තවත් පාස්කු ප්‍රහාරයක් වෙයි කියල විපක්ෂය හිතන් ඉන්නවාද?

Thursday, 25 February 2021 15:00

සුනඛයකුට යමකින් පහර දුන් විට සුනඛයා කරන්නේ  ඒ යම කුමක්දැයි බලා ඒ සමඟ පොර බදිමින් එය සපා කෑමය. ඒ උගේ සිරිතය. එහෙත් එම ප්‍රහාරය එල්ල වූයේ කොහෙන්ද, කවුද, මොකටද..?  කියන කාරණය ගැන ඒකාට වගක් නැත. මේකට කියන්නේ සුනඛ ලීලාව නැතිනම් සුනඛ සෙයියාවය. සුනඛ ලීලාව එහෙම වෙන කොට සිංහ ලීලාව කියා දෙයක්ද තිබේ.

සිංහයකුට යමකින් පහර දුනහොත් සිංහයා බලන්නේ ඒ යම දෙස නොව ප්‍රහාරය එල්ල වූයේ කොහෙන්ද, කවුද, කින්ද මන්ද..? කියන එක ගැනය.  ඒ තමන්ගේ අනාගත ආරක්ෂාව සලසා ගැනීම ගැන සිංහයාට තියෙන වැටහීම නිසාය. නමුත් සුනඛයා හැමදාම ප්‍රහාරයන්ට ලක්වී පැන දිවීම සිදු කරයි. සිංහයාගේ හැරී බැලීම සිංහාවලෝකනය ලෙස විශේෂයෙන් වර නැගෙන්නේ ඔහුගේ බුද්ධිමය පරිචය එමගින් ප්‍රකාශයට පත්වීමත් නිසාය.

මෙය සඳහන් කළේ පාස්කු ප්‍රහාරය ගැන අප බැලිය යුත්තේ සුනඛ ලීලාවෙන්ද , සිංහ ලීලාවෙන්ද කියන කාරණය ගැන කතා කරන්න ප්‍රවේශයක් ලෙසය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමෙහි වාර්තාව තවමත් නිල වශයෙන් ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධකර නැතත් එහි නිගමන සහ නිර්දේශයන් ගැන යම් පමණකට දේ සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. ඒ අනුව එම වාර්ථාවේ අඩංගුව ගැන අදහසක් සමාජය තුල තිබේ. මේ දින තුනක කාලය තුළ මේ සම්බන්ධයෙන් විවාදාත්මක කතන්දර ගොඩක් ඇසෙන්නටද පටන් ගෙන තිබේ. සත්‍යය නොවහලා පවසනවා නම් මේ කොමිසම් වාර්තාව බොහෝ දෙනාගේ අපේක්ෂා සුන්කර ඇති බව ඔවුන්ගේ ප්‍රතිචාර මඟින් පෙන්නුම් කර තිබේ. එය ආණ්ඩු විපක්ෂ බේදයකින් තොරව ප්‍රකාශ වෙමින් තිබේ.  රටම බලාගෙන සිටියේ මෙම වාර්තාව මඟින් මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් හඳුනාගෙන ඔවුන්ට දිය යු‍තු දඬුවම් ආදිය ප්‍රකාශ වෙනු ඇති බවය. මේ රටේ අන්තවාදී නොවන කිසිදු පුරවැසියකු මෙම පාස්කු ප්‍රහාරය කිසිසේත්ම අනුමත කරන්නෙ නැත. එසේම එම ප්‍රහාරයට ගෑවුණු ගෑවුණු එකාට දඬුවම් කළ යුතු බව ඒ සියලු දෙනාගෙම අපේක්ෂාව වනවාට ද සැක නැත. එහෙත් කොමිසම් වාර්තාව මඟින් ඒ අපේක්ෂාවන්ට සාධාරණයක් ඉ‍ටුකර නැති බව බැලු බැල්මටම පෙනෙන්නට තිබෙන කාරණාවය.

මෙම තත්වය මත නොයෙක් පාර්ශ්වික කතන්දර ලියැවෙන්නත් කියැවෙන්නත් පටන් ගැනීම සිදුව තිබේ. ඒ කිසිවක් වැරදි නොවේ. ඒ සිදු විය යුතුය.  නමුත් මේ කතා බහ ඇතුලේ තක්කඩි ලෙස පාර්ශ්වික පටු දේශපාලන වුවමනාවන් පිරිමහගැනීම වෙනුවෙන් කරන දෙඩවීම් ද දකින්නට ලැබේ. මෙම නන්දෙඩවීම් සහ පාස්කු ප්‍රහාරයත් අතර වෙනසක් නැත. ඒ අතිශයිම විනාශකාරීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතිරිව තිබෙන ගැටළු නිරාකරණය කරගැනිම වියයුත්තේ අන්තවාදීව නැතිනම් තම තමන්ගේ දේශපාලනික වුවමනාවන්ට වාසි සිදුවන ලෙස නොවේ. මෙය පොදුවේ රටක් ජාතියක් ලෙස කල්පනාකර විසඳා ගතයුත්තකි.

ඒ කොහොම නමුත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට ඇති විරෝධය පදනමෙහි තබාගෙන  ඕනෑම දෙයක් ගැන කිසිවකුට හෝ යම් අදහසක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අප පිළිගත යුතුය. ඒ අනුව මේ ගැන කවුරු මොන මොනවා කිව්වත් ඊට ඇහුම්කන්දීමට සිදුවේ. එසේම වැරදි දේ දැන දැනම කියව කියවා එය සත්‍යය ලෙස සමාජගත කරන්නට ගන්නා උත්සාහය පරාජය කළ යුතුය.  මන්ද මේ ප්‍රශ්නය බේරාගත යුත්තේ සුනඛ ලීලාවෙන් නොව සිංහ ලීලාවෙන් කටයුතු කරමින් නිසාය.

ඊයෙ පෙරේදා විපක්ෂයේ පාඨලී චම්පික රණවකගේ ගෝල බාලයන් පිරිසක් මෙම පාස්කු කොමිසමෙහි වාර්ථාව ගැන මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ප්‍රකට කළේම ඔවුන්ගේ ඇති සුනඛ ලීලාව පෙන්නුම් කරමිනි.

නිරෝශා අතුකෝරාල නම් නැමැතියක් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත්කරනු ලැබු සමස්ත කතන්දරයම තුල උත්සහ ගත්තේ මෙම ප්‍රහාරය වත්මන් ජනාධිපතිවරයාගේ අනුදැනුම මත ඇතිව සිදු වූ ප්‍රහාරයක් බව හැඟවීමටය. ඒ ඔවුන්ගේ මේ පටු දේශපාලනික වුවමණාව පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම දකින්නට ලැබිණි.

මෙහිදී ප්‍රධාන තර්කයක් ලෙස ගෙන ආවේ මෙම පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් නැමැත්තාට පසුගිය රාජපක්ෂ පාලන සමය තුළදී රජයෙන් පඩි නඩි ගෙවමින් ඔහුව බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා යොදවා ගැනීම ගැනය. මේ නිසා රාජපක්ෂලා සහරාන්ව හොඳින්ම දන්නවාය.., ඔහු සමඟ ගනුදෙනු තිබුණාය..., ඒ නිසා මේ ප්‍රහාරය දියත්කර ජනාධිපතිවරණයට යම් වාසියක් ලබාගැනීම ඒ හරහා සිදු කළාය.. ආදී වශයෙන් කියන දේ තහවුරු කිරීම සඳහා මේ අය සෑහෙන්න වෙහෙසුණි. පාස්කු කොමිසම මේ කරුණ අවදානයකට නොගෙන ඇතැයි කියන අලුත් චෝදනාවද ඔවුන් මීට එකතු කරගෙන තිබේ.

මෙවැනි මනෝ විකාරී උපකල්පනයන් මත සිට කැමැති දෙයක් සත්‍යය සේ තහවුරු කළ හැකිය. එහෙත් මේ උපකල්පන තුල වැඩකට ගන්න පුලුවන් සත්‍යයක් තිබේද ?

