තව දුරටත් රට හදන්න අපට දෙන්නැයි කියන ඉල්ලීම දේශපාලන කණ්ඩායම් වලින් ඉදිරිපත් වෙමින් තිබේ. මොකද තවම ඒ රට හැදී නැති බැවිණි. මේ තවම නිකම් දූපතකි.
හැත්තැ තුන් වසරකට ආසන්න කාලයක් මුළුල්ලෙ හැමදාම අහන්න ලැබෙන මේ රට හදන්න අපට දෙන්නය කියන ඉල්ලීම තව කොපමණ කලක් අසන්නට ජනතාවට සිදුවේවිද යන්න දැන් කිව නොහැක.
කොහොම නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට එම පාර්ශ්වයේ ප්‍රබල සටන් පාඨයක් වූයේ රට හදන්න තිබෙන අන්තිම අවස්ථාව මේ බවත් එය සිදු කළ හැක්කේ ගොඨාභයට පමණක් බවත්ය. එම නිසා ඔහුව බලයට පත්කරන ලෙස කළ ඉල්ලීමය.
ඒ හේතුව මත හෝ වෙනත් හේතු මත හෝ ගෝඨාභය ජනාධිපතිවරණය ජය ගත්තේය. දැන් රට හැදීමේ වගකීම ඔහු සහ පසුව පැවැත්වුණු මහ මැතිවරණයෙන් තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමිකර ගත් එම පාර්ශ්වයේම ආණ්ඩුව සතුව පවතියි.
මේ අනුව ඔවුන්ට ලබා දුන් පාලන කාලය තුළදී සිදුවන්නෙ කුමක්ද එහි වගකීම ඔවුන් සතුවෙයි. වත්මනෙහි සිදුවෙමින් පවතින්නෙ කුමක්ද එහි වගකිම ඔවුන් සතුවෙයි..
අපි නෙවෙයි මේවා කළේ මේවා කලින් හිටපු අයගේ වැරදිය කියා පැත්තකට විය නොහැක.
රට හදන්නම් කියා බාරගත්තා නම් රට මුහුණ දී තිබෙන සියලු අර්බුද විසැදීමේ වගකීම ඔවුන් බාර ගැනීමකි. කොටින්ම අර්බුදය තමන්ගේ කරගැනීමකි. දැන් එය මඟ හැර යෑමට කිසිදු හේතුවක් යොදා ගත නොහැක.
මේ තත්වයන් හමුවේ අද රට මුහුණ දෙමින් තිබෙන අර්බුදකාරීත්වය විසඳා දීම ආණ්ඩුව කළ යුතුය. එහෙත් මේ වගවීම නිසි ලෙස ඉටු වෙනවාද කියන ගැටළුව මතුව තිබේ. මෙයට බොරු ගොඩක් අස්සේ සාධාරණ හේතු ද තිබිය හැකිය.
විශේෂයෙන්ම කොරොනා වසංගත තත්වය හමුවේ මුහුණ දුන් අභියෝගයට අමතරව වත්මන් පාලනය විසින් ක්‍රියාවට නැගීමට අපේක්ෂා කළ ආර්ථික ක්‍රමවේදයෙහි අසමත් බව පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් තිබේ.
ආර්ථික මූලෝපායයන් මුල් අදියරේම අසමත් වීම සමඟ වසංගතය විසින් එල්ල කළ ප්‍රහාරය දරාගත නොහැකිව හතරගාතෙන් ඇද වැටුණා කීවොත් නිවැරදිය.
එහෙත් ආපසු නැගිටීමට ගත් උත්සාහයන්ද තවමත් සාර්ථක වී නැත.
අර්බුදයන් පැටවු ගසමින් ඉදිරියට ඇදෙමින් පවතී. මේ අර්බූද හමුවේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වයන් විසින් යළි බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ගෙන ගිය ක්‍රියා මාර්ග නිසා ආණ්ඩුවට මුහුණ දීමට අමතර සටන් පෙරමුණක්ද නිර්මාණය විය. ඒ හමුවේත් ආණ්ඩුව තවදුරටත් ව්‍යාකූල විය.
