ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබා 73 වසරක් ගෙවී ගිය ඉතිහාසය තුළ මොන තරම් අර්බුධ මතු වූවද රට නොවැටී, අරාජික නොවී තබා ගැනීමට හැකිව තිබිණි. අඩුම තරමින් රට වෙනුවෙන් විදේශීය මිතුරන්ගේ හෝ සහය ලැබිණි. කොහොම නමුත් රාජ්‍ය පාලකයන්ගේගේ හැකියාවන් හෝ ජනතාවගේ හැකියාවන් හෝ වෙනයම් වාසනා මහිමයක් නිසා හෝ රට සුරක්ෂිත විය.
එහෙත් 2022 වසරට අප පා තබන්නේ යම් කිසි අද්භූත බලවේගයක් විසින් හෝ අපව සුරක්ෂිත කරනු ඇතැයි හෝ අපේක්ෂාවන්ද අපෙන් දුරස් කරමිනි.
රටේ ආර්ථිකය ඉතිහාසයේ දරුණුතම ආගාධයකට වැටී තිබේ. ජාත්‍යන්තර වශයෙන් හෝ අපේ මිතුරු පාර්ශ්වයන්ගේ ලැබෙන සහයන් පවා අවිනිශ්චිතව තිබේ. පාලකයාත් පුරවැසියාත් සිටින්නේ දැවැන්ත පීඩනයකට ගොදුරුවය. බඩු මිල ප්‍රශ්නය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ කොවිඩ් තත්වයන් විසින් පුරවැසියා උපන් බිමේ අනාතයන් කර ඇත. රජය, රාජ්‍ය ආදායම් සහ විදේශ විනිමය අර්බුදයක් මත සිරවී සිටී. රටේ නිශ්පාදන වැඩි දියුණු කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට බරපතල බාධාවන් එල්ල කර ඇත. කවර අර්බුද පැමිණුනත් පුරවැසියා කුසගින්නේ නොතබා තැබීමේ වගකීම රජය සතුව තිබුණත් රජය මුහුණ දෙමින් සිටින අර්බුද හමුවේ ඒ වගකීම රජයෙන් මඟ හැරෙයිදෝ කියන අවිනිශ්චිතතාවයද මේ වන විට ඇතිව තිබේ.
රාජ්‍ය පාලනයට මේ මොහොතේ උරදී සිටින ආණ්ඩු පක්ෂයට රාජ්‍යය බංකොළොත් නොකර, අරාජික නොකර පවත්වාගෙන යෑමේ වගකීම පැවැරී තිබුණත් ඒ සඳහා වන දැවැන්ත ජනවරම සහ ස්ථිර සාර අධි බලයක් තිබුණත් ආණ්ඩුව පාර්ශ්වයේ කටයුතු තුළින් පෙනෙන්නේ වැනෙන සුළු තත්වයකි. මෙම තත්වයන් හමුවේ ආණ්ඩුව අසමත් බව පුරවැසියාට විශ්වාස කිරීමට තරම් හේතු නිර්මාණය වී තිබේ. එසේම මේ තත්වයන් හමුවේ විපක්ෂ කණ්ඩායම් වෙතින් කෙරෙන දේශපාලනික අභියෝග වලට මුහුණ දීම ද මේ වන විට අසීරුව තිබෙන බවත් පෙනෙන්නට තිබේ. එම පීඩනය හමුවේ ආණ්ඩුව නිසි දැක්මක්, ඉලක්කයක්, වැඩ පිළිවෙලක් ඇතිව කටයුතු කිරීමෙ හැකියාව මොට කරගෙන තිබෙන බවත් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේම නියෝජිතයන් විටින් විට කරන පරස්පර ප්‍රකාශයන් සහ ඔවුනොවුන් අතර වන ගැටුම්කාරිත්වයන් ඊට සාක්ෂි සපයයි. මෙවැනි තවත් කරුණු බොහොමයක් නිසා 2022 වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක වසර වීම නොවැලැක්විය හැකිය.
ආර්ථික අර්බුදයන් විසින් ජනිත කරන සාමාජීය අර්බුද සහ දේශපාලනික අර්බුද විසින් රට කවර දිසාවකට ගෙන යනු ඇතිද යන්න දැන්ම අනාවැකි පැවැසිය නොහැක. නමුත් හෙට දවස අදට වඩා බරපතල අසීරුතාවයන්ගෙන් සහ ගැටුම් කාරීත්වයන්ගෙන් ගහන වෙනු ඇති බව නිසැකවම පැවැසිය හැකිය.
