ආණ්ඩුවේ දූෂණ ගැන කතාකරන්න කාටද අයිතියක් තියෙන්නේ? Featured

Friday, 12 March 2021 12:46

සීනි බදු පහත දැම්මාය කියා මේ වනවිට විපක්ෂය දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධයක් ප්‍රකාශයට පත්කරමින් තිබේ. ආණ්ඩුව පැත්තෙන් වරදක් වී ඇති බව සැබෑය. එය විපක්ෂය විසින් හෙළිදරව් කිරීමත් වැරදි නැත.

එහෙත් විපක්ෂය විසින් සිදුකරමින් තිබෙන්නේ ඇත්ත ගැටලුව වසා වෙනයම් විරෝධයක් ඒ හරහා මතු කිරීමය. විපක්ෂයේ විරෝධය පදනම් වන්නේමම මේ ආනයනික සීනි වලට පනවා තිබූ බදු මුදල පහත හෙළීම මහා වංචාවක් බව හුවා දැක්වීමය. නමුත් මෙය කිසිසේත්ම වංචාකාරී ක්‍රියාවක් නොවේ. ආණ්ඩුව බදු අඩු කරන්නේ කොරෝනා වසංගතය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යමින් තිබු මොහොතේ සීනි මිල අඩු කර යම් සහනයක් ජනතාවට ලබාදීමේ අදහසිනි. බදු අඩු කිරීම මාස තුනක කාලයකට යටත්ව තාවකාලිකව සිදු කෙරිණි. සීනි කිලෝ එකකට පනවා තිබු රු 50 ක බදු මුදල සත 25 දක්වා අඩු කිරීම නිසා මෙම තාවකාලිකව ලැබුණු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට සීනී ආනයනය කරන වෙළෙන්ඳෝ පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් වරකට මෙරටට සීනි ගෙන එන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෙනවිත් ඔවුන්ගේ ගබඩා පුරවා ගනුලැබීය. ව්‍යාපාරිකයන් මේ සිදු කළේ මාස තුනකින් පසුව යළි සීනි සඳහා බදු පැනවෙන විට ඉන් වැඩි වාසියක් අත්පත් කරගැනීම වෙනුවෙන් බව පැහැදිලිය. ව්‍යාපරයකින් වැඩිපුර ලාබ ඉපැයීම ව්‍යාපාරිකයාගේ සිරිතය. එය වරදක් වන්නෙ නැත. එහෙත් ඒ ලාබ ඉපැයීම සම්බන්ධයෙන් රජය යම් සීමා කිරීම් කරතිබේ නම් ඊට ඔවුන් යටත් විය යුතුය.

සීනි බදු අඩු කර සීනි සිල්ලර විකිණීම සඳහා පාලන මිලක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති විට සීනි ව්‍යාපාරිකයා වෙළඳපොළට සීනී ලබා දිය යුත්තේ එම පාලන මිලට විකිණිය හැකිවන ලෙස තමන්ගේ ලාබයට සීමාවන් පනවාගෙනය.

නමුත් කුමක් හෝ හේතුවකට මේ පාලන මිලට වෙළඳපොළෙහි සීනි විකිණීමක් සිදු වූයේ නැත, සතොස සහ වෙනත් මහා පරිමාණ සිල්ලර වෙළඳ ආයතන යම් කාලයක් එම පාලන මිලට සීනි ලබා දීමට යටයුතු කළත් එය පාරිභෝගිකයාට දැනෙන තරම් සහනයක් වූයේ නැත. පසුව එම ආයතනවලද සීනි හිඟයන් ඇතිවූ අතර එම සහන මිළද අතුරුදන් විය. සීනි ප්‍රශ්නයේ ඇත්තම ගැටලුව ඇත්තේ රජය නියම කළ පාලන මිලට වෙළඳපොළ තුල සීනි ලබා ගැනිමට නොහැකිවීම තුලය. රජය ඊට වගකීම බාර ගත යුතුය. එසේ නොමැතිව විපක්ෂය මතුකරන රු බිලියන 15.9 ක වංචාවක් ආණ්ඩුව සිදුකළාය කියන චෝදනාවෙහි කිසිදු පදනමක් නැත. එය වංචාවක් නම් රජය විසින් සිදුකරනු ලබන සෑම බදු අඩු කිරීමක්ම වංචාවක් විය යුතුය. එසේම රජය බදු වැඩිකිරීමට ගන්නා සෑම පියවරක්ම මේ විපක්ෂයට අනුව නිවැරදි ජනතා හිතවාදී පියවරයන් විය යුතුය.

කොහෙම වෙතත් සීනි බදු අඩුකිරීමට ගත් තීරණය ගත්තේ නිවැරදිම මොහොතෙදී, නිවැරදි ප්‍රතිපත්තියක් තුළ පිහිටාද කියන කාරණයට රජය පිළිතුරු දිය යුතුය. මොකද එවැනි විශාල බදු අඩු කිරීමක් කිරීමේදී සලකා බැලිය යුතු නිර්ණායකයන් පවතින නිසාය. අඩුම තරමින් එම මොහොතේ මෙරට තුළ ගබඩා කෙරී ඇති සීනි ප්‍රමාණය, වෙළඳපොළ තුළ ඇති ප්‍රමාණය ගැන හෝ ගනන් තැබීමක් කර තිබුණාද යන්න සොයා බැලිය යුතුව තිබිණි. එසේම කලින් වැඩි මිළට ගෙනා සීනි තොග තිබියදී හදිස්සියේ බදු අඩුකර පාලන මිලක් නියම කිරීමෙන් ව්‍යපාරිකයාට සිදුවන අසාධාරණයද සලකා බැලිය යුතුව තිබිණි. එහෙම නොවන තත්වයක් තුළදී ව්‍යාපාරිකයාට තමන්ගේ පෙර සීනි තොග පැවැති මිළටම වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවසරයක් රජයෙන් ඉල්ලා සිටිය හැක. එය අසාධාරණ නොවේ. රජය ඊට ඉඩක් ලබා දී තිබූ බව එම මුල් කලයේදී වගකිව යුතු ඇමැතිවරුන් ගැසට් ගහපු ගමන් මිල අඩුවෙන්නේ නැතැයි කියමින් කළ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි විය. නමුත් එම අවස්ථාවද ව්‍යාපාරිකයා තමන් අඩු මිළට ගෙන ආ සීනි තොග වැඩි මිළට නිකුත්කිරීමට යොදාගෙන ඇති බව පැහැදිලිය. එයට මැදිහත්වීමක්ද රජය වෙතින් සිදුව නොමැත. සීනි මිල පාලන මිලට වෙළඳපොළෙහි ලබාගැනීමට නොහැකි වූයේ එබැවිනි.

මේ අනුව හදිස්සියේ සොයා බැලීමකින්, නියාමනයකින් තොරව ගන්නා පියවරයන් නිසා රජයට යළි මේ නිවැරදි කරගැනීමට ඇති අවස්ථා පවා ඔවුන් විසින්ම අහුරාගෙන තිබෙන බවත් පැහැදිලිය. එනමුත් මෙම තත්වය ඇතිවීම කෙරෙහි ඇතැම් විට දේශපාලන අධිකාරියෙන් හෝ රාජ්‍ය නිලධාරීන් වෙතින් හෝ දැනුවත් සහභාගිත්වයක් තිබුණාද යන්න ගැන සොයාබැලිය යුතුය. මේ සිදුවීම මාලාව තුල එවැනි අක්‍රමිකතාවයන් සිදුව ඇති බවට සැක සිතිය හැකි තැන් ගනනාවක් තිබෙන නිසා මේ ගැන විමර්ශනයක් සිදු කළයුතුව ඇත. ඒ අනුව හිතාමතාම වරදක්කර ඇති නම් ඊට දඬුවම් පැමිණවීමක් කළ යුතුය. රජය ඊට පියවර ගන්නේ නම් සිනී චෝදනාවෙන් නිදහස්වීමේ හැකියාවක් රජයට ඇත. නැතිනම් මේ දුෂණ චෝදනාව කිසිදා නොමැකිය හැකි හංවඩුවක්වීම වැලැක්විය හැකි නොවේ.

ඒ කෙසේ නමුත් අද මෙම සීනි ගනුදෙනුව වංචාවක් බව කියමින් කෑ කෝ ගහන විපක්ෂයට, ආණ්ඩුව වංචාවක් කළාය කියා ඇඟිල්ල දික් කිරීමෙහි සදාචාරාත්මක අයිතිය තියෙනවාද කියන එක ගැන මේ රටේ ජනතාව කල්පනා කර බැලිය යුතුය. හොරෙකුට හොරා කියා තවත් හොරෙක් චෝදනා කරනවා වැනි විහිළුවක් දැන් මෙතැන සිදුවෙමින් තිබේ.

