පසුගියදා ජනාධිපතිවරයා විසින්ම තමන් වෙතින් අඩු පාඩු සිදුවූ බව පිළිගෙන තිබිණි. එහෙත් තමන් පොරොන්දූ වූ යමක් ඇත්නම් ඒ කෙසේ හෝ ඉටු කරන බවට ඔහු සපත කර තිබිණි. දේශපාලන වේදිකාවේ ඇති පදම් පොරොන්දු අසා ඇති මෙරට පුරවැසියාට ඒවා ඉටු වීම, නොවීම ගැන එතරම් වගකුත් නැත. පුරවැසියා බලාපොරොත්තු වන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් සුව පහසුව ගත කිරීමේ අවස්ථාවන් සහ ඉදිරි අනාගතය පවතින තත්වයට වඩා හොඳින් ගත කිරීමේ අපෙක්ෂාවන් ඉටුවන්නට කරුණු කාරණා ගැනය. එය සිදු වන්නේ කාගෙන්, කොහොමදැයි පුරවැසියාට අදාල නැත. පුරවැසියා වෙනුවෙන් රජය නම් ආයතන ව්‍යුහයකුත්, ආණ්ඩුවක් නමින් පාලන කණ්ඩායමකුත් පත් කරගන්නේ නිශ්චිත මොහොතක ඒ සියල්ල සපුරා ගැනීමටය. දේශපාලන කණ්ඩායමක් පුරවැසියාට පොරොන්දුවක් දී ආණ්ඩු බලය ගන්නෙ ඒ අපේක්ෂාවන් පූර්ණ කරන බවටය.
කොහොම නමුත් ගෙවුණු වසර දෙක තුළදි ජනාධිපති ගෝඨාභය තමන් පොරොන්දු වූ දේශයට පුරවැසියාව කැඳවාගෙන යන්නට තවමත් සමත්ව නැත. එහෙත් තවමත් ඔහු අසමත් නායකයෙක් යැයි කියන්නට ඉක්මන් නොවිය යුතුය. ඔහුට තවත් වසර තුනක කාලයක් තිබේ.
එසේම මේ ගෙවුණු වසර දෙක තුළදි වූ අසමත්කම් ගැන සාධාරණ නිවැරදි විග්‍රහයකට අප යා යුතුය. එසේ නොවෙන්නේ නම් ඒ අප විසින් කරන බරපතල වරදකි. මොකද ඒ වැරදි විග්‍රහයන්ගේ ප්‍රතිපළය යළි රට විනාශයකට කැඳවාගෙන යාහැකි නිසාය. ජනාධිපති ගෝඨාභය රට බාර ගත්තේ රටක් විදිහට අප විශාල අනතුරුදායක තත්වයන් කිහිපයක් අභිමුව සිටියදීය. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටම බියෙන් ඇලලී ගොස් රටේ ආරක්ෂාව, පුරවැසියාගෙ ආරක්ෂාව ගැන බරපතල ගැටළුවක් තිබිණි. ඒ අතරම මෙරට ආර්ථිකය සම්බන්ධ විසඳා ගැනීමට අසීරු ප්‍රශ්න ගනනාවක් ඉතිරිව තිබිණි. දශක ගනනාවක් තිස්සෙ ටිකෙන් ටික වර්ධනය වෙමින් තිබුණු ආර්ථික අර්බුදයන් පුපුරා යන තැනට පත්ව තිබිණි. අද අප හමුවේ තිබෙන්නේත් ඒ අර්බුද යයි. විදේශීය ණය බර රටට දරන්නට නොහැකි තරමට ඔඩු දුවා තිබිණි. විදේශ විනිමය උපයන මාර්ග ඇහිරෙමින් තිබිණි. මෙරට නිශ්පාදන ආර්ථිකය මුළුමනින්ම බිඳවැටී තිබිණි. පාස්කු ප්‍රහාරයත් සමඟ සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට පටන් ගෙන තිබීම මත විදේශ විනිමය ලැබීමේ ප්‍රධාන මාර්ගයක් ද අවහිර විය. ඒ අතර රටේ නීතියක් රීතියක් නොමැතිව දූෂිතව අයාලේ යන රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිව තිබිණි. දේශපාලන අධිකාරියේ කුළල් කා ගැනීම සියල්ල විනාශකරන තැනකට පත්ව තිබිණි.
