ඇත්තටම අපට ඩොලර් අවශ්‍ය ඇයි දැයි යමෙකු සිතීමට හැකිය. ඔබ දන්නවා මෙරට අප භාවිතා කරන බොහෝ බදු භාණ්ඩ පිට රටින් ගෙන්වන බව. ඒ අතරින් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ඛනිජ තෙල් සහ ගෑස් යන භාණ්ඩ දෙකම අප පිටරටින් ආනයනය කරන ඒවාය. එසේ නම් ඒවා මිලදී ගැනීමට අපට විදේශ මුදල් අවශ්‍යම වෙයි. එනම් ඩොලර් අවශ්‍ය වෙයි. අපට ඩොලර් නැත්නම් රුපියල් කොතරම් තිබුණත් මේ භාණ්ඩ විදේශයන්ගෙන් මිලදී ගත නොහැකිය.මේ වන විට රටෙහි උද්ගතව ඇති ඩොලර් හිගය හේතුවෙන් වත්මන් රජය මගින් ආනයනික භාණ්ඩ රැසක් ගෙන්වීම සිමා කරන ලදී..එහෙත් ඛනිජ තෙල් සහ ගෑස් යන භාණ්ඩ දෙකම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන අතර ඒවා මෙරට නිෂ්පාදනය නොකරන හෙයින් ආනයනය කිරීමට අනිවාර්යෙන් සිදු වේ.
එසේම අපට ආනයනය සඳහා පමණක් නොව විදේශයන්ගෙන් ගත් ණය පියවීමට ද ඩොලර් අවශ්‍ය වෙයි. මේ කියන විදේශ ණය කලට වෙලාවට පියවිය යුතුය. එහෙත් එසේ නිසි කලට වෙලාවට අපට විදේශ ණය ගෙවීමට නොහැකි වුවහොත් රටට ඉන් පසු විදේශයන්ගෙන් භාණ්ඩ මිලට ගැනීම ඇතුළු විදේශ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදු වනු ඇත.
කෙසේවෙතත් මෙරට මුහුණ දී ඇති ඩොලර් හිගයට සෘජුවම බලපෑ සාධකයක් වන්නේ කොරෝනා අර්බුධයයි. ජිවිතයට අභියෝග පැමිණීම සාමාන්‍ය දෙයකි. එහෙත් අප උත්සහ කළ යුත්තේ අභියෝග ජය ගෙන රට ඉදිරියට ගෙන යාමය. එම නිසාම වත්මන් රජය මේ වන විටත් කඩා වැටුණු ආර්ථිකයට , පවතින ඩොලර් හිගයට විසදුම් සපයමින් රට ඉදිරියට ගෙන යයි..එහි එක් යහපත් සාධනීය විසදුමක් ලෙස නැවතත් සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය වට පිටාව නැවුම් මුහුණු වරකින් නිර්මාණය කර ඒ සදහා දොරටු විවර කිරීමට රජය කටයුතු කරමින් සිටින බව පෙනේ. ඕනෑම රටක ආර්ථික සංවර්ධනය ගැන උපක්‍රම තෝරද්දී රටේ සම්පත්, හැකියාවන් සහ පහසු මාර්ග ගැන අවධානය යොමු කළ යුතුය. ඒ අනුව සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමේ ඇති පහසුම වඩාත් වාසිදායක කර්මාන්තයකි.
මේ අනුව මෙරට ඩොලර් හිගය පිළිබදව කතිකාවතක් ඇති කරද්දී සංචාරක ක්ෂේත්‍රය ගැන කතා නොකර බැරිය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට හැකි කර්මාන්ත අතර, අද වන විට ප්‍රමුඛස්ථානයට එන්නේ සංචාරක කර්මාන්තයය. එයට හේතුව, රටේ ආර්ථික වර්ධනයට එය බෙහෙවින්ම උපකාර වන ව්‍යාපාරයක් වන බැවිනි. ශ්‍රම සූක්ෂ්ම කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය ලොව විශාල පිරිසකට රැකියා සපයන සේවා යෝජකයකු ලෙස ක්‍රියා කරයි. එනිසාම මාලදිවයින, හොංකොං, සිංගප්පූරුව, තායිලන්තය, ජැමෙයිකාව, බහමාස්, බාලි, හවායි, බාබඩෝස් වැනි ලොව සංචාරක කර්මාන්තයෙන් විනිමය උපයන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටී.
