එමෙන්ම මේ බව බෝග නිශ්පාදනය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් විවිධ උපක්‍රම තේරීමද එතරම්ම දිගු ඉතිහාසයක් සහිත ක්‍රියාවලියක්.
ඒ අනුව මෙලෙස වගා කිරීමට භාවිත කරන භුමියේ පසේ ගුණාත්මක බව ඉහළ නැංවීමට විවිධ ස්‌වාභාවික හා කෘත්‍රිම ද්‍රව්‍ය නැතිනම් පොහොර වර්ග එකතු කිරීම එදා සිටම සිදුවූවක්. ඈත අතීතයේ සියලු වගාවන් සදහා පොහොර යොදා ගැනීම එදා තිබු දැනුම අනුව නිශ්පාදිත පොහොර යොදා ගනු ලැබුවා. එහෙත් ඒවා බොහෝ විටම ස්වභාවික පරිසරයෙන්ම එකතුකර ගන්නා ලද දෙයට සීමා විය. වර්තමානයේ කොම්පෝස්ට් හෝ කාබනික පොහොර ලෙස හඳුන්වනු ලබන පොහොර වර්ග එදා පාවිච්චියට ගෙන තිබිණි. නමුත් වැඩි අස්වැන්නක් බලාපොරාත්තුවෙන් වඩාත් කාර්යක්ෂම පොහොර වෙත යොමුවීමට මිනිසාට සිදුවිය. ඒ අනුව විද්‍යාවේ දියුණුවත් සමඟ රසායනික පොහොර වර්ග නිශ්පාදනය සිදුවිය. රසායනික පොහොර බාවිතය කෘෂිකාර්මික විප්ලවයකට හේතු විය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ මෙම රසායනික පොහොර අද වන විට ලෝකයට පිළිලයක් වන තරමට මානව වර්ගයාට බරපතල හානිදායක බව විද්‍යාවෙන්ම ඔප්පු වී තිබේ.
මෙය කොතරම් මිනිස් ජිවිතවලට තර්ජනයක් වී ඇත්දැයි කිවහොත් රසායනික පොහොර පසට යෙදීම නිසා එහි ඇති රසායනික සංඝටක පානීය ජලය සමග මිශ්‍ර වීම නිසා මේ වනවිට වකුගඩු රෝගය ඇතුළු තවත් රෝගාබාධයන් රැසකට හේතුවක් වෙමින් තවදුරටත් විනාශය පැතිරෙමින් ඇත.
වකුගඩු රෝග මෙන්ම විවිධ පිළිකා රෝග, අඩු වයස දරුවන්ගේ ඇස් අන්ධ වීම, අඩු වයස දරුවන්ට දියවැඩියා වැනි බෝ නොවන රෝග ඇති වීම ලොව පුරාම සිදු වී ඇත. අද ලංකාව මේ රෝග විසින් බරපතල සමාජ ව්‍යවසනයක් කරා තල්ලු කර ඇත. වකුගඩු රෝගය නිසාම සමහර පවුල් පිටින් වැනැසී ඇත. එකම පවුලේ දෙන්නා තුන්දෙනා මේ රෝග වලට බිලි වී අසරණ වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටිනු අදත් රජරට ආදී ගොවි බිම් ප්‍රදේශවලට ගිය විට දකින්නට ලැබේ.
