මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" නැමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයට එරෙහිව මිසක් ආණ්ඩුවකට එරෙහිව නොවේ. මෙරට ආණ්ඩුව තෝරා පත්කරගැනීම ජනතාවගේ කැමැත්ත මත වන අතර ඒ ආණ්ඩුව කවරක් වූවත් ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානය නියෝජනය කරන්නේ රාජ්‍යයක් ලෙස පෙනි සිටිමින්ය. ආණ්ඩුව හුවමාරුව හෝ රජයෙ ප්‍රතිපත්ති මාරුවීම හෝ මානව හිමිකම් කොමිසමට අදාල නැත ඔවුන් සලකා බලන්නේ ඔවුන්ගේ නිර්ණායකයන්ට අනුව රාජ්‍යය කටයුතු කරන ආකාරය ගැනය. ඒ අනුව දැන් පරාජය වී ඇත්තේ රටය.
එහෙත් මේ පරාජයට පවත්නා ආණ්ඩුව මත බරපතල වගකීමක් පැටැවී තිබෙන බව පිළිගත යුත්තකි. රාජ්‍ය පාලනයේදී ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත් සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල පිළිවෙත් මෙම මානව හිමිකම් යෝජනාවේ ජය පරාජය කෙරෙහි බලපා තිබේ. එහෙත් ලැබූ පරාජය හමුවේ විහිළු කතා කියමින් පරාජයේ බර සැහැල්ලු කරගැනීම හෝ විපක්ෂයට තඩි බෑමෙහි හෝ තේරුමක් නැත. දැන් විය යුත්තේ ආණ්ඩුවට වැරදුනු තැන සොයා ඊට පිළියම් යෙදීමය. මේ වසරේ එළැඹෙන සැප්තැම්බර් මාසයේදී නැවත මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිත අතර එහිදීද ශ්‍රී ලංකාව මාතෘකාවක් වෙනු ඇත. ඒ වන විට පවතින ගැටලුකාරිත්වයන් නිරාකරණය කරගෙන එම කොමිසම හමුවේ පෙනී සිටීමට සිදුවීමද වැලැක්විය නොහැක. මේ තත්වයන් ආණ්ඩුව තේරුම් ගෙන තිබෙනවාට සැකයක් නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව තුල ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නැති නම් වගකීමෙන් බැඳිය යුතු යෝජනා 16ක් ඉදිරිපත් කර තිබේ. මේ යෝජනා 16 ශ්‍රී ලංකාවට එරෙහි රකුසන් 16 දෙනෙකු ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීමේ වුවමණාවක් නැත. එහි බහුතරයක් දැනටමත් ආරම්භකර ඇති නමුත් සක්‍රීයව නොපවතින දේය. නැතිනම් ඉටු කළ හැකි සහ ඇත්ත වශයෙන්ම ඉටුවිය යුතු දේවල්ය. එය පවත්නා ආණ්ඩුවට දේශපාලනිකව හෝ අහිතකර වන දේ නොවේ.
පවත්නා ආණ්ඩුවේ දේශපාලනික ස්ථාවරයන්, වුවමණාවන් අනුව යම් අසීරුතාවයකට මුහුණ දෙනු ඇත්තේ යෝජනා දෙකක් පමණි. ඒ 6 වන යෝජනාව සහ 9 වන යෝජනාවය. එමගින් බලකරනුයේ මෙරට යුධසමයේදී මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධ පරීක්ෂණ පවත්වා අධිකරණමය ක්‍රියාවලිය ඉදිරියට ගැනීම ගැනය. මෙය වුවත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී ඉටු කිරීම අසීරු කරුණක් නොවෙතත් තිස් වසරක් මුළුල්ලේ පැවැති යුද්ධය අවසන්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ගයන් සහ ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ දැක්වූ දායකත්වයත් ප්‍රශ්න කිරීමකට ලක්වීමේ දේශපාලනික ගැටලුවක් පවතී. විශේෂයෙන්ම වත්මන් රාජපක්ෂ පාලනයට එය සෘජුවම දේශපාලනිකව හානිකළ හැකිවීම එම පාර්ශ්වයට තදබල ලෙස දැනෙනු ඇත. යුධ ජයග්‍රහණයේ වාසිය දේශපාලනික බලය අත්පත් කරගැනීම වෙනුවෙන් යොදාගැනීම නිසා ඔවුන් මේ ගැටළුව තුල අනවශ්‍ය සිරවීමකට ලක්වෙන බව පැහැදිලිය. විශේෂයෙන්ම මේ යෝජනා සම්බන්ධයෙන් පසුගිය යහපාලන යුගය තුළ ගත් ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එදා විපක්ෂය ලෙස දැක්වූ බරපතල විරෝධය නිසා මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට එකඟ විය නොහැකිය.