විපක්ෂයේ පාර්ශ්වික දේශපාලනය වැරදි නැත. දේශපාලනය කියන්නෙ බලය අත්පත් කරගැනීම සහ ඒ රැකගැනීම ගැන නරුම සෙල්ලමකි. එහි නීති රීති සෙල්ලම කරන්නන් විසින් සකසා ගනු ලබන්නක් වන නිසා බලය සඳහා කරන සටනේ දේශපාලන සදාචාරයන් විනිශ්චය කිරීමත් එක අතකින් අදේශපාලනික භාවිතයකි.
නමුත් ආණ්ඩුව බලය සහිත කණ්ඩායමට එහෙම දේශපාලනය කළ නොහැක. සදාචාර විනිශ්චයක් මත සිට ආණ්ඩු කෙරුවාව නොකළහොත් තමන්ට රැකෙන්න තිබෙන අවස්ථාව අහිමිකරගැනීම ඉක්මනින් සිදු වෙනු ඇත.
කෙතරම් බලවත් ආණ්ඩුවක් වුව විපක්ෂ හඬට, ජනතා හඬට කණ්දීමට සිදුවීම මේ ප්‍රජාතන්ත්‍රවාදය නම් සදාචාරාත්මක ආණ්ඩු කරණයේ දී අත්‍යවශ්‍ය වෙයි.
කොහොම වෙතත් අද අණ්ඩුව වෙතින් වන අසමත් කම්, පරාජයන් හමුවේ විපක්ෂ මතයට නැතිනම් ජනතා මතයට කණ්දීමට ආණ්ඩුවේ ඇති සූදානම් පෙන්වා ඇත.
පසුගිය කාලය පුරා කරන්න බැරිනම් දාලා යන්න කියන සාම්ප්‍රදායික සටන් පාඨය විපක්ෂ පාර්ශ්ව වලින් ඇසුණු නමුත්..ජනතාව පෙරළා ප්‍රශ්න කළේ තමන් මුහුණ දෙන අර්බුදයට විපක්ෂය සතුව ඇති විසඳුම කුමක්ද යන්නය.
ජනතාව පක්ෂ දේශපාලනයට වඩා ඉදිරියෙන් සිටිමේ අවස්ථා මෙරට ඉතිහාසයේ මිට පෙර දකින්නට නොලැබුණු තරම්ය. එහෙත් අද ජනතාව තමන්ගේ දේශපාලනයක් තිබෙන බව වටහාගනිමින් තිබීම රටක් විදිහට ඉතා හොඳ ප්‍රවණතාවයකි. මෙම ප්‍රශ්න කිරීම් හමුවේ විපක්ෂය අර්බුදයකට යෑම සිදුවිය.
කොහොම නමුත් විපක්ෂයේ බහුතරයක් ඉදිරිපත් කරන තමන්ගේ විසඳුම් ගැන පැහැදිලිතාවයක් කිසිවකුට නැත. අඩු තරමින් මේ අර්බුදයේ තරම වටහාගෙන තිබේද යන්නවත් පැහැදිලි නැත.
ඒ අතර තමන්ගේ පරිණතකම සහ දේශපාලනඥයකු ලෙස රටට ඇති වගවීම පෙන්වමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ සෘජුවම ඔහුගේ ස්ථිරසාර විසැඳුම් ඉදිරිපත් කිරීමට සමත්වීම කැපී පෙනුන තත්වයක්ද විය.
සජබයෙන් ජාජබයෙන් සහ තවත් පාර්ශ්වවලින් ඉදිරිපත්වූ විසැඳුම්ය කියන කතන්දර වල තිබුණේ පරණ සුපුරුදු වචනාලංකාරක පමණය. ඇතැම් ඒවා විහිළු සහගතය.
මෙම අර්බුදවලට තමන් සතුව විසඳුම් තිබුණත් එය තනිව කළ හැක්කක් නොවන බවත් අර්බුද විසැඳීමට ජාතික එකඟතාවයක් අවශ්‍ය බවත් රනිල් මීට පෙර යෝජනා කර තිබිණි.
