ඉතිහාසය දෙස බලන විට පාන්වලට, හාල්වලට ආණ්ඩු වෙනස් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රකටය. හඳෙන් හෝ හාල් ගෙනත් දෙනවා යැයි කියූ විට එය ඉස්මුදුනින් පිළිගත් පිරිසක් ද අපේ රටේ සිටියහ. මේ තත්ත්වය මත ගොඩනැගුණු දේශපාලනය නිසා අපේ රටට තිබුණු තත්ත්වයත් නැති විය. නිදහසට පෙර අපේ ආර්ථිකය පොහොසත්ය. නිදහසට පසු අපේ ආර්ථිකය දුප්පත්ය.
ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ජුලියස් නියරේරේ බලයට පත් වූ පසු එරට අධ්‍යාපනය ගැන විශේෂ අවධානයක් යොමු කොට ධවල පත්‍රිකාවක් මඟින් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කළේය. වැඩිහිටි අධ්‍යාපනයට ද මූලික තැනක් දිය යුතු යැයි නියරේරේ විශ්වාස කළේය. මුලදී ඊට ජනතා සහයෝගය නොලැබුණ ද පසුව ඊට විශාල ජනතා සහයෝගයක් ලැබිණි. ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපන විශේෂඥයෝ නියරේරේගේ අධ්‍යාපන දර්ශනය හදාරන්නට පටන් ගත්හ. අධ්‍යාපනය යනු සංවර්ධනයේ ප්‍රධාන අංගයකි. නියරේරේගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ටැන්සානියාව තුළ විශාල වෙනසක් සිදු විය. වෙනසක් සිදු කිරීම අපහසුය. එහෙත් අනාගත දර්ශනයක් ඇති නායකයකුට එම වෙනස සිදු කළ හැකිය.
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා අනාගත දැක්මක් ඇතිව රට මෙහෙය වන නායකයෙකි. ජනප්‍රිය නොවන ඇතැම් තීන්දු තීරණ ගනිමින් රටේ අනාගතය ශක්තිමත් කිරීමට ඔහු වෑයම් කරයි. ජනාධිපතිවරයාගේ වැඩසටහන වටහා නොගත් විශාල පිරිසක් රටේ සිටිති. එලෙසම එය වටහා ගැනීමට වුවමනාවක් නැති පිරිසක් ද රටේ සිටිති. මේ ඇත්තන්ගේ විවේචනවලට, අපහසාවලට මෙන්ම විරෝධතාවලට ද මුහුණ දෙන්නට රාජ්‍ය නායකයාට සිදු වී තිබේ. එහෙත් ඔහු තම ප්‍රතිපත්ති හා වැඩසටහන් ආපසු හරවා නැත. මැතිවරණවලට වඩා ජනතාවගේ අනාගතය වටිනා බව ජනාධිපතිවරයා කියා සිටී. හොඳ දේවල් කරන්නට යන විට ඊට එරෙහිව නැඟෙන බාධා කිරීම් වැඩිය. කකුලෙන් ඇදීම් වැඩිය.
පොහොර ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළම මත කිහිපයක් ඇති බව දැක ගත හැකිය. ඇතැම් මන්ත්‍රීවරයකුගේ අදහස වන්නේ කාබනික වගා ව්‍යාපෘතිය එකවර කළ නොහැකි බවය. රසායනික පොහොර හා කෘමිනාශක නැතිව වගාව කළ නොහැකි යැයි විශ්වාස කරන පිරිසක් ද ආණ්ඩුවේ සිටිති. ජනාධිපතිවරයාගේ හරිත කෘෂිකර්මය පිළිබඳ වැඩසටහන ආණ්ඩු පක්ෂයේ සමහරුන් ද වටහාගෙන නැත. විපක්ෂය ගොවියන් හැකි තාක් දුරට කුලප්පු කරයි. මේ පසුබිම තුළ අපට දකින්නට ලැබෙන්නේ කෘෂිකර්මය තුළ විශාල අවුලකි. මේ අවුල ලිහා ගත හැක්කේ අවබෝධය තුළින් පමණි. අවබෝධය ඉබේ ලැබෙන්නේ නැත. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඊට සුදුසුම කණ්ඩායම හරිත කෘෂිකර්මය සඳහා වූ ක්‍රියාකාරී බළකායයි.
