අය වැය : නව ලිබරල් ප්‍රතිසංස්කරණ වෙත වේගවත් ගමනක්. ඒ අස්සේ මැතිවරණ සූදානමක්. Featured

Saturday, 13 November 2021 18:03

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය මංගල අයවැය යෝජනාවලිය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කළේය. එහි මතුපිට පෙනුමෙන් කතා කළ හැකි ආකර්ෂණිය දෑ බොහොමයක් තිබුණත්, කොළෙ වහල ගැහිල්ලක් කියා කීමට හැකි යටි පෙළක් ඒ තුළ පැහැදිලිව හඳුනාගත හැකිය. බැසිල් රාජපක්ෂ මහතා තම ආර්ථික ප්‍රතිපත්තිය මේ යැයි කියා සෘජුව පැවැසීමක් මේ අය වැය යෝජනාවලිය තුළම දකින්න්ට නැත.

සෞභාග්‍යයේ දැක්ම තම පදනම්ව මෙම යෝජනා ඉදිරිපත් කරනව බව පවසා සිටියද ඒ හා පරස්පරතාවයන්ද මෙහි හඳුනාත හැක. කෙසේ නමුත් මෙම අයවැය නිශ්චිතවම පිහිටුවන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් හැර වෙනත් විකල්ප අපට නැති බව අවධාරණය කරන වේදිකාවක බව තේරුම් ගත හැක. එසේම ඉදිරි වසරේ හෝ ආසන්න වසරක පැවැත්වීමට නියමිත පළාත් සභා සහ ප්‍රදේශීය සභා මැතිවරණ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන අයවැය යෝජනා රැසක් මේ තුළ වන බව පැහැදිලිය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවරණයක් කරගෙන තිබෙන්නේ ඒ වෙනුවෙන් බවත් පෙනෙන්නට තිබේ.

අය වැය යෝජනා ඉදිරිපත් කරන්නට පළමුව මෙරට මුහුණ දෙමින් සිටින් ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ඇමැතිවරයා පෙන්වා දුන් මුල් කොටස තුළ එම අභියෝග ජය ගැනීම වෙනුවෙන් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සංකල්පයන් වෙත යෑමේ දැඩි අවශ්‍යතාවය නොකියා කියයි.

වසර 73 ක මුළුල්ලෙ රටේ ආර්ථික ප්‍රශ්න ගැන විලාපය, හැම ආණ්ඩුවක් විසින්ම ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා තුළ අඩංගු වෙයි. අය වැය යෝජනා තුළ වසරක් තුළ එම ප්‍රශ්න ජය ගැනීම වෙනුවෙන් අනුගමනය කරන ආර්ථික උපායමාර්ග ගැන සඳහන් කරයි. නමුත් වසර පහ, දහය, දොළහා ආණ්ඩු කළත් කිසිම රජයක් යටතේ එම ආර්ථික ප්‍රතිපත්තිමය ඉලක්ක ජයග්‍රහණය කරා ගෙන ගොස් නැත. තමන් විසින්ම ඉදිරිපත් කරන ප්‍රතිපත්ති, උපායමාර්ග පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් රටේ ආර්ථිකය කාබාසිනියා කරන තත්වයන් හැමදාම දකින්න්ට තිබුණු දේවල්ය. මේ නිසා සෑම නව අය වැය යෝජනා කතාවක් තුළම එකම කතාව අඩංගුව පවතී.

සාමන්‍යයෙන් අයවැය යෝජනා වල සඳහන් කරන ඉලක්ක සම්පූර්ණ කිරීම සියයට 40 හෝ ඉක්මවා ගිය යුගයක් ඇත්තේම නැති තරම්ය. බොහෝ විටම දකින්න ලැබෙන්නේ එය සියයට 30 ඉක්මවා නොයන බවයි. අය වැය යෝජනා වලින් තවත් සියයට 40- 50 කට පමණ මුල පුරා තිබීම් දකින්නට ලැබුණත් ඒ කිසිදා සම්පූර්ණ නොවෙයි. අනෙක් ඉතිරි සියයට 10 ක් 20 ක් පමණ කොටස් යෝජනා වලට පමණක් සීමා වන අතර මුදල් වෙන් කිරීම් තබා ඒවාට සිදුවූ දෙයක්වත් සොයා ගැනීමට නොහැකි බව ඒ සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්ථා පෙන්වා දී තිබේ. මෙලෙස යෝජනා වලටම පමණක් සීමා වූ ජනප්‍රිය අයවැය යෝජනා සෑම කාලයකම තිබිණි. අඩුම තරමින් ඒවා ගැන ඉන් පසු කතා බහකටද නොගෙන තිබිණි. මේ අර්ථයෙන් මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනා තුළද එවැනි දේ අඩංගු විය හැකිය. එසේ වීමේ ඉඩකඩ ඕනෑ තරම් තිබේ. කොටින්ම මෙම යෝජනාවලිය ඉදිරිපත් කර අවසානයේ බැසිල් රාජපක්ෂ විසින්මත් මේවා ඉටුකර ගැනීමේ දැඩි අසීරුතාවය අවධාරණය කර තිබු අතර ඊට සෙසු දේශපාලන පක්ෂවලින් සහ ජනතාවගේ සහය අපේක්ෂාකර තිබිණි.

