එහෙත් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විදේශ ඇමැති මෙම පරාජයේ සැර බාලකිරීමට මේ යෝජනාවට පක්ෂව කොමිසමේ සාමාජික රටවල දෙකෙන් එකක බහුතරය නැති වගත් විරුද්ධ හා නිශ්ක්‍රීය ඡන්ද ප්‍රමාණය එකතුකරගෙන බහුතරය අපටයි කියමින් විකාර මතයක එල්ලි සිටීම දකින්නට ලැබිණි. මේ මොහොතේ ආණ්ඩුව පත්ව තිබෙන අසරණකම හමුවේ එවැන්නක් කීවා වියහැකිය.
ඒ කොහොම වෙතත් මේ නිශ්ක්‍රීය රටවල් අතර ඉන්දියාව ජපානය ප්‍රමුඛව රටවල් කිහිපයකින්ම ශ්‍රී ලංකාවට ලැබී තිබුණේ හොඳ ප්‍රතිචාර නොවේ. ඔවුන් ශ්‍රි ලංකාව දැඩිව විවේචනය කරමින් ඡන්දය ලබානොදී සිටීමින් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාවට පක්ෂ හෝ විරුද්ධ බවට වඩා අනතුරු හැඟවීමක් හෝ තරවටු කිරීමක් ලෙස බව තේරුම් ගත යුතුය. මේ අය ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ මිතුරු රාජ්‍යයයන් නමුත් තවදුරටත් ලංකාව සමඟ සිටින්නේ හොඳින් හැසිරුණොත් පමණක්ය කියන පණිවිඩය ඒ තුළ තිබේ. කොහොම නමුත් ශ්‍රි ලාංකාව අන්තර් ජාතික වශයෙන් තවදුරටත් පීඩාවට පත්වීමට සිදුව තිබීම මත ඉදිරි කාලයේ මේ අන්තර්ජාතික විෂයේදී ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවිය හැකිය. මානව හිමිකම් කොමිසමට රටට එරෙහිව සම්බාධක කිසිවක් පැනවීමේ හැකියාවක් නොමැති නමුත් මේ යෝජනා සම්මතය අනුව එල්ලවන අපකීර්තිය සුළුපටු නැත. ඇතැම් විටෙක වෙනත් රටකට එවැනි සම්බධාක ක්‍රියාත්මක කිරීමෙහිලා වඩා පහසුවක් මෙමගින් ඇතිකර තිබේ. එසේම අන්තර්ජාතික ගනුදෙනුවලදී වන කොන්දේසි දැඩි වෙනුද ඇත.
මානව හිමිකම් කොමිසම මෙම යෝජනාව ගෙන ආවේ පසුගිය යුධ සමයේදී සිදුව ඇතැයි කියන යුධ අපරාධ මානව හිමිකම් කඩවීම් ආදිය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සහ ඒවා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමක් හෝ වගවීම ක්‍රියාවලියක් මෙතෙක් සිදු නොවීමේ කාරණය ප්‍රධාන වශයෙන් පදනම් කරගෙනය. මේ වෙනුවෙන් ශ්‍රි ලංකාව මෙතෙක් ගෙන තිබෙනවාය කියන පියවරයන් සම්බන්ධයෙන් හෝ මානව හිමිකම් කොමිසමට විශ්වාසයක් නැති බව මේ අනුව අවධාරණය කෙරී ඇත. ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ඒ විශ්වාසය ඇති කිරීමේ සමත්කම මෙහිදී නොතිබිණි.
ඔහොම නමුත් ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට දැන් මානව හිමිකම් පිළිබඳ ගැටලුව මඟ හැර යෑමට ශ්‍රී ලංකාවට කෙසේවත් කළ නොහැකි නිසා මෙය මෙරට ජනතාව ගත් ජයග්‍රහණයකි.
මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් යොදමින් පෙන්වා දෙන ලෙස,
"මෙම යෝජනාවෙහි වැදගත්ම අංග ලෙස සැළනෙුයේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන පහත සඳහන් වගකීම්ය.
"ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙනයෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතුකිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවාගත් අය වෙනුවෙන් පෙනීසිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම."
මේ අනුව මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි විශේෂ ඒකකයක් පිහිටවෙනු ඇති අතර ඊට නීතිවේදීන්ද ඇතුළත් වෙයි. මේ සඳහා ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන දෙකක් වැය ශිර්ෂයක් ලැබෙනු ඇත. කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරුතුරු මෙම ඒකකය මගින් ලබා දෙනවා ඇත."
මේ අනුව තත්වය එතරම් සරළ නැත. ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර පැවැත්මට ඇඟිලි ගැසීමේ නීත්‍යානුකූල හැකියාවක් දැන් මානව හිමිකම් කොමිසම අත්පත් කරගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලනික බලපෑම් සහ එල්ටීටීඊ සංවිධානයේ හිතවතුන් විශේෂයෙන්ම දෙමළ ඩයස්පොරාව දිගින් දිගටම බලපෑම් එල්ල කෙරෙණු ඇත. එසේම මේ යෝජනාවේදී ශ්‍රී ලංකාවේ මිතුරන් ලෙසින් පෙනී සිටි පාර්ශ්ව පවා වැටී සිටින අසරණ තත්වයන් දඩමීමා කරගෙන අයුතු ලාබ ප්‍රයෝජන අත්පත් කරගැනීමට වුව උත්සහ නොගෙන සිටිනු ඇතැයි සිතිය නොහැක.
මේ අනුව තත්වය සරළ නැති බව පැහැදිලිය. දැන් මේ නව අභියෝගයට වත්මන් රජයට අතිශය උපක්‍රමශීලී ලෙසත්, රාජතාන්ත්‍රික ගනුදෙනුවල විදග්ධ භාවයත් ප්‍රකටකරමින් මීට මුහුණදීමට සිදුවෙනු ඇත. නමුත් එය ජිනීවා බහුතරය ඇත්තේ අපට යැයි කියමින් මරි මෝඩ නාඩගම්වලින් නම් එය සිදුකළ නොහැකි බව රජය මුලින්ම තේරුම් ගත යුතුය.
ඒ කොහොම නමුත් මෙය ජය ගතහැකිය. ජීනිවා යෝජනාව පැරදුනාට අපට මානව හිමිකම් ජයගත හැකිය. රජය ඊට ඇති සූදානම, හැකියාව සහ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කළ යුතුය. වළකට වැටීම මොළයට ලාබයක් කියන්න සේ මේ අවස්ථාව රටේ ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කිරීමට වත්මන් පාලනයට හැකිවන්නේ නම් මේ ජිනිවා යෝජනාව පරාජයට පත්වීම වැදගැම්මකට ඇති දෙයක් නොවේ.