ලංකාවේ බහුලවම වකුගඩු රෝගීන් ඇති දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය සැලකේ. පසුගියදා අනුරාධපුර ශික්ෂණ මහ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ බෝ නොවන රෝග ඒකකයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මේ පිළිබදව දැක් වූ අදහස් සිළුමිණ පුවත්පත මෙලෙස පළ කර තිබුණි,
''උතුරු මැද පළාතේ 90 දශකයේ සිට වකුගඩු රෝගය පැතිර යනවා. වකුගඩු රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල මුදලක් වැය කරනවා. ඒ මුදල වසරින් වසර වැඩි වනවා. දිනෙන් දිනම රජරට වකුගඩු රෝගීන් ලොවෙන් සමුගන්නවා. 2019-2020 වසර වල යම් ප්‍රමාණයක වකුගඩු රෝගීන් ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබෙනවා. වකුගඩු රෝගය නිසා අංශභාගය හා හෘදයාබාධ වැනි රෝග ආසාධනය වී මිය යෑම සිදු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මැදවච්චිය, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මැදිරිගිරිය වැඩිම රෝගීන් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ගත් විට වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ පදවිය ප්‍රදේශයෙන්. අවුරුදු 30 ට වැඩි බහුතරය පිරිමි පක්ෂයට මෙම රෝගය සෑදී ඇති බව වාර්තා වෙනවා. ගොවිතැන් කරන අය අතර ප්‍රතිශතයක් ලෙස 70% කට වකුගඩු රෝගය ඇති බව වාර්ථා පෙන්වා දෙනවා. ගොවිතැනට උදව් කරන ගෘහණියන් වකුගඩු රෝගයට ගොදුරු වී ඇත. කෘත්‍රිම රසායනික පොහොර පාවිච්චි කරන ප්‍රදේශ වලින් වැඩිපුර රෝගීන් වාර්තා වී තිබෙනවා. රසායනික පොහොර වැඩි පුර පොළොවට එක්කිරීම නිසා ජලය ලවන බහුල කිවුල් වෙනවා. හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව අදටත් පරීක්ෂණ පවත්වනවා. වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය අංශ වල ප්‍රධානතම අරමුණ වී තිබෙනවා'' යනුවෙනි.
එහෙත් අවාසනාවන්ත තත්වය වී ඇත්තේ රටේ මෙතරම් අවාසනාවන්ත තත්වයක් තිබියදීත් මෙතෙක් පැවතී කිසිදු රජයක් මෙම රසායනික පොහොර පිළිබදව කිසිදු පැහැදිලි නියාමනයක් සිදු නොකර සිටීමය. පසුගිය කාලවල මේම රසායනික පොහොර තහනම් කිරීම ගැන සංදර්ශන පමණක් ක්‍රියාත්මක විය.
එහෙත් මෙම අවාසනාවන්ත තත්වය මැනවින් අවබෝධ කර ගත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ඇතුළු පලිබෝධ නාශක ආනයනය සහ භාවිතය තහනම් කිරීමට තරම් එඩිතර කාලෝචිත පියවරක් ගනු ලැබිය. එය ලෝක ප්‍රජාවගෙත් ඇගයීමට පාත්‍රවුවත් ජනපතිවරයා ගත් මෙම තීරණයට විපක්ෂයෙන් පමණක් නොව සැලකිය යුතු තරම් ගොවි ජනතාවකගෙන් ද දරුණු ලෙස විවේචන ගලා ආවේය. එහෙත් ජනපතිවරයා ගත් තීන්දුව මැනවින් අවබෝධ කරගත් ඇතැම් ගොවිමහතුන් , තරුණ ව්‍යවසායකයන් කාබනික වගා සාර්ථක ලෙස සිදු කරමින් කකුලෙන් අදින ,කෙටික්‍රම සොයන පාර්ශ්වයට අභියෝග කරමින් සිටි.
මේ අතර අද දිනයේ ඇලහැර ව්‍යාපාරයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ මෙවර මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක ලබාදෙන ලෙස රජයට බල කරමිනි. මෙය වත්මන් පොහොර අර්බුදය හමුවේ ඇරඹි පළමු උපවාසයයි. මොරගහකන්ද කලාපයේ ඇලහැර ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුවට අයත් ගොවි සංවිධාන 41ක ගොවීන් මේ සඳහා එක්විය. තවද දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබුණි.
මේ සියල්ල අභියස වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු විරෝධතා කරුවන්ට නිශ්චිත පිළිතුරක් දී තිබිණි. පසුගියදා උඩුබද්දාව ප‍්‍රාදේශීය සභා භූමියේ ඇති කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා ස්ථිර සාරව කියා සිටියේ .. තමාට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීමට බවත් රසායනික පොහොර ඉල්ලන අය අනෙක් පැත්තෙන් වකුගඩුවකුත් ඉල්ලා සිටිය යුතු බවත් එමෙන්ම රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බවත්ය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආපසු හරවන්නට ඇතැම් බලවේග කැස කවද්දී ඒ කිසිවකට යටත් නොවී ඒ ජයග්‍රහණයෙන් අවසන් කිරීම ගැනද එහිදී ජනාධිපතිවරයා මතක් කර තිබිණි.
