එයට හේතුව වී ඇත්තේ මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් ගෙන තිබෙන පියවරයන් වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව චුට්ටකුත් ඕනෑ කියන්නා ආකාරයෙන දිගින් දිගටම විවිධ අවශ්‍යතාවයන් ඉදිරිපත් කරමින් කල් මරමින් තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබීම නිසාය.
එහෙත් මෙය ඇත්ත තත්වය නොවේ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රජය මුහුණ පා සිටින ඇතැම් ගැටළු හමුවේ ගාල කඩා ගත් හරකුන් මෙන් හදිස්සි තීන්දුතීරණ ගත නොහැක. අතිශය සංවේදී පැති ගනනාවක් මේ ගැටළුව විසඳා ගැනීමට අදාලව මතුව තිබේ. විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංවේදී කරුණු මෙන්ම ජාතිය ආගම හා බැඳුනු සංවේදී කාරණා මෙම ගැටළුව විසඳා ගැනීමේ මාර්ග අවහිර කර ඇත.
පොලිස් වාර්ථා, කාරකසභා, කොමිසම්, කමිටු
පසුගිය යහපාලන යුගයේදී මෙම ප්‍රහාරය එල්ලවූ සැනින් ඊට අදාල විමර්ශනයන් කඩිනමින් සිදුවිය. පුද්ගලයන් ගනණාවක් අත්අඩංගුවට ගැනීම සහ ඉදිරියේදී සිදුවිය හැකිව තිබූ තවත් විනාශකාරී අවස්ථාවන් මැඩ පැවැත්වීමද සිදුවිය. ආයුධ ගබඩා වටලා එම ආයුධ අත්අඩංගුවට ගැනීම් මෙන්ම එම සංවිධාන ජාලා වල ක්‍රියාකාරිත්වයන් අවහිර කරනු ලැබිය. එසේම එම පොලිස් හා හමුදා බුද්ධි අංශ විමර්ශන හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් ඒකරාශි කරගත් අතර පොලිස් විමර්ශනවල දී පදනම් කරගන්න ක්‍රියාමාර්ග සහ නීතිමය තත්වයන් අනුව ඔවුන් විසින් කළ නිගමනයන් සහිත වාර්ථාව මේ වන විට නීතිපතිවරයාට බාර දී තිබේ. එම ආරංචි මාර්ග වලට අනුව මෙම ප්‍රහාර සිදුවීම කෙරෙහි බලපැවැත්වුණු දුර්වලතා හඳුනාගැනීම් සහ ඊට හේතුභූත වූ දේශපාලකයනගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවැරීම සිදුකළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිගමනය කර තිබේ. ඒ අතර 30 දෙනෙකුට වැඩි පිරිසක් ඒ ඒ මට්ටමින් වගකීම පැහැරහැර ඇති බවත් රජයේ නීතිය අනුව ඔවුන්ට දඬුවම් පැමිණවීමත් සිදුකළ හැකි බව එම විමර්ශකයන්ගේ අදහස වී තිබේ.
ඒ අතර මෙම ප්‍රහාරය සමඟ පැනනැගුණු දේශපාලනික සහ ආගමික කම්පනය නිසා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පැවැති යහපාලන යුගයේම පාර්ලිමේන්තුවට පියවරක් ගැනීමට සිදුවිය. ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවක් පත්කරමින් ඒ සම්බන්ධ විවෘත්ත සාකච්ඡාවක්ද සිදු කරනු ලැබීය. එම වාර්ථාවද එවකටම පාර්ලිමේන්තු කතානායකවරයාට ලබාදීම සිදුකරනු ලැබීය. එම වාර්ථාවද දැන් නීතිපතිවරයා සතුව ඇත.