මෙම ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලදී සහරාන් සහ ඔහුගේ සගයන්ගේ ජාතකේ සිට මරණය දක්වා කාලය තෙක් ඔවුන් කළ කී දේ, ඇසූ පෙරූ දේ ආදි සියල්ල ගැන විමර්ශනය සිදුව තිබේ. එහිදී මේ ප්‍රහාරය හා සම්බන්ධිත යැයි සැක කළ අනෙක් සියලු දේ ගැන නැවත නැවත විමර්ශනයන්ද සිදුකර තිබේ. තවදුරටත් සිදු වෙමින්ද තිබේ. තවමත් ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු වෙමින්ද තිබේ. මේ අතර තවමත් වසං වූ දේ තිබිය හැකිය. අපරාධ විමර්ශනය ගැන ඉහළම පුහුණුවක් ලැබූ එහි පරිචයක් ඇති දක්ෂ නිලධාරීන් තවදුරටත් මේ ගැටළුව නිරාකරණය කරගැනීම වෙනුවෙන් වෙහෙසෙමින්ද තිබේ. ඔවුන් වැඩ කරන ක්‍රමවිධි තිබේ. අපරාධමය සාක්ෂි සොයා ගන්නා ක්‍රමවේදයන් තිබේ. එහෙත් ලැබෙන එම සාක්ෂි මත මිස ඔවුන්ගේ විමර්ශනයන් එක එක හිතලු  මත පදනම්ව නිගමනයන්වලට එළැඹෙන්නේ නැත. චූදිතයන්ට දඬුවම් කිරීම වෙනුවෙන් ගතයුතු අධිකරණමය ක්‍රියාමාර්ගවලට අවශ්‍යවන්නේ සැකයකින් තොරව ඔප්පු කළ හැකි නිශ්චිත සාක්ෂිය. කිසිවකු අනෙකෙකුට චෝදනා එල්ල කළ පලියට ඒ අය සැකකරුවකු ලෙස විමර්ශනයකදී සලකන්නේ නැත. ප්‍රශ්න කරන්නට හෝ යම් සැකයක් තිබිය යුතුය. එසේ සැක සහිත කිසිවක් නොවේ නම් ඒ පස්සෙ ලුහු බැඳීමේ තේරුමක් නැත. සැකයි කියා අත්අඩංගුවට ගන්න බොහෝ දෙනෙකු පසුව නිදහස්වන්නේ සැක සහිත කිසිවක් නොමැති තැනය.

දැන් මේ ප්‍රශ්නයේදීත් සහරාන් සමඟ රාජපක්ෂලාට පෙර ගනුදෙනුවක් තිබුණා කියන චෝදනාව පාඨලි චම්පිකලා නියෝජනය කළ යහපාලන යුගයේදීම එම පිරිස් විසින්ම නිරන්තරයෙන් කියවනු ලැබූවකි. මෙම ප්‍රහාරය ගැන පොලිස් හා හමුදා විමර්ශනයන්ද, පාර්ලිමේන්තු තේරීම කාරක සභාද ඊයෙ පෙරෙදා නිකුත් වූ කොමිසම් සභා වාර්තාව නිකුත් කළ ජනාධිපති කොමිසම් සභාවද පත්කරන ලද්දෙ එම යහපාලන යුගයේදීමය. එහෙත් මේ අය රාජපක්ෂකාට කරන චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂව හෝ මහින්ද රාජපක්ෂව හෝ අත්අඩංගුවට ගැනීමක් තබා කටඋත්තරයක්ක්වත් ගැනීමට හෝ එදා කටයුතු කෙරුණා කියා දැනගන්නට නම් තිබුණේ නැත. රාජපක්ෂලාට සහරාන් සමඟ තිබුණාය කියන සම්බන්ධය ගැන යම් හෝ විමර්ශනයක් හෝ සිදු වුණාද කියා දැනගන්නට නැත. ඒ තබා මේ යහපාලකයෝ කිසිවකුත් ඒ ගැන වගකිව යුතු ආයතනයකට පැමිණිල්ලක්වත් දැම්මාද කියා දැනගන්න ලැබී තිබුණේ නැත.
 
යහපාලන කාලයේදී නීතිය නවපු නැවිල්ලේ හැටියට, දේශපාලන පළිගැනීම කිරීම වෙනුවෙන් අභූත චෝදනා නගා පුද්ගලයන් අත්අඩංගුවට ගත් හැටියට, මෙම ප්‍රශ්නයේදී රාජපක්ෂලා බේරුණේ කොහොමද කියන දේ ගැන කල්පනාකර බලන්න වටින දෙයකි. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ යහපාලකයන් නීතිය අධිකරණය අවභාවිතා කෙරුවේ කොහොමද යන්න ගැන බොහෝ දේ හෙළිදරව් වී තිබෙන තතු යටතේ සරළම කියනවා නම් බොරු කප්පරක් ගොතා, බොරු සාක්ෂි ගොතා පාස්කු ප්‍රහාර චෝදනාව රාජපක්ෂලාට එල්ල කිරීම හැකියාවක් යහපාලනයට තිබිණි. එහෙත් එහෙම කරන්න හෝ පිළිගත හැකි සාක්ෂි නොතිබුණු නිසා ඔවුන්ව මේ ප්‍රශ්නයට ගැට ගසා දැමීමට නොහැකි වූ බව පිළිගැනීම වඩා සාධාරණ කතාවකි.  

එහෙම තත්වයක් තිබියදී මේ යහපාලකයන් අදත් දේශපාලන වේදිකාවේ හෝ මාධ්‍ය හමුවල කරන අභූත චෝදනා විහිළුවක් නොවේ නම් තනිකරම දේශපාලනික වුවමණාවක් මත කරන තක්කඩි ප්‍රකාශයන් මිස වෙන යමක් නොවන බව තේරුම් ගැනීමට අපහසු නැත. ඒ ගැන තවතවත් කතා කිරීමත් දැන් තේරුමක් නැති වැඩකි.

ඒ කෙසේ නමුත් අද රට ඉදිරියේ මේ ගැටළුව විසඳා ගැනීම අභියෝගයක්ව තිබේ. පාස්කු කොමිසම කියන්නේ මේ ගැටළුවේ අවසන් විසඳුම නොවේ. කොමිසම් වාර්තාව අල්ලාගෙන දැඟලූවා කියා ඇත්ත ප්‍රශ්නය විස‍ඳෙන්නේ නැත. 'නෑ මේක තමයි අවසන් නිගමනය වෙනවා ඇත්තේ' යැයි..  යම් අයෙක් සිතනවා නම් ඒ මන්ද බුද්ධික බවක් මිස බුද්ධිමත් සිතුවිල්ලක් නොවේ. එය හරියට පෙර කී සුනඛ ලීලාවට වඩා වෙනසක් නැති වැඩකි.

පාස්කු ප්‍රහාරය ගැන පොලිස් විමර්ශන වාර්ථාද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවද ජනධිපති කොමිසන් සභා වාර්තාවද මේ වෙන කොට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී, මේ හෙළිව ඇති තොරතුරු පදනම් කරගෙන වගකිව යුත්තනට එරෙහිව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගැන විමසුමක් දැන් සිදුවෙමින් තිබේ. එහෙත් නඩුවක් අරගෙන අධිකරණය හමුවට යන්නට පෙර තවත් කළ යුතු දේ බොහොමයක් තිබේ. ලැබී තිබෙන සාක්ෂි මත රටේ නීතිය ප්‍රකාරව වරදකරුවන් යැයි සැකකෙරෙන්නන් චූදිතයන්කර ඔවුන්ට එරෙහිව නියමාකාරයෙන් චෝදනා ගොනු කිරීම විය යුතුව තිබේ. එහිදී පවතින සාක්ෂි ප්‍රමාණවත් වීම හෝ නොවීම විය හැකිය. සමහර විට සාක්ෂි මදකම නිසා ඇතැම් විමර්ශනයක් තවදුරටත් සිදු කිරීමටද සිදුවෙනු ඇත. ඒවා දවසෙන් දෙකෙන් දඩි බිඩියේ කළ හැකි නොවේ. මේ සඳහා තවත් කාලයක් නියත වශයෙන්ම ගතවෙනු ඇත. එය මාසයක් දෙකක්, අවුරුද්දක්, අවුරුදු පහක් දහයක්ද කියා කිව නොහැක.

එසේම ඒ අධිකරණය හමුවට පමුණුවා යුක්තිය පසිඳලීමේ කාර්යය වුව බොහෝ කාලයක් ගතවන්නකි. සාමාන්‍යයෙන් මේ රටේ අපරාධ නඩුවක් විසැඳීමට වසර හය හතක පමණ කාලයක් ගත වේ. ඒ අනුව මේ වඩාත් සංකීර්ණ අපරාධ මාලාවක් සැකකරුවන් රැසක් සිටින, තීන්දු තීරණ රැසක් අපේක්ෂා කරන නඩු විභාගයක් අවසන් කරන එක පහසු කටයුත්තක් නොවේ. ඇමරිකාවේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන අවසන්කර නඩු පැවැරීමටත් වසර 12 ක පමණ කාලයක් ගතකරන්නට වී තිබිණි. වසර විස්ස තිහ ඇදී ගිය අපරාධමය නඩු විභාග ගැන තොරතුරු ලෝකයේ තිබේ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව චූදිතයන්ට එරෙහිව කටයුතු කෙරෙන්නෙ නැති බව කියමින් යකා නටමින් කළඹලවීමට හේතුවක් නැත.

විපක්ෂ කොටස් වල තවත් චෝදනාවක් වන්නේ මෙම පාස්කු ප්‍රහාරය ගැන ගැටළුව විසැඳීම ප්‍රමාද වීම නිසා තවත් පාස්කු පන්නයේ ප්‍රහාරයක් ඇතිවීම සිදුවෙනු ඇති බවටය. මෙය චෝදනාවක්ට වඩා ඔවුන්ගේ කාලකන්ණි ප්‍රාර්ථනය ද විය හැකිය. එහෙත් එහෙම වන්නට මේ රටේ ජනතාව, ආරක්ෂක අංශ හෝ පාලනාධිකාරිය ඉඩ නොදෙන බව සහතික කොට කිව හැකිය. එදා මෙම ප්‍රහාරය ගැන ජනතාවගේන් බුද්ධි අංශ වලින් තොරතුරු සිය ගනනින් ලැබී තිබුණත් වගේවගක් නැතිව සිටි යහපාලන කෙරුමන්ගේ වගකීම් විරහිතබාවය නිසා මේ ප්‍රහාරය එලල් වූ බව දැන් රහසක් නොවේ. එදා ජනතාවට රට ගැන තිබූ වගවීමවත් මේ යහපාලකයන්ට තිබුණේ නැත. එහෙම ජනතාවක් රටේ සිටියදී සහ ඒ ජනතාව ගැන වගකීම කරට අරගෙන සිටින ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් තිබෙන විට කාටවත් පහසුවෙන් ලෙහෙසියෙන් රටක් විනාශ කරන්නට නොහැකිය. බුද්ධි අංශ අකර්මණ්‍ය කර, ආරක්ෂක අංශ අයාලේ යන්නට ඉඩ හැර තිබුණු යහපාලන කාලයට වඩා අද වෙනස්ය. රටේ ජාතික ආරක්ෂාව අද අන් කවරදාකටවත් වඩා සුරක්ෂිතය. විපක්ෂය යළි බොම්බ පුපුරයි කියන චෝදනාවන් තවදුරටත් කරනවා නම් එය විය හැක්කෙ ඔවුන්ගේ අනුදැනුමෙන්, කුමන්ත්‍රණයෙන්, මෙහෙයවීමෙන් පමණක් විය යුතු බව උපකල්පනය කිරීමනම් වැරදීමක් නොවිය හැකිය..

කොහොම නමුත් සියළු රට වැසියන් අවධානයෙන් සිටිය යුත්තේ පාස්කු ප්‍රහාරය ගැන යුක්තිය පසිඳලීමේ කටයුත්ත මඟ නොහැර සිදුවෙනවාද? කියන කාරණා ගැනය. සුනඛ ලීලාවෙන් නොව සිංහ ලීලාවෙන් මේ ගැටළුව දෙස බැලිය යුතුය. ඒ වෙනුවෙන් ගන්නා සියළු පියවරයන්ට පුරවැසියන් ලෙස දිය යුතු උපරීම සහයෝගය අප දිය යුතුය. එය යුතුකමකි. වගකීමකි.

- the novemberist

Last modified on Thursday, 25 February 2021 15:17

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us