කෙසේ නමුත් මෙම කිසිදු යෝජනාවක් හෝ ක්‍රියාත්මක නොකර සිටීමේ අභිමතය ආණ්ඩුවට තිබේ. එසේම මේ මොහොතේ මානව හිමිකම් කොමිසමෙන් හෝ එක්සත් ජාතීන්ගෙන් හෝ මේ නිසාම ආර්ථික සම්බාධක හෝ එවැනි තහංචි කිසිවක් හෝ පැනවීමේ අනතුරක්ද නැත. එහෙත් ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන ඇතැම් රාජ්‍යයකට මේ යෝජනා දඩමීමා කරගෙන යම් යම් බලපෑම් සිදුකිරීමේ ඉඩක් විශාලව පවතී. ඒවා සමනය කරගැනීමට ආණ්ඩුව සමත්වන්නේ නම් මෙම යෝජනාවලිය පරාජයවීමෙහි සැලකීමට තරම් දෙයක් නැත.
ඒ කොහොම නමුත් දැන් විපක්ෂ කණ්ඩායම් මේ යෝජනාවන් පරාජයවීම මුළුමනින්ම ආණ්ඩුවේ පරාජයක් බව හුවා දක්වමින් රටට එරෙහිව ආර්ථික සම්බාධක දමනු ඇති බවත් ආදී කතන්දර රැසක් කියමින් මහා බිල්ලෙකු මවමින් සිටී. එහෙමවීම ඔවුගේ බලාපොරොත්තුවද විය හැකිය. මේ බිල්ලා 2015 ට පෙරත් මේ අය විසින් මවා පෙන්වන ලදී. කොහෙවත් ඇති ගහක් කැපුවත් එය මහා පාරිසරික විනාශයක් බව කියමින් ඝෝෂාකරන විපක්ෂයට මේ ප්‍රශ්නයත් තව ටික කාලයක් වවාගෙන කෑ හැකිබව පැහැදිලි කරුණකි.
නමුත් මේ විපක්ෂය පසුගිය යහපාලන යුගයේදී මානව හිමිකම් කොමිසමේ යෝජනා මාලාවට එකඟවුයේ ඡන්ද විමසීමකින්ද තොරවය. ඒ මුළුමනින්ම ඉටුකරන බවට පොරොන්දු විය. රටේ අභිමානය ගැන නොසලකා, නිවට නියාලු ලෙස, කොටින්ම කැබිනට් මණ්ඩලයටවත් ජනාධිපතිවරයාටත් නොදන්නවා එවක අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමැති මංගල සමරවීර මේ යෝජනාවලියට හොර රහසේම එකඟව තිබිණි.. එහෙත් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මතුපිට තලයේ සංදර්ශනයකින් එහාට කිසිවක් කිරීමට ඔවුන්ට නොහැකි විය. ඇත්ත වශයෙන්ම වත්මන් පාලනයත් මුහුණදෙමින් සිටින ගැටළුවට ඔවුන්ද මුහුණ දුන්නේය. ඒ යුදසමයේදී වූ මානව හිමිකම් සම්බන්ධ චෝදනාවන් පරික්ෂාකර අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම ඔවුන්ටවත් ක්‍රියාත්මක කරගැනිමට නොහැකි වූයේ එය යුද්ධ දිනා දුන් මිනිසුන්ට, රට දිනාදුන් මිනිසුනට කරන බරපතල ද්‍රෝහීකමක් බව මේ රටේ අති බහුතරයක් ජනතාවගේ පිළිගැනීම බවට පත්ව තිබූ නිසාය. ඔවුන්ගේ හර්ද සාක්ෂියත් ඊට වද දුන්නාද විය හැකිය. එම ආණ්ඩුව තුළමත් ඊට විරෝධයක් පැවැතියේය. ඒ අනුව එදත් මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීම මඟහැර සිටීමට සිදුවිය. ඒ නොහැකියාවත් මෙවර යෝජනාව යම් තරමකින් දැඩිවීම කෙරෙහි බලපා තිබිණි. මෙය ආණ්ඩුවක ප්‍රශ්නයක් නොව රාජ්‍යයේ ප්‍රශ්නයක් බව දැන් තේරුම් ගතයුතුය.
මේ අනුව මෙම ජිනීවා පරාජයේ වගකීම විටින් විට පැත්ත මාරුවුණද ආණ්ඩුවත් විපක්ෂයත් බාරගත යුතුවා පමණක් නොව මෙරට ජනතාවට ද එහි වගකීමක් බැර වෙති. මන්ද දැන ප්‍රශ්නය නොවිසැඳීමේ ආදීනවවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ආණ්ඩුවකට හෝ විපක්ෂයට නොවන නිසාය. යම් හෙයකින් හෙට පීඩාවට ලක්වන්නේ මේ රටේ සියලු ජනතාවය. එය සිංහල දෙමල මුස්ලිම් කියා වෙන් කිරීමක් නැත. දේශපාලන පක්ෂ පාට කියා වෙන් කිරීමක් නැත. ආණ්ඩුවද විපක්ෂයද කියා වෙන් කිරීමක් නැත. ජනාධිපතිද හිටපු ජනාධිපතිද කියා වෙන් කිරීමක් නැත. මේ රටේ සිදුවන සියලු දේ මේ රටේ පාලක පාලිත සියළු දෙනා විසින් ගත් තීන්දුවකි.
මේ අනුව දැන් මේ ප්‍රශ්නයෙන් ගැලවීමට අප රටක් විදිහට, ශ්‍රී ලාංකික පොදු මහජනතාව විදිහට එකට එකතුවී උත්තරයක් සොයාගත යුතුය. මේ තුල දේශපාලන වාසි අත්පත් කරගැනීමට ඇතැම් පාර්ශ්ව තක්කඩි උත්සාහයන් ගනිමින් සිටින බව පෙනෙන්නට තිබුණත් එයින් රටට ජනතාවට ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. මේ දේශපාලකයන් මෙහිදී තමන්ගේ අසමත්භාවය් මිස ඊට වඩා දෙයක් මෙතෙක් පෙන්වා නැතිවීම තුළ, තවදුරටත් රටේ ජනතාව නොමඟ යවමින්, රවටමින්, දේශපාලන වාසි ලබාගැනීමේ බලපෙරේත වුවමනාව අමු තක්කඩි කෂඩ වැඩක් ලෙස හැඳින්වීම අතිශය සාධාරණය. එවැනි උත්සාහයන් ක්‍රියාත්මක වන පළමු මොහොතේම ඒවා ප්‍රතික්ෂේපකර එම තක්කඩියන්ට ඉඩදීම වැලැක්වීමත් පොදු මහජනතාවගේ වගකීම කරගත යුතුය. මන්ද මේ තක්කඩියන් තවදුරටත් සෙල්ලම් කරන්නේ අපගේ රටේ පැවැත්ම සමඟය, අපගේ ජීවිත සමඟය, අපගේ දූදරුවන්ගේ අනාගතය සමඟය.
රටේ ආර්ථික අර්බුදයන්, කොවිඩ් තත්වය සහ මජර දේශපාලනය නිසා වළපලල්ටම වැටෙමින් තිබෙන රට යළි ගොඩගැනීමට ගන්නා උත්සාහයන්ට බාධාකරමින් මේ මානව හිමිකම් ගැටලුව නිසා තවත් වළටම වැටීමට තිබෙන අවස්ථා වලක්වාගැනීම අද දවසේ වගකිවයුතු සියලු දෙනාගේම කාර්යභාරය විය යුතුය.
-the novemberist