විජේවීර උරුමයේ ජවිපෙ - දෙවැනි පරපුර තවත් කළඹලයක් ඇතිකරයි. Featured

Monday, 29 March 2021 11:45

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බාලම දරුවා වූ උවිදු විජේවීර දැන් දේශපාලනයට අවතීරණය වී සිටී. උවිදුගේ මේ දේශපාලන ආගමනය ලංකාවේ දේශපාලනයට කවරාකාරයෙන් බලපෑමක් වේ දැයි දැන්නම් කිසිවක් නිශ්චිතව කිව නොහැක.

ඔහු විසින් මාධ්‍යයන් හමුවේ විටින් විට ලබාදුන් ප්‍රකාශ කිහිපයක් හැර මේ දේශපාලන ක්‍රියාන්විතය ගැන දෙයක් කියන්නට තරම් දේ තවමත් හෙළිදරව් වී නැත.

එහෙත් උවිදු මෙරට දේශපාලනය කෙරෙහි පසුගිය වසර පහ හය කාලය තුළම උනන්දු වූ බව පෙනෙන්නට තිබිණි. එහිදී නිරන්තරයෙන් දේශීය චින්තනයක, ජාතික චින්තනයක අවශ්‍යතාවය මතුකර පෙන්වීම සිදුවතිබේ. මෑතක කරන ලද පුවත්පත් සාකච්ඡාවකදී තමන්ගේ දේශපාලන පදනම සිංහල බෞද්ධ චින්තනය බව පැහැදිලිවම ප්‍රකාශකර තිබුණේ තම පියාගෙ මාක්ස්වාදී චින්තනය ප්‍රතික්ෂේප කරමිනි. තම පියාට වැරැදුනා හෝ වැරැද්ද වූ බව ඔහුගේ පිළිගැනීමය. එමෙන්ම ජවිපෙ සම්බන්ධයෙන් විවේචනයක්ද ඔහු තුළ වෙයි. ඒ ජාතිකවාදී මතවාදය ජවිපෙ විසින් බැහැර කර තිබීම පදනම් කරගෙනය. කොහොම නමුත් මෙය දෙවැනි ජවිපෙ ගොඩනැගීමක් ලෙස හැදින්වීම් සිදුකෙරුණද මෙම දෙවැනි පරපුර ජවිපෙ හැව ඉවතදමා ඇති බව පැහැදිලිය.

එය එසේ වූවත් ඔහු දේශපාලනයට එක්වන්නේ තමන්ට වඩා සමීප වූ පැරණි ජවිපෙ දේශපාලනයෙන් අත්හැරුණු නැතිනම් ජවිපෙ ද්‍රෝහීන් ලෙස හංවඩුගැසුණු හෝ ජවිපෙ අත්හැර ගිය කණ්ඩායම් සමඟ එක්වීමෙනි. අද ඔහු මූලිකත්වය ගෙන තිබෙන්නෙ එම කණ්ඩායමට අවශ්‍ය නායකත්වය සපයන්නා ලෙසය. 1971 ජවිපෙ අරගලය පරාජයට පත්වූවත් සාධාරණ සමාජයක් වෙනුවෙන් එම සාමාජිකත්වය කළ කැපකිරීම කිසිසේත්ම අහක දැමීමේ හැකියාවක් නැත. එය අවංක අරගලයකි. දේශපාලනික නොමේරුකම් සංවිධානාත්මක දුර්වලකම් සහ එවකට රෝහණ විජේවීර දැරූ දේශපාලන ස්ථාවරය ගැන දහසක් විවේචනයන් එලල්ව තිබුණත් 71 අරගලය යනු මේ රටේ දේශපාලනයේ වැදගත් හැරවුම් සලකුණකි. එය විසින් ඉල්ලා සිටින ලද වුවමණාවන් අද දක්වා ඉ‍ටුවීම සිදුනොමැති තත්වයක් තුළ අදත් එම අරගලයේ සාධාරණ බව යුක්තියුක්ත බව එලෙසම ඉතිරිව තිබේ.

උවිදු විජේවීර දේශපාලනය පටන් ගන්න යන්නේ මෙලෙස අවසන් නොවුණු වුවමනාවන් එකතුකරගත් මල්ලක ඇතැතිවය. මේ මල්ල මෙතෙක් ජවිපෙ විසින් කරගහගෙන ගියේය. නැතිනම් වෙනත් දේශපාලන ව්‍යාපාරයන් විසින් විටින් විට මේ මල්ල සොරකම් කරගන්නා ලද නමුත් ඒ මල්ල ලිහා බැලීමකින් තොරවම එලෙසම පවතී.

ජවිපෙ දිගින් දිගටම අසාර්ථකවීම මත උවිදු විජේවීරට මේ මල්ල කරතබාගෙන යෑමේ පහසු හැකියාවක් තිබේ. ඊට විජේවීරගේ පුත්‍රයා වීම නිසා ඊට ඥාති උරුමයක්ද ඔහුට ලැබී ඇත. මේ ඥාති උරුමය ශ්‍රී ලංකාවේ දේශපාලනයෙහි හිමිවන වටිනා අවස්ථාවක් ද වේ.

ඒ කොහොම නමුත් මේ වන විටත් උවිදුගේ කඩාපාත් වීම ජවිපෙ සසල කිරීමට සමත්ව ඇති බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ පෙන්නුම් කරමින් තිබේ. එමෙන්ම ජවිපෙ විරෝධී කොටස්ද උවිදුව ඔසවා තබමින් ජවිපෙට රිදවමින් සිටී. මේ පටු දේශපාලන භාවිතය නොතකා මේ දෙස බැලීම සිදුකළ යුතුය. ජවිපෙ දේශපාලනය ඉතිහාසය සම්බන්ධයෙන් ජවිපෙ පක්ෂයක් ලෙස බරපතල හානි සිදු කර අවස්ථා කිහිපයක්ම ඇත. 1971 අරගලය, 88 - 89 අරගලය හේතුවෙන් දැඩි රාජ්‍ය මර්දයකට ගොදුරු වී රෝහණ විජේවීර ඇතුලු ප්‍රබලම නායකයන් සියල්ල පාහේ විනාශ විය. ඉන් අනතුරුව ජවිපෙ බහුජන දේශපාලනයේ ප්‍රබලම නායකයා වූ විමල් වීරවංශ එම බහුජන පෙරමුණ කඩාගෙන ජවිපෙන් ඉවත් විය. ජවිපෙ සිටි ජනප්‍රියතම බහුජන නායකයන් රැසක් එමඟින් ජවිපෙ අහිමි කර ගත් අතර ජවිපෙ එතෙක් ඔසවාගෙන ආ ජාතිකවාදී මතයද ජවිපෙන් ඉවත්වෙන තැනට කටයුතු යෙදිනි. එය ජවිපෙ මැතිවරණ දේශපාලනයට තදින් බලපා තිබිණි. ඉන් පසුව පක්ෂයේ න්‍යෂ්ඨිය නැති නම් අර‍ටුව ලෙස සැලකිය හැකි පූර්ණකාලීන වෘත්තීය මට්ටමේ දේශපාලන ක්‍රියාදරයන් අති බහුතරය අභ්‍යන්තර නායකයකු වූ කුමාර් ගුණරත්නම් සමඟ පක්ෂයෙන් ඉවත් විය. මෙය ජවිපෙ දේශපලනයට වූ බරපතලම හානියක් ලෙස සැලකිය හැකිය. ජවිපෙ නියෝජනය කළ වාමවාදී මතයද එතැනින් අවසන් වූ අතර පක්ෂයේ සංවිධාන ශක්තිය ද මුළුමනින්ම විනාශ විය.

මේ වන විට අනුර කුමාර දිසානායක්ගේ නායකත්වය යටතේ ජවිපෙ සමාජවාදී විප්ලවාදී මාවත වෙනුවට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපලනයක් වෙත සීරුමාරු විය. නමුත් දක්ෂිණාංශක දේශපාලන සංවාසය සමඟ දේශපාලන ගණිකාවක් බවට ජවිපෙ පත්වීමද මෙහිදී සළකුණු විය. ජවිපෙ දේශපාලනය මෙය යැයි කියා අද හඳුනාගන්නට නොහැකි තරමට එය වියවුල් සහගත වී ඇත. මේවන විට තමන් සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාරයක් බව කියන තැනටම ජවිපෙ පල්ලම් බැස තිබේ. මෙලෙස ජවිපෙ නයකයා තමන් සිංහල බෞද්ධ කියා සතියක් යන විට උවිදු විජේවීර ජවිපෙ මූලයන් ආමන්ත්‍රණය කළේ සිංහල බෞද්ධ පදනම මත පිහිටා කරන දේශපාලනයක් ගැන කතා කරමිණි. ජවිපෙ තමන් සිංහල බෞද්ධ බව මෙතෙක් ඉතිහාසය තුළි පිළිනොගෙන සිටිය නමුත් ජවිපෙ දේශපාලන පදනම සකස් වූයේ අවිඥානකව සිංහල බෞද්ධ චින්ත්නය මත සිට බව එහි දේශපාලන තීන්දු තීරණ ගැන විමසන විට පැහැදිලි වන ඇත්තය. මාක්ස් ලෙනින්වාදය උඩින් පොරවා ගන්නා ලද ව්‍යාජ සළුවක් බව ජවිපෙ උප්පත්තියේ සිටම වාමවාදී විචාරකයන් විසින් පෙන්වා දී තිබිණි.

කොහොම නමුත් දැන් උවිදු ආමන්ත්‍රණය කරන්නේ ජවිපෙ රතු පාට පිරුවටයකින් වසාගෙන සිටි ඇත්ත ආත්මයටය. මෙය දරාගැනීම ජවිපෙට පහසු නොවෙනු ඇත. එමෙන්ම වීරවංශ සහ ගුණරත්නම් කළ හානියට වඩා මෙවර තත්වය බැරෑරුම් වන්නේ ජවිපෙ යනුවෙන් දැනට ඉතිරි වී ඇති දෙය තවදුරටත් රඳවාගැනීමට ජවිපෙ නායකත්වය අසමත් වෙමින් තිබෙන තත්වය තුළය. එමෙන්ම රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසුව මෙම පවුලේ රැකවරණය ජවිපෙන් ගිලිහීම සහ ජවිපෙන් එල්ල වූ මර්දනකාරී පීඩනයත්, රැවැටීමට ගොදුරුවීමත් නිසා උවිදුගේ දේශපාලන ආගමනය ගැන තමන් කෙරෙහි වරදකාරී හැඟිමක් ජවිපෙ තුළ හටගැනීමත් වැලැකිය නොහැක.

උවිදු කියන්නේ සාමාන්‍ය මිනිසෙකු නොවේ. ඔහු ජවිපෙ අසහාය නායක එහි නිර්මාර්තෘ රෝහණ විජේවීරගේ පුත්‍රයාය. එහෙත් විජේවීරගේ පුත්‍රයා වූ පලියට ඔහු දේශපාලනයට ආවාද නොවේ. ඔහුට පියාගෙන් ලැබුණු දේශපාලන ගුරුහරුකමක් පෙළඹවීමක් නැත. පියා ඝාතනයට ලක්වන විට ඔහු අතදරුවෙකි. ඔහු දේශපාලනයට එන්නෙ ඔහුගේ අවබෝධය කැමැත්ත ප්‍රකාරවය. ඒ තබා ඔහුගේ මවගෙන් හෝ සහෝදරියන්ගේ හෝ කැමැතෙන් ද නොවන බව ඒ පවුලේ ආකල්ප ගැන දන්නා අය දනී.

එසේම උවිදු කියන්නේ උගතෙකි. බුද්ධිමත් සිතන්නෙකි. එසේම චතුර කථිකයෙක් මෙන්ම හොඳ සංවිධායකයෙකි. ඔහු රුසියානු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දි අඛණ්ඩව තෙවන වරටත් එම මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජනප්‍රිය සිසුවෙකි. රට රාජ්‍ය විශාල ප්‍රමාණයක ශිෂ්‍ය ප්‍රජාව අතරින් එලෙස දිගින් දිගටම සිය මතවාදී පෞර්ෂය පවත්වගෙන යෑම එම නායකත්ව ගුණය පවත්වගෙන යෑම ලෙහෙසි පහසු පුත්‍රයකුට කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතුනැත. රෝහණ විජේවීරත් එවැනි උත්සාහයක් ගෙන පරාජය වූවෙකි. එසේම මෙම විශ්ව විද්‍යාල සමය තුළ ඔහු සතු කරගෙන තිබෙන ජාත්‍යන්තර සම්බන්ධතා ඔහුගේ දේශපාලනයට ඉමහත් රුකුලක් වෙනු ඇත. ඇතැම් විට ඔහු සමඟ ඉගෙනුම ලබුවේ තවත් රාජ්‍යයන් ගනනාවක අනාගත දේශපාලන නායකයන්ද විය හැකිය. මේ නිසා උවිදු විජේවීරගේ මේ දේශපලන ආගමනය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැක. මේ වන විට ඔහු රට තුළ ගොඩනගා ගනිමිත් තිබෙන දේශපාලන පෞර්ෂය ප්‍රතික්ෂෙප කළ හැකි විවේචනයක් ඉදිරිපත්ව නැත. ජවිපෙ මූලිකව ගෙන යන මඩ අවලාද හැර වෙනත් මැදිහත් දේශපාලන විචාරයක් දකින්නට නැත. මෙරට දේශපාලනය ජරාජීර්ණ වී ඇති ප්‍රමාණය අනුව උවිදු වඩා නිවැරදී මෙන්ම ජනතාවගේ වුවමණාවන් සමඟ බද්ධ වන පුළුල් දේශපාලන ක්‍රියාකාරිත්වයක නියැලීමට සමත්වීම තුළ උවිදු ගේ දේශපාලන ගමන මෙරට දේශපාලන ඉතිහාසයේ යම් හැරවුම් ලක්ෂයක් වීමේ විශාල ඉඩකඩක් ද පවතී.

-සුජය

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us