ඒ වලක්වා ගැනීමට පරිසරය පිළිබඳ සංවේදී මිනිසුන්, පරිසරවේදීන්, පරිසර සංවිධාන නිරන්තරයෙන් උද්ඝෝෂණයකද යෙදී සිටිති. මෙම උද්ඝෝෂණ අතරට ඒ ඒ කාලවල බලය හොබවන හෝ බලය අහිමි දේශපාලන පක්ෂද විවිධාකරයෙන් මැදිහත්වීම් පෙන්වා තිබේ. එහෙත් අද දක්වා අපට මෙම පරිසරය සංරක්ෂණය කරගැනිම සම්බන්ධයෙන් ස්ථිර සාර ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් වෙත යෑමට හැකිව නැත. මේ නිසා පරිසර හානිය ගැන හැමදාමත් කියන්ට කතන්දර එකතු වෙමින් තිබේ.
ඒ කොහොම නමුත් මේ ප්‍රශ්නය විසැඳීම වෙනුවෙන් දේශපාලන පක්ෂවල මැදිහත්වීම ප්‍රශ්න කළයුතු අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. මන්ද බලය රැකගෙන සිටීම හෝ බලය අත්පත්කර ගැනීම වෙනුවෙන් හෝ මේ පරිසර ප්‍රශ්නය හුදු පාර්ශ්වික දේශපාලනික වුවමණාව වෙනුවෙන් පාවිච්චි කරන දේශපාලන සටන් පාඨයක් බවට පත්කරමින් තක්කඩි ලෙස එය පාවිච්චිකරමින් සිටීම නිසාය.
මෑත ඉතිහාසය තුළ එය ඉතා හොඳින් කැපී පෙනෙන්නට පටන් ගෙන තිබේ. මීට වසර කිහිපයක් සිට විල්පත්තු වන විනාශය ගැන ගෙන ගිය උද්ඝෝෂණයද දේශපාලනික සටන් පාඨයක් කරගැනීම මේ ප්‍රවණතාවයෙහි කැපී පෙනෙන තැනක් විය. විල්පත්තුව කැපීමට එරෙහිව මෙන්ම, එය නොවැරදි බවටත් වෙනුවෙන් ඒ ඒ පාක්ෂිකයන් පෙනී සිටිනු දකින්නට ලැබිණි. එද විල්පත්තු ඇතුලු රටේ වනාන්තර, රක්ෂිත විනාශ වීමට එරෙහිව මත පළ කළ ඇතැම් පාර්ශ්වයකට අද සිදුවෙන වන විනාශය රකින්නට සිදුව තිබෙන අතරම එදා විල්පත්තු ප්‍රශ්නය අවුලක් නෑ කිව් අයට අද සිදුවන වන විනාශයට එරෙහිව මත පළ කරන්නට සිදුව තිබේ. මේ දේශපලනික පාර්ශ්විකභාවය විසින් ඇත්තටම රටේ සිදුවෙමින් පවතින පාරිසරික විනාශයට බරපතලම හානිය සිදුකර ඇතැයි පැවැසීම වැරදි නොවේ.
එමෙන්ම හැම මොහොතකම පරිසර විනාශයට එරෙහිව මත පළ කිරීමේදී, අමතක කරන හෝ ප්‍රශ්න කිරීම මඟ හැරෙන තැනක් තිබේ. එනම් රටේ භෞතික සංවර්ධනය ගැන ඔවුන් දරණා ප්‍රතිපත්තිමය ස්ථාවරය හෝ ඒ සම්බන්ධ වැඩපිළිවෙල තුළදී පාරිසරික ප්‍රශ්නය විසැඳීමට ගන්න ක්‍රියාමාර්ග ගැනය. සංවර්ධන ඉලක්ක සහ පාරිසරික සංරක්ෂණය නිරන්තරයෙන්ම ගැටුමක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. එහෙත් එය අමතක කර හුදු දේශපාලන පාර්ශ්විකභාවය මත පමණක් අනෙක් පාර්ශ්වයට චෝදනා කිරීම සිදුවේ.