ශ්‍රී ලංකාව මෑත කාලයක සිට සංචාරක කර්මාන්තය වෙත වැඩි උන්නදුවක් යොමු කර ඇත්තේ, එය රටට විදේශ විනිමය උපයන කර්මාන්තයක් මෙන්ම, රැකියා සපයන ව්‍යාපාරයක් වශයෙන් ද, රටේ ආර්ථිකයට විසල් මෙහෙවරක් ඉටු කරන බැවිනි.
කොරෝනා වසංගතයෙන් පසු සංචාරක ඉපයුම් ඇතුළු විදේශ විනිමය ආදායම් අඩු වී ඇති නිසා අපට ඩොලර් හිඟ වී ඇත. සංචාරක ඉපයුම් ගතහොත් ගිය වසරේ (2020) මුල් මාස හයේ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 682 සිට මේ වසරේ (2021) මුල් මාස හයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 23 දක්වා සියයට 96.7 කින් අඩු වී ඇත. පාස්කු ප‍්‍රහාරයට පෙර සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට අධික වාර්ෂික විනිමය ආදායමක් අප ලබමින් සිටියෙමු. මේ කාලයේ විදේශ විනිමය ලැබීම් සියයට 11.6 ක වර්ධනයක් තිබුණත් ඉකුත් ජුනි මාසයේ දී එය ද සියයට 16.4 කින් අඩු වී ඇත. මේ අනුව තාවකාලික විනිමය ලබා ගැනීමේ පියවරයන්ට අමතරව වාර්ෂිකව අපට ලැබෙන විනිමය ආදායම් ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එන්නත්කරණය වේගයෙන් ව්‍යාප්ත කිරීමත් සමග අපට ඉක්මණින් ආර්ථික කටයුතු පණ ගන්වා ගත හැකි වනු ඇත. එවිට විදෙස් සංචාරක පැමිණීම් ද වර්ධනය කර ගත හැකිය.
ලෝකයේ ප්‍රධාන කර්මාන්ත ගත් විට ඒවායේ නිෂ්පාදනයේ යම් සීමාවක් දැකිය හැකිය. එනමුදු සංචාරක කර්මාන්තයට එවැනි සීමාවක් නැති වීම විශේෂ වාසියකි. තවත් සුවිශේෂ වාසියක් නම්, මෙරටට එන විදෙස් සංචාරකයන් ගනුදෙනු කරන්නේ ලොව වැඩිම ඉල්ලුමක් පවතින මුදල් ඒකක සමඟින් වීමය. වර්තමානය වන විට එය වැඩි වශයෙන් අමෙරිකානු ඩොලර්වලින් ලැබීම රටට විශේෂ වාසියකි. එබැවින් රටට බලපා ඇති අය-වැය පරතරය පියවා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් එය භාවිත කළ හැකිය.
ලෝකයේ සෑම රටක්ම පාහේ සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි විමසිල්ල යොමු කර ඇත්තේ, එමඟින් උදා කර ගත හැකි මෙකී ආර්ථික යහපත සැලකිල්ලට ගනිමිනි. එයට හේතුව, එහි ප්‍රධානතම ප්‍රතිලාභය රජය වෙත යොමු වන බැවිනි. සංචාරකයන් තම ගමනාන්තයේදී වැය කරන විදේශ විනිමය රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබීමෙන්, එහි 'විනිමය වත්කම්' ඉහළ නඟී. එනම් මේ විදේශ මුදල් රුපියල් බවට පත් කිරීම සිදුවන නිසා බැංකු තුළ විදේශ විනිමය සංචිත ගොඩනැගේ. ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රය හා බැඳුණු ආයතනවලින් අය කෙරෙන බදු මඟින්, රජයට ආදායම් ලැබේ. සංචාරක ප්‍රවේශ ගාස්තු, ගුවන් තොටුපොළ ගාස්තු, රේගු ගාස්තු ආදිය මඟින් ද රජයට විශාල ආදායමක් ලැබේ.