ශ්‍රිලනිපය සර්ව පාක්ෂික සමුලුවක් යෝජනා කළේය. සජබයේ චම්පික රණවකද කලින් කීවේ සියලු දෙනාගේ එකතුවකින් මෙම ප්‍රශ්නය ජය ගත යුතු බවය.
ජාතික එකඟතාවයකින්, සියලු දෙනාගේ එකමුතුවකින් මෙම අර්බුද විසඳා ගැනිමේ පළමු පියවරක් ලෙස ශ්‍රී ලනීප යෝජනාව අනුව දැන් සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයා කැඳවා තිබේ. සජබය ජාජබය සහ තවත් පක්ෂ කිහිපයක් ඒ වර්ජනය කිරීමට කටයුතු කර තිබේ. එය ඔවුන්ගේ දේශපාලන තීන්දුවක් අනුවය.
මේ මොහොතේ වඩා වැදගත් වන්නේ රටේ පාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් දේශපාලන සටනක යෙදීම විනා රට අරාජිකත්වයට තල්ලුවීම වැලැක්වීමේ වැඩ පිළිවෙලකට නොයාම බව ඔවුන්ගේ තීරණය වී ඇති බවට සැක නැත.
කොහොම නමුත් මේ සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙතැන පටු දේශපාලනයක් නැති බවත් මේ අර්බුදය ජය ගැනීම වෙනුවෙන් අවංක වුවමණාවෙන් මේ සමුළුව කැඳවූ බවය.
අඩුම තරමින් රටේ අර්බූද හමුවේ තමන් වෙත පැහැදිලි විසඳුම් නැති බව වත් ජනාධිපතිවරයා පිළිගැනීම මෙම මොහොතේ වැදගත් කරුණකි. එසේ නොවන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමේ වුවමණාවක් තිබිය නොහැක.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද මෙහිදී අවධාරණය කළේ මෙතැනට දේශපාලනය ඇද නොගත යුතු බවය. පවතින අර්බුදයන්ලෙන් ගැලවීමේ මාර්ගය සොයා ගැනීම පමණක් මෙහි අරමුණ විය යුතු බවය. සුපුරුදු ලෙසම ඔහු ඔහුගේ මුලික විසඳුම් ඉදිරිපත් කිරීමටද කටයුතු කෙරිණි.
දැන් ආණ්ඩුවට මෙහිදී ඉදිරිපත්වන විසඳුම් යෝජනා ගැන එකඟතාවයකට පැමිණ වර්තමානයෙහි රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ඒමේ සැලස්මකට පැමිණිය හැකිය.
එහෙත් මේ වෙනුවෙන් අවංක කැප කිරීමක්, අවංක චේතනාවක් ආණ්ඩු පාර්ශ්වයට තිබෙන බව පෙන්වීම අතිශය වැදගත්ය. එසේ නොමැතිව මෙය ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ගහන තවත් වටවංගුවක් බවට සෙසු පාර්ශ්ව වලට ඒත්තු ගියහොත් එහි ප්‍රතිවිපාක දරුණු විය හැකිය.
මෙම සමුළුව ජනතාව තමන් කෙරේ තැබු විශ්වාසයන් යළි ගොඩනාඟා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට ලැබී තිබෙන ස්වර්ණමය දේශපාලනික අවස්ථාවක් බව අමතක නොකළ යුතුය. ඉන් ප්‍රයෝජනය ගැනීමට බුද්ධිමත් විය යුතුය. පාරාජයේදී අඩියක් පස්සට ගැනීමට ලැජ්ජා විය යුතු නැත.
මී ළඟට සර්ව පාක්ෂික සමුළුව මඟ හැර මේ රට හදන්න පුලුවන් තමන්ට පමණයි කියා කල්පනා කරන සජබය ජාජබය සහ අනෙක් කණ්ඩායම් වලට මේ මොහොතේ කියන්න සිදු වන්නේ තමන් අත්හැර ගත්තේ තමන්ට තිබුණු ස්වර්ණමය දේශපාලන අවස්ථාවක් බවය.