රසායනික පොහොර භාවිතයෙන් ඉවත් විය යුතු බව සිහි බුද්ධියක් ඇති සියළු දෙනා පිළිගන්නා සත්‍යයකි. එහෙත් ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඒ තිරණය ගන්න ඒය ක්‍රියාවට නගන්න කොන්ද පණ ඇති නායකත්වයක් රටට ලැබී ඇත්තේ දැන්ය. ඊට හැකි සෑම සහයක්ම පළ කර සිටීම, මෙරට පුරවැසියාගේ සෞඛ්‍ය සම්පන්න යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරන මිනිසුන්ගේ යුතුකමය. රජයේ වැඩ පිළිවෙල ගැන විවේචන තිබිය හැකි නමුත් විය යුතු දේ වෙනුවෙන් පෙනී සීටීම පුරවැසියාගේ යුතුකමය.
මේ පිළිබදව ජනපතිවරයා දැක්වූ දීර්ඝ අදහස උපුටා දක්වමි.
''රසායනික පොහොර තහනම අලූතෙන් දාපු දෙයක් නෙවෙයි. සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රසායනික පොහොර පාවිච්චිය නතර කරන බවට සටහන් කර තිබෙනවා. මම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කෙනෙක්. මගේ අම්මයි තාත්තයි වගා කරලා තියෙනවා දැකල තිබෙනවා. මම ගත්ත මේ තීරණය කිසිම නායකයෙක් ගත්තේ නැහැ. අපි දිය ඇලිවල නෑවා. අද නාන්න බැහැ. නෑවොත් වෙන්නේ මළ මිනියක් වෙලා එන්න.
මම ප‍්‍රමුඛත්වය දුන්නෙ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නෙ නැහැ. ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න. මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා. අනාගත පරපුර වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මට අවශ්‍ය ඡුන්දය නොවෙයි. ජනතාවට නිවැරදි දේ කිරීමයි. ඒ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා පමණක් බැලීමට මා කටයුතු කරනවා.
ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කරනවා. ඒ කිසිවකුට මා බියවන්නේ නැහැ. ජනතාව මාව නායකයා ලෙස තෝරා පත්කරගත්තෙ නිවැරදි තීන්දු තීරණ ගැනීමටයි.
කාබනික පොහොර වලින් වගාවන් සිදුකරන විට අපිට කියන්න පුළුවන් ශ‍්‍රී ලංකාව රසායනික පොහොර නැතිව ගොවිතැන් කරන රටක් බව. මේ හරහා සංචාරක කර්මාන්තයට පිරිස් ගෙන්වා ගන්න පුළුවන්. වෙළෙඳපොළක් ඇතිකරන්න පුළුවන්.
වී වලට සහතික මිලක් වැඩිකළා. අද කවුරුත් මේ ගැන කතා කරන්නෙ නැහැ. හො`ද දේ කරන්න අමාරුයි. අපේ රටේ තෙල්, ගල්අඟුරු, ගෑස් නැහැ. අපි තාම මේවා පාවිච්චි කරනවා. අපිට සුළං සූර්යාලෝකය හොඳට තියෙනවා. අපි මේවාට යන්නේ නැත්තෙ ඇයි? ඇයි මේවාට බියවෙන්නෙ කියලා හිතෙනවා.
අපි දන්නවා වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවයේ විවිධ කොටස්, අපේ කෘෂි කර්මාන්තයේ සමහර විශේෂඥයෝ මේ ගැන අවුරුදු ගණනක් කතාකරලා තියෙනවා. පසුගිය රජයන් පවා මේක කරන්න උත්සාහ කරලා තියෙනවා. මේක අසීරු කාර්යයක්. මගේ පරම්පරාවේ අය පාරම්පරික වගාවක් කරන හැටි දැකලා තියෙනවා. මගේ දෙමව්පියන් වගා කළා. ගොවිතැන් කළා. අද ඒ කුඹුරටම ගියාම ඒ කුඹුරේ එදා ඉඳපු ගැඩවිල්ලෝ, කක්කුට්ටෝ, මඩකරි ඒ කිසි සතෙක් නැහැ. එදා අපි නෑව ඇළේ අද නාන්න බැහැ. අපේ පළාතේ, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ළිංවලින් වතුර බොන්න බෑ. කිවුලයි. ඉඳලා හිටලා හොඳ ළිඳක් තියෙනවා. අපේ වෙල් යාය මැද පාරම්පරික ළිඳක් තිබුණා. මුළු ගම්මානයේ අය වතුර බිවේ ඒ ළිඳෙන්. අද ඒ ළිඳේ වතුර බොන්න බැහැ. කුඹුරට ගහන විෂ රසායනික ද්‍රව්‍ය මේකට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ජලය දූෂණය වෙලා.