එමෙන්ම සංචාරක කර්මාන්තය යනු, සෘජු සහ වක්‍ර වශයෙන් රැකියා උත්පාදනය කරන්නකි. තරුණ රැකියා හිඟයට පිළියමක් වශයෙන් සාධනීය ලෙස එය යොදා ගත හැකිය. සංචාරක කර්මාන්තය මෙරට ලක්ෂ 3 කගේ පමණ රැකියා ගැටළුව විසඳා ඇති අතර මිලියනයක පමණ පිරිසක්ගේ වක්‍ර අදායම් සහ යැපීම් මාර්ග සකසා තිබිණි.
මේ සියලු කරුණු කාරණා පිළිබඳ සලකා බැලීමේදී මේ මොහොතේ රට නැගීමට සංචාරක කර්මාන්තය මනා පිටුවහලක් බව පෙනී යයි. මේ එම නිසා වන විට මුහුණ දී සිටින ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බව වත්මන් රජය අවබෝධකරගෙන සිටි. එම නිසාම තවදුරටත් මෙම සංචාරක ක්ෂේත්‍රය පුළුල් කිරීම සදහා පසුගියදා පාරිසරික සංචාරක කර්මාන්තයට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් පාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීමට වත්මන් රජය තීරණය කර තුබුණි. පරිසර සහ සංචාරක අමාත්‍යාංශ ඒකාබද්ධව ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කර ගැනීමටද රජය කටයුතු යොදා ඇත.
මේ පිළිබදව අද දිනයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.
'' කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. අප මුහුණදෙන ඩොලර් හිඟයට පිළියමක් හැටියටත් රටේ සංවර්ධනය සඳහා එවැනි අයෝජන රටට කැඳවාගෙන ඒම විශේෂ කාරණයක්. ශ්‍රී ලංකාව දැනට පවතින තත්ත්වයන් යටතේ ලෝකයේ රටවල් රාශියක් සමඟ සැසඳීමේ දී අයෝජකයින් අඩුවෙන් එන රටක්. ඒ තත්ත්වය හොඳ තත්ත්වයට පරිවර්තනය කරගෙන මේ රටට ආයෝජකයින් කැඳවා ගැනීමට අවශ්‍ය පසුතලය පහසුකම් නිර්මාණය කිරීමත් රජයක වගකීමක් හැටියට අපි සලකනවා." යනුවෙන් අමාත්‍යවරයා සදහන් කර ඇත.
එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨාධිපතිවරයකු, හිටපු උපකුලපතිවරයකු හා වර්තමාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා 'කොරෝනා හේතුවෙන් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්‍රය නැවත බල ගැන්වීම' සම්බන්ධයෙන් දැක් වූ අදහස සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙසේය,
"කොවිඩ් උවදුරත් එක්ක අපේ ආර්ථිකය දැඩි කම්පනයකට ලක් වුණා. ඊට කලින් අපේ ආර්ථිකයට ගැටලුවක් එල්ල වෙලා තිබුණෙ නෑ. පල ගැන්වෙමින් තිබුණු අපේ ආර්ථිකය වේගයෙන් දුවන ආර්ථිකයක් බවට පත් කිරීමයි අපට කරන්නට තිබුණෙ. එහෙත්, අපි දේශීය සම්පත් මත යැපෙන ප්‍රමාණයට වඩා, අපේ ආර්ථිකය ගෝලීයකරණය වෙලා තිබෙන ප්‍රමාණය වැඩියි. ඒ කියන්නේ අපේ රට කුඩා වුණාට, ආර්ථික සම්බන්ධතා අතින් ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය විශාලයි.