රට අර්බුදයකට යමින් තිබෙන අවස්ථාවේ ඒ වලක්වාලනවාට වඩා ඒ මතින් බලය අත්පත් කරගැනීමට මාන බැලීම රටේ ජනතාවගේ පැත්තෙන් බැලූ විට ඒ ජනතාවට කරන ද්‍රෝහීකමකි.
ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නියමිත කාලය පැමිණෙන්න තව වසර කිහිපයක් තිබේ. එමෙන්ම එදාට ආණ්ඩුව පෙරළිය හැකිද යන්න අවිනිශ්චිතය. එය අනාගතයේදී ජනතාව ගන්නා තීරණයකි.
එතෙක් ජනතාව මුහුණ දෙන පීඩාවක් තිබේ නම් එය තව දුරටත් තිව්ර කරමින්..ඒ පීඩාකාරිත්වයන් ජනතාව මත පැටවීම මෙම දේශපාලන පක්ෂවල අභිප්‍රායවී තිබෙන බවත් පැහැදිලිය.
අවම වශයෙන් රට මේ මොහොතේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය විසැඳීමට තමන් සතුව පිළිගත හැකි විසඳුමක් තිබෙන බවවත් රට හමුවේ ඉදිරිපත් කිරීමට තරම් හෝ හැකියාවක් මේ කණ්ඩායම් විසින් පෙන්වා තිබුණා නම් මේ මොහොතේ ඔවුන් කරන දේශපාලනයට යම් අනුමැතියක් ගත හැකිව තිබිණි. එහෙත් එහෙම තත්වයක්ද නැත.
විසැඳුම් තිබුණා නම් සර්ව පාක්ෂික සමුළුව මඟ හැරීම නොවියයුත්තක් විය යුතුව තිබිණි. මේ තත්වයන් මත විපක්ෂයේ මේ දේශපාලන සදාචාරයන් විනිශ්චය කිරීම අදේශපාලනික භාවිතයක් වුවත් ජනතාවට ඒ භාවිතාව පාවිච්චි කළ හැක.
ප්‍රසිද්ධ උදාහරණයක් මතක් කරනවා නම් දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟ බලයට පත්වූ බ්‍රිතාන්‍යයේ නව අගමැති වින්සන්ට් චර්චිල් විරුද්ධ පක්ෂයේ නායකයා වූ ක්ලෙමන්ට් ඇට්ලි උප අගමැතිකරගෙන සභාග ආණ්ඩුවක් පිහිටුවා යුද්ධය අවසන් වෙන තෙක් ඊට මුහුණ දුන් ආකාරය ගැන සොයා බැලිය හැකියි.
ජනප්‍රිය නොවුණු පුද්ගලයකු වූ ක්ලෙමන්ට් ඇට්ලි එදා රට ගැන සිතා ගත් තීන්දුවේ ප්‍රතිපලය වූයේ යුද්ධයෙන් පසු පැවැත්වූ මහමැතිවරණයෙන් මහා රණ විරුවකු ලෙස උත්කර්ෂයට නංවා සිටි අතිශය ජනප්‍රිය චර්චිල්ව පරදවා දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීමය.
මෙරටින්ම තවත් උදාහරණයක් ගන්නේ නම් 71 කැරැල්ල සමයේදී ඒ මර්දනය කිරීමට අගමැති සිරිමාවෝට, විරුද්ධ පක්ෂ නායකයා වූ ජේ. ආර්. කොන්දේසි විරහිතව ඊට සහය විය. ඒ රට අරාජික වීම වැලැක්වීම වෙනුවෙනි.
හෙට දවසේ දේශපාලන වේදීකාවලට, හදන්න රටක් ගැන කියවන්න හෝ මේ දූපත ඉතුරුකර ගැනීමට අවශ්‍ය නිසා හෝ මේ භුමියත් එහි ජීවත්වන්නවුන්වත් බේරගන්න වී තිබෙන්නේ මේ අවස්ථාවාදී, වගකීම විරහිත විපක්ෂයෙන් කිව්වාට වැරැදි නැත. මේ ගෙවෙන මොහොත මට පෙනෙන්නේ එසේය.
සුභාෂ් ජයවර්ධන
නිදහස් මාධ්‍යවේදී
theleader.lk