විශේෂයෙන්ම මේ සීනි ගැන කතාව හෙළි කළ ජනතා විමුක්ති පෙරමුණට ඒ හෙළි කිරීම ගැන ස්තූතිය පළ කළ හැකි නමුත් ආණ්ඩුවේ දේශපාලකයන් ඉලක්කකර හොරා හොරා කිව හැකිද? ජවිපෙ මේ රටේ දේපොළ හොරා කෑවේ නැතිද? මේ රටේ දේපොළ විනාශ කළේ නැතිද? ජනතාව පීඩාවට පත් කළේ නැතිද? තමන්ගේ හිතවතුන් හොරා කන විට කට වහගෙන සිටි අවස්ථා ජවිපෙ ඉතිහාසයේ නැතිද? ජාවාරම්කාරයන්ගේ යටි කූට්‍ටු වැඩවලට ජවිපෙ උදව්කර නැතිද? මේ සියල්ලටම පිළිතුර, ඔව් ඔවුන් එසේ කර තිබේ.. යන්නය. එහෙම නින්දිත ඉතිහාසයක් ජවිපෙට තිබේ. ජවිපෙ මේ රටට කළ විනාශය සැසදිය හැක්කේ එල්ටීටීඊ සංවිධානය මේ රටට කළ විනාශය සමඟය. එහිදී එල්ටීටීඊයට දෙවැනි වීම හෝ ඔවුන් ඉක්මවා යෑම හෝ වී තිබේ. 71 / 88-89 කාලය අත්හැර 2005 ක් පසු කාලය ගැන පමණක් සලකා බැලුවත් ජවිපෙ මැදිහත් වූ මජර ගනුදෙනු නැතිනම් ඩීල් රැසක් තිබේ. අද දවසෙත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් තුළ මේ ඩීල් රහස් සොයාගත හැකිය. අද ජවිපෙ වේදිකා මත පැල් බැඳගෙන යහපාලනයට දොස් කීවද එච්චරටම විනාශකාරී වූ යහපාලන ආණ්ඩුව රැකගැනීමට ජවිපෙ කළ මැදිහත්වීම පමණක්ම ඔවුන්ගේ ඩීල් ගැන වටහාගැනීමට ප්‍රමාණවත්ය.

එසේම එජාපයට (සජබයට) මේ සීනි ගනුදෙනුව ගැන ආණ්ඩුවට ඇඟිල්ල දිගු කර හොරා කනවා යැයි රෙද්දක් ඇඳගෙන කළ නොහැකිය. මෙවැනිම සීනි ගනුදෙනුවක් ඒ සමයේදී සිදුවිය. ඊට අමතරව ඔවුන්ගේ යහපාලන කාලය තුල සිදු වූ මහා පරිමාණ දූෂණ වංචා කප්පරක් තිබේ. මහ බංකු කොල්ලයේ සිට කොල්ලකෑම් රැසක් තිබිණි. මහ බැංකු බැඳුම්කර කොල්ලය නිසා වූ හානිය තවමත් ගනනය කළ නොහැකි තරම් විශාල එකකි. සංවර්ධන්යේ නාමයෙන් ක්‍රියාත්මක වූ නිවාස ව්‍යාපෘතිවල සිට ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දක්වා ඔවුන්ගේ දුෂිත ක්‍රියාදාමයක් තිබිණි. ගජමිතුරු ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීමේ කළ මගඩි රැසක් තිබේ. ගල් අඟුරු, එතනෝල්, බියර්, රථවාහන වැනි ආනයනික භාණ්ඩවලින් ගසා කාපුහැටි පොත් ගනන් ලිවිය හැකිය. අතිශය අක්‍රමවත් පාලනයක් ගෙන ගිය එම යුගයේ එම දූෂිත ක්‍රියාදාමයන්ට සෘජුව වගකිව යුත්තන්ට අද විපක්ෂයේ සිට ආණ්ඩුව දූෂිතයි කියන්නට සදාචාරයක් තිබෙනවාද? එදා දුෂණ වංචා චෝදනා ලැබූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔවුන් රකිමින් සිටියා හැර මේ විපක්ෂනායකයෝ වරද නිවැරදි කරන්න උත්සහ කළේ නැත. එසේම ඊට පෙර රාජපක්ෂ යුගයේදී චෝදනාවන්ට ලක්වූවන්ට දඬුවක් කිරීම වැලැක්වීම වෙනුවෙන් ඩීල් දාපු හැටි ගැනත් වාර්තා තිබේ. දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් නීතිය අවභාවිතා කර කරපු දේශපාලන පළිගැනීම් ගැනත් අද තහවුරුව තිබේ. මෙහෙම තක්කඩි පිරිසකට තව කවුරුවත් කරපු වැරද්දක් පෙන්වා තමන්ට ශුද්ධවන්ත විය නොහැක. සිංහල කියමනකට අනුව නම් මේවාට කියන්නේ තමන්ගේ ඇහේ පොල් පරාලයක් හිරකරගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයනවා කියාය.

දැන් එතකොට ආණ්ඩුවකරන වැ‍රැදිවලට චෝදනා කරන්න කාටවත් බැරිද? පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ හැම ආණ්ඩුවකින්ම බැට කන්න සිදුවෙලා තියෙන, හැම විපක්ෂයකම ‍රැවැටීමට ගොදුරුවෙලා සිටින පොදු ජනතාව. ඔවුන්ට පමණයි ඒ අයිතිය තිබෙන්නේ.

-the novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us