කුඹුරු වගා කරන ප‍්‍රදේශවලට ගියහම අපෙන් ආරෝ මැෂින් එකක් දෙන්න කියලා ඉල්ලනවා වතුර බොන්න බැරි නිසා. දැන් කුඩා ළමයින්ටත් වකුගඩු රෝගය. පිළිකා රෝහලට ගිහින් බලන්න කී දෙනෙක් ළමයි ඉන්නවාද?
මේක කවුරුත් දන්න දෙයක්. නමුත් අවසනාවකට කිසිම නායකයෙක් මේවගේ තීරණය ගත්තේ නැහැ. මාව පත් කළේ මේ රටේ වෙනසක් කරන්න. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයට.
පොහොර නොමිලේ දුන්නා. අපි ඒ පොහොර නොමිලේ දුන්නේ ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. වී වලට තිබුණු සහතික මිල අපි වැඩි කළා. නමුත් ඒ කිසිවක් අද කතා කරන්නේ නැහැ. මිනිස්සු වැරදි දේවල් කියලා, ගොවීන්ව උසි ගන්නවලා, දැන් කියනවා අපට රසායනික පොහොර දෙන්න කියලා. රසායනික පොහොර ඉල්ලන එක්කෙනා පොහොරත් එක්කම වකුගඩුවක් ඉල්ලන්න ඕනෑ.
වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ විශාල වකුගඩු රෝහලක් ඉදි කළා. අපි අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්, දූ දරුවන් වෙනුවෙන් කෘෂි කර්මාන්තයේ වෙනසක් කරන්න ඕනෑ.
අවුරුදු හතළිහක විතර කාලයක් තිස්සේ ගොවි මහත්වරු යූරියා සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය පුරුදු වෙලා. අද ඒක හොඳටම ඔප්පු වෙනවා. විවිධ කාබනික පොහොර හදපු තවත් තැන් තියෙනවා. මම ඒ හැමතැනටම යනවා. ඒ අය දිරි ගන්වන්වනවා. ගමට මතයක් ගෙනියන්න ඕනැ. අපි ගොවීන්ව දිරි ගන්න ඕනෑ. ඔවුන්ට මේක කරන්න පුළුවන් දෙයක් කියලා කියන්න ඕනෑ. මේ පොහොර ගැන වගේම එහි විශාල ආර්ථිකයක් තියෙනවා කියන එක ගැන ඔවුන් දැනුවත් කරන්න ඕනෑ.
අපට ලෝකයට කියන්න පුළුවන් නම් ශ‍්‍රී ලංකාව තමයි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව කෘෂි කර්මාන්තය කරන රට කියලා ඒකම ඇති අපට සංචාරකයන් ගෙන්වා ගන්න. ඒකම ඇති අපට හොඳ වෙළෙඳපොළක් හදාගන්න. ඒවාට ලෝකයේ හොඳ ඉල්ලූමක් තියෙනවා. අපට ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදනය දෙන්න පුළුවන් නම් ඉහළ විදේශ විනිමයක් ගෙන්න පුළුවන්. එතකොට අපට පුළුවන් රුපියල් 50ට තියෙන සහතික මිල රුපියල් 150ක් කරන්න. ඒක තමා ඉලක්කය කරගන්න ඕනෑ. ඒක තමයි මගේ අරමුණ.
