ප්‍රබල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය මුහුණ දී ඇති බිඳවැටීම, කොවිඩ් අර්බුදයේ බලපෑම සහ සංචාරක ව්‍යාපාරයෙන් සිදුවූ පාඩුව නිසා ඇති වුවද රජයේ අධික වියදම් සහ බදු කප්පාදු කිරීම මගින් රාජ්‍ය ආදායම හීන වීම, චීනයට විශාල ණය වාරික ආපසු ගෙවීම වැනි හේතු නිසා එය වඩා උග්‍ර වී තිබේ. දශකයක කාලය තුළ විදේශ විනිමය සංචිත අඩුම මට්ටමට වැටී ඇත. මේ අතර දේශීය ණය සහ විදේශ බැඳුම්කර ගෙවීමට රජය මුදල් මුද්‍රණය කිරීම නිසා උද්ධමනය ඉහළ ගොස් තිබේ.
වසංගතයේ ආරම්භයේ සිට ජනගහණයෙන් ලක්ෂ 5ක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි. එය දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමේ වසර පහක ප්‍රගතියට සමාන වේ.
නොවැම්බර් මාසයේ උද්ධමනය 11.1%ක වාර්තාගත ඉහළ මට්ටමක් දක්වා ළඟා වූ අතර මිල ඉහළ යාම නිසා මීට පෙර ඉහළ ජීවන මට්ටමක සිටි අයද දැන් සිය පවුල් පෝෂණය කිරීමට අරගලයක නිරතවෙති. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් දැන් බොහෝ දෙනෙකුට දැරිය නොහැක.
ජනාධිපති රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක පසුවන බව ප්‍රකාශ කිරීමෙන් පසු සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රජයේ නියම කළ මිලට අලෙවි කිරීම සහතික කිරීමට හමුදාවට බලය ලබා දී තිබේ. එහෙත් එය ජනතාවගේ දුක් වේදනා ලිහිල් කිරීමට ඉවහල්ව ඇත්තේ අල්ප වශයෙනි.
කොළඹ අගනුවර රියදුරෙකු වන අනුරුද්ධ පරණගම ආහාර මිල ඉහළ යාම නිසාත් සහ සිය මෝටර් රථයේ ණය පියවා ගැනීම සඳහාත් දෙවන රැකියාවකටද ගිය නමුත් එයද ඔහුට ප්‍රමාණවත් නොවීය. “මට ණය ගෙවන්න හරිම අමාරුයි. ලයිට් බිල්, වතුර බිල් ගෙවලා කෑමට වියදම් කළාම සල්ලි ඉතුරු වෙන්නේ නැහැ” යැයි කී ඔහු තම පවුලේ අය දැන් කෑම වේල් තුන වෙනුවට දෙකක් පමණක් ගන්නා බවද කීවේය.
තම ගමේ සිල්ලර වෙළෙඳසල් හිමියා සිය පාරිභෝගිකයන්ට සම්පූර්ණ කිරිපිටි පැකට්ටුවම මිලට ගත නොහැකි බැවින් කිලෝග්‍රෑම් එකේ පැකට්ටුව විවෘත කර එය ග්‍රෑම් 100 ක පැකට්වලට වෙන්කරන අයුරු ඔහු විස්තර කළේය. “අපි වෙනදා සතියකට බෝංචි කිලෝග්‍රෑමයක් ගත්තත් දැන් ගන්නේ ග්‍රෑම් 100 යි" පරණගම මහතා පැවසීය.
ලෝක සංචාරක හා සංචාරක කවුන්සිලයට අනුව, සංචාරක ව්‍යාපාරයෙන් සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කට වඩා වැඩි දායකත්වයක් සපයන අතරම මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි පිරිසකට ජීවනෝපාය අහිමි වී තිබේ.
තත්ත්වය කෙතරම් දරුණු වී ඇත්ද යත්, ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු එනම් වැඩි වශයෙන් තරුණ සහ උගත් පිරිස් තමන්ට රට හැර යාමට අවශ්‍ය බව පවසති. ඔවුන්ගෙන් විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලයේ දිගු පෝලිම් ඇති වී තිබේ.
ආනයන පාලනය සහ දේශීය නිෂ්පාදන පහත වැටීමෙන් මූලික භාණ්ඩවල උග්‍ර හිඟයක් ඇති වී තිබේ. මේ තත්ත්වය පාන්, කිරි සහ සහල් සඳහා දිගු පෝලිම් පැවති 1970 දශකයේ මුල් භාගය සිහිපත් කරවයි.
මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන අනතුරු ඇඟවූයේ සාමාන්‍ය ජනයාගේ අරගල මූල්‍ය අර්බුදය උග්‍ර කරනු ඇති අතර එමඟින් ඔවුන්ගේ ජීවිතය තවත් දුෂ්කර වනු ඇති බවටයි. "ආර්ථික අර්බුදය ගැඹුරු වන විට, රට මූල්‍ය අර්බුදයකට ලක්වීම නොවැළැක්විය හැකිය," ඔහු පැවසීය. “විදේශ විනිමය හිඟය හේතුවෙන් නිෂ්පාදනය පහත වැටීම සහ ආනයනය කිරීමට අපොහොසත් වීමෙන් ආහාර සුරක්ෂිතතාව අඩු කරනු ඇත. එවිට එය මානුෂීය අර්බුදයක් වනු ඇත."
ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ, විශේෂයෙන් චීනයට ඇති විශාල විදේශ ණය බරයි. චීනයට ඩොලර් බිලියන 5 කට වඩා ණය වී තිබේ. පසුගිය වසරේ උග්‍ර මූල්‍ය අර්බුදය හමුවේ අමතර ඩොලර් බිලියනයක ණයක් බීජිං වෙතින් ලබා ගත් අතර එය වාරික වශයෙන් ගෙවනු ලැබේ.
ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම ඇතුළුව ශ්‍රී ලංකාවට ඉදිරි මාස 12 තුළ, රජයේ සහ පෞද්ගලික අංශයේ ඇස්තමේන්තුගත දේශීය හා විදේශීය ණය වශයෙන් ඩොලර් බිලියන 7.3 ක් ආපසු ගෙවීමට අවශ්‍ය වනු ඇත. කෙසේ වෙතත්, නොවැම්බර් වන විට පවතින විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.6 ක් පමණි.
අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ සුපුරුදු ප්‍රවේශයක් ලෙස, ඉරානය සමඟ ඔවුන්ගේ අතීත තෙල් ණය තේ අපනයනය මගින් පියවීමට බලාපොරොත්තු වන බවයි.“අවශ්‍ය විදෙස් මුදල්” ඉතිරි කර ගැනීම සඳහා සෑම මසකම ඩොලර් මිලියන 5ක් වටිනා තේ ඔවුන්ට යවන බව ඔහු කීවේය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික විද්‍යාඥ හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලබන වසරේ ජනවාරි වන විට විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 437ක් වනු ඇති බවයි. 2022 පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.8ක් වනු ඇති බවද ජාතිය මුළුමනින්ම බංකොලොත් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකාවට තම ණය “සීමා රහිතව” ගෙවිය හැකි බවට ප්‍රසිද්ධ සහතිකයක් ලබා දුන් නමුත් ව්‍යසනකාරී ආර්ථික ප්‍රතිවිපාක ඇති කරවන, ආපසු ගෙවීම පැහැර හැරීමේ සැලකිය යුතු අවදානමක් රටේ පවතින බව විජේවර්ධන පැවසීය.
මේ අතර සියලු පොහොර සහ පළිබෝධනාශක තහනම් කිරීමට සහ පූර්ව දැනුම්දීමකින් තොරව කාබනික වගාවට යොමුවන ලෙස ගොවීන්ට බලකරමින් පසුගිය මැයි මාසයේදී රාජපක්ෂ ගත් හදිසි තීරණය, මීට පෙර සමෘද්ධිමත් කෘෂිකාර්මික ප්‍රජාවක් දණගැස්වීමට හේතු වී ඇත. ගුණාත්මක බෝග නිෂ්පාදනය කිරීමට හෝ වල් පැලෑටි හා කෘමීන්ට එරෙහිව සටන් කිරීමට ක්‍රම නොමැතිව ගොවීහු අසරණ වූහ. අලාභය ගැන බියෙන් බොහෝ දෙනෙක් භෝග වගා නොකිරීමට තීරණය කළ අතර එය ශ්‍රී ලංකාවේ ආහාර හිඟයට හේතුවක් විය.
රජය ඔක්තෝබර් මස අගදී නාටකාකාර U-turn එකකින් තීරණය වෙනස් කර ඇති අතර ගොවීන් දැන් ආධාර නොමැතිව ආනයනික පොහොරවලට අධික මිල ගෙවා ගැනීමට නොහැකිව අරගල කරමින් සිටිති.
"වී ගොවිතැන් කිරීමේ වියදම අහස උසට ඉහළ ගොස් තිබෙනවා. පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නැහැ. ගොවීන් මුදල් ආයෝජනය කරන්න මැලිකමක් දක්වන්නේ ලාභයක් ලැබෙයිද දන්නේ නැති නිසයි." රංජිත් හුළුගල්ල නමැති ගොවියෙක් පැවසීය.
ගැටළු තාවකාලිකව ලිහිල් කිරීමට සහ දුෂ්කර සහ බොහෝ දුරට ජනප්‍රිය නොවන ප්‍රතිපත්තිවලින් වැළකෙමින් රජය තම අසල්වැසි මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාවෙන් ආහාර, ඖෂධ සහ ඉන්ධන ආනයනය කිරීමට ණය මෙන්ම මුදල් හුවමාරු කිරීම් වැනි තාවකාලික සහන ක්‍රියාමාර්ගවලට යොමු වී ඇත. ඉන්දියාව, චීනය, බංග්ලාදේශය සහ ඕමානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමට ණය ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ණය කාලීන සහන පමණකි ඒවා ශ්‍රී ලංකාවේ ණය බරට එකතු වන අතර ඉහළ පොළී අනුපාත යටතේ ඉක්මනින් ආපසු ගෙවිය යුතුය.
පෞද්ගලික පුහුණුකරුවෙකු වන අනුෂ්ක ශානුක සැප පහසු ජීවිතයක් ගත කළ අයෙක් වන නමුත් දැන් එය යළි ළඟා කර ගැනීමට වෙරදරමින් සිටී. “වසංගතයට පෙර සිටි සුපුරුදු ආකාරයට දැන් ජීවත් වෙන්න බැහැ,” ඔහු පැවසුවේ එළවළු මිල 50% කට වඩා වැඩි වී ඇති බවයි.
“රජය අපට උදව් කිරීමට පොරොන්දු වුණත් කිසිවක් ලැබුණේ නැහැ, එනිසා අපට කළ හැකි හොඳම දේ කළමනාකරණය කරගැනීමයි. මම දන්නේ නැහැ තව කොච්චර කල් අපිට මේ විදියට යන්න පුළුවන් වෙයිද කියලා."
(UK හි The Guardian වෙබ් අඩවියේ පළවූවකි)
පරිවර්තනයකි
|මහින්ද රුබසිංහ
FB සටහනකින් උපුටාගන්නා ලදී