එය කලින්ම සෞභග්‍යයේ දැක්මෙහි ලියා තිබෙන බැවින් ආණ්ඩුවට ඕනෑ විදිහට ඒ දෙන්නට අවස්ථාවක්ද නොවීය. දැන් එය ජාතික සම්පතක් ලෙස සුරැකීමට හැකියාව ලැබී තිබේ. එහෙත් නැගෙනහිර ජැටිය ආයෝජනය තුලින් කිරීමට බලාපොරොත්තු වූ සංවර්ධනය වරාය අධිකාරිය යටතේ කවදා කොහොම සිද්ද වෙයිද කියා දැන්ම කියන්නට නොහැකිය. මේ ගැන අජිත් නිවාඩ් කබ්රාල් ඇමැතිවරයා පුවත් පතකට කියා තිබුනේ. වරාය අධිකාරිය මුදල් සොයා දෙනවා නම් ඒ කියන සංවර්ධනය සිදුකළ හැකි බවය. එසේම එයාලා ඊට දක්ෂ බවත් ඒ කියන ලෙස ඒ ජැටිය සංවර්ධනය කෙරෙනු ඇති බවත්ය. එම කතාවේ අනියමින් හැඟවුම වූයේ නැගෙනහිර ජැටිය තව කපේකට සංවර්ධනය නොවනු ඇති බවය. ඒ ඇත්තය. රජයට ඒ වෙනුවෙන් මේ මොහොතේදී වැය කරනන් ඩොලර් මිලියන පන් හයසීයක් සොයා ගන්නවා කියන්නේ කරන්න බැරි වැඩකි. ඒ නිසා තවත් කාලාන්තරයක් මේ නැගෙනහිර ජැටිය තිබුණා සේ පාළුවට පවතිනු ඇත.
දැන් බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමටම ලබාදීම තීන්දු කෙරී ඇත. නැගෙනහිර සියයට 49 ක කොටස් සමඟින් ලබාගැනීමට අදානි සමාගම එකඟව තිබිණි. දැන් ඔවුන්ට සියයට 85 ක අයිතිය සහිතව බටහිර ජැටිය ලැබේ. එයද අදානි සමාගම විසින් ඉදිරිපත් කළ කොන්දේසිවලට යටත්වය. ඒවා ගැන තවම හෙළිදරව්වක් නැත. ඒවා හෙළිදරව් කරන්න වෘත්තීය සමිතිවල උන්නදුවක් පෙනෙන්නටද නැත.
කොහොම නමුත් බටහිර ජැටිය කියා කීවාට නැගෙනහිර මෙන් යම් පමණකට හෝ ගොඩනගා ඇති ජැටිය මෙන් කොටසක් එහි නැත. තියෙන්නේ දිය කඩනයෙන් වෙන් කළ මුහුදු කොටසක් පමණි. ඒ නිසා අදානි සමාගමට මේ ජැටිය මුලු මනින්ම ගොඩනැගීමට සිදුවෙනු ඇත. මෙම ජැටිය ඉන්දියාවට අත්‍යවශ්‍යතාවයක් තිබේ නම් එය ඉතා ඉක්මනින් ගොඩනගා අවසන් වෙනු ඇත. එසේම අනෙක් වරාය ජැටිවලට වඩා කාර්යක්ෂම කෙරෙනුද ඇත. එසේම අනෙක් ජැටි වෙත මෙතුවක් කල් ගිය ඉන්දියානු නැව් බොහොමයක්ම මේ ජැටිය වෙත ගෙන්වා ගැනීමද සිදු වෙනු ඇත. ඒ අනුව නැගෙනහිර ජැටිවාදීන් නැගෙනහිර ජැටියෙන් බලාපොරොත්තු වන අනාගත ආදායම් අඩු වියහැක. මෙම නැගෙනහිර ජැටියේ මෙහෙයුම් කළමනාකරණය කරන්නේ සියයට සියයක් වරාය අධිකාරියෙන්ම නිසා රාජ්‍ය සේවයෙහි තිබෙන අකාර්යක්ෂමතා, වංචා