කෙසේ නමුත් මෙවර අය වැය මඟින් ද ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්තීන් වෙනුවෙන් ගන්නා පියවරයන් සඳහා මුදල් වෙන් කිරීම ආදිය සිදු වන්නේ රටේ මුදල් තිබියදී නොවේ. රටේ තිබෙන්නේ ගෙවන්නට තිබෙන දැවැන්ත ණය ගොඩක් ගැන විලාපයකි. මේ නිසා මේ සියලු මුදල් වෙන් කිරීම සඳහා මුදල් අමුතුවෙන් සොයා ගත යුතුව් තිබේ. යෝජනා කරන ව්‍යාපෘතීන් ආරම්බ කරනවාද නැද්ද තීරණය වන්නෙ ඒ අනුවය. 2022 වසරේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2284කි. රජයේ ප්‍රධාන ආදයම් මාර්ගය බදු ආදායමයි. 2022 වසරේ බදු ආදායම රුපියල් බිලියන 2274 ක් අපේක්ෂා කරයි. එම වසරේ රාජ්‍ය පඩි නඩි ගෙවීම ආදිය වෙනුවෙන් වන වියදම පමණක් වියදම රුපියල් බිලියන 2996 කි.

මේ අනුව රාජ්‍ය ආදායමේ ප්‍රමාණය, ඔය කියන අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා හිතන්නවත් පුළුවන් තැනක නැත.

එසේනම් මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ බිහිසුණු අභියෝගය රජය සතුව තිබේ. ඒ වෙනුවෙන් අයවැය තුළ යෝජනා කර තිබෙන දේ සහ නැති දේ ගැන මූලිකම අවදානය යොමු කිරීමකින් තොරව අය වැය යෝජනා ' නියමයි ' කියන්නට නොහැකිය.

මේ අදායම් ගැටළුව ජය ගැනීම වෙනුවෙන් බදු ආදායම් ඉහළ දමා ගැනීම ප්‍රමුඛය. ඒ සඳහා යෝජනා කිහිපයක් අයවැයෙහි අඩංගු නමුදු ඒ ප්‍රමාණවත් නොවේ. ඒ රුපියල් බිලියන 215 ක පමණ අපේක්ෂාවකි. මේ නිසා තවත් නව බදු හා බදු නොවන ආදායම් රැස්කර ගැනීමේ ක්‍රමවේදයන් රැසක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට සිදුවේ. එසේම මූලික වශයෙන්ම නව ලිබරල් සංකල්පයක් වන වෙළඳපොළ නිර්බාධීකරණයත් රජය වෙලඳාමෙන් ඉවත් වීමත් මේ යෝජනා තුළ අඩංගුය. මේ වන විටත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පාලනයෙන් ඉත්ව තිබෙන අතර අයවැය කතාව තුළදී ඒ ප්‍රතිපත්තියෙහි තවදුරටත් සිටීමේ අවශ්‍යතාවය මතු කර තිබිණි.වැදගත්ම දේ ඇමැතිවරයා නිදහස් වෙළදපොළ ක්‍රමය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නෙක් බව හඟවා තිබීමය. මෙමඟින් වෙළඳපොළ ශක්තිමත් කර පෞද්ගලික අංශ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කර වැඩි බදු ආදායම් අත්පත් කරගැනීම සිදුවෙනු ඇත.