ආණ්ඩුව තමන්ට මුහුණ දීමට සිදුව තිබෙන විදේශ විනිමය අර්බුදය ගැන කරමින් සහ කියමින් සිටින දේ ගැන ඇත්තේද සැකයකි. පසුගිය සතිය වන විට ඩොලර් බිලියන 1.6 වැටී තිබුණු විදේශ සංචිත ප්‍රමාණය හිටි හැටියේ 3.1 දක්වා වැඩි වූ බව මහ බැංකුව ප්‍රකාශට පත් කළත් තතු දත් ඇතැමුන් පෙන්වා දෙන්නේ එය මෙරට ජනතාව නොමඟ යැවීමට කළ අසත්‍යයක් බවය.
කෙසේ නමුත් එම වැඩි වීම සිදු කෙරුණේ කෙසේද යන්න ගැන මේ වන තෙක් මහ බැංකුව වෙතින් හෝ රජයේ වෙනයම් පාර්ශ්වයකින් හෝ නිල ප්‍රකාශයක් කර නොමැත. මාධ්‍ය වාර්තාවන් හී එය චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 ක් නැතිනම් ඩොලර් බිලියන 1.5 නිසා විදේශ සංචිත වැඩි වූ බවට වාර්තා පළ වූවද මහ බැංකු අධිපතිවරයාගේ හෝ මහ බැංකු නිවේදනය තුළ එවැන්නක් සඳහන් වූයේද නැත. තතු දත් ආරංචි මාර්ග පවසා සිටියේ මෙම චීන යුවාන් බිලියන 10 පසුගිය වසරේ මාර්තු මාසයේදීත් මහ බැංකුවට ලැබී තිබුණක් බවත් එම හුවාමාරු මුදල පෙර සිටි මහ බැංකු අධිපතිවරයා විසින් චීනය සමඟ සාකච්ඡා කර ලබාගත්තක් බවත්ය.
එහෙත් එම මුදල පසුගිය සතිය වන තුරුත් මෙරට විදේශ සංචිත වලට එකතු කිරීමක් සිදු කර නොමැත. ඒ එම යුවාන්, ඩොලර් බවට පරිවර්තනය කිරීමට නොහැකි සහ චිනයෙන් ආනයන භාණ්ඩ හෝ චීන ණයක් ගෙවීමට මිසක් වෙනයම් කිසිදු කටයුත්තක් සඳහා යොදාගැනීමට නොහැකි බවට චීනය විසින් තහංචි දමා තිබීම නිසාය. හිටි හැටියේ විදෙස් සංචිත ඉහළ දැමුනේ මේ වෙන වැඩක් ගත නොහැකි යුවාන් බිලියන 10ක ප්‍රමාණය ඩොලර් වලින් ගනනය කර විදෙස් සංචිත වලට එකතු කිරීම නිසාය. තවත් ආරංචි මාර්ග පවසා සිටියේ මහ බැංකුව චීනය විසින් දැමු තහංචිය ඉවත් කරගෙන එම මුදල ඩොලර් වලට පරිවර්තන කරගැනීමට තවමත් චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවය.
මේ අනුව නිශ්චිත වශයෙන්ම මහ බැංකුව සතුව තවමත් ඇත්තේ ඩොලර් 1.6 ක පමණ සංචිත ප්‍රමාණයකි. එයිනුත් ඩොලර් මිලියන 400 කට ආසන්න ප්‍රමාණයක් ඇත්තේ රන් සංචිතයක් ලෙසය. මේ අනුව මෙම ජනවාරි මාසයේ ගෙවීමට ඇති විදේශීය ණය ප්‍රමාණය පමණක් ගෙවීමට තරම් ඩොලර් සංචිතයක් ඇත.
ආණ්ඩු පාර්ශ්වයෙන් පවසන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 500 ක මෙම 18 වෙනිදාට ගෙවීමට ඇති බව පමණක් වූවත් ආසියානු සංවර්ධන බැංකුවට සහ ලෝක බැංකුව වැනි ආයතන වලටද තව ඩොලර් මිලියන් හත්සියක් පමණ ගෙවීමට නියමිතව තිබේ. මේ අනුව ජනවාරි මස අවසන් වන විට ඩොලර් විදේශ සංචිතය බින්දුවටම බැසීම සිදුවෙනු ඇතැයි උපකල්පනය කළ හැක. මෙහි සත්‍ය අසත්‍යතාවයන් මහ බැංකු විසින් හෙළි කළ යුත්ව ඇත. රට මිත්‍යාවක ගිල්වා සිටීමෙන් ලැබෙන ප්‍රතිපලය සියලු දෙනාටම විනාශකාරී විය හැකිය.