මේ කම්පනය අපේ රටට ප්‍රබලව දැනෙන්නේ ඒ නිසයි. උදාහරණයක් හැටියට සංචාරක කර්මාන්තය ගත්තොත්, අපේ රටට දැන් සංචාරකයො එන්නෙ නෑ. සාමාන්‍ය පරිදි රටට සංචාරකයො එන තත්ත්වයක් තිබුණා නම්, අද අපට විනිමය අනුපාතිකයේ ගැටලුවක් එන්නෙ නෑ. විදේශ සංචාරකයන් රටට එනකොට, විදේශ විනිමය රට තුළට ගලා එනවා. අපේ රටේ ජාතික ආරක්ෂාව ඉහළ මට්ටමක තිබෙන නිසා, පාස්කු දින ප්‍රහාරයත් එක්ක මතුවී තිබුණු ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් එක්ක යථා තත්ත්වයට පත් වුණා. ඒත්, කොවිඩ් උවදුරත් එක්ක ඒකෙ ප්‍රතිලාභ ලබා ගන්න බැරි වුණා.
එහෙම තිබියදී ලංකාවට විනිමය ගෙනෙන විදේශ ආමුඛ ප්‍රේෂණ (ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන දෙවැනි මූලාශ්‍රය වන) විදේශ සේවා නියුක්තිකයන් විසින් උපයා මෙරටට එවන ඩොලර් ප්‍රමාණය ගිය වසරේ වැඩි වී තිබෙනවා. ඒ සංචිතයයි, අපනයනයි විතරයි අපට තිබෙන්නේ. නිරෝධායන කාලයේ වුණත් වෙළෙඳ කලාපය විවෘත කරලා, එන්නත් කිරීම් සිදු කරලා, අපනයන කිරීම් නොකඩවා සිදු කෙරෙනවා. දුෂ්කර තත්ත්වයකදී වුවත් ඒවා කර ගෙන යෑම රටක් විදිහට විශිෂ්ටයි. ඒත් අපට ඉදිරියට එන්න, මේ අපනයනය මදි. සංචාරක කර්මාන්තයෙන් සහ සෘජු පෞද්ගලික ආයෝජන නැති වෙලාවක තමයි රජයට දේශීය ආර්ථිකය බලගන්වන්න වෙලා තියෙන්නෙ.
සංචාරක ආකර්ෂණයට හිතවාදී ස්වාභාවික උරුම ගණනාවක්ම අප රට තුළ පැවතීම, සංචාරක කර්මාන්තයට විශාල වාසියකි. දේශගුණය, පාරිසරික සෞන්දර්යය, අතීත උරුම, මේ සියල්ලම අප රට සතුය. එනිසා ස්වාභාවික ආකර්ෂණය සඳහා වෙනමම ආයෝජන කිරීමට රජයට අවශ්‍ය නැත. ඒවා විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට හා විඳ ගැනීමට ඉඩ සැලසීම, පිරිවැය රහිත ආයෝජනයකි. අවශ්‍ය වන්නේ ඒ සඳහා යහපත් පසුබිමක් රට තුළ නිර්මාණය කර ගැනීම පමණකි'' යනුවෙන් ඔහු අදහස් දක්වා ඇත.
ඔබ දරණ දේශපාලන මතය කුමක් වුවත් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස රටේ ආර්ථිකය නගා සිටුවීමේ වගකීම ඔබද මාද සතුය. එසේනම් විවේචන පසෙක තබා මේ ව්‍යවසනකාරී මොහොතේ අපේ යුතුකම ඉටු කරමින් අලුතින් නැගිටින ශ්‍රීලංකාවට සහය දැක්වීම සිදුවිය යුතුය.
-පංචාලි