කොහොම හරි, බඩගින්නෙ මිනිස්සු නොමැරී සිටී. රජය විසින් ගෙවන්න තිබෙන විදේශ ණයද ගෙවමින් රට හතරගාතෙන් හරි ඇවිද්දවීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ඒත් මෙහෙම තව වැඩි කලක් යන්න වෙන්නෙ නැත. රට අභ්‍යන්තරයේ සෑම සියලු ක්ෂෙත්‍රයක් තුළම අර්බුද දළුලමින් තිබේ. රැකියා අහිමිවීම්, ආදායම් අහිමිවීම, පාරිභෝජන ද්‍රව්‍ය හිඟවීම, බඩු මිළ සීග්‍රයෙන් වැඩිවීම්,..., ආදි එදිනෙදා ජන ජීවිතයට දැඩිව බලපෑම් කරන හැම පැතිකඩක්ම දැන් අර්බුදයක් කරා යමින් තිබේ.
රජය විසින් දේශීය කෘෂි හා කර්මාන්ත නිශ්පාදන ගොඩනැංවීම ආදීය මගින් ආදායම් ලැබීම, අපනයන ආදායම් වැඩිකර ගැනීම ආදිය ගැන පුරසාරම් එහෙන් මෙහෙන් ඇහෙනට තිබුණද ඒවා අර්ධ සත්‍යයන් බව පොඩි සොයා බැලීමකදී වුව පැහැදිලි වෙයි. උදාහරණයකට අපනයන ආදායම් වැඩිවීම ගැන කියද්දී ඩොලරයේ අගය ඉහළ යෑම ද ඊට වැඩිමනත් හේතුවක්වීම ගැන කියවෙන්නෙ නැත. අපනයන භාණ්ඩ නිශ්පාදනයන් ප්‍රමාණය සැලකිය යුතු තරමින් ඉහළ ගොස් නැති බව කියැවෙන්නේ නැත.
මේ අතර ආනයනයන් දැඩි ලෙස සීමාකරමින් ඩොලර් ඉතිරි කරගැනීමට විශාල වෙහෙසක් ගනිමින්ද තිබේ. එහෙත් ඩොලරයේ අගය ඉහළ යෑම නිසා සීමාසහිතව කරන ආනයනයන් මත පමණක් වන අමතර පාඩුව ගනන් බැලන විටත් අද ලබන අපනයන ආදායම්, විශේෂ ලාබයක් මෙරටට සිදු කරන්නෙ නැති තරම්ය. එම ආනයනය - අපනයනය වෙළඳ පරතරය එන්න එන්නම වැඩි වන බවත් සංඛ්‍යා ලේඛන ඇසුරු කිරීමදී පෙනී යයි. ආනයනයන් සීමා කිරීම අපනයනය භාණ්ඩ නිශ්පාදනය අඩු කිරීම කෙරෙහි බලපා තිබෙන බවද එම සංඛ්‍යා දත්ත විසින් පැහැදිලිව පෙන්වා දෙයි.
කොහොම නමුත් අද රට මුහුණ දෙන අර්බූදය මෙරටට ඩොලර් ආදායම් අහිමි වීමේ ගැටළුවය. අපට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගයන් ලෙස සැලකෙන්නේ භාණඩ හා සේවා අපනයනයන, විදේශ ශ්‍රමිකයන් මෙරට එවන මුදල් සහ සංචාරක කර්මාන්තය මගින් වන ලැබීම්ය. මේ වන විට විදේශ ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණයද යම් තරමකට අඩු වී ඇති බව නවතම දත්ත මඟින් අනාවරණය වෙයි. එහෙත් අද බරපතලම ගැටළුව පවතින්නෙ සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ලැබුණු ඩොලර් බිලියන් 4 කට වඩා වැඩි ආදායම මුලුමනින්ම පාහේ අහිමි වීමය. 2018 වසරේදී ඩොලර් බිලියන් 4.3 ක් පමණ වූ මේ ආදායම් පාස්කු ප්‍රහාරය නිසා ඩොලර් බිලියනයකින් පමණ අඩු විය. ඉන් පසුව කොවිඩ් තත්වය නිසා ඩොලර් බිලියන බාගයක්වත් රටට ලැබීමේ අවස්ථාවන් අහිමිව තිබේ. මෑත කාලයේ වසරකට සාමාන්‍යයෙන් ලක්ෂ 20 කට වඩා සංචාරකයන් පැමිණ ඇති නමුත් මේ වසරේ මේ වන විට පැමිණ තිබෙන්නේ විසිදහසකට ආසන්න පිරිසකි.
එසේම සංචාරක කර්මාන්තය නිසා රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය දෙලක්ෂය ඉක්මවා තිබේ. 2020 වසරේදී පුද්ගලයන් 214,000කට සිය රැකියා අහිමිවීමක් සිදුව ඇතැයි ලෝක සංචාරක සහ සංචරණ කවුන්සිලය (WTTC- World Travel & Tourism Council ) පවසයි.
සංචරක කර්මාන්තය නිසා වක්‍ර ආදායම් මාර්ග ලැබූවන් ලක්ෂ ගනනකටද ඒ ආදායම් අහිමිව තිබෙන බවත් ඒ සමඟම පැවැසිය යුතුය. මේ අයගෙන් යැපෙන්නන් ප්‍රමාණය මිලියනයකට ආසන්න විය හැකිය.