මේ අතර ඉදිරියේදී මුහුණ දිමට නියමිත ආහාර අර්බුදය සමතයකට පත් කිරීම වෙනුවෙන් ඉන්දියාව පකිස්තානය ඇතුළු රාජ්‍යයන් ගනනාවක් වෙතින් ණය ආධාර ලබාගැනීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1ක ණය පහසුකමක් ආහාර වෙනුවෙන් ලබාදීමට එකඟ තිබෙන බවත් පැවැසේ. එමෙන්ම ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 600 ක පමණ මුදල්ද ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ මිතුරු රාජ්‍යයන් කිහිපයකින්ම අපේක්ෂා කරමින් සාකච්ඡා පවත්වමින් තිබේ. ඒ කොහොම නමුත් මේ කිසිවක් මෙරට විදේශීය සංචිත ගොඩනඟා ගැනීමට පිළියම් වන්නේ නැත. මේවායේ සාර්ථක අසාර්ථක භාවයන් අනුව මෙම ජනවාරියෙන් පසුව රටේ ඉරණම මොනතරම් දුරට ඛේදවාචකයක් වෙනු ඇතිද යන්න තීරණය වෙනු ඇත.
මහ බැංකු අධිපතිවරයා පසුගිය ඔක්තෝබර් මාසයෙදී නිකුත් කළ සය මාසික මාර්ග සිතියම අනුව එළැඹෙන මාර්තු මාසය වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 11 ඉක්ම විය යුතුය. පසුගිය දෙසැම්බර් වන විට ඩොලර් බිලියන් 6 ක සංචිතයක් තිබිය යුතුය. එහෙත් ආසනාවකට ඒ සාර්ථක නොවූ ලියවිල්ලක් බවට දැනටම පත්ව තිබේ.
මේ තත්වයන් පුරවැසියාට එතරම් සංවේදී නොවන නමුත් මෙම අර්බුදයේ සියලු ප්‍රතිපල වලට අප සියලු දෙනාට මුහුණ දීමට සිදු වෙනු ඇත. අනෙක් කරුණ මෙම අර්බුදය මතු වූයේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික කලමණාකරණයෙහි දුර්වලතාවයන් නිසාම පමණක් නොවන බවත් මතක තබා ගත යුතුය. නිදහසෙන් පසුව මෙරට පාලන කළ කියලු දෙනාත් මේ තත්වයට වගකිව යුතුය. ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් වල තර්කාණු ප්‍රතිපලය අද අප ඉදිරියෙහි රාක්ෂයකු මෙන් පෙනි සිටී.
මෙම මොහොතේ අවශ්‍ය වනුයේ මේ අර්බුදයන් ජය ගැනීමේ වගකීම ආණ්ඩුවට පමණක් බාර දී 'රට බාරගත්තා නම් කරලා පෙන්නාපන්' කියා බලා සිටීම නොවේ. රටක් විදිහට අප බංකොලොත් වුවහොත් වෙන යම් පාලනයකින් හෝ මෙය ගොඩනැගීම පහසු වන්නේ නැත. වත්මන් ආණ්ඩුව පෙරළා දමා බලය අත්පත් කරගැනීමට මේ මොහොතේ කල්පනා කරන සියලු විපක්ෂ බලවේග වලට මෙම අර්බුදය ජය ගැනීමට පැහැදිලි, නිවැරදි, වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍යය. එසේම ඒ සඳහා පුරවැසියාගේ සූදානමක් කැප කිරීමක් අත්‍යවශ්‍යය. එහෙත් එසේ සූදානම් තත්වයක් පෙනෙන්නට නැත.
ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂ දේශපාලන පක්ෂ කිසිවක් හෝ මෙම අර්බුදයේ තරම තේරුම ගෙන තිබෙන බවක්ද පෙනෙන්නට නැත. ලස්සන, ආලවට්ටම් සහිත මනෝරාජික පොරොන්දු පත්‍ර මිසක් මෙ අර්බුදය ගැන නිසි වැටහීමක් සහිත පොරොන්දු පත්‍රයක් අප කිසිවකුගෙන් මෙතෙක් දුටුවේ නැත. මේ නිසා අද මේ මොහොතේ පවත්න සැබෑ තත්වය සම්බන්ධයෙන් හෝ කිසිවකුට නිවැරදී කියවීමක් නැති බව පැහැදිලිය.
මේ තත්වයන් තුළ 2022 වසර යනු පාලකයනුත් , පාලන බලය අත්පත් කර ගැනීමට බලා සිටින බලවේගයනුත් සහ මෙරට පුරවැසියාත් පරික්ෂා කරන වසරක් යැයි කීම නිවැරදි විය යුතුය. මේ අර්බුද ජය ගැනිමේ හැකීයාව පෙන්වීමට රට සමත් නොවුණහොත් මේ රට ඉවරෙටම ඉවරවීම මේ වසර තුළ සිදු වීමට නියමිත යැයි කීමද වැරැදි නොවේ.
- සුජය