ඒ කෙසේ නමුත් අවසානයේදී සම්මත කරගත් යෝජනාවලිය මෙම මානව හිමිකම් කොමිසමේ සාධාරණ බව අභියෝගයට ලක්ව තිබෙන බවත් පෙනී යයි. මේ නිසා ශ්‍රි ලංකාවට එරෙහිව කුමක්ම හෝ දැඩි තීන්දුවක් ගතයුතු බවට ගෙන තිබෙන පූර්ව නිගමනයක් අනුව මේ සිදු කළාද යන්න ගැන සැක මතුව ඇත. ඊට හේතු ගනනාවක් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් මතුකර දක්වමින් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීම අනුවත් යම් රාජ්‍යයක් විසින් තම දේශසීමාවේ සිටින පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීම එම රාජ්‍යයන් හී වගකීමක් වෙයි. එනම් ඒ තීරණය වන්නේ රාජ්‍යයේ පාලක සහ පාලිතයන් අතර වන සම්මුතියක් අනුවය. මෙය මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය පවා පිළිගන්නා අතර ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ද එම පදනම නොවෙනස්ව පැවැතිනි. එහෙත් අවසානයේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරගන්නට යෙදුනු යෝජනාවලිය මේ පදනමට හානිදායක් වන ලෙසින් සරළ බහුතරයක ඡන්දයෙන් මේ යෝජනාවලිය සම්මත කරගැනීමට කටයුතු යෙදිනි.
එහිදී ශ්‍රි ලංකාවට එරෙහිව එනම් යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 22 කි. යෝජනාවට එරෙහිව ඡන්ද 11 ක් ලැබිණි. එසේම නිශ්ක්‍රීයව සිටීමට රාජ්‍යයන් 14 ක් කටයුතු කෙරිණි. සාමාජිකයන් 47 කගෙන් යුතු මානව හිමිකම් කොමිසමේ සැබෑ බහුතරය විය යුතු ඡන්ද 24 ක බහුතරය යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ නැත. නමුත් මේ නිශ්ක්‍රීය ඡන්ද 14 නොසලකා මෙම යෝජනාව සම්මත වූවා ලෙස සලකා ඇත. ඒ අනුව මෙම යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි බලහත්කාරයක ලක්ෂණ පෙන්වා තිබේ. එමඟින් රාජ්‍යයක් විසින් තම දේශසීමාවේ සිටින පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීම එම රාජ්‍යයෙහි වගකීමක්ය යන පදනමට බලපෑමක් එල්ල කර ඇත.
එමෙන්ම අනෙක් වැදගත් කාරණයක් නම් මෙම අවසන් යෝජනාව විමසීමේදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද ස්වකීය මතය නොසලකා හැරීම සිදුකර ඇති බව පෙනී යාමය. ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යයේ දේශපාලන සහ ආර්ථික වුවමණාවන් ගැන අවධානය යොමු නොකර සහ ජාත්‍යන්තර වශයෙන් සලකා බැලිමේදී ශ්‍රි ලංකාව සහ සෙසු රටවල් සමාන තලයක තබා විග්‍රහ කිරීමක් වෙත යොමුව ඇති බව පැහැදිලිය. මේ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද පාවිච්චි කරන ලද රටවල්ද අනෙක් රාජ්‍යයයන් සමඟ වන සහ තම රට තුළ ක්‍රියාත්මක මානව හිමිකම් සම්බන්ධ ප්‍රතිපත්තියේදී මේ යෝජනාවට අනුගතවීම විය යුතුය. එහෙත් එහෙම තත්වයක් නොපවතින බව මේ රටවල් ගැන සොයා බැලීමේදී ඕනෑ තරම් කරුණු කාරණා සොයා ගත හැකිය. මෙය අපරාධකරුවන් ලවා තවත් අපරාධ චෝදනාවක් විනිශ්චය කිරීමක් බඳුය. ඒ අනුව මෙම රටවල්වල ක්‍රියාකාරිත්වය, මානව හිමිකම් කොමිසමේ පිළිගත් ප්‍රඥප්තීන්ට අනුකූල නොවේ නම් ඔවුන්ටද ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන විවේචනයම එල්ලවීම විය යුතුය.
එසේම ශ්‍රි ලංකාව සම්බන්ධ යෝජනාව පිළිබඳ සාකච්ඡාවේදී රාජ්‍යයන්ගේ මැදිහත්වීම පිළිබඳ පිළිගත් ක්‍රියාදාමයට පටහැනිව සිදු වූ නීති විරෝධීභාවය, අසාධාරණ සහ අසමානතාවය පිළිබඳව ශ්‍රි ලංකා පාර්ශ්වයෙන් මතු කළ කරුණු සහ ස්ථාවරයන් පිළිබඳ මෙම යෝජනාව ගෙන ඒමට මැදිහත් වූ රාජ්‍යයන් විසින් පිළිතුරු දීමෙන් මඟ හැර සිටියේය.
මේ නිසාත් මෙම යෝජනාව ගැන සංවාදයේදීත් විවාදයේදීත් අවසන ප්‍රකාශයට පත්විය යුතුව තිබූ විවිධත්වය මෙම අවසන යොජනාවේ අඩංගු වූයේ නැත. මේ නිසා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සහ එම චෝදනාවන්ට ලක්වූවන්ට සමාවදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මෙතෙක් සිදුකර ඇති ප්‍රතිසංධාන ක්‍රියාවලියේ සමස්ත ස්වභාවය සහ ශ්‍රි ලංකාව එම කරුණේදී එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු ලෙස වගකීමෙන් කටයුතුකර ඇති බවත් මෙම යෝජනාව තුළ ප්‍රකට වී නැත. නැතිනම් ඒ වටහාගැනීමට කොමිසම සමත් වී නැත.
එසේම මෙම යෝජනාව නිසා ඇතිවන අනෙක් අනතුරුදායක තත්වය නම් යම් ප්‍රජාතන්ත්‍රවාදී බහුත්ව සමාජයක් පිළිගන්නා ස්වෛරී රාජ්‍යයක, පවතින දේශීය ක්‍රියාදාමයේ සමතුලිතතාවයට මෙම යෝජනාවෙන් කර ඇති අගෞරවයය. එය පූර්වාදර්ශයක් කරගෙන යම් මිලිටරිමය පාලනයක් සහිත හෝ ආර්ථිකමය ශක්තියක් ඇති රාජ්‍යයකට සමාජයේ සමතුලිතතාවය පසෙකලා කටයුතු කිරීමට ඇති අවස්ථාව මෙමගින් සාධාරණනීයකර තිබීම භයානක තත්වයකි.
මේ ආදී බරපතල කරණා රැසක් නිසා මානව හිමිකම් කොමිසමේ යෝජනාව එක එල්ලේ බාරගැනීම ශ්‍රි ලංකාවට සිදුකළ හැකි නොවේ. මේ වන විටත් ශ්‍රී ලංකාව ඒ බව කොමිසමට දන්වා ඇත. මේ නිසා යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පැහැදිලි සාධාරණ හේතු ඇත. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා රජය, මානව හිමිකම් කොමිසම සමඟ කටයුතු කිරීම මෙම ගැටළු නිරාකරණය කරගැනීම පදනම් කරගෙන සිදුවෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
-the novemberist