මේ දිනවල වත්මන් ආණ්ඩුවට එරෙහිව පරිසර විනාශය සම්බන්ධයෙන් මහා විරෝධතාවයක් ගොඩනගමින් එය ආණ්ඩු පෙරළා දැමිම සඳහා වන මුලික සටන් පාඨයක් බවට පත්කරගෙන තිබෙන ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය) සහ එක්සත් ජාතික පක්ෂ්‍ය( සමඟි ජන බලවේගය) පාර්ශ්වකරුවන් විසින් ගොඩනගන එම විරෝධයද පැහැදිලිවම අවස්ථාවාදී දේශපාලනික සටන් පාඨයක් මිස වෙනකක් නොවන බව පැහැදිලිවම පවසා සිටිය හැකි මෙහෛාතකි.
මෙම කණඩායම් භෞතික සංවර්ධනය සම්බන්ධයෙන් දරණ ස්ථාවරය තුළ පරිසර විනාශය ඔවුන් අතින් නොවැතැයි කියා සහතිකයක් දිය හැකි මට්ටමක නැත. ඔවුන් විසින් බලය හෙබවූ පසුගිය යහපාලන යුගයේදී වූ පාරිසරික විනාශයන් ගැන සලකා බැලීමේදී පරිසරය රැකීම ගැන අමුතු ස්ථාවරයක් ඔවුන්ට නැති බවත් පැහැදිලිය. අද බලය හොබවන පොදු ජන පෙරමුණත් සහ මෙම විපක්ෂ දේශපාලන පක්ෂවලත් රටේ සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්තිහි සලකුණු කළ හැකි වෙනස්කම් ඇත්තේම නැති තරම්ය. වර්ණවල වෙනස්කම් මිස ප්‍රතිපතිමය පදනම වෙනස් නැත. ආර්ථික ප්‍රතිපත්තිය සලකා බැලුවත් මේ පවත්නා ක්‍රමවේදයම ඔවුන් සියලු දෙනා පිළිගනී. නිරන්තරයෙන් ජප කරන දේශීය නිශ්පාදන ආර්ථිකයක ගොඩනැගීම ගැන කතාව මේ සියලු දෙනාටම පොදුය. සාම්ප්‍රදායික සංවර්ධන යෝජනා මත මේ සියළු දෙනා සිටගෙන සිටියි.
මොවුන් අතර පරස්පරතා ඇතැයි යම් කෙනෙකුට හැඟෙන්නේ ඒ ප්‍රතිපත්ති ගැන කතා අමතකකර ආණ්ඩුවට විරුද්ධවීම විපක්ෂයේ එකම අභිලාශය කරගෙන මේ අය කරන කෑ කෝ ගැසීම නිසාය. වංචාවට දූෂණයට එරෙහි විපක්ෂයේ කෑ කෝ ගැසීම තුළ නොකියා කියන්නේ '..ඔය කරන වැඩක් හොරකම් නොකර හරියට කරපන්..' කියා ආණ්ඩුවට කියන එක පමණය.
පරිසරය රැකීම සම්බන්ධයෙන් විපක්ෂය මතු කරන ව්‍යාජ සටන් පාඨවලට අලුත්ම උදාහරණය සපයන්නේ පසුගියදා රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ විසින් සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් ඉදිකර එම ජලය හම්බන්තොට යවනවා කිව් කතාව සම්බන්ධයෙනි. මේ ප්‍රකාශය අල්ලාගෙන අද මේ මොහොත වන විටත් ජවිපෙ (ජජබ), එජාප (සජබ) සාමාජිකයන් හිතවතුන්, .... මෙන්න රාජපක්ෂලා සිංහරාජ ලෝක උරුමය වනසන්න අලුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකකර ඇති බව ඒත්තු යන විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත්කර තිබේ. බැලුබැල්මටම මෙය සහගහන අපරාධයක් බව පෙනී යයි. ඕනෑම කෙනෙකුට මීට එරෙහිව මතයක් පහසුවෙන් දැරිය හැකි මට්ටමේ මහා විනාශයක් ලෙස අර්ථ ගැන්වීමේ හැකියාව නිසා මෙය විපක්ෂට මේ වෙලාවේ හොඳ සටන් පාඨයකි.