එසේම පාඩු ලබන, අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් තවදුරටත් එම තත්වයේ නොතබා විකුණා දැමීම, පෞද්ගලිකකරණය හෝ රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර ලෙස හෝ ගොඩනැගීම ගැනත් අයවැයෙන් හැඟවීමක් ලබා දෙයි. එසේම රාජ්‍ය වියදම් විශාල ප්‍රමාණයකින් කපා හැරීමට නියමිතය. මේ අතර කොළඹ වරාය ජාත්‍යන්තර නිදහස් වරායක් බවට පත් කිරීම ගැන යෝජනාවක් වෙයි. එය වැදගත් යෝජනාවකි. ඒ හරහා විශාල සේවා සහ බදු ආදායමක් අපේක්ෂා කළ හැකිය. එමෙන්ම අනෙක් වරාය සහ ගුවන් තොටුපොළද විදේශ විනිමය අරමුණු කරගෙන සංවර්ධනය කිරීමේ යෝජනා වෙයි. කොළඹ වරාය නගරය ගොඩගැනෙ විට කොළඹ වරායද ඊට සමාමීව නිදහස් වරායක්වීම මත ජාත්‍යන්තර වානිජමය අග නගරයක් ලෙස කොළඹ ගොඩනැඟීම සිදුවීම වෙනු ඇත. එසේම විදේශ ආයෝජන ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙරට බධාවන්ව පවතින අපනයන ආනයන කොන්දේසි ලිහිල් කර පහසු ව්‍යාපාරික අවස්ථාවන් ඇති කිරීමක් ගැන කියයි. එය විය යුතුය. තවත් මේ ආදී යෝජනා ගනනාවකින් කියවෙන ලෙස නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් ගැන ඇමැතිවරයා අපේක්ෂා දල්වාගෙන සිටින බව දැකිය හැකිය. කොටින්ම පසුගිය යහපාලන යුගයේ රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික දැක්මට වඩා මෙය වෙනසක් නැති තරම්ය.

කොහොම නමුත් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණයන් යථාර්ථයක් කිරීමට මුලපුරණ වඩාත් සාධනීය අයවැය යෝජනාවලියක් ලෙස මෙය හැඳින්විය හැකිය. එහෙත් එය සෘජුව ප්‍රකාශ නොකර සිටීමට බැසිල් රාජපක්ෂ පරිස්සම් වී තිබේ. තමන් බලයට පත් කළ ජාතික බලවේග සතු‍ටු කිරීමකින් තොරව ආණ්ඩුවේ පැවැත්ම සහතික කරගැනීම අත්‍යවශ්‍යව තිබෙන නිසා දේශීය නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම ගැනද මෙම යෝජනාවල ප්‍රධාන තැනක් ගෙන තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය හා කෘෂි ක්ෂේත්‍රය ගොඩනැංවීම කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වා ඇති බවත් පෙන්වයි. දේශීය කෘෂි සහ කාර්මික නිශ්පාදන ආර්ථිකයක් ගොඩනන්වා ගැනීම වැරදි දෙයක් නොවේ. එහෙත් ඒ සිදු කළ යුත්තෙ පරිස්සමෙන්ය. සියරට දේ සිරි සැප දේ කියමින් පිටරටින් ගෙන්වන සියල්ල ප්‍රතික්ෂේප කර සියලු දේම මෙරට නිපදවා ගත යුතුය කියන මරි මෝඩ තක්කඩි අදහසෙන් ඉවත්ව අපට දැරිය හැකි, අපට කළ හැකි දේ පමණක් සිදු කළ යුතුය. එසේ නොවුණහොත් මේවා වෙනුවෙන් කෙරෙන රාජ්‍ය ආයෝජන සුපුරුදු පරිදි අපතේ යෑම පමණක් සිදු වෙනු ඇත.

කොහොම නමුත් බැසිල් රාජපක්ෂ දේශීය නිශ්පාදන ආර්ථිකය ගොඩ නැංවීමක් ගැන කතා කළද ඒ සාර්ථක යථාවක් නොවන බව ඔහු තේරුම් ගෙන තිබෙන බව ඔහුගේ අය වැය යෝජනා තුලින්ම පැහැදිලි කරගත හැකි තැන් තිබේ. ඔහු ආනයන ආදේශන කර්මාන්ත ගැන උනන්දුවක් දක්වන්නේ නැත. ආනයනයන් සීමා කර ඩොලර් ඉතිරි කරගන්නවා වැනි උපකල්පන වලද ඔහු නැති බව පෙනෙන්නට තිබේ. ඔහු යෝජනා කරන්නේ විදේශ විනිමය ඉපැයිය හැකි සීමා සහිත නිශ්පාදන ක්‍රියාවලියක් හරහා අපනයන ආදායම වැඩි කරගැනීමක් ගැනය. ඔහුගේ මෙරට ආනයන ගැන පුරෝකතන අනුව වසර 5 ක් තුළ මෙරට ආනයනයන්ගේ ඉහළ යෑම ගැන කළ සටහන් අනුව මෙරට ආනයනයන් වෙනුවෙන් මේ වසරේ වියදම වන ඩොලර් බිලියන 17 පමණ වන විට එම වියදම 2027 දී ඩොලර් බිලියන 26 ඉක්මවා යනු ඇත. මේ අනුව ආනයන සීමා පනවමින් සියරට දේ සිරි සැප දේ කියන සංවෘත්ත ආර්ථිකයක රට හිර කිරීමේ අදහසක් ඔහුට නැති බව පැහැදිලිය. මේ වසරේදී ආනයන සීමා පැනවීම මඟින් ඉතිරි කර ගත හැකි වූයේ ඩොලර් බිලියන 2ක තරම් ප්‍රමාණයක් පමණි. එසේම එහි ආදීනව නිසා අපනයන කර්මාන්තයට මෙන්ම දේශීය කර්මාන්ත රැසකට පහර වැදිනි. මෙරටට විශාල බදු අදායමක්ද අහිමි විය.

