කොවිඩ් මරණ තහවුරු කරන්නේ දෛවයද ? ආණ්ඩුවද ? ඔබද ? Featured

Thursday, 26 August 2021 21:51

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි.

දකුණු සහ අග්නිදිග ආසියානු රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා ප්‍රකාශයට පත්කරන වාර්තාවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ කරුණු කිහිපයක් එලෙස පෙන්වා දී තිබෙනවා. ඒ පසුගිය අගෝස්තු 9 සිට 15 දක්වා වූ සතියට අදාළව.

එම සතිය තුළ මෙරට කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 15.8ක්.

එහි සඳහන් වන විශේෂතම කරුණ නම් මෙම කලාපයේ රටවල් තුළ පනවා ඇති කොවිඩ් පාලන සීමා අතරින් සමාජ ඒකරාශීවීම් පාලනයට ශ්‍රී ලංකාව පනවා ඇති සීමා සෙසු රටවලට වඩා වැඩි බවයි. නමුත් එතරම් තහංචි තිබියදී ශ්‍රී ලංකාවේ පුරවැසියන් නිවෙස් තුළ රැඳීසිටීමේ ප්‍රතිශතය සියයට 60ක් වැනි සාපේක්ෂ අඩු අගයක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා.

මේක තමයි ඉතින් ශ්‍රි ලංකාවේ ජිවත් වෙන මිනිස්සුන්ගේ හැටි. මේ සිස්ටම් එක කව්රු ආවත් චේන්ජ් කරන්න බැරි සිස්ටම් එකක්. හෙට ලෝක විනාසේ වෙනවා කිව්වත් මේ රටේ මිනිස්සු පෝලිම් හැදිලා බාර් ළග ඉදිවී . බඩු ගන්න පොරකකා පෝලිම් වල ඉදිවී. එත් අවුල තියෙන්නේ අද කාලා හෙට මැරුණත් කමක් නැහැ කියලා එහෙම ඉන්න මිනිස්සුම හුස්ම යන තප්පරෙටත් රටේ පාලකයන්ට බනින එක. ඔබට මතක ඇති 2004 සුනාමිය. ඒ සුනාමියෙන් නැති වුණ ජිවිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැති වුණේ මුහුදු රැල්ල ආපස්සට ගියාම මිනිස්සු ගියා ඉඩම් අල්ලන්න නැතිනම් කිසිදා නොදැක්ක මුහුදු පතුල බලන්න. මෙතන ඊලඟ මොහොතේ මොකක් වෙයිද කියන්වත් මිනිස්සුන්ට හිතන්න වුවමණාවක් තිබුණේ නැහැ. ඒකත් ඉතින් පැත්තකින් තියමු ශ්‍රී ලංකාවට ඇති වුණ පළමු මුහුද ගොඩගැලීම නිසා ඒක නොදන්නකම කියලා. එත් ඉතින් කොරෝනා එහෙමද. කොවිඩ් වෛරසය ලංකාව වෙලාගෙනත් දැන් අවුරුදු එකාහමාරක් විතර වෙනවා. මේ වෙන කොට වගේවගක් නැතිව කොරෝනාවට බම්බු ගහගන්න කියා හැසිරෙන මිනිස්සු නිසා ලංකාවේ තත්වය දරුණු තැනකට පත්වෙමින් තිබෙනවා. ලංකාවේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ අපේ සංස්කෘතියෙම සියළු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුබව නිරන්තරයෙන් ඒත්තු ගන්වන නිසාදැයි කියන්න දන්නේ නැත.

ඒ කොහොම නමුත් වසංගතය පාලනය වෙනුවෙන් වෛද්‍ය විද්‍යාත්මකව කළ හැකිව තිබෙන එකම විකල්පය වන එන්නත්කරණය බොහොම සාර්ථකව කරගෙන යනවා. මෙම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසු වන බවද ඉහත කී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙ සඳහන්.

සෞඛ්‍ය සේවා ඇතුළු සියලු පාර්ශ්ව වලින් ජනතාවට දිගින් දිගටම නිවේදනය කරනවා නිවෙස් තුළටම වෙලා ඉන්න කියලා . මේකේ තියන භයානකකම ගැන උදේ හවස දැනුම්වත් කරනවා. දැන් තවදුරටත් භයානක කම, පරිස්සම් වෙන්න ඕන කොහොමද කියලා ඇත්තටම ජනතාවට කියන්න අවශ්‍යත් නැහැ. මොකද මේ රටේ පෙර පාසැල් යන දරුවාගේ ඉදලා වසංගත තත්වය ගැන දැනුවත් කිරීම් කරලා තියෙනවා. තමන් අසාවෙන් අම්මගේ අතේ එල්ලිලා ගිය පෙර පාසැල, තමන් අසාවෙන් යාලුවෝ ගොඩක් එක්ක එකතු වෙලා අකුරු කරපු ඉස්කෝලේ මේ හැම දෙයක්ම අද දරුවන්ට තාක්ෂණික සම්බන්ධතා, විතරක් බවට පත්වෙලා තියනවා. ඒත් ඒ ඇයි කියන්න පෙරපාසල් දරුවාටත් අවබෝධයක් තියනවා.

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ තවමත් මිනිස්සු මහ පාරේ සුපුරුදු ගමනේ. හැබැයි ඒ මිනිස්සුම දවස ගානේ ගොඩගැහෙන මිනී කඳුවල වගකීම පාලකයන්ට පවරමින් බැණ අඬගසමින් තමයි යන්නේ.

ඒ එක්කම බලයේ හිටිද්දී නිදාගෙන හිටපු රනිල් වික්‍රමසිංහත් මේ වෙලාවේදී නින්දෙන් ඇහැරිලා රට හදන්න ජනාධිපතිට උපදෙස් දෙනවා. ඔහු ජනාධිපතිට
යෝජනා කරනවා තවත් සති දෙකක කාලයක් වත් රට වසා තබන්න කියල. ඔහු කළ ඉල්ලීම අරුණ පුවත් පත පළ කරලා තිබුණේ මෙන්න මේ විදියට ,

''අමෙරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (US Aid) ප්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කොට මෙරටට එන්නත් ලබාදෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මැතිතුමා අද අප ගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු වූ රාජාමහේන්ද්‍රන් මැතිතුමාත්, ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ, නීතිඥ ගෞරි තවරාසා මැතිණිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා,"

"කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබාගන්නා ජනතාවගේ ප්‍රමාණය ඉහළ යන්නා සේම කොවිඩ් රෝගයට ගොදුරු වන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වනවිට 5,000 ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වනවිට 8,000ට ආසන්න වී තිබෙන බව දැකගත හැකියි. මේ සති කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,000 ක් බවට පත් වුණා,"

"කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යාලේඛනවලත් ගැටලු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. කොවිඩ් ආසාදනයවීම සීග්‍රයෙන් පැතිරයෑම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළුදැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි. රජය මේ වනවිට දින 10ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කරගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළියළිත් සිතිය යුතුයැයි මම අවධාරණය කරනවා,"

"රජය දින 10ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමිවෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතාබැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි,"

මේ විදියට රනිල් වික්‍රමසිංහ කියද්දී මේවගේ ප්‍රයෝගික බව කෙසේ වෙතත් මේ රටේ ජිවත් වෙන මිනිස්සු හැටියට අපට හිතෙන්නේ වික්‍රමසිංහගේ මේ දුරදක්නා නුවණ අගමැති කමේ හිටිද්දීත් තිබුණා නම් අනේ අර පාස්කු දවසේ මිය ඇදුනු මිනිස්සු දෙතුන් සියයම අද ජිවත් වෙනවා නේද කියලයි.

ඒ කොහොම වුණත් මේ මොහොතේ අපි ජිවත් විය යුතුයි. ඔබේ පවුල ගැන ඔබට වගකීමක් තිබිය යුතුයි. රටක ආණ්ඩුවකට වෛරසයක් මර්දනය කරන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහි සැලකිය යුතු වගකීමක් පුරවැසියා සතුයි.

සියළු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි කිව්වාට කොරෝනා හමුවේ ඔබේ මරණ සහතිකය ලියවෙන දිනය ඉක්මන් කරවන්නේ දෛවයවත්, කර්මයවත්, ආණ්ඩුවවත් නෙවෙයි, එය කරගන්නේ ඔබ විසින්ම බව සිහි බුද්ධියෙන් අවබෝධ කරගෙනම හෙට දවසේ පාරට බහිනවා නම් මැනවි !

-පංචාලි

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us