ඒ වන විට පැවැති පාලනය ගැන පුරවැසි ජනතාවගේ තිබූ කළකිරීම යළි යථා තත්වයට පත් කර රටේ අභිවෘද්දිය වෙනුවෙන් යළි පණ ගන්වා, ජව සම්පන්න කර, වඩා වේගවත්ව රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමේ අභියෝගය ජනාධිපතිවරයා හමුවේ තිබිණි. විනය ගරුක රටක්, වැඩ කරන රටක් වෙනුවෙන් වූ පුරවැසි ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂගේ මූලික අභිප්‍රාය බවට පත්වන්නේ ඒ අනුවය.
එහෙත් ජනාධිපතිවරයාගේ පත් වීමෙන් මාස කිහිපයක් යන විට ලෝකයම කොරොනා වසංගත තත්වයට බිලිවීමේ මුල් සලකුණු පෙන්වන්න පටන් ගෙන තිබිණි. එය කිසිවකුත් බලාපොරොත්තු නොවු තරම් වේගයෙන් සහ අනතුරුදායක ලෙස මෙරටටද ඇතුළු විය. වසංගතයෙ තරම ගැන දැනගන්නා විට අප තරමක් පරක්කුය. එසේම ඊට මුහුණ දීමට තරම් අපේ හැකියාවන් ශක්තිමත් වූයේ නැත. යම් දුර්වලතා මධ්‍යයේ වුව වසංගතයේ පළමු රැල්ල දෙවැනි රැල්ල මැඩ පවත්වා ගැනීමට හැකි වූවද තුන්වෙනි රැල්ල පාලනය අපෙන් ගිලිහි ගියේ විශාල හානියක් සිදු කරමිනි. නමුත් මේ වන විට එය යම් පාලනයකට ගැනීමට රජයට හැකිව ඇතත් තවම අනතුර පහව නැත.
කොහොම නමුත් මේ ගෙවුණු වසර දෙකම ජනාධිපති ගෝඨාභයට ගත කරන්න සිදු වූයේ මේ වසංගතය විසින් එල්ල කළ බරපතල පීඩනය හමුවේය. කුඩා ආර්ථිකයක්, සම්පත් සීමිත, හැකියාවන් සීමිත කුඩා රටකට මෙවැනි ලෝක පරිමාණයේ වසංගතයක් හමුවේ වූ අර්බුද කළමණාකරණය කර ගනිමින් ඊට මුහුණ දීම කිසිසේත්ම පහසු කාරණක් නොවේ. විශේෂයෙන්ම රටේ ආර්ථිකය බිඳ වැටී ඇති මොහොතක, යළි සියල්ල මුල සිටම පටන් ගැනීමට සිදුව තිබු මොහොතක මේ භයංකර වසංගත ප්‍රහාරයෙන් සිදු වූයේ නැගිටීමට වෙර දැරු අපි යළි හතර ගාතේ ඇද වැටීමය. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම පොරොන්දු පත්‍රයේ බොහෝ කොටස් තාවකාලිකව හකුලාගෙන පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ඔහුව ජීවත් කරවීමේ අභියෝගය ජයගැනීම මුලිකම කාරණය බවට පත් විය. රටේ ආර්ථිකය ගැන සකස් කළ දීර්ඝ කාලීන සැලසුම් පැත්තකට දමා හදිසි ප්‍රශ්න හමුවේ කෙටි කාලීන විසැදුම් ක්‍රියාමාර්ග වලට යන්න බලකර තිබිණි. සාම්ප්‍රදායික ආර්ථිකමය මෙවලම් වෙනුවට නව අත්හදා බැලීම් සමඟ රැඩිකල් තීන්දු තීරණ වෙත යන්නට සිදු විය.