බොරුවට මේක දේශපාලනීකරණය කරලා,
ගොවියන්ව අවුස්සන්න නොවෙයි කරන්න තියෙන්නේ. මම අහන්නේ මේ හොඳ දෙයක් ද නරක දෙයක් ද කියලා. ඔබ සියලූ දෙනාත් මේ වැඬේ හොඳ දෙයක් ද නරක දෙයක් ද කියලා හිතන්න. හොඳ දෙයක් නම් ඒක අමාරුයි. අමාරු වුණාට ඒකෙන් දේශපාලන වාසි
ගන්නේ නැතුව අපි ඒක කරන්න ඕනෑ. අපි දේශපාලනයෙන් තොරව එකතු වෙලා මේක සාර්ථක කරගන්න වැඩ කරන්න ඕනෑ.
මම ආරක්ෂක ලේකම් හැටියට පත්වෙන කොට අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. හැමෝම මේකට අතගහන්න එපා කිව්වා. නමුත් අපි එය පටන් ගෙන අවුරුදු දෙකහමාරකින් තුනකින් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කෙරුවා. ඒ වගේම සටනක් තමයි මේ. රසායනික පොහොර තහනම් කිරීම සම්බන්ධයෙන් සමහර අය විරුද්ධයි.
ඒ අය මේක නවත්තන්න සල්ලි වියදම් කරනවා. නමුත් අපි ඒවා නොතකා ඉදිරියට යන්නට අවශ්‍යයි. එය කළ හැකි දෙයක්.
දේශපාලනය කරලා, ආපු නායකයෙක් මේ සංකල්පයට අත ගසන්නනේ නෑ. ඒ ඇයි, ඡුන්ද නැතිවෙයි කියලා. මම බය නැතිව කියනවා මට ඡුන්ද නොවෙයි අවශ්‍යය. මට අවශ්‍ය රටට, ජනතාවට, ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කරන්න. මේ වගේමයි පුනර්ජනනීය බලශක්තිය.
අපට තෙල් නෑ, අපට ගල් අඟුරු නෑ, අපට ගෑස් නෑ. මේ සේරම නැති වුණත් අප උත්සාහ කරන්නේ ඒ දේවල්වලටම යන්න. නමුත් අපට වතුර තියෙනවා, අපට සුළං තියෙනවා, අපට සූර්ය බලය තියෙනවා. එත් අපි මේවාට විරුද්ධ වෙලා තවත් සමහරු ගල් අඟුරු බලාගාර හදන්න කියනවා.
අද ලෝකයේ වැඩි දෙනෙක් කතා කරන්නේ අපි කොහොමද දේශගුණික විපර්යාස නැති කරන්නේ කියලා. ඒවාට විසඳුම් මොනවද කියලා. මේවා ගැන අපි කතා කරලා විතරක් වැඩක් නෑ, අපි ඒ විසඳුම් ක‍්‍රියාත්මක කරන්න ඕනෑ. මම මේ අභියෝගය භාරගත්තේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. අපි දේශපාලන බොරු වාසි ගන්නේ නැතිව අපේ රට වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් එකට එකතු වෙලා මේ කාර්ය කරන්න ඕනෑ.
අපට මෙය සුළු කාලයකදී කළ හැකි දෙයක්. අවුරුදු 10ක් 15ක් යන දෙයක් නොවෙයි. අවුරුදු ගාණක් තිස්සේ රසායනික පොහොර භාවිතය නිසා මුළු රටේම පස නිසරු වෙලා. අපේ පස සරු කරපු ගැඩවිල්ලෝ වගේ සත්තු දැන් නැති වෙලා. ජලාශ, ගංගා, දියඇලි මේ හැම එකකම ගහගෙන එන්නේ රසායනික පොහොර. අපට ඒ වතුර බොන්න බෑ. දැන් ගම්මානවල ළිෙ ඳන් වතුර බොන්න පුළුවන්ද? අද ඒ වෙනුවට ආරෝ මැෂින් ඉල්ලනවා. දියඇලි ගංගා අපිරිසිදු වෙලා. අපි මේවා අනිත් පැත්තට හරවන්න ඕනෑ, අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන්. එක එක අය දෙන බොරු ප‍්‍රචාරවලට රැවටෙන්න නරකයි. අපි හරි දේ කළ යුතුයි. ඒ හරි දේ කරන්න අමාරුයි. අමාරු වුණත් මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි එය කළ යුතුයි.
මම අද ඇවිල්ලා ඉන්න මේ මධ්‍යස්ථානය හොඳ ආදර්ශයක්. එය බලන්නයි, දිරි ගන්වන්නයි මම මේ ආවේ. මේ වගේ බොහෝ ස්ථාන රටේ තියෙනවා. ඒවා සාර්ථක ලෙස කරගෙන යන්න නම් අපි ඒවාත් දිරිගන්වන්න ඕනෑ. මෙතුමාගේ වැඩපිළිවෙළ තුළ ඉතා හොඳ විසඳුමක් තියෙන බව අපි දැක්කා. අපි ඒවා අනිත් ගොවි මහත්වරුන්ටත් ගෙනහිල්ලා දෙන්න ඕනෑ.
අපි බිලියන ගණන් ඩොලර් පිටරට ඉන්න පොහොර හදන කර්මාන්තකරුවන්ට දෙනවා. ඇයි අපට ඒ මුදල ලංකාවේ අලූතින් ව්‍යවසායකයින් ඇති කරලා ඒ අයට දෙන්න බැරි. ඒ වෙනුවට අපට අලූත් ව්‍යාපාර, අලූත් නිෂ්පාදන ඇති කරන්නට පුළුවන්. මෙය හොඳ දෙයක්. අප එය කරන්නට අවශ්‍යයි.
අවුරුදු දහස් ගණනක් අපි යූරියා භාවිත කෙරුවේ නෑ. 70 ගණන්වල තමයි ලංකාවට යූරියා ගෙනාවේ. මම දැකලා තියෙනවා මගේ අම්මලා තාත්තාලා වගා කරපු හැටි. ඔවුන් යූරියා භාවිත කෙරුවේ නෑ. පරිසරයත් රැකිලා, ජලයත් රැකිලා හොඳ අස්වැන්නකුත් අපට ලැබුණා. පාරම්පරික දේ අපි අමතක කරලා, වෙනත් දේකට ගිහින් සම්පූර්ණ රටම දැන් විනාශ කරල තියෙන්නේ. මම විශේෂයෙන්ම ගොවි මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා මම ගැන විශ්වාස කරන්න කියලා.
මම පත් වූ දවසේ ඉඳලා ගොවි මහතුන්ගේ ආදායම වැඩි කරන්න තමයි වැඩි අවධානයක් ලබා දුන්නේ. වී රුපියල් 25ට දෙන්නත් බැරිව ගොවියෝ සියදිවි හානි කර ගත්තා. දැන් අපි රුපියල් 50ක සහතික මිලක් දෙනකොට ගොවියා 60ට, 65ට අද වී දෙනවා. වී මිල වැඩි වෙන කොට හාල් මිල වැඩි වෙනවා. 75%ක් ඉන්නේ මේ රටේ ග‍්‍රාමීය ජනතාව. මේ ග‍්‍රාමීය ජනතාවගෙන් 75%ක්ම ගොවි මහත්වරු. මේ අයගේ ආදායම් තත්ත්වය අපි වැඩි කරන්න ඕනෑ. ඒක තමයි මගේ පරමාර්ථය. මම මෙය පටන් අරගෙන තියෙන්නේ හොඳ පරමාර්ථයකින්. ඒකට මම ගොවි මහත්වරුන්ගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා'' යනුවෙනි.
මේ සියල්ල සලකා බැලීමේදී ජනපතිවරයෙක් ලෙස රටක ජනතාවගේ අනාගතය උදෙසා ගත් මෙම තීරණය පිළිබදව පක්ෂ පාට භේදයකින් තොරව සියලු ලක් වැසියන් අගය කළ යුතුව ඇත. ඕනෑම රටක රාජ්‍ය නායකයෙක් තම රටේ ජනතාවට වගවිය යුතුය. රාජ්‍ය නායකයන් තම රාජ්‍ය ඉදිරියේ දිවුරුම් දෙන්නේ ඒ නිසාය. මෙරට වත්මන් රාජ්‍ය නායකයා එදා ජනතාව ඉදිරියේ දුන් ප්‍රතිඥා රැක ගනිමින් ,රට ඉදිරියට ගෙන යන්නේ ඒ අයුරින්ය.
-පංචාලි