අය වැය යෝජන වලිය ඉදිරිපත් කිරීමට පෙර මුදල් අමාත්‍යංශ පැත්තේන් කෙරුණු ප්‍රකාශ අනුවත් අයවැය ඉදිරිපත් කිරීම තුළත් මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා දීර්ග කාලීන ක්‍රමෝපායන් අනුගමනය කළ යුතු බවට අදහස මතු කර තිබුණත් මෙවර යෝජනා සලකා බැලිමේදී දීර්ගකාලීන වැඩ පිලිවෙලකට වඩා කෙටිකාලීනව වත්මනෙහි පවතින අර්බුදයෙන් ගොඩ ඒම අරමුණු කරගෙන මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් පෙනෙයි. එසේම වත්මනෙහි මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය කඩානමින් විසඳා ගැනීම, ඩොලරයේ අගය පාලනය වැනි මූලික ගැටළු සම්බන්ධයෙන් නිශ්චිත කිසිවක් සඳහන් කෙරුණේ නැත. සමස්ත අය වැය තුළම තිබුනේ අයවැයෙන් එපිට තීන්දු තීරණ වලට යාමට ඉඩ කඩ වෙන්කර ගැනීමකි. ආර්ථිකය සකස්කර ගැනීමෙ දීර්ගකාලීන විසඳුම් වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ද ඒ අනුව ගනු ඇතැයි කල්පනා කළ හැකිය.

කොහොම නමුත් බැසිල් රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය ජේ ආර් ජයවර්ධන රට විවෘත කිරීමේ තරමටත් වඩා එහාට යෑමක් සිදු කරන තැනක සිටින බව සිතන්නට හැකි වුණත්, තමන්ගෙ කඳවුරේ ජාතිකනාදී දේශපාලනික අභිලාෂයන් හා පැහැදිලි ගැ‍ටුමක් ඇති කරගැනීමකින් තොරව එම තැනට ළඟා වීමට හැකිවනු ඇතැයි සිතිය නොහැක. ඒ වගේම තම ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් තම කඳවුර් තුළම වන මතවාදී ගැටළු විසඳා ගත්තත් රටෙන් නැගෙන විරෝධාවයන් රැසකට ඔහුට මුහුණ පෑමට සිදුවීමද අනිවාර්යය. මෙරට දේශපාලන සංස්කෘතිය අනුව ආණ්ඩුව ගන්නා ඕණෑම පියවරකට එරෙහිව විරෝධය මතු කිරීමට විපක්ෂ කොටස් කටයුතු කරනු ඇත. පසුගිය යහපාලන යුගයේදී රාජපක්ෂ කඳවුර විසින්මත් සිදු කරනු ලැබුවේ එයමය. එහෙත් ආර්ථික ප්‍රතිපත්තින් ජේ.ආර්ගේ, රනිල්ගේ ලිබරල් මාවතින් වෙනස් කරගැනීමට රාජපක්ෂවරුන්ටද නොහැකිව තිබේ. මෙය චක්‍රයක් මෙන් යළි යළිත් සිදු වීම අනිවාර්යයකි. මේ නිසා ඉදිරි වසර ජාතික දේපොළ විකිණිමට, ලිබරල් ආර්ථිකයට, ජීවන වියදම් ඉහළ යෑම.. ආදී විරෝධතා වලින් ගහන වසරක් වීමෙ ඉඩ කඩ ඉතා විශාලය.