එහෙත් මෙහි ඇත්ත කතාව අනෙකකි. සිංහරාජය තුල වැව් දෙකක් ගොඩනැගීමේ සැලසුම අයත් වන්නේ, ගිං ගඟ සහ නිල්වලා ගඟ හරස්කර එම ජලය හම්බන්තොට ජනතාවගේ පානිය සහ සංවර්ධන අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදාගැනීමට සකසා තිබෙන ව්‍යාපෘතිය තුලය. මෙය රාජපකෂ යුගයේ ඉදිරිපත් කෙරුණු යෝජනාවක් ලෙස පෙන්වාදීම සිදුකළද මේ කතන්දරය අවුරුදු 100 ක පමණ අතීත කතාවකි.
දැන් ගැනීමට තිබෙන තොරතුරු අනුව මෙම ව්‍යපෘතිය ගැන මුල් වරට රජයට යෝජනාවක් ගෙන විත් තිබෙන්නේ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභා සභිකයකු ලෙස සිටි මාතර සුප්‍රකට වාමංශික දේශපාලකයකු වූ දොස්තර එස් ඒ වික්‍රමසිංහ මහතාය. මහා පරිසරවේදියකු ලෙසද ඔහුව හැඳින් වේ. විශේෂයෙන්ම වාමාංශික දේශපාලන කතිකාව තුළට පරිසර ප්‍රශ්නය ගෙන ආ පුරෝගාමීයා ලෙසද ඔහු හැඳින් වේ. කොටින්ම ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර පවා සිය පරිසර ප්‍රතිපත්තිය සම්බන්ධ ස්ථාවරයන් ගොඩනැගුවේ මෙම දොස්තර වික්‍රමසිංහ විසින් දමන ලද මතවාදී පදනම මත සිටය. කෙසේ නමුත් එදා මෙම යෝජනාව ගෙන ආවද ඒ ක්‍රියාත්මක කිරීම ගැන ගැටළු රැසක් පැනනැග තිබූ බැවින් සාකච්ඡාවට පමණක් සීමාවෙමින් පසුගිය දශකය දක්වා මේ ඇදී ආවේය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යළි අවධානයක් යොමු වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදීය. 2009 වර්ෂයේ දී මේ ක්‍රියාත්මක කළ යුතු බවට මූලික සාකච්ඡාවක් සිදුකෙරුණු අතර ඒ අනුව 2014 වසරේදී ව්‍යාපෘතිය ආරම්බ කිරීමට කටයුතු යෙදිණි. එහෙත් එම පාලනය බිඳ වැටීම නිසා එය යළි යටපත් විය. එසේම පරිසරවේදීන්ගෙන් එලල් වූ විරෝධතාවයද සැලකිය යුතු මට්ටමකවීම නිසා ව්‍යාපෘති යෝජනාව නැවත සලකා බලන තැනටද පත් විය.
එහෙත් පසුව යහපාලන යුගයේදීද මෙය යළි ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහයක් ගන්නා ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඒ වෙනුවෙන් දැඩි උනදුවක් තිබිණි. එසේම දක්ෂිණ පළාත් සංවර්ධනය බාරව සිටි ඇමැති සාගල රත්නායකද මේ ව්‍යාපෘතිය කෙසේ හෝ ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කළේය. රාජපක්ෂ යුගයේදීම මෙම ව්‍යාපෘතිය චීන රජයේ සමාගමකට පැවැරී තිබූ අතර අදාල ණය මුදල් ප්‍රමාදවීම නිසාත් මෙම ව්‍යාපෘතිය ආරම්බ කිරීම ප්‍රමාද විය. පරිසරවේදීන් එල්ලකරන විරෝධය සමතයකට පත්කර ගැනීම වෙනුවෙන්ද එම පාලනය වෙහෙසක් ගත්තේය. මේ අතර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එලල් වී තිබුණු රුපියල් බිලියන් 3 ක පමණ මුල්‍ය අක්‍රමිකතාවයක් ගැන විමර්ශනයක් සිදුවෙමින් තිබිණි. යහපාලන රජය මුහුණ දුන් අනෙක් ගැටලු කාරිත්වයනුත් නිසා කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය අරම්බ කිරීමට හැකිවූයේ නැත.
