සාම්ප්‍රදායික අලි මංකඩ ආක්‍රමණය කිරීම, ඔවුන්ගේ භූමිය ඛණ්ඩනය කිරීම, සංවර්ධනය සඳහා සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ගේ භූමිය භාවිතා කිරීම, හේතුවෙන් මෙම තත්වය උදා වී තිබුණි. දකුණු ආසියාවේ අලි මිනිස් ගැටුම දරුණුම ලෙස පවතින රට ලෙස අප රට හැඳින් විය හැකිය.
මෙම තත්වය මෙසේ පවතින විට මීට මාසයකට පෙර හම්බන්තොට වල්සපුගල ගම්මානයේ පදිංචිකරුවන් ප්‍රදේශයේ අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා අඛණ්ඩ උවාසයක් ආරම්භ කළ අතර හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිතය විධිමත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ප්‍රදේශයේ ගොවි සංවිධාන 86 ක් නියෝජනය කරමින් ගොවීන් විසින් මෙම විරෝධතාවය දියත් කරන ලද අතර අධ්‍යාපනිකව ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශයේ දරුවන්ද දැනුවත් කරමින් අද වන විටත් මෙය ඉදිරියට ඇදමින් ඇත.
වසර දොළහකට පමණ පෙර හම්බන්තොට ජනගහනය අඩු කලාපයක් වූ අතර එහි වැඩි භූමි ප්‍රමාණයක් සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබිණි. නමුත් ජාතික භෞතික සැළසුමට අනුව හම්බන්තොට මහ නගරය සංවර්ධනය කිරීම නිසා අලි ඇතුන් විසින් භාවිතා කළ වනාන්තර විනාශ වී ගොස් ඇති අතර අද වන විට ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති අක්කර 20000 ක භූමි ප්‍රමාණයත් සංවර්ධන කටයුතු සඳහා එළි පෙහෙලි කර භාවිතයට ගනිමින් සිටී.
අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි විමත් සමග අලි මිනිස් ගැටුම ඉහළ යාමත් විශේෂයෙන් 2006 වසරේ ගෙන එන ලද ජාතික අලි කළමණාකරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම උදෙසාත් හම්බන්තොට මහා නගර සංවර්ධන වැඩ සටහන විසින් අලි ඇතුන් සදහා හෙක්ටයාර් 1500 ප්‍රදේශයක් වෙන් කරන ලෙස සැළසුම්කරන යෝජනාවක් ඉදිරිපත් විය .
හම්බන්තොට මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සකස් කරන ලද එම සංවර්ධන සැලැස්ම මෙගාපොලිස් අමාත්යවරයා ලෙස පාඨලි චම්පික රණවකගේ අත්සනින් අනුමත කරන ලද අතර 1639/1 , 2 යටතේ 2020 පෙබරවාරි 2 වන දින ගැසට් කරන ලදී.
විවිධ සංවර්ධන කටයුතු නිසා හම්බන්තොට නගරය සිරිබොපුර දක්වා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින අතර හම්බන්තෝට යොජිත අලි කළමණාකරන රක්ෂිත ගැසට්කර අලි පරපුර හා මිනිස් ජීවිත මෙන්ම වාගාවන් බේරාදීම උදෙසා රජය හැකි ඉක්මණින් මැදිහත් විය යුතුය . අදවන විට සුරියවැව හම්බන්තොට හා වල්සපුගල ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ ද එයයි.
හම්බන්තොට මහා නගර සැළසුම යටතේ අලි කළමණාකරන රක්ෂිතය අයත් විය යුතු ඉඩම් නිදහස් කිරීමට යෝජනාකර ඇතත් එය යෝජනාවකින් එහාට ගොස් නැත. එම නිසාම අද වන විටත් යෝජිත අලි කළමණාකරන රක්ෂිතයේ ඉඩම් පුද්ගලයන්ට හා සමාගම් අතට ලබාදෙමින් ඇති නිසා අලි කළමණාකරන රක්ෂිතයේ ඉඩම් දිනෙන් දින අඩුවෙිමින් ඇත. එමෙන්ම අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වැඩි වෙමින් පවතින අතර අලි ඇතුන්ට අමතරව ප්‍රදේශයේ අනික් සතුන්ට සිය වාස භූමි අහිමි වෙමින් පවති.
සංවර්ධන කටයුතුවලට යැයි කියමින් ගොන්නොරුව සිට බුරුතකන්ද දක්වා කුලු වැව් ගණනාවක් ඇති අක්කර දෙදහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති අතර ප්‍රදේශයේ ජල පෝෂිත මෙන්ම අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවය ඉටුකළ වැව් පවා යෝජිත රක්ෂිතයට අහිමි කරමින් ඇත . එමෙන්ම බුරුතකන්ද සූර්ය බලාගාරය සඳහා අක්කර 500 ක් වෙන්කර ඇති අතර වලස්පුගල සහ දිවුල්පැලැස්ස බලශක්ති ගම්මානයක් ඉදිකිරීම තවත් අක්කර 300 කට වෙන් කර ඇත .
එසේම මෙම වනාන්තර විනාශය නිසා ගොන්නොරුවේ සිට බුන්දල දක්වා අලි ගමන් කරන ලද අලි මංකඩ විනාශකර දමා ඔහුන්ගේ මෙන්ම අනෙක් සත්ව ප්‍රජාවගේ වාස භූමි අහිමි කර ඇත.
හම්බන්තොට මේවන විට සිදුකරන ඉඩම් මංකොල්ලය හා වනාන්තර විනාශය හේතුවෙන් අලි කළමණකරන රක්ෂිතය සඳහා වෙන්කර ඇති හා අනෙක් සතුන්ගේ පැවැත්මට මෙන්ම ජනතාවගේ ජීවත ආරක්ෂාවට ඇති අක්කර 20000 පමණ ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් පැන නැගී ඇත.
අලි කළමණාකරන කලාපය සඳහා වෙන්කර ඇති ඉඩම විවෘත වනාන්තර ප්‍රදේශයක් වන අතර එය කටු පඳුරු සහිත වියළි කලාපිය ශුෂ්ක වනයන්ගෙන්ද ගහනය. මෙහි ඇතම් ඉඩම් මෙන්ම යාබද ඉඩම් කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින ප්‍රදේශවාසීන් විසින් අත්පත් කරගෙන ඇත.
යෝජත වන අලි කළමණාකරන කලාපය ගොන්නෝරුවා සහ කොහොලන්කලා යන ග්‍රාම නිලධාරි කොට්ඨාෂ යටතේ පවතීන අතර හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ හෙක්ටයාර 1500 ක කලාපයක් එයින් පිටත වනාන්තර හෙක්ටයාර 8000 ක ප්‍රදේශයක් රක්ෂිතය ලෙස වෙන් කිරීමට යෝජනාකර ඇති අතර ඒ සදහා සීමාමායිම් ලකූණුකර නිත්‍යානුකූල අවරණයක් ලබා දී නොමැති හෙයින් එහි ඉඩම් බහු ජාතික සමාගම් හා පුද්ගලයන් විසින් කොල්ලකමින් ඇත.
අලි 400 කගේ පමණ වාසභූමියක් ලෙස යෝදාගත හැකි මෙම ප්‍රදේශය වටා සිග්සැග් ආකාරයෙන් දෙහි බෝගන්විලා සහ හන ගස් වගා කිරීම මගින් අලි මිනිසුන්ගෙ වගා භූමි ආක්‍රමණය කිරීම අවම කිරීමට බලා පොරොත්තු වන අතර අප මේ සදහා තවද යෝජනාවක් එකතු කරමු. ඒ ප්‍රදේශ වාසින්ගේ වගා බිමි වටා මී මැසි ජනපද පිහිටවීම තුලින් තවදුරටත් සිදුවිය හැකි වගා හානි අවම කිරීමය .
යෝජිත අලි කළමණාකරන රක්ෂිතය හම්බන්තොට කතරගම මාර්ගය දක්වා විහිදි යන අතර අනෙක් පසින් හම්බන්තොට ගෙන්නොරුව හා මි ගහ ජදුර මාර්ග ය කරාද විහිදි යන අතර මෙම යෝජිත වන අලි කළමණාකරන රක්ෂිතය ආරක්ෂා නොකළහොත් ප්‍රදේශවාසි ගොවි ජනතාවට සිය වගා බිම් පමණක් නොව ජීවිත බේරාගැනිමද ගැටලුවක් වනු ඇත.
- රවීන්ද්‍ර කාරියවසම්