ජනාධිපතිවරයා මීට දින දෙකකට ඉහත දී කුලියාපිටියේ ඌරුබැද්දාවට ගොස් එහි පිහිටුවන ලද සාර්ථක කාබනික පොහොර නිෂ්පාදන ස්ථානයක් හා සාර්ථක කාබනික වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කළේය. එක්තරා වැවිලිකරුවෙක් ස්වෝඋත්සාහයෙන් මසකට කාබනික පොහොර ටොන් දහතුනක් නිෂ්පාදනය කරයි. අක්කර දහතුනක සාර්ථක කාබනික වගා ව්‍යාපෘතියක් ද ඔහු පවත්වාගෙන යයි. එහි වස විසෙන් තොර එළවළු තිබේ. පලතුරු තිබේ. අක්කර දහ තුනෙහි මූලික වගාව වන්නේ පොල්ය. එහි පොල්ගස්වලට කිසිදු රසායනික පොහොරක් භාවිත කරන්නේ නැත. වගාව ඉතා සාර්ථකය. මෙබඳු ස්ථාන ගණනාවක් රට පුරා පවතී.
ජනමාධ්‍ය ආයතන ගොවි විරෝධතාවලට දක්වන අවධානය කාබනික වගා ව්‍යාපෘති කෙරෙහි දක්වන්නේ නැත. ගොවි විරෝධතාවලට පූර්ණ සහයෝගය දක්වන ජනමාධ්‍ය ආයතන තිබේ. ඒවා රසායනික පොහොර ජාලය සමඟ සමීප සබඳතා පවත්වයි. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක යනු ලෝකයේ ප්‍රධාන ජාවාරමකි. මේ ජාවාරම කොතරම් බලවත් ද යත් විශිෂ්ට විද්‍යාඥයෝ, පර්යේෂකයෝ, වෛද්‍යවරු හා පරිසරවේදියෝ ද පොහොර සමාගම්වල කුලීකරුවන් බවට පත්ව සිටිති. මෙයින් පෙනී යන කරුණු දෙකක් තිබේ. පළමුවන්න රසායනික පොහොර සමාගම්වල බලය ඉතා ඉහළින් පවතින බවය. දෙවැන්න මහජන සෞඛ්‍ය හිතකර පරිසරය ආදිය වෙනුවෙන් පෙනී සිටින අවංක පුද්ගලයන් හා සංවිධාන අඩු බවය. ඒවා හඳුනා ගැනීම දුෂ්කර බවය.
රසායනික පොහොරම ඉල්ලමින් විරෝධතා දක්වන අය වකුගඩු ඉල්ලමින් ද විරෝධතා දැක්විය යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටී. එය හරියටම හරි කතාවකි. උද්ඝෝෂණය කළේ නැතත් වකුගඩු ඉල්ලමින් කරන ආයාචන දිනපතාම පුවත්පත්වල පළ වෙයි. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක භාවිතය නිසා ඇතැම් පළාත්වල ජලය පානයට නුසුදුසුය. පස විනාශ වී ඇත. පරිසරය වස විෂෙන් සන්තෘප්තය. මීට වසර තිහ හතළිහකට පෙර දුටු කෘමීන්, කුඩා මත්ස්‍යයන් හා පණු වර්ග අද දැක ගත නොහැකිය. කණාමැදිරියන් ඇත්තේ ඉතා කලාතුරෙකින් තැනකය. රසායනික පොහොර හා කෘත්‍රීම කෘමිනාශක ජීව ලෝකයට අහිතකර බව සනාථ කරන්නට අමුතු පර්යේෂණ අවශ්‍ය නැත. එදා සහ අද පරිසරය දෙස බලන විට එය වටහා ගත හැකිය.
කුමන රාජ්‍ය නායකයකු බලයේ සිටිය ද කුමන දේශපාලන පක්ෂයක් රාජ්‍ය පාලනය කරගෙන ගිය ද කාබනික වගාවට යොමු විය යුතුව තිබේ. එය මානවයාගේ පැවැත්මට අදාළ මූලික සාධකයක් ලෙස පවතී. දේශපාලන නායකයන් මේ තත්ත්වය වටහාගෙන තිබුණ ද, නිර්භීත තීන්දුවක් ගන්නට ඉදිරිපත් වූයේ නැත. වත්මන් ජනාධිපතිවරයා ඒ තීන්දුව ගත්තේය. ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙබඳු තීරණයක් ගත්තේය.
- දිනමිණ කතුවැකිය