සිය රට දේ - සිරි සැප දේ.. ඉල්ලන් කෑමක් ද? Featured

Monday, 01 March 2021 16:42

දේශීය කෘෂි කර්මාන්තය දේශීය කාර්මික කර්මාන්තය දියුණු කිරීමන් රට සංවර්ධනය කළ හැකි බවට යළි කතා බහක් ප්‍රබලව මතු වූයේ කොරොනා වෛරසය මඟින් රටවල් හුදකලා කිරීමට සිදුවූ වටපිටාව තුලය.

කොහොම නමුත් දේශීය නිශ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගත යුතු බවට හැමදාමත් සාකච්ඡාවක් තිබිණි. එසේම ඒ වෙනුවෙන් ගත් පියවරයන්ද තිබිණි. ඒ ඇතැම් ඒවා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තරම් හැකියාවන්ද පෙන්වා තිබිණි. අදටත් මෙරට ආර්ථිකයේ පොෂණය කිරීම වෙනුවෙන් විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන නිශ්පාදන බවට පත්ව තිබෙන තේ සහ ඇඟළුම්ය. එසේම මෙරට විදේශ ශ්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමය ආර්ථිකයේ විශාල කොටසක් පුරවයි. මේ අතර සංචාරක කර්මාන්තය විදේශ විනිමය ලැබීමේ ප්‍රධානතම මාර්ගය බවට පත් වෙමින් තිබේ. එහෙත් මේ ප්‍රමාණවත් නැත. අපට අවශ්‍ය විදේශීය විනිමය ප්‍රමාණය මේ හරහා ගොඩනඟාගැනීමට නොහැකිවීම අද මුහුණ දෙමින් තිබෙන දැවැන්ත ණය අර්බුදයට හේතුවී තිබේ.

ඒ කෙසේ නමුත් මෙරට තවමත් යැපෙන්නේ විදේශයන්ගෙන් ගෙන්වනු ලබන භාණ්ඩ වලිනි. ඒ අතර පාරිභෝජන භාණ්ඩ සියයට 20 කුත් ආයෝජන භාණ්ඩ සියයට 20 කුත් සහ ඉතිරිය අතරමැදි භාණ්ඩ ලෙස පවතී. මේ අතරින් මෙරටදී නිපදවා ගත හැකි භාණඩ ද රැසක්ද ඇත. ප්‍රශ්නය පැන නගින්නේ මේ භාණ්ඩ විදේශයන්ගෙන් ගෙන්වීම කළ යුතුද කියන කාරණය අරඹයාය.

වත්මන් ආණ්ඩුව දේශීය නිශ්පාදන වර්ධනය කිරීම ආර්ථිකයේ මූලික ප්‍රතිපත්තිය කර මේ භාණ්ඩ නිශ්පාදනයට වැඩි බරක් යොදා ඇත. සිය රට දේ සිරිසැප දේ යනුවෙන් අද වර නගන්නේ මේ ගැනය. පසුගිය කාලය තුල දේශීය කර්මාන්ත ගොඩනැගුම වෙනුවෙන් අමාත්‍යංශ දෙපාර්තමේන්තු මට්ටමින් ගත් පියවරයන් ගැන අසන්නට තිබිණි. සීනි, කඩදාසි, මැටි/ සෙරමික් භාණඩ, අත් යන්ත්‍ර සහ බතික් රෙදි, ඖෂධ, ගෑස් උදුන්,ටයර්, ආදි නිශ්පාදනයන් ආරඹ කළ බවට පුවත් පළ විය. එසේම කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය තුලද අලුත් පිබිදීමක් ගැන අසන්නට ලැබේ. වී ගොවිතැන දියුණු කිරීමට ප්‍රමුඛතාවයක් යොමුකර ඇති අතර බඩ ඉරිඟු වගාවට වැඩි අවධානයක් යොමු කර ඇත. එසේම කිරි නිශ්පාදන ගැනද වන උන්නදුව පෙනෙන්ට තිබේ. මීට අමතරව කහ වැනි විදේශයන්ගෙන ගෙන්වන අඩුම කුඩුම වෙනුවෙන් වගා කටයුතු ආරම්බ කර තිබේ.

දේශීය නිශ්පාදන ආර්ථිකය වර්ධනය කරගැනීම විය යුතුම කාරණාවක් කියන එක ගැන කිසිදු විවාදයක් නැත. අප රටෙහි ඇති භෞතික සම්පත්, මානව සම්පත් හැකි උපරිමයෙන් යොදා දේශීය නිශ්පාදනය ආර්ථිකයක් ගොඩ නැගීමට වෙර වීරිය ගැනීම වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. එහෙත් මේ ආර්ථික ප්‍රතිපත්තිය මත සිට රටට ගොඩ යා හැකිද?

අපට සිය රටදේ සිරිසැප දේ කියමින් සංවෘත්ත ආර්ථිකයක පෙර අත්දැකීමක් තිබේ. ඒ 1970 බිහිවූ සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තියය. එම කාලය තුල විදේශීය ආනයනයන් සාතිශය බහුතරයක් තහනම් කරමින් සියල්ල මෙරට තුලදී නිපදවා ගැනීමට උත්සහ කෙරිනි. මේ තත්වය නිසා පොදු ජනතව භාණ්ඩ හිඟකමින් සහ ගුණාත්මක නිශ්පාදනවල හිඟකමින් පිඩා වින්ද බවත් රහසක් නොවේ. පෝලිම් යුගය ලෙස අපහාසාත්මකව හැඳින්වූ මේ යුගයේදී අප සලකා බැලිය යුත්තේ, එම ආණ්ඩුව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වූවාද නැතිනම් එම ප්‍රතිපත්තිය තවදුරටත් රැකගෙන ගියා නම් රටට ඉහළ ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීමේ හැකියාවක් තිබුණාද කියන කාරණය ගැනය. ඒ අනුව ද එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් වෙත මාරුවීම කළ හැකි තත්වයක් තිබෙනවාද කියන එක ගැනය.

කොහොම නමුත් සමගි පෙරමුණු යුගයේදී මෙරට දේශීය කර්මාන්ත දියුණුවෙන් දියුණුවට පත්වූ බවට ඇතැමුන් පෙන්වා දෙයි. දේශීය ව්‍යවසායකයන්ගේ නැගීමක් වූ බවද පෙන්වා දෙයි. ඒ සියල්ල 78 න් පසුව ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකය නිසා විනාශ වූ බවත් පෙන්වා දෙයි. එහෙත් මේ ගැන නිවැරදි දත්ත ආශ්‍රයෙන් හරි හමන් විශ්ලේෂණයක් කළ විට පෙනෙන්න තිබෙන සත්‍ය නම් මේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් වූ බවය. කෙටි කාලීනව ජයග්‍රහණයන් පෙන්නුම් කළද සියල්ල අර්බූදයක් කරා ගෙන ගියේය. ජනතාව මුහුණදුන් පීඩාවන් පැත්තක තැබූවත් දේශිය ආර්ථිකය බිඳවැටීම එම යුගයේදීම ආරම්භ විය.

මේ දේශීය ආර්ථික පිලිවෙත නිසා ගොඩනැගුනා කියන දේශීය කර්මාන්ත එම ආණ්ඩු සමය අහවර වෙන්නත් කලින් බිඳ වැටීම් ආරම්භ වී තිබිණි. එදා බිහිවූ අලුත් ව්‍යවසායකයන් බහුතරයක් බංකොළොත්වීම ආරම්භ වී තිබිණි. 78 විවෘත්ත ආර්ථිකය සමඟ මේ සම්පූර්ණයෙන්ම විනාශවන්නට මඟ පැදී තිබුණේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා යැයි බොහො පිරිස් පෙන්වාදීමට උත්සහගත්තද ඒවා විනාශ වූයේ ඒවා තුළම තිබූ දුර්වලතාවයන් නිසාය.

ප්‍රධානම ගැටලුව දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන පමණක් මේවා ක්‍රියාත්මකවීමය. විදේශ වෙළඳපොළ ජයගැනීමේ තරගයට පිවිසෙන්නට උත්සහ ගෙනතිබුණේ නැත. සුපුරුදු ලෙසම සාම්ප්‍රදායික තේ පොල් රබර් අපනයනයන්ගෙන් එම කාල සීමාවේදී යැපීමට සිදුවිය. එමෙන්ම දේශීය කර්මාන්තයන් වෙනුවෙන් මෙම මෙරට අමුද්‍රව්‍ය අවශ්‍යතාවය නිසා සිදුකරමින් තිබුණු ඇතැම් අපනයන පවා සීමාකිරීමෙන් එම අපනයන ආදායම්ද අහිමි කර ගැනීම සිදුවිය. මේ නිසා බරපතල විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පැවේය. පුදුමයට කරුණ නම් ආනයනයන් සීමාකළත් වෙළඳ ශේෂය පස් ගුණයකින් පමණ ඉහළ යෑමය. රටේ වෙළඳ ශේෂ අර්බුදය බරපතල යුගය අරම්භ කළේ මේ කාලයේදීය.

note

නිශ්පාදනයේදී අවශ්‍ය ගුණාත්මකභාවය සහ මිළ තරඟකාරිත්වයට මුහුණදීමට නොහැකිවීම විවෘත ආර්ථිකය තත්වයන් තුළදී දේශීය නිශ්පාදකයා මුහුණ දුන් අනෙක් අභියෝගය විය. විවෘත ආර්ථිකයේද මේ දේශීය කර්මාන්තයන්ට වැඩි අවස්ථාවක් විවර වී තිබුණු අතර මේ නිශ්පාදනයේ සහ අපනයනයන්ගේ විශාල වර්ධනයක්ද ඒ මුල් අවස්ථාව තුල අත්පත් කරගෙන තිබිණි. නමුත් මෙරට පැවැති භාණ්ඩ හිඟය තුල ආනයනයන් වක්කඩ කැඩුවාක් මෙන් සිදු කෙරුණු අතර ලෝකයේ අගනා නිශ්පාදන අඩු මිලට අත්පත් කරගැනීමේ හැකියව මෙරට පාරිභෝගිකයාට ලැබිණි. මේ අනුව මෙරට වෙළඳපොළ තුල වැඩිමනත් යැපුණු කර්මාන්ත බංකොලොත්වීම තාර්කිකව සිදු විය. ඒ වන විටත් ලෝකයේ විශිෂ්ට නිශ්පාදන ගනනාවක් මෙරට නිපදවූවාට නව තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධවීමට නොහැකිවීම, අමුද්‍රව්‍ය හිඟකම සහ නිශ්පාදන වියදම් ඉහළ යෑම වැනි හේතු මත ආනයන භාණ්ඩ හා තරග කිරීමට නොහැකි විය. අදත් අප මුහුණ දෙමින් තිබෙන ගැටලුව මීට සමානය. විශේෂයෙන්ම නිශ්පාදන වියදම් ඉහළ යෑමේ ගැටළුව ප්‍රධානය. එහිදී ශ්‍රමයට ගෙවන මුදල වැඩිවීම කැපීපෙනෙන තත්වයකි. මේ තත්වය විදේශීය වෙළඳපොළ ජයගැනීම කෙරෙහි බලපවත්වයි.

කොහොම නමුත් විදේශයන්ගෙන් දේවල් ගෙන්වීම නතර කිරීමෙන් ඊට වැය වන විදේශ විනිමය යම් පමණකින් ඉතිරිකරගැනීමට හැකිවූවත් මේ දේශීය නිශ්පාදන පිළිබඳ ගැටළු ජයගැනීමට හැකි යැයි සිතීම මුලාවකි. එය උදාහරණ සහිතව සමඟි පෙරමුණු යුගයේදී පෙන්වා දී තිබේ. එසේම අද ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් විසින්ද පෙන්වා දෙනු ලබන්නේ ආනයනයන් තහනම් කිරීම සහ දේශීය නිශ්පාදන ආර්ථිකය වර්ධනය කරගැනීම අතර සම්බන්ධයක් නැති බවය.

අද දේශීය කර්මාන්ත හෝ කෘෂි නිශ්පාදන ඉහළ දමා අපනයනයන් වර්ධනය කරගනිමින් රටේ ආර්ථිකය ගොඩ නංවාගත හැකිය කියන ආකල්පය කෙරෙහි විශ්වාසය රැඳවිය හැක්කේ පෙර කී ගැටළු නිරාකරණය කරගැනීමට ආණ්ඩුව සමත් වේ නම් පමණි.

පසුගිය කාලයේ දේශීය කර්මාන්ත ගනනාවක් නැවත ගොඩනැංවූ බවට ලොකු කතා බහක් ආණ්ඩුව පැත්තෙන් කෙරුණද, මේ නිශ්පාදන සඳහා විදේශීය වෙළඳපොළ තුල හිමි කරගත හැකි කොටහා තබා දේශීය වෙළඳපොළ ජයගත හැකිද කියන ගැටලුව නිරාකරණය කරගෙන නැත. එසේම සමස්ත දේශීය ඉල්ලුම සැපරීමට හැකියාවක් තිබේද යන්න ද ගැටළුවක්ව පවතී. දේශීය නිශ්පාදන මඟින් රටේ ආර්ථිකය ජයගැනීමට නම් අප විදේශීය වෙලඳ පොළ ජයගැනීම කළ යුතුය. ඒ හරහා විදේශීය විනිමය ( ඩොලර්) අප වෙත ගෙන්වාගැනීම වියයුතුය. එසේ නැතිව දේශිය නිශ්පාදන කොතරම් සිදුකළත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යවසායයන් ලාබ ලැබූවත් ඩොලර් උපයන්නේ නැතිනම් එහි පළදායිතාව දේශිය ආර්ථිකයට දක්වන සහයෝගයක් එතරම් නැතැයි කීමෙහි වරදක් නැත.

මෙහිදී ආනයනයන් තහනම් කිරීම නිසා අනෙක් ප්‍රශ්නයක් මේ වන විට පැන නැඟී තිබේ. ඒ අපේ වෙළෙඳපොළ විදේශීය නිශ්පාදනයන්ට වසා තබා තිබියදී අපේ නිශ්පාදනවලට විදේශීය වෙළඳපොළ තව කෙතරම් කාලයකට විවෘත්තව පවතීද යන්න ගැනය. දැනටමත් විදේශීය රාජ්‍යයන්ගෙන් මේ ගැන චෝදනා එල්ල වී තිබේ. ආනයනය අපනයන වෙළඳාමේදී දෙපැත්තටම සාධාරණ අවස්ථා තිබිය යුතුය. මේ අනුව විදේශ වෙළඳපොළ තහංචි එල්ල වුවහොත් අපේ අපනයනය ආදායම් බිඳවැටීම වලක්වාගැනීමට නම් විදේශිය රාජ්‍යවල අපනයනයන්ට මෙරට විවෘතකරදීම සිදුවිය යුතුය.

එකිනෙක හා සම්බන්ධ, එකක් අත්හැර අනෙක් තෝරාගැනීමට නොහැකි තීන්දු ගැනීම අනිවාර්ය කරතිබෙන තත්වයක පවතින මේ ගැටළු නිසි පරිදි කළමනාකරණය කරගැනීම සරළ කතන්දරයක් නොවේ. මේ හා බැඳුනු තවත් සංකීර්ණ ආර්ථික ක්‍රියාවලියන් ද තිබේ. ජාත්‍යන්තර මටට්මින් සිදුවන ආර්ථික සෙලවීම් ද අප රටට බලපෑමක් සිදුකරයි. රට මුහුණ දී තිබෙන ණය අර්බුදය මත අපට ගතහැකි ක්‍රියාමාර්ග බොහොමයක් සීමාකරද තිබේ. ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ ගැටළු ජයගැනීම වෙනුවෙන් වෙහෙසෙනවාට සැක නැත. මොකද ආණ්ඩුවක පැවැත්මට මේ ගැටළු විසඳාගැනීමේ ප්‍රමාණය බලපාන නිසාය. ඒ නිසා ආණ්ඩුව මේ විසැඳීමට මොකවත් කරන්නේ නැතැයි කියන්නට නොහැකිය.

කොහොම නමුත්, 'සිය රට දේ - සිරි සැප දේ' කියන්නට නම් අප ජාත්‍යන්තරය ජය ගෙන ඒ ප්‍රතිලාභ රටට ගෙන ඒම වියයුතුය. එසේ නොමැතිව පටු දේශපාලනික මාධ්‍ය සංදර්ශනවලින් නම් මේ සිදුකළ නොහැක.

- සුජය

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us