මට මතක හැටියට ඒ අනූව දශකයේ අවසාන භාගයේ දවසක්, බම්බලපිටියෙ බෙයාර්ෆුට් ගැලරියේ කිසියම් චිත්‍ර ප්‍රදර්ශනයක් ඉවර වෙලා අපි, මමයි ප්‍රසන්න රත්නායකයි කාර් පාර්ක් එක පැත්තට යනකොට තවත් කීප දෙනෙක් කාර් වලට නගිනකන් සිගරට් බොමින් කතාකරකර හිටිය. අපිත් ඒ අයට මොහොතකට එකතු වුණේ එතන ජගත් වීරසිංහ, මගේ චිත්‍ර කලා ආචාර්යවරයාත් හිටිය නිසයි. මොහොතකින් ජගත්, ආ මේ ධනංජය මේ මංගල කියල මංගලවයි මාවයි කතාවක් මැද කලබලේට හඳුන්වලා දුන්නා. සාමාන්‍යයෙන් ජගත් හිතමිතුරන් අඳුන්වලා දුන්නේ මුල් නම විතරක් කියලයි. එහෙම කිව්වට මම මංගල කියන්නේ කවුද කියල අඳුන ගත්තෙ නැහැ.රැ දහයට විතර අඩ අදුර, ඒ වගේම ඒ වෙලාවෙ මම ද ඇතුළුව එතන හිටිය ඔක්කොම වගේ හොඳට වෙරි වෙලා හිටියෙ. විනාඩි දහයක් විතර අපි ඔහේ නිකන් වල් පල් කතා කර කර කර හිටියා එකිනෙකා වාහන වල නැග විසිර යනකන්. මංගල මට කිට්ටු වුණා අවස්ථාවක ඇහුවා, උඹ මොකද කරන්නේ මචං කියලා. මම,ඔහෙ වැඩක් ඇති දෙයක් නැහැ මචං මේ වගේ තැන්වල රස්තියාදු වෙන එක තමයි කරන්නේ, කියලා කිව්වා. ඊට පස්සෙ මම ඇහුවා, එතකොට උඹ? මාත් නිකන් මේවාගේ තැන්වල ඇවිදින එක තමයි කරන්නේ මචං...මේ දවස් වලනම් ජගත්ගේ වැඩ වගයක් යනවා නේ , කියලා මංගල කිව්වා. ඊට පස්සේ අපි තවත් සුළු වෙලාවක් මචංලා විදිහටම විහිළු තහළු කරමින් කතා කළා.
මම කාර් එකට නැග්ගම ප්‍රසන්නගෙන් ඇහුව කව්ද බං අර මංගල කියන පොර ටේස්ට් එකක් තියෙන එකෙක් වගේ නේද? කියලා. ඊට පස්සේ තමයි ප්‍රසන්න, ඔය යකෝ අර මංගල සමරවීර ඇමතියානේ, කියලා කිව්වේ. කොහොම හරි ඊට ආසන්න කාලයේ අවස්ථා කීපයකදී මංගල මගේ නාට්‍ය බලලා ගිහිල්ලා තිබුණා ආරාධනාවක්වත් නැතුව ඔහුම ටිකට්ස් අරන්. ඊට පස්සේ තවත් කොළඹ කේන්ද්‍රීය බොහෝ සංස්කෘතික ක්‍රියාකාරකම් වල දී මංගලව මට කතා බහ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ තමයි මංගල.
මංගලට උඩින් ජීවිතේකුයි යටින් ජීවිතයකුයි තිබුනෙ නෑ. ශ්‍රි ලංකාවේ දේශපාලකයින්ට උඩින් එකයි යටින් එකයි ජීවිත දෙකක් තිබුනෙ නැත්නම් ජනතාව දිනන්න බෑ. මංගලලට මතු වෙන්න බැරිවුණ එක ප්‍රධාන හේතුවක් ඒක. ශ්‍රී ලංකාවේ තියෙන්නෙ වහල් මානසිකත්වයක් තියන, වැඩවසම්, බොරු සුචරිතවාදයක් පෙන්නන බහුතරය දිනාගැනීමට රඟපාන දේශපාලනයක්. ඒ මිනිසුන් එක්කලා හැමතැනකම මචං ලෙවල් එකට වැටිලා ඉන්න මිනිහට කවදාවත් ඔවුන් ගරු කරන්නේත් නැහැ. මංගලලා අසමත් වුනේ අන්න ඒ සුනාමි මිනිසාව දිනාගැනීමේ දේශපාලනය ජයගන්නයි.
මංගල ජීවත් වුණු ලිබරල් ජීවිතය විඳින්න අකමැති කිසිම කෙනෙක් ඔය සුචරිතවාදයක් වෙනුවෙන් පෙනී සිටින අය තුළත් නැහැ; නිදහසේ කන බොන නටන විනෝද වෙන කැමති ගෑනියෙක් මිනිහෙක් එක්ක නිදා ගන්න ගංජා ගහන... ඉහළ මධ්‍යම පංතික නාගරික ලිබරල් ජීවිතය. ඔවුන්ට නැත්තේ මංගලට මෙන් එය විවෘතව පිළිගන්නට ධෛර්යයයි. මංගලලා මේ රටේ සාරධර්ම සංස්කෘතිය කන එවුන් විදිහට පිරිසක් ප්‍රචාරය ලබා දෙන කොට ඔවුන් කළේ අර කුහකයින්ව එන්ටර්ටේන් කිරීමයි. ඔවුන්ව දේශපාලනිකව වල්මත් කිරීමයි.
බොරු සුචරිතවාදී දේශපාලකයින් සහ ඔවුන් හරහා ඉහලට නැග ගන්න හදන එවැනිම බොරු සුචරිතවාදී ජනතාවද මේ සියලුම දෙනා අවසානයේ අත්පත් කර ගන්න හදන්නේ නාගරික ඉහළ මධ්‍යම පංතික සුඛෝපභෝගී ලිබරල් ජීවිතයයි. මේක වඩාත් හොඳින් දකින්න පුළුවන් වෙන්නේ ආර්ථිකව එතනට ගිය දේශපාලකයින් ගේ දූ පුතුන් පුද්ගලික ජීවිත ගතකරන ආකාරය තුලයි. ඒ ඉහළ මධ්‍යම පංතික සුඛෝපබෝගී ජීවිතයේදී හමුවෙන ලිබරල් ජීවිතය ගත කිරීමට ඔබ ඒ පන්තියටම යා යුතු නැහැ.අන්න ඒක තමයි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මනුෂ්‍යයාට වරදියට තේරුම් අරන් තියෙන දේ. තමන්ට ලිබරල් ලෙස ජීවත්වීමට සංස්කෘතික ලයිසන් එක ලැබෙන්නේ ඉහළ මැද පන්තියට ගියාමයි කියන එක. ඒ නිසා ඒ නිදහස අපේ මධ්‍යම පන්තික සහ පහළ මැද පංතිකයින් ලබන්නේ හොරෙන් කුහකයින් විදිහට රහසෙ, සමහරවිට වැරදිකාර හැඟීමකින්. මංගල කළේ මිනිස්සුන්ව එහෙම රවට්ටන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයේදීත් තමන්ගේ ලිබරල් ජීවිතය නොසඟවා ඒ වෙනුවෙන් පෙනී සිටිමින් විවෘත භාවයෙන් ජීවත් වීමයි. මංගලලා හරහා සාමාන්‍ය මනුස්සයට දිනා ගන්නට තිබුණු බොහෝ දේවල් ඔවුන් තේරුම් නොගත් ආකාරය ඔබට දැන් පැහැදිලි විය යුතුයි.
අවාසනාවට මංගලගේ ද සීමාවක් තිබුණා. මෙතනදී මංගලව කියවා ගැනීම තරමක් ට්‍රිකී වැඩක්. මංගලව බොහෝ අය අගයන ඔහුගේ ලිබරල් ලක්ෂණ තියෙන්නේ ඔහුගේ පුද්ගල ස්වභාවයේ , ඔහුගේ චරිතයේ යි. ඔහුගේ දේශපාලනික දැක්මක් වැඩසටහනක් සැලැස්මක් තුළ නෙමෙයි.බොහෝ විට ඔහුට තිබුණේ ප්‍රගතිශීලී සාධාරණ සහ ලිබරල් දේශපාලන සහ සංස්කෘතික ක්‍රියාකාරකම් වලට හැකි පමණින් සහයෝගය දීම සහ ඒ වෙනුවෙන් හඬ නැගීමයි.(ඒක තරමක් ඔබට හොඳ ගීත රසාස්වාදයක් තියෙනවා ඔබ ගීතයට සහයෝගයත් දෙනවා හැබැයි ඔබට ගී ගයන්න බෑ වගේ! )
පුද්ගලයකු වශයෙන් මංගල එසේ ලිබරල් වුණත් සමාජය ද එසේ වනවාට ඔහු කැමැති වුණත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතයට ඇති කළ යුතු දේශපාලන විපර්යාසය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔහුට පුළුල් දේශපාලන දැක්මක් හෝ සැලැස්මක් තිබුණෙ නැහැ. සාමාන්‍ය මනුස්සයාගේ පසුගාමීත්වය අගතිය විවේචනාත්මකව අපි තේරුම් ගත්තත් මේ සමාජය වෙනස් කිරීමට නොහැක්කේ මිනිස්සු ඒ වගේ නිසා යැයි අපිට දේශපාලනයේදී අවසරයක් ලෙස කියන්න බැහැ. එසේ නම් ඊට ඔවුන් වෙනස් කිරීමේ දේශපාලනය ඔබ සොයා ගත යුතුයි. අන්න ඒ නොහැකියාව මත මංගලද එක්තරා විදිහකට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයින්ට සමානව වෙනවා.අන්න ඒ සැලැස්ම අත්පත් කර ගැනීමට ජනතාව මෙහෙයවන නායකයෙක් වශයෙන් ඔහු ඉදිරියට ආවනම් ශ්‍රී ලංකාවේ අතිවිශාල ප්‍රමාණයක්, අඩුම ගානේ ඔහුගේ දේශපාලනය ආරම්භ කිරීමට සහයෝගය දෙන්නට හිටියා. එය ක්‍රියාධරයෙකු ට වඩා එහා ගිය නිර්මාණාත්මක වැඩක්.නමුත් ඒ සීමාවට යටත්ව වුවද ඔහුගේ හඬ ඔහුගේ සැබෑ උවමනාව අපට අවප්‍රමාණය කරන්නටත් බැහැ. ඒ හඬ අපගේ මජර දේශපාලන මඩවල තුළ මංගල පිපෙන්නට උත්සහ කල මලක් ලෙස අපේ මතකයේ රැඳේවි!
මංගලට සුව නින්දක්!
ධනංජය කරුණාරත්ත
(ෆේස්බුක් සටහනකි)