මේ එක ක්ෂේත්‍රයක ගැටළුවක් පමණි. රට තවදුරටත් පිටතිනුත් ඇතුළතිනුත් වසා තැබීමෙන් මේ මිලියනයක් දෙනාට හෙට මුහුණ දීමට සිදුවන අර්බුදය කෙසේ වැලැක්විය හැකි වෙයිද කියන ගැටළුව අද අප ඉදිරිපිට තිබේ. මේ හා සමානව රටේ අති බහුතරයක් මේ මොහොත ගතකරන දැඩි අසීරුතාවයන් තවදුරටත් මෝරා පුපුරා යෑම දක්වා ගමන් කරනු ඇත. එහෙත් එවිට කිසිවකුට ඒ තුවාලය වේදනාව සුවපත් කිරීමට නොහැකිවනුද ඇත. ආර්ථික, දේශපාලන, සමාජීය අර්බුද එක පිට එක පැටවු ගසනු ඇත. ඒ තත්වයන් තක්කඩි දේශපාලන බලවේග විසින් පටු වුවමණාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමද විය හැකිය.
එහෙත් ඊට පෙර පාලකයනුත් සමස්ත රටවැසියාත් මේවාට පිළියම් යොදා පුපුරා යෑම් වලක්වාගැනීමට කටයුතු කළ යුතුව තිබේ. මේ වෙනුවෙන් පාලක පාලිත දෙපක්ෂයටම දුෂ්කර කැපකිරීමක් කරන්නට සිදුවෙනවා නම් ඒ සිදුකළ යුතුය. මන්ද ව්‍යවසනයන් එන්නේ කාව කාව හෝ තෝරා බේරාගෙන නොවේ.. සියල්ල විනාශ කරමිනි.
ඊට පෙර ක්‍රියාත්මක විය යුතුය. එය රටේ සෑම පුරවැසියකුගේම දැඩි වගකීමක් විය යුතුය. රටක් ජාතියක් ලෙස එක්ව නැගී සිටිනවා කියන්නේ මේ වගකීම සපුරාලීමය. මේ එවැනි ඓතිහාසික කාලයක් කිව්වාට වැරදි නොවේ.
අප රට විවෘත කළ යුතුය.. පිටතිනුත් ඇතුළතිනුත් රට විවෘත කළ යුතුය. වෙන විකල්ප අපට නැත. එහෙත් කොවිඩ් තත්වය නිසා ඇතිවෙනවාය කියන අනතුර පාලනය කරගැනීම අප වෙතින් විය යුතුය. ඒ අප හමුවේ තිබෙන අභියෝගයයි. අභියෝගය හමුවේ පලාගොස් සැඟවීමේ අවස්ථාවක් නැත. ස්වභාව ධර්මයා ජය ගැනීමේ අභියෝගයට මානව වර්ගයා සිය ඉතිහාසය පුරාම මුහුණ දුන්නා සේම මේ කොවිඩ් තත්වයත් එහිම දිගුවක් ලෙස සැලකිය යුතුය. අප ඒ සමඟ ජීවත් විය යුතුය. ඊට පුරුදු පුහුණු විය යුතුය. වසර එකහාමාරක පමණ කාලයක් මුලුල්ලේ අප මේ වෛරසය සමඟ ජීවත් විය. ඒ අත්දැකීම් සමුදාය විසින් වෛරසයේ හැකියාවන් එහි අනතුර සහ එයට ගොදුරු නොවී සිටීමේ උපක්‍රමයන්ද අද සාමාන්‍ය දැනීමය. හෙට දිනයේදී මිනිසා විසින් මීට වඩා ඉහළ සාර්ථක උපක්‍රම සොයා ගනුද ඇත. එතෙක් අප සතු දැනුම අවබෝධය සහිතව මේ වෛරසය සමඟ ජීවත් විය යුතුය.
මේ වන විට වෛරසයෙන් වන බැලපෑම අවමකර ගැනීම වෙනුවෙන් මෙරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙමින් තිබේ. ජන ගහනයෙන අඩක් පමණ මේ වන විට පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන අතර එම පිරිසෙන් අඩක් පමණ දෙවන මාත්‍රාවද ගෙන තිබේ. එය තවමත් රට මුළුමනින්ම විවෘත කිරීමකට තරම් ප්‍රමාණවත් නොවන තත්වයකි. මේ නිසා හැකි වේගයකින් රටෙන් සියයට 70 ක් වත් මාත්‍රා දෙකම ලබාදීම විය යුතුය. ඒ වෙනුවෙන් පුරවැසියාද උනන්දු විය යුතුය. එතෙක් සංචරණ සීමා ආදී නීතිත්, සෞඛ්‍ය මාර්පෝදේශත් දැඩිව රැක ගනිමින් හෝ අප ක්‍රියාත්මක විය යුතුය.
කඩා වැටී තිබෙන සංචාරක ව්‍යාපාරය මෙන්ම වෙනත් ව්‍යාපාර වෙළදාම් ආදිය යළි ගොඩනගා ගත හැකි වන්නේ ඒ අනුවය.
එමෙන්ම අප රට තුළ කොවිඩ් තත්වය පාලනය කරගන්නා තරමට අද මුහුණ දෙමින් සිටින පෞද්ගලික මට්ටමෙන් වන ආර්ථික ගැටළු ද කෙමෙන් පහව යනු ඇත.
- the novemberist