්බුදයක් සේ සලකා කඩිනම් විසඳුම් සෙවීමට සියලු පාර්ශ්වයන් සහයෝගය දිය යුතු කාලය දැන් පැමිණ ඇත.
-පංචාලි