මේ නිසා රාජ්‍ය පාලන බලය අත්පත් කරගන්නා ඕනෑම කණ්ඩායමක් හමුවේ තිබෙන අභියෝගය වන්නේ තමන්ට වගකීම් පැවරූ කාල සීමව තුළ හැකි උපරිමයෙන් මහ ජනතාව වෙනුවෙන් සේවය කිරීමය. එහෙත් ශ්‍රී ලංකාව වැනි තවමත් සංවර්ධිත නොවූ රාජ්‍යයන්වල අත්දැකීම නම් මේ පාලන කලසීමාවලදී ඉතා වේගයෙන් එම පාලක පක්ෂය ජනතාවගේ දෝශ දර්ශනයට ගැරහුමට පාත්‍රවීමය. මෙම විරෝධයන් සමඟ පාලකයාටද තමන් අපේක්ෂා කළ ලෙස පාලනය පවත්වාගෙන යෑමට නොහැකිව ලත වෙන හැටි අප දැක තිබේ. එවිට වංචාවෙන්, දූෂණයෙන්, රැවැටිල්ලෙන්, බොරුවෙන් තොරව අවංක චේතනාවෙන් වුව සිදුකරන කටයුතු කෙරෙහිත් ජනතාව සැක කිරීම සිදුවෙයි. පාලකයා කෙතරම් ප්‍රතිඥා දී තමන්ගේ අවංකභාවය පෙනුම් කළද එය විශ්වාස කිරීමට ජනයා පෙළඹෙනේ නැත. ජනතාවට පාලකයා සැකකිරීමට සිදුවන්නේ අකටයුතුකම්වල පෙර අත්දැකීම් බොහොමයක් තිබෙන නිසාය.
ඒ අනුව ජනතාව පුරුදුව ඇත්තේ ජනතා අභිලාෂයන් ඉටුනොවීමේ වගකීම පාලකයා මුළුමනින්ම පාලකයා මත පැටවීමටය. එහි ඇත්තක් තිබේ. මන්ද රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීම ඔවුන්ගේ වගකීමක් වන නිසාය. අද ඕනෑම ආණ්ඩුවක් අසමත්වීම කෙරෙහි ඉතා තදින්ම බලපාන කරුණක්ව තිබෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය නිසියාකාරව මෙහෙයවීමට අසමත්වීම තුලය. රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙය වන රාජ්‍ය නිලධාරීන් නිසියාකාරව කටයුතු නොකරන තාක්කල් රාජ්‍ය පාලකයා කෙතරම් උත්සහ කළද රටවල් ගොඩනගන්නට නොහැකිය. ශ්‍රි ලංකාව තුළ ඊට උදාහරණ ඇති පදම් තිබේ. රජයේ ප්‍රතිපත්ති තීන්දු කළ පසුව එය ඒ ආකාරයෙන් ඉටු කිරීම රාජ්‍ය නිලධාරීයාට පැවැරී ඇති රාජකාරියය. ඒ වෙනුවෙන් අවශ්‍ය බලය, ප්‍රතිපාදන, පහසුකම් ලබා දී ඇති විට එම රාජකාරි වගකීම නිසියාකාරව ඉටුකිරීම සිදුනොවෙන විට අපහසුතාවයට පත්වන්නේ පාලක පක්ෂයය.
හැමදාමත් කවර පක්ෂයක් ආණ්ඩු කළද ජනතාවගේ බොහොමයක් විවේචන එල්ලවන්නේ මේ රාජ්‍ය නිලධාරියා වෙතින් සිදුවන අඩුලුහුඩුකම් පදනම් කරගෙනය. අද වත්මන් රජය විසින් ගෙන තිබෙන තීන්දුතීරණ ක්‍රියාවට නැගීමේදී සිදුව තිබෙන අකටයුතුකම්, අඩුපාඩු රැසක් ගැන දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් ආණ්ඩුව කෙරෙහි ජනතා විරෝධයක් මතුවෙමින් තිබීම කෙරෙහිද තදින්ම බලපා ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන අවුලය.
මෑතකදී අණ්ඩුවට එලල් වූ සීනි බදු වංචා චෝදනාව ගෙන බැලුවත් රාජ්‍ය නිලධාරීන් සිය බලය හැකියාව නිසියාකාරව පාවිච්චි කළේ නම් එම චෝදනාව එල්ලවීමට හේතුවක් නැත. රජය සීනි බදු අඩු කළේ සීනි මිල අඩු කර පාරිභෝගිකයා වෙත ලබාදීම වෙනුවෙනි. එහෙත් බලාපොරොත්තු වූ ලෙස එය ඉටු වූයේ නැත. සුපුරුදු පරිදි වැඩි මිලටම සීනී වෙළඳපොළෙහි විකිණීමට තිබිණි. සීනි සඳහා පාලන මිලක් නියම කළ පසු එම මිලට වඩා වැඩි මිලට සීනි විකිණීම සිදුකරනවා නම් ඒ වැලැක්වීමේ බලය ඊට අදාල වගකිව යුතු රාජ්‍ය ආයතන සතුව ඇත. එහෙත් එය සිදුනොවුයේ මේ ආයතනවල බලය හිමි නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය, දූෂිතබව හෝ ඒ වගකීම මඟ හැර සිටීම නිසාය. එහෙත් අවසානයේ චෝදනාව එලල් වූයේ ජනාධිපතිවරයා ප්‍රමුඛව ආණ්ඩුවටය.
ජනාධිපතිවරයාට ග්‍රාම සංවර්ධනය වෙනුවෙන් ' ගම සමඟ පිළිසඳර' වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සිදුවීම තුළ ඇත්තේද මේ රාජ්‍ය සේවයෙහි තිබෙන අවුලය. රජය ප්‍රතිපති සලැසුම් ප්‍රතිපාදන සියල්ල වෙන් කර ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කවර තීන්දු ගත්තත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. මේ නිසා ජනාධිපතිවරයාටම ගමින් ගමට ගොස් මේවා පරික්ෂාකරන තැනට වැටී ඇත. එහෙත් එහිදීද මේ රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරයාවත් රවටමින් කටයුතුකිරීම සිදුවෙමින් තිබෙන බව දැන් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා අහවල් ගමට එන බව දැන ගැනීමෙන් පසුව කලබල වෙන රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරයා පැමිණීමට පෙර ඔහුට පෙනෙන තෙක්මානයේ ඇති දේවල් සංවර්ධනය කිරීමට පෙළඹී තිබේ. මේ බොහොමයක් දේ බොරු මවා පෑමය. ගම සමඟ පිළිසඳරෙන් හදපු පාර සති දෙක යනකොට විනාශ වී යන්නේ ඒ නිසාය. ගම සමඟ පිළිසඳර යනු ටෙලි නාට්‍යයක් බවට චෝදනා එල්ලවන්නේ මේ නිසාය. ගම සමඟ පිළිසඳරින් බලාපොරොත්තු වූයේ මේ ගැමියන් සමඟ ඇත්තටම ඔවුන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම වුවත් දැන් ආරංචි වෙන විදිහට රාජ්‍ය නිලධරීන්ට උත්තර තිබෙන ප්‍රශ්න පමණක් මතු කිරීම වෙනුවෙන් පුද්ගලයන් පුහුණුකර ප්‍රශන් නැගීමට අවස්ථාව සකසන බවයි. ඇතැම් විට ඒ ගමේ ඇත්තම ප්‍රශ්නය නොවී ප්‍රදේශයේ දේශපාලන හෝ ව්‍යාපාරික බලවතුන්ගේ ගේ හුදු අවශ්‍යතාවයක් විය හැකිය. කැලෑ කැපීම ගැන චෝදනා බොහොමයක් එල්ලවන්නේත් රාජ්‍ය නිලධාරීන්ගේ නොපනත්කම් නිසාය. සාම්ප්‍රදායික ගොවියන් රක්ෂිත ප්‍රදේශවල කරන සුළු වගා කටයුත්ත වුව රටේ නීති රීති අනුව වන සංරක්ෂණයෙන් තහනම් කරන විට ඒ ගැන මානුෂිකව කල්පනාකර ඊට ඉඩ ලබාදිය යුතු බව ජනාධිපතිවරයා ගත් තීන්දුව දඩමීමා කරගෙන වෙනත් දේශපාලන හිතවත්කම් හෝ අල්ලස් දී ජාවාරම්කරුවන් රක්ෂිත හෙළිපෙහෙළිකර ඉඩම් ඇල්ලීම මහ ගස් කපා හෙළීම් සිදු කෙරිණී. දැන් මෙහි වරද ජනාධිපතිවරයා නොව අදාල රජ්‍ය නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීමය. මේ දිනවල පොලිස් නිලධාරියකු රියැදුරෙකුට කරන පහරදීමක් ගැන වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ සැරිසරයි. එම සිදුවීමටත් ආණ්ඩුවට චෝදනා කිරීමට ඇතැමුන් ඉක්මන්වී තිබේ. පොලිස් නිලධාරින් බලය පාවිච්චි කළයුතු ආකාරය ගැන නීතිරීති තිබේ. ඔවුන්ගේ වගකීම ඒ අනුව කටයුතු කිරීමය. එය උල්ලංඝණය කිරීම මුළුමනින්ම එම නිලධාරින්ගේ වරද මිස පාලකයාගේ වැරැද්දක් නොවේ.
මේ ආකාරයෙන් තවත් උදාහරණ රැසක් පෙන්වා දිය හැකිය. එහෙත් රාජ්‍ය නිලධාරීන් මෙලෙස කටයුතු කරනවා නම් ඒ නිවැරදි කිරීම වගකීම ඇත්තේ ආණ්ඩුවට බව අමුතුවෙන් කිව යුතුද නැත. ආණ්ඩුවේ සමත් අසමත් බාවය තීරණය වන්නේ මේ ගැටලු නිරාකරණය කරගැනීම තුළය. එහෙත් මෙය ඕනෑම ආණ්ඩුවකට අභියෝගයකි.
රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කර එය දූෂණයෙන්, වංචාවෙන්, නාස්තියෙන් තොර වඩාත් කාර්යක්ෂම, ජවසම්පන්න යාන්ත්‍රණයක් බවට පත්කර එය රටේත් ජනතාවගෙත් සුභසිද්ධිය වෙනුවෙන් යෙදවීම වියයුතු බවට වත්මන් ජනාධිපතිවරයාගේ රට හදන් ප්‍රතිපත්ති මාලාවේද ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ මේ ගැටළුව ගැන ඔහුට ඇති අවබෝධය නිසා බව පැහැදිලිය. සෑම දෙයකටම නිවැරදි පහසු කාර්යක්ෂම ක්‍රමවේදයක් පැවැතිය යුතු බව ඔහු වෙතින් නිරන්තරයෙන් කියැවෙන්නෙ ඒ නිසාය.
එහෙත් මේ ක්‍රමවේදයන් සැකසීමත් රාජ්‍ය නිලධාරීන් වෙතින්ම සිදුවිය යුතුව තිබෙන්නකි. මේ සඳහා අවශ්‍ය දේශපාලනික ක්‍රියාමාර්ග ගැනීම ආරම්බකර තිබුණත් ඒ එය පහසු නැත. විශේෂයෙන්ම රාජ්‍ය සේවය පුරුදු පුහුණු වී ඇති පැරණි අකාර්යක්ෂම දූෂිත ක්‍රමවේදයන් වෙනස් කිරීමට රාජ්‍ය සේවයෙන්ම එන බාධාවන් මීට හරස්ව තිබේ. මේ තත්වයන් පිටු දැකිමට ජනාධිපතිවරයාගේ විධායක බලය හෝ මිලිටරි බලයක් හෝ යොදවා ක්‍රියාත්මක කළ හැකි නොවේ. එහෙම වූවොත් ඊට එරෙහිව එල්ල වන විරෝධය දරාගැනිමට ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩුවකට කළ නොහැක. මේ වන විටත් ඇතැම් රාජ්‍ය ආයතනවලට මිලිටරි නායකයන් පත්කිරීම ගැන ජාත්‍යන්තර මට්ටමින්ම විරෝධයක් එල්ල වී ඇත. මොටර් රථ වාහන දෙපාර්තමෙන්තුවේ වෙනස්කම් කරන විට එම වෘත්තීය සමිති ඊට එරෙහි විය. ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කටයුතු කරන විට එම වෘත්තීය සමිති ඊට එරෙහි විය. මේ නිසා මෙම කටයුතු කිරීම පහසු වැඩක් නොවේ. විශේෂයෙන් මෙහිදී ජනතාවගේ ඉල්ලීමක් ලෙස මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය ප්‍රබලව මතු වේ නම් ජනාධිපතිවරයාට මේ ප්‍රතිසංස්කරණයන් කිරීමට වඩා පහසුවක් ඇති විය හැකිය. එහෙත් එහෙම සංවිධානාත්මක ජනතාවක් මේ රටේ නොසිටීමේ ගැටලුවක්ද තිබේ. ජනතා ඉල්ලිම් ලෙස මතු වෙන බොහෝ ඉල්ලීම් විපක්ෂ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් මංකොල්ලකෑමත් නිරන්තරයෙන් සිදු වන බැවින් සහ ඒ හරහා ඇත්ත ගැටලුව වෙනුවට වෙනත් ගැටලු මතු කිරීම හරහා ජනතාවගේ ඇත්ත ඉල්ලීම යටපත් වීමද දකින්නට ලැබෙන්නෙකි. පටු අවස්ථාවාදී දේශපාලනික වුවමණාවන් නිසා ආණ්ඩුවකට තමන් බලපොරොත්තු වන සංවර්ධන ක්‍රියාදාමයන් ඉටු කිරීම වැලකුණු අවස්ථාද ඉතිහාසයේ තිබේ.
මේ අනුව රටක සංවර්ධනය නිසි ලෙස ඉටු නොවීම ගැන චෝදනාව ආණ්ඩු පක්ෂයට පමණක් නොව එවක විපක්ෂ කණ්ඩායම්වලටත් අදාල කරුණක් බව කිව යුතුය. තමන් ආණ්ඩු කරන සමයේදී ගන්නා ක්‍රියාමාර්ගවලට විපක්ෂය් එරෙහිවීම සිදුවූවත් එම ක්‍රියාදාමයම විපක්ෂය බලයට පත්වී කරන විට විපක්ෂය බවට පත්වන හිටපු ආණ්ඩු පක්ෂය එරෙහිවීමද ශ්‍රි ලංකාවේ සුලබ අත්දැකීමකි. මේ අවස්ථාවදී දේශආලන ක්‍රමය පවතින තාක්කල් රටක් හදනවා බොරුය. වර්තමානයේ රට මුහුණ දෙන බරපතල දේශපාලන ගැටලුවක්වන්නෙ මේ තත්වයය. එසේම නියමාකර ජාතික ප්‍රතිපත්ති අනුව දේවල් තීරණය කිරීමක් සිදුවන්නේ නැත. ඒ තබා ජාතික ප්‍රතිපත්ති සැකසීමද පටු දේශපාලනික අවශ්‍යතාවලට යටවී තිබේ.
මෙලෙස අවුල් වියවුල් වී තිබෙන රටක් නිසි මාවතට ගැනීම වත්මන් ජනාධිපතිවරයාගෙන් පක්ෂ මෙන්ම ඇතැම් විපක්ෂ කොටස් පවා බලාපොරොත්තු විය. ඔහු ඒ සඳහා උත්සහ ගනිමිත් තිබෙන බවත් පෙනෙන්නට තිබෙන නමුත් එහි සාර්ථතත්වයන් තවමත් පෙනෙන්නට නැත. එහෙත් ඒ ගැන තවදුරටත් බලපොරොත්තු තබා නොගැනීම කළ යුතු නැත. ඒ සඳහා ඔහුට තවත් කාලය ඉතුරුව තිබේ. ජනතාව ලෙස අප සියළු දෙනා ඊට ධෛර්යය සැපයිය යුතුය. එමෙන්ම මෙහිදී ජනතාවගේ අවධානය යොමු වියයුතු අනෙක් වැදගත් දේ නම් එම කටයුතු කඩාකප්පල් කරන විපක්ෂයේ භුමිකාව ගැනය. ඔවුන්ගෙ පටු අවස්ථාවාදී දේශපාලන ඉල්ලීම්වලට ඉඩදීම සිදුවුවහොත් එමඟින් වෙන්නේ රට තවදුරටත් මේ වැටී සිටින වළෙහිම පීඩාවට පත්වීම පමණකි.
- the novemberist