එදා මෙම ව්‍යාපෘතිය ගැන ජවිපෙ එරෙහි වූයේ නැත. ඔවුන්ට ගැටලුවකට තිබුණේ මේ හරහා පැවැති රාජපක්ෂ යුගයේදී විශාල කොමිස් ජාවාරමක් සිදු වී ඇති බවත්, යහපාලන යුගයේදීත් එය සිදුවෙමින් තිබෙන බවටත් වන චෝදනාවක් මිස ව්‍යාපෘතියේ පරිසරික බලපෑමක් ගැන ගැටලුවක් නොවේ. ඔවුන් කිසිවිටෙක මෙම ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරනැත. ජවිපෙට සිංහරාජය තුළ වැව් හැදීම ගැන විරෝධයක් තිබුණේ නැත.
කොහොම නමුත් ජවිපෙට එහෙම විරෝධයක් මතු කළ හැකිද නොවේ .මන්ද ඔවුන්ගේ පක්ෂනායක අනුර කුමාර දිසානායක චන්ද්‍රිකා රජය තුළ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක කළ වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය මඟින්, ලුණුගම්වෙහෙර වනාන්තරය හරහා ගමන් ගන්නා මැණික ගඟ හරස් කර විශාල ජලාශයක් ඉදිකිරීමට පියවර ගනු ලැබීය. එමෙන්ම ඊට සමගාමීව තවත් කුඩා වැව් කිහිපයක්ම මේ වනාන්තරය තුළ ඉදි කෙරිණි. වෙහෙරගල ජලාශය කියන්නෙ කිලෝමීටර් 2 කට වඩා දිගින් වැඩි බැම්මක් ගොඩනගා ඉදිකළ ජලාශයකි. හැබැයි වනාන්තරයක් තුල ජලාශ ඉදිකිරීම ගැන පාරිසරික හෝ දේශපාලනික විරෝධයක් ජවිපෙට එදා තිබුණේ නැත. ඒ අනුව සිංහරාජය තුල වැව් ඉදිකිරීම ගැනත් ඔවුන්ට එදා විරෝධයක් තිබුණේ නැත. අද චමල් රාජපක්ෂ මහතා පවසන්නේ අක්කර 5 බැගින් වූ වපසරියක වැව් දෙකක් සකසන බවත් ඒ වෙනුවෙන් තවත් අක්කර සියයක පමණ නව වන වගා ප්‍රදේශයක් සිංහරාජයට එකතු කිරීමට කටයුතු කරන බවත්ය. නමුත් එදා ඉදිරිපත් කරනු ලැබු ව්‍යාපෘති සැලසුමේ සඳහන්වන්නේ අක්කර 14 සහ 11 ප්‍රමාණයේ ජලාශ දෙකක් ඉදිකරන බවය. වන වගා ව්‍යාපෘති එහි තිබුණේ නැත. ඒත් ජවිපෙට ඒ ප්‍රශ්නය වූයේ නැත. ඒ අනුව අද ජවිපෙටත් එජාප සජබ කණ්ඩායම්වලටත් මේ සිංහරාජ වැව් දෙක ගැටලුවක් වන්නේ ඇත්ත පරිසර සංරක්ෂණයක්, පරිසර ප්‍රේමයක් වෙනුවෙන් නොවන බව පැහැදිලිය. ඔවුන්ගේ දේශපාලනික අවස්ථාවාදී ප්‍රතිපත්තිය සැකසෙන්නෙ හුදු ආණ්ඩු විරෝධයක් ගොඩනැගුම වෙනුවෙන් පමණක් බවත් මේ අනුව පැහැදිලිය.
මේ සටකපට දේශපාලන අවස්ථාවදයන් තේරුම් ගැනීම අතිශය වැදගත්ය. අප පරිසරයට ආදරය කළ යුතු නමුත් මේ දේශපාලන උගුල්වල නොවැටිය යුතුය. අද ඇත්ත පරිසරවේදීන් පවා, මේ දේශපලන යටි උගුල්කාරයන් නිසා ඇත්ත පරිසර ප්‍රශ්න ටික යටපත් වෙමින් තිබෙන බවට මැසිවිලි නගමින් තිබෙන්නේ ඔවුන්ට දැන් එය පැහැදිලි නිසාය.
- the novemberist