ඒ කොහොම වුණත් තම කඳවුරේ දේශපාලනික අභිලාෂයන් යම් පමණකින් හෝ ඉටු කරගැනීම වෙනුවෙන් සෞභාග්‍යයේ දැක්මෙන්ද ප්‍රකාෂිත යෝජනා වෙනුවෙන් අති විශාල මුදලක් මෙවර වෙන් කර තිබීම් කැපී පෙනෙන්නකි. ග්‍රාමීය සමාජ ආර්ථික, ප්‍රදේශීය සංවර්ධන, කුඩා ව්‍යවසාය සංර්ධන වැනි යෝජනා හරහා ගමට විශාල මුදල් ප්‍රමාණයක් විසි කිරීම සිදු කෙරේ. මෙමගින් ගමට මුදල් හදල් ලැබීම, යටිතල පහසුකම්, රැකියා, අලුත් ආදායම් මාර්ග උත්පාදනය සහ පීඩාවට පත් කොටස් වලට සහන සැලසීම ආදිය මඟින් රජය කෙරෙහි තිබෙන යම් හෝ කලකිරීම් ස්වභාවයන් අවම කර ගැනීමට ඉඩක් නිර්මාණය කරගෙන තිබේ. මෙවර ප්‍රතිපාදන වෙන්කර තිබෙන බොහෝ යෝජනා මෙම අරමුණ හා එකකට එකක් සම්බන්ධ වන, ජනතාව අතට මුදල් ලබා දී ප්‍රශ්න බේරාගැනීමේ උපක්‍රමික පියවරයන් ලෙස තේරුම් ගත හැක. යම් කිසි ලෙසකින් හෝ ග්‍රාමීය ජනයාගේ ආර්ථිකට සවියක් වීම සහ ප්‍රදේශීය වශයෙන් යම් සංවර්ධනයක් අත්පත් කරගැනීම සිදු විය හැක්කෙ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල වල සාර්ථකත්වය මතය. ඉතිහාසය් පුරාම මෙවැනි යෝජනා සිය ගනනින් මෙරට ක්‍රියාත්මක වීම සිදුවූවත් තවමත් ගම යනු දරිද්‍රතාවය මුලික කොටගත් තැනකි. මේ තත්වයන් තීරණාත්මක වන්නේ මැතිවරණ දේශපාලනයේදීය. ඒ අනුව මෙවර ගමට වෙන් කරන මුදල් ඉදිරි මැතිවරණ සඳහා කරන ආයෝජනයක් යැයි කීමෙහි වරදක් නැත.

එහෙත් ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයාගේ මූලික ආර්ථික ප්‍රතිපත්තීන් ඔහු සිතන ආකාරයකට ක්‍රියාත්මකවීම මේ රටේ ජනතාව කෙරෙහි වන පීඩාවන් කෙටිකාලිනව හෝ උත්සනන් විය හැකිය. මෙවන විටත් ජීවන වියදම් වැඩි වීම, ආදායම් අහිමි වීම කාරණ නිසා පීඩාවට පත්ව සිටින්නන්, නිදහස් වෙළඳපොළ ක්‍රමයට අනුව ආර්ථිකය හැසිරීම් තුළ තවදුරටත් පීඩාවට පත් වීමේ අනතුර තිබේ. මධ්‍යම පංතික කොටස් පවා දැඩි පීඩනයකට හසුවීම සිදු වෙනු ඇත. ඒ තත්වයන් ආණ්ඩුවට දේශපාලනිකව බරපතල හානි ගෙනදීම සිදු වෙනු ඇත. සක්‍රීය විපක්ෂයක්, දියුණු නායකත්වයක් සමඟ ජන කොටස් සංවිධානය වුවහොත් තත්වයන් වඩාත් බරපතල වෙනු ඇත. දැනට විපක්ෂ කොටස් වල තිබෙන දුර්වල නොදියුණු භාවයන් නිසා ආණ්ඩුපක්ෂයට තිබෙන වාසිය තවදුරටත් තබා ගන්නට ආණ්ඩුව මෙහිදි සමත් විය යුතුය. දේශපාලන කළමනාකරණය ගැනද බැසිල් රාජපක්ෂට තිබෙන පරිචය අනුව එය ඔහු විසින් සිදු කරනු ඇතැයිද උපකල්පනයකට යෑමට පුළුවන.

කෙසේ නමුත් ඉදිරි වසර දෙක තුන එක්තරා ආර්ථික සංක්‍රාණ්තික කාලයක් ලෙස හැඳුනාගත හැකිය. එහෙත් අවදානම්ය. අතුරෙ යනවාක් මෙන් සීරුවට පරිස්සමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට මේ ගමන යෑමට සිදුවෙනු ඇත. රටේ අනාගතය ඇත්තේ ඔහු අතය. මෙහිදී වඩත්ම වැදත් දේ සිය කඳවුරේ උපරීම සහයෝගය ඔහුට හිමිවීම අනිවාර්යයක් වීමය.

- සුජය

Last modified on Saturday, 13 November 2021 18:57

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us