කොමිසමේ රහස්
එසේම එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සොයා බැලීම වෙනුවෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබිය. ඉතා පුළුල් මටමින් සිදුවූ මෙම කොමිසන් සභාවේ කටයුත්ත අහවර කෙරී එහි වාර්ථාව පසුගිය පෙබරවාරී මස පළමුවනදා වත්මන් ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය. එම වාර්ථාව තවමත් ඇත්තේ රහසිගත ලේඛනයක් ලෙසය. පිටු ලක්ෂයකට ආසන්න වන තරමෙ දැවැන්ත වාර්තාවක් වන මෙහි පිටපත් 8 ක පමණක් මුද්‍රණය කර තිබුණු අතර එහි තොරතුරු සමාජ ගතවීම ද වලක්වා ඇත. ඊට හේතු වශයෙන් ඇතැම් වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් කියැවුණේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය සංවේදී තොරතුරු ඒ තුල අඩංගුවීම නිසා එම වාර්තාව ප්‍රසිද්ධ කළහොත් රජය බරපතල ගැටළු වලට මුහුණ දෙනු ඇති බවය. එසේම ආගමික කාරණා සම්බන්ධයෙන් ගැටළු ඇති විය හැකි බවය. මන්ද මෙම පාස්කු ඉරිදා කොමිසමෙහි එක අරමුණක් වූයේ පෙර සමයන් හී සිදුවූ වාර්ගික ගැටළු පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි විනාශකාරී දේ වෙනුවෙන් බලපෑමක් සිදුව තිබෙනවාද යන්න ගැනත් සෙවීමය. ඒ අනුව පසුගිය වසර පහ දහය තුල වූ ආසන්නතම සිදුවීම ගැන ද මෙහිදී සොයා බලා තිබේ. එම තොරතුරු වගකීම විරහිත ලෙස පාවිච්චි කර යළි ජාති ආගමික ගැටුම් වෙනුවෙන් අන්තවාදීන්ට පාවිච්චි කිරීම පහසු හැකියාවක් තිබීම මත ඒවා ප්‍රසිද්ධ කිරීම තාවකාලිකව අත්හිටුවීම විය යුතුව තිබිණි.
හිතුවට කරන්න බෑ
අනෙක් වැදගත් කාරණය නම් මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශකර තිබෙන නෛතික කටයුතු, මෙන්ම යළි මෙවැනි තත්වයන් ඇතිවීම වැලැක්වීම පිණිස ගතයුතු නෛතික ප්‍රතිසංස්කරණයන්, දේශපාලනික ප්‍රතිසංස්කරණයන් පිළිබඳව රජය ගත යුතු පියවරයන් රට තුල දේශපාලනික සමාජ ආර්ථික සහ සංස්කෘතික කළඹලයන් ඇති නොවන සේ උපක්‍රමිකවත් වඩා නිවැරදී ස්ථාවරයන් අනුව විය යුතුව තිබීමය. විශේෂයෙන්ම රටේ අනාගතය සුරක්ෂිතවීම වියයුතුය. එය පහසු කටයුත්තක් නොවේ. දශක ගනනාවක් තිස්සේ යම් ක්‍රමවේදකට, යාන්ත්‍රණයකට, සංස්කෘතියකට හැඩ ගැසී තිබෙන දේවල් කෙතරම් නොගැලපෙන වැරැදි සහගත දේ වූවත් හදිස්සියේ වෙනස් කිරීම සිදුකළ හැකි නොවේ. වත්මන් ජනාධිපති ගෝඨාභයය රාජපක්ෂ පසුගිය වසරක කාලය තුලදී මෙරට අකාර්යක්ෂම දූෂිත රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කිරීම ගැන ගත් පියවරයන් හෝ පහසුවෙන් ක්‍රියාවට නැගීමට හැකි නොවීම තුල මෙහි ඇති අසීරුතාවය වටහාගත හැකිය. එසේම සමාජය තුල එක් එක් පාර්ශ්වයන් තමන්ට වාසිදායක් තීන්දු තීරණ වෙනුවෙන් බලවේග මෙහෙයවමින් රජයට එල්ල කරන බලපෑම් සුළුපටු ඒවා නොවේ. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටි ජාති ආගමික බලවේග වල පාර්ශ්වික ඉල්ලීම් වුවමනාවන් මඟ හැර යෑමට පාලකයන්ට අවස්ථාවක් නැති බව පසුගියදා කොළඹ වරාය නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයෙදී පැහැදිලිවම කැපී පෙනුනු අවස්ථාවක් විය. එසේම රටේ සෑම ජාතියකටම ආගමකට සමාන ලෙස සැලකීම වෙනස්කම් නොකිරීම පිළිබඳ දැඩි වගකීමක්ද රජය සතුව තිබේ.
සෙල්ලම් කළ නොහැක
මේ ආදී බරපතල ගැටලු සමූහයක් නිවැරදිව කළමණාකරණය කරගැනීමේ අභියෝගය රජයට තිබේ.තවත් වැදගත් කරුණක් නම් ජාත්‍යන්තර ප්‍රජාවද මෙම ගැටළුව ශ්‍රී ලංකාව විසින් විසඳා ගන්නා ආකාරය දෙස විමසිල්ලෙන් බලා හිඳීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් ලැබිය හැකි ප්‍රතිචාර ආණ්ඩුවේ පැවැත්මට ද, රටේ අනාගතය වෙනුවෙන් ද බලපෑමක් කරනු ඇත. මේ නිසා කවර දේශපාලන පක්ෂයක් බලයