කොළඹ වරාය නගරය කළු සල්ලි තිප්පොළක් වේවිද? Featured

Wednesday, 31 March 2021 11:21

කොළඹ වරාය නගරය සංවර්ධනයට අදාලව රටේ පොදු නීති පද්ධතියෙන් වෙනස් කෙරුණු නව නීති සංශෝධනයක් මේ වන විට කෙ‍ටුම්පත් කර ඇත.

බැලු බැල්මටම මෙය අමුතු තත්වයක් වූවත් රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වන විශේෂ කලාපයන් ගොඩනගන විට රටේ පොදු නීතියෙන් වෙනස්ව එම කලාපයට පමණක් සීමිත වන් විශේෂිත නීතිරීතින් සකස් කිරීම ලෝකයට අලුත් දෙයක් නොවේ.

රටක් සංවර්ධනය කිරීමේදී රටේ සම්පත් සහ හැකියාවන් අනුව ඒවා තීරණය කළ යුතුය. ශ්‍රී ලංකාව නැමැති මේ දූපත ඉන්දියානු සාගරයේ අතිශයිම වැදගත් ස්ථානයක පිහිටීමෙහි වාසිය අප තවමත් හරියාකාරව අත්පත් කරගෙන නැත. නාවික ගමන් ක්ෂේත්‍රයෙත් ගුවන් ගමන් ක්ෂේත්‍රයෙත් ආසියාවේ කේන්ද්‍රස්ථානයක් විය යුතුව තිබූ ශ්‍රී ලංකාව නිවැරදි සංවර්ධන උපය මාර්ග අනුගමනය කළේ නම් අද දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රමුඛතම වෙළඳ මධ්‍යස්ථානය විය යුතුව තිබුණේ ශ්‍රී ලංකාවය.

එහෙත් ඉතිහාසය පුරා ප‍ටු ගෝත්‍රික ආකල්ප සහ දේශපාලනික අවස්ථාවාදයන් නිසා අපට හිමි විය යුතු ඉහළ සංවර්ධනය අප විසින්ම අහිමි කරගෙන ඇත. මෙසේ වූවේ නොදන්නාකම නොවේ. මේ අවස්ථාවන් අත්පත් කරගැනීම් වෙනුවෙන් ඇතැම් කාලයක ගෙන ආ යෝජනා සම්බන්ධයෙන් වැරදි සහගත විවේචන විරෝධතා නිසා දැනුවත්ව අප මෙම අවස්ථා අහිමිකර ගත්බ කීම නිවැරදිය. ඒ කොහොම නමුත් සෙමින් සෙමින් හෝ අප සංවර්ධන අවස්ථා සුළුවෙන් හෝ අතපත් කරගනිමින් සිටී. එහෙත් කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව අප අතිශයින්ම ප්‍රමාදය. එහෙත් මේ මොහොතේ හෝ අවශ්‍ය සංවර්ධන උපාය මාර්ග වෙනුවෙන් තීරණයක් ගන්නේ නම් කලාපයෙ සෙසු රටවල් අභිබවා ලොකයේ වැදගත්ම වෙළඳ මධ්‍යස්ථානයක් බවට ශ්‍රි ලංකාව පත්කර ගතහැකිය. මන්ද ශ්‍රී ලංකාවේ භූගෝලිය පිහිටීම අන් සියල්ලට වඩා වැදගත් පිහිටීමක් වීම නිසාය.

කොළඹ වරාය නගරය යනු ඒ තත්වයන් අත්පත් කරගැනීම වෙනුවෙන් උපක්‍රමිකව අමුතුවෙන්ම නිර්මාණය කළ භූමියකි. ශ්‍රි ලංකාවට අලුතෙන් එක්කර ගත් ප්‍රදේශයකි. වෙනත් සරළ නිදර්ශනයකින් පැහැදිලි කරනවා නම් මෙය ඉරිදා පුවත් පතක තරුණ/ ක්‍රීඩා/කාන්තා/ ජොතිෂ/ දැන්වීම් අතිරේකයක් වැනිය. පුවත් පත අතිරේක නිකුත් කරන්නේ මූලිකවම පුවත් පතෙහි අලෙවිය වැඩි කරගැනීමේ වෙළඳ පරමාර්ථය පදනම් කරගෙනය. සාමාන්‍ය පුවත්පතක් හරහා නොලැබෙන දැනුමක් රසයක් හෝ විශේෂ අවශ්‍යතාවයන් මේවා තුල අඩංගු කිරීම නිසා එය පාඨකයා පිනවන්නක්ද වේ. මේ අතිරේක නිසාම පුවත් පත් මිළදී ගන්නෝ සිටී. මේ නිසා ප්‍රධාන පුවත් පතෙන් වෙනස්ව ඒ ඒ අතිරේකවල අඩංගු මාතෘකා, භාෂා විලාසයන්, පිටු සැකසුම්, වර්ණ ගැන්වීම්, ඡයාරූප යොදා ගැනීම් ආදිය විශේෂතාවයන්ගෙන් යුතුවෙයි.

කොළඹ වරාය නගරය යනුත් එවැනි විශේෂ අතිරේකයකි. එය ගොඩනගන්නේම ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකය ගොඩනංවා ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් අප මේ නගරයෙහි අවශ්‍යතාවය, එහි වැදගත්කම, එහි පහසුකම් ආදිය ගැන පිටස්තර ලෝකයාට ඒතතුගැන්වීම කළ යුතුය. ඒ වෙනුවෙන් එය රටක් නොව විශේෂිත නිදහස් ආර්ථික කලාපයක් බව තහවුරු කළ යුතුය. එහෙත් එවැනි විශේෂිත කලාපයකට ලෝකයපුරා සිටින ප්‍රාග්ධන ආයෝජකයන්, ව්‍යාපාරිකයන්, සංචාරකයන් ගෙන්වා ගැනීමට නම් රටේ පොදුවේ භාවිත කෙරෙන අණපනත් නීති රීති ඊට අදාල කරගත නොහැක. ඒ තුළ වඩා ලිහිල් ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම සිදුවීම අනිවාර්යයකි. බදු , වෙළඳ බාධක, කම්කරු නීති, සංස්කෘතික නීති, ආදිය එම කලාපයට ගැලපෙන ලෙස නොවෙන්නේ නම් අප බලාපොරොත්තු වන ආකර්ෂණය එම නගරය වෙත ලබා ගැනීම වළක්වයි. ඇතැම් විට මෙය කළුසල්ලි ජාවාරම්කාරයන්ගෙ, කැසිනෝ කාරයන්ගේ පාරාදීසයක් වෙනු ඇත. අප අවුරුදු දහස් ගනනක් තිස්සෙ රැකගෙන එන සමාජ සංස්කෘතික ශිෂ්ඨත්වයන් මේ කලාපය තුළ අත්දැකිය නොහැකි වනුද ඇත. එහෙත් මෙය බිය විය යුතු තත්වයක් නොවේ. මේ සියලල් එම කලාපයට පමණක් සීමාවන්නකි. එයින් පිටතට ගලා යෑමක් වන්නේ නැත. නව නීති රීති සැකසෙන්නේ ඒ සීමාවත් රැකගැනීම වෙනුවෙනි. එය අනිවාර්ය තත්වයකි.

පසුගියදා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක් මෙම නව නීති කෙ‍ටුම්පත ගැන විරෝධය පලකරමින් කොළඹ වරාය නගරය රටේ ඒකීයභාවය පිළිබඳ නීතිය උල්ලංඝණය කර ඇති බවත් එය සාමාන්‍ය පෙඩරල් කලාපීය තත්වයත් ඉක්මවා ගිය කොන්ෆෙඩරල් තත්වයේ වෙනම රටක් බවට පත්කර ඇති බවටත් රටේ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයක් සිදුකර තිබිණි. මේ ව්‍යාජ දේශප්‍රේමීන් නැතිනම් ජාතිවාදය අවුළුවා බලය ඩැහැගැනීම වෙනුවෙන් ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවක් කිරීමට හෝ පසුබට නොවන පිළිකුල් සහගත දේශපාලනයක යෙදෙන්නෝ දැන් මේ කොළඹ වරාය නගරය ගැනද ගොතමින් සිටින්නේ ව්‍යාජ මතයකි. චම්පික ඇමැතිවරයාව සිටි යහපාලන යුගයේදි මේ වරාය නගරය ගොඩනැගීම භාරව සිටියේ ඔහුය. එම යහපාලනය යටතේද සිදුවීමට නියමිතව තිබුණෙත් මෙයම මිසක් අනෙකක් නොවේ. එසේ නැතිව අද චම්පිකලා දේශනා කරන ව්‍යාජ සංස්කෘතික ප්‍රේමය, දේශප්‍රේමය අනුව මේ නගරය සංවර්ධනය කරන්න සිටියා නම් අපට ඉතුරු වනු ඇත්තේ තනිකර වැලි පුරවනු ලැබූ කාන්තාර කොටසක් පමණි. එය සරුංගල් යවමින් විනෝදවීමට හැකි භූමියක් වෙනවා හැර වෙන මොකවත් වීමට නියමිත වන්නේත් නැත. මේවා සැලකිය හැක්කේ 43 සේනාංක උගතුන්ගේ ගොබ්බ කතා ලෙසය.

චම්පික මෙහිදී තවත් දෙයක් අවධාරණය කිරීමට වෙහෙසී තිබිණි. ඒ සීෂෙල්ස්වල වර්ජින් අයිලන්ඩ් වල කළු සල්ලි සඟවාපු අයට දැන් කොළඹ නගරයේත් කළු සල්ලි සැඟවිය හැකි බවය. ඒක ඇත්ත විය හැකි ලෙස කල්පනා කළත් වරාය නගරයේ ඊට පහසුකම් සැලැස්විය හැකි නම් ඒවායේ බදු පොලී ආදායම් රටට ලැබිය හැකිය. පැනමා පේපර්ස්වල කළු සල්ලි හංගපු අයට මේ ආදායම් ගැන අමුතුවෙන් කිව යුතු නැත. චම්පික මෙය හොඳාකාරවම දන්නා දෙයකි. එහෙත් චම්පික කොළඹ වරාය නගරය තුළ කළු සල්ලි සැඟවීමට ඉඩක් ලබා දී ඇති බවට මතයක් සමාජගත කරන්න උත්සහ ගන්නේ ඊට මහා ජනතා විරෝධයක් මතුවෙනු ඇති බව කල්පනා කරය. එමඟින් ආණ්ඩුව පෙරැළෙනු ඇති බව සිතමිනි. ඒත් එහෙම වන්නේ නැත. වරාය නගරයේ කළු සල්ලි තැන්පත් කළා කියා රටට වෙන විපතක් නැත. අප පරිසම් විය යුත්තේ රටේ ධනය සොරාගෙන පිටතට ඇදී යෑම වලක්වා ගැනීමටය. රට තුල මුල්‍ය විනය සහතික කර වංචාව දූෂණය පි‍ටුදැකිය හැකි පාලන ක්‍රමවේදයක් සකසා ගැනීමටය. එය සමස්ථ පුරවැසියාගේම වගකීමකි. දූෂණ වංචා චෝදනා ගනනාවක් එලල් වී ඇති චම්පිකලා ඇත්තටම එහෙම දෙයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, එහෙම භාවිතාවක් වෙත යනවා නම් කොළඹ වරාය නගරය ලෝකයේ ලොකුම කළු සල්ලි තිප්පොළ වූවත් එය රටට ප්‍රශ්නයක් නොවේ. කොටින්ම එය රටට විශාල ඩොලර් ආදායමක් ගෙන එනු ඇත.

අද චම්පිකලාත් හෙට ජවිපෙ සජබ ආදී අවස්ථාවාදීනුත් මේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගැන කප්පරක් බොරු බේගල් වපුරුවමින් ඒ කඩාකප්පල් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවාට සැක නැත. මේ වරාය නගර යෝජනාව මුලින්ම එන විටත් මෙම පිරිස් කළේ එයමය. රටේ කළුගල් ටික ඉවර වෙනවා වැනි බේගල් ඇදබෑවා අමතකවන්න තරම් කාලයක් තවම ගෙවී නැත. මෙය සම්පූර්ණයෙන්ම අත්හි‍ටුවන බවට වහසි බස්ද දෙඩුවේය. පසුව වරාය නගරය ගොඩනැගීමේ ඉලක්ක අරමුණු විනාශ කරදමා එය තවත් නිකම නිකම් කොළඹ නගරයේ කොටසක් පමණක් බවට පත්කර, රටේ ආදායමෙන් නඩත්තු කරන, අමතර බරක් රටේ ආර්ථිකය මත පටවන තැන දක්වා තල්ලු කිරීමටද මේ නල්ලමලේ දේශප්‍රේමින් උත්සහ ගනු ලැබීය. ඇතැම් විටක මේ අයගේ ව්‍යාජ දේශප්‍රේමී සුදු පිරුවට කිළිටු වෙනු ඇතැයි බිය නිසාද වරාය නගරය ඊට හිමි වරප්‍රසාදවලින් ගැලැවීම්ට කටයුතු කළාද වියහැකිය.

කොහොම නමුත් චම්පිකලාගෙන් වීමට නියමිතව තිබූ විනාසය වළක්වා ගැනීමට යහපාලන ආණ්ඩුව පෙරළා දැම්ම නිසා හැකිවිය. මේ වන විට විශාල ආයෝජකයන් පිරිසක් වරාය නගරයට ආයෝජනය කිරීමට ඉදිරිපත්ව තිබේ. වත්මන් පාලනය විසින් මේ නගර සංවර්ධනය වෙනුවෙන් යෝජනා කරන වැඩ පිළිවෙල අනුව මේ තත්වයන් තවදුරටත් වේගයෙන් වර්ධනය වෙනු ඇත. එහි ආර්ථික පළ ප්‍රයෝජනය වැඩි කාලක් යන්නට පෙර රටට ලැබෙනු ඇත.

-the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us