ආණ්ඩුව ආර්ථික ක්ෂේත්‍රයේ ගත් කඩිනම් පියවරයන් ගැන එම ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන්ගෙන් කවර විවේචන එල්ල වූවත් වෙන කරන්න විකල්ප ඉතිරිව තිබුණේ නැත. මේ විවේචකයන් හමුවේ ද රට විදේශයන්ට උකස් කරනවා හැර වෙනත් විකල්ප අදහස් තිබුණේ නැත. මේ කවරක් වුවත් පුරවැසියාව බඩගින්නේ මැරෙන්නට, ලෙඩ රෝග වලින් මැරෙන්න ඉඩ නොදී ඒ සියල්ල පාලනය කිරීමට කළ හැකි උපරීමය ආණ්ඩුව වෙතින් සිදුවූ බව පිළිගත යුතු ඇත්තකි. විශේෂයෙන්ම වසංගතය පාලනයට දැනට තිබෙන එකම විසඳුම වූ එන්නත්කරණය ලෝකයේ සෙසු රාජ්‍යන් ගනනාවකට වඩා වේගයෙන් සිදුකිරීමට සමත් වීමම විශාල ජයග්‍රහණයකි. ඒ තත්වය ජාත්‍යන්තර මට්ටමින්ද පිළිගැනීමට ලක්ව තිබේ.
මේ වන විට යළි රට යථා තත්වයට පත් වෙමින් තිබෙන්නේ රජය මේ වෙනුවෙන් දැක්වූ කාර්යක්ෂමතාවය සහ දැඩි බව නිසාය. එහෙත් අවාසනාවකට මේ ජාතික ආපදාවක් ව තිබුණු වසංගතය පාලනය කිරීමට සහය වෙමින් මේ අවශ්‍ය මොහොතේ රට ගැන, ජනතාව ගැන වගකීම් සහගතව කටයුතු කිරීමට විපක්ෂ කොටස් වෙතින් සහයක් ලබුණේම නැතැයි කිව හැකිය. හැකි සෑම විටම රජයේ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමේ වුවමණාව මේ විපක්ෂ කණ්ඩායම් වෙතින් ප්‍රදර්ශනය විය. මේ විපක්ෂ ක්‍රියාකාරිත්වයට රැවැටුණු ඇතැම් පුරවැසියන්ගෙන් පවා රජයට සහය හිමි වුයේ නැත. වසංගතයක් පාලනය කිරීමට පුරවැසියාගේ සහය නොමැතිව සිදු කිරීම හිතන්නවත් පුලුවන් කාරණයක් නොවේ. අඩුම තරමින් තමන්ගේ, තම පවුලේ , තම අසල්වැසියාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හෝ නොහිතන පුරවැසියන් සමඟ වසංගතයක් පාලනය කිරීම කළ නොහැක. එහෙත් එහෙම තත්වයකටද රජයට මුහුණ දීමට සිදු විය.
කොහොම නමුත් වසංගත තත්වය ඉතා හොඳ මටමකින් මේ වන විට පාලනය වී තිබේ. එහෙත් එසේ පාලනය වී, වසංගතයෙන් වන පීඩනය අවසන් වෙන තෙක් කියා මේ වසර දෙක තුළ ජනාධිපතිවරයාවත් ආණ්ඩුවවත් තමන්ගෙන් පුරවැසියාට සිදු විය යුතු අනෙක් වගකීම් අත්හරර සිටියේ නැත. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් වැඩ සටහන් විශාල ප්‍රමාණයකට මේ වසර දෙක තුළදී මුල පුරා තිබිණි. ඇතැම් පොරොන්දුවක් ඉටු කිරීම ද සම්පූර්ණ කර තිබිණි.
එසේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් නම් මෙරට දේශපාලන ඉතිහාසයේ හැමදාමත් කතාවට, සංදර්ශන වලට පමණක් සීමා වී තිබු අර්බුද ගනනාවක් විසැඳීම වෙනුවෙන් එඩිතර සෘජු තීන්දු තීරණ ගනිමින් ජනාධිපති ගෝඨාභය ඉදිරිපත් වීම ගැනය. විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය,දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, ඉතා වේගයෙන් දියුණු කරමින් සහ අවිධිමත් කෘෂි රසායනික සහ පොහොර භාවිතය නිසා සිදුවෙමින් පැවැති මහා පාරිසරික විනාශය වැලැක්වීමට ගත් පියවරයන් ආදිය සැලකිය යුතු ක්‍රියාමාර්ගයන්ය. මේවා ලෙහෙසියෙන් පාලකයකුට ගතහැකි තීන්දු නොවේ. මේවා ජනප්‍රිය තීන්දු නොවේ. එහෙත් කළ යුතු විය යුතු දේ වෙනුවෙන් ජනාධිපතිවරයා පෙනීසිටියි. අපමණ බාධාවන් එල්ල විය හැකි නමුත් නිවැරදි දේ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ඒ සඳහා අධිෂ්ඨානය තමන්ට තිබෙන බවත් ජනාධිපතිවරයා කිහිප වතාවක්ම ඒ තිර කර පවසා තිබේ. නායකයන් කියන්නේ තමන්ගේ සෙනග නිවැරදි මාවතට රැගෙන යන්නා මිස සෙනගට අවශ්‍ය විදිහට අයාලෙ යන්නකු නොවිය යුත්තෙකි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අසමසම නායකත්වයේ ගුණය ප්‍රකට කර හමාරය.
නිවැරැදී කොන්ද පණ තිබෙන නායකයකු සිටින විට සෙස්සන්ගේ වගකීම විය යුත්තේ ඔහුට හැකි සෑම සහයෝගයක්ම ලබාදීමය. ඔහුගේ කණ්ඩායම නායකයා සමඟ එකට සිටිය යුතුය. තම කණ්ඩායමේ එකිනෙකා අතර ගැටුම් තිබිය හැකි නමුදු නායකත්වය සමඟ සිටිය යුතුය. එහෙම සිටිය නොහැකිනම් ඒ නායකත්වය අතහැර එතැනින් පිට විය යුතුය. ඇතුළට වී කකුලෙන් ඇද ඇද තමන්ගේ කණ්ඩායමේ පරාජයට පාර කපමින් සිටීම නොවිය යුත්තකි. පැහැදිලි දැක්මක් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඒ වෙනුවෙන් අවංකව ධෛර්ය සම්පන්නව වැඩ කරමින් සිටින නායකත්වයක් තිබෙන විට ඒ වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකි වුන් යනු ඒ කඩාප්කප්පල් කරන ද්‍රෝහීන්ය.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට 69 ලක්ෂයක් දෙනා ඡන්දය දුන්නේ ඔහු කවුද යන්න නොදැන නොවේ. ඔහුගේ දේශපාලනික වුවමණාව නොදැන නොවේ. එසේනම් මේ පාක්ෂිකයන් සියළු දෙනාමත් මේ මොහොතේත් ඔහු සමඟ සිටීම විය යුත්තකි. වසර දෙකක් ඇවෑමෙන් වූ ප්‍රතිපල නිසා මේ 69 ලක්ෂයේ ඇතැමුන් ජනාධිපතිවරයාව මේ වන විට අත්හැර විවේචනය කරමින සිටින බවට කරුණු කාරණා මතුව තිබුණත් ඒ කිසිසේත්ම නොවිය යුතු අනර්ථකාරී දෙයකි. ඔවුන්ගේ සහය අහිමි වන්නෙ නම් ජනාධිපතිවරයාට ද කොන්ද පණ ඇතිව වැඩ කිරීමේ හැකියාව ගිලිහී යයි. යම් ලෙසකින් මේ ඉදිරි වසර 3 තුළ ජනාධිපතිවරයා අසමත් වුවහොත් ඊට අද ජනාධිපතිවරයාව දුර්වල කරන්න වැඩකරන, ඔහුගෙන් ඉවත්ව යන කොටස් මුලිකව වගකිව යුතුය.
ජයග්‍රහණය තෙක් සටන අත්නොහැර සිටීම, පරාජය හමුවේ වුව යළි නැගී සිටීමට දිරියක් වෙයි. වැටි වැටි හෝ යළි නැඟී සිටීම වියයුතුය. දේශපාලන සටන් වල සදාකාලික ජයග්‍රාහකයන් නැත. දිනුම් පැරැදුම් නිරන්තරයෙන් වෙයි. ඒත් සටන තුළ සිටීම අහිමි ජයග්‍රහණයන් අත්පත් කරගැනීමට හේතු වෙයි. 2015 වූ පරාජය 2019 දී අත්පත් කර ගත්තේ ඒ නිසාය. මේ අවසර දෙකක් ගෙවුණු තැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම වෙනුවෙන් ඡන්ද දුන් සහය දුන් සියලු දෙනාටම අවසන් වශයෙන් අවධාරණය කළ යුත්තේ ඔහු සමඟ තවදුරටත් සිටින ලෙසයි. මවුබිමේ ද්‍රෝහීන් තමව සක්‍රීයය. සටන අවසන් නැත.. සැබෑ ජයග්‍රහණයට තව කාලය තිබේ..එතෙක් එකාවන්ව එක පෙළට සිටිමු යන්නය.
- the novermberist