දූෂණ, වැනි ආවේණික රෝගයන් ද මේ ජැටියේ කටයුතු වලට අනිවාර්යෙන්ම බලපෑමක්ද වෙනු ඇත. එසේම මෙම ජැටිය වෙත විදේශීය නෞකා වැඩි වැඩියෙන් ගෙන්වාගැනීමේ ව්‍යාපාරික ගනුදෙනු ද, එම ව්‍යාපාරික හුරුව නොමැතිවීම නොදන්නාකම් ද, ව්‍යාපාරික සම්බන්ධතා හිඟකම්, කලමනාකරණ දුර්වලතා ආදිය නිසා අකර්මන්‍ය වියහැකිය. ඒ අනුව තවදුරටත් ආදායම් වර්ධනය කරගැනීම කෙරෙහි එය බලපානු ඇත. අවශ්‍ය පමණට වඩා විශාල අතිරික්ත සේවක ප්‍රමාණයක් නඩත්තු කිරීම. වැඩ නැතිව වුවත් අතිකාල ගෙවීම්, සහ නඩත්තු වියදම්, නාස්තිකාර වියදම් ඉහළ යා හැකිය. ඒ කොහොම වූවත් මේ තාක් කල් නැගෙනහිර ජැටියෙන් ලත් ආදායම් තවදුරටත් ඒ ආකාරයෙන්ම අනාගතයේ දී ලැබිය හැකි බව උපකල්පනය කළත් ජැටිය පවත්වාගෙන යෑම පහසු කරුණක් වන්නේ නැත. ඒ පසුගිය කාලවල ලබා තිබෙන අත්තැකීම්වලින් තහවුරු කර ගතහැක. මේ තත්වයන් මත නැගෙනහිර ජැටියේ අනාගත ඉරණම තීන්දු වෙනු ඇත.
කොහොම නමුත් දැන් බටහිර ජැටිය ඉන්දියාවට පැවැරීමේ තීන්දුව ගෙන තිබේ. එය ජාතික සම්පතක් ලෙස කිසිවකුත් සලකා නැති බවත් මේ වන විට පෙනෙන්නට තිබේ. බටහිර දීලා හරි නැගෙනහිර බේරාගමු කීව නිසා දැන් රෙද්දක් ඇඳගෙන බටහිර ජැටිය බේරාගමු වැනි සටන් පාඨ ගැන කාටවත් මොකුත් කීමටද නොහැකිය.
මෙම ගනුදෙනුවේ ආයෝජන මුදල අගෙන දැනට ප්‍රකාශිත කිසිවක් නැතත් එය නැගෙනහිර ජැටිය වෙනුවෙන් වූ ආයෝජනයට වඩා වැඩි මුදලක් විය හැකිය. මේ මොහොතේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ රට තුලට ඩොලර් මිලියන හත් අටසීයක් හෝ ලැබීම රජයට ලොකු ඉස්පාසුවක්ද වෙනු ඇත. එසේම අනාගතයේදී මේ නිකම් මුහුදු කලාපයක්ව තිබුණු බටහිර ජැටිය මඟින් රජයේ පංගුව ලෙස ලැබෙන තුට්‍ටු දෙක හෝ ආදායමක් වීම වටිනා දෙයකි. එසේම වරාය කාර්යක්ෂම වී දියුණු වීම වටිනා දෙයකි. අද කොළඹ වරාය ලෝකයේ කාර්යක්ෂම වරාය 25 අතර තියෙන්නේ මේ ආකාරයේ විදෙස් ආයෝජන මඟින් ඒ සංවර්ධනය කර පවත්වාගෙන යන නිසාය. ඒ අනුව කොළඹ වරාය මතුවට දියුණු වන්නේත් ඒ ආකාරයෙන්ම වියහැකිය. ඒ නිසා අද ආණ්ඩුව මේ බටහිර ජැටියට ආයෝජනයක් ගෙන ඒමට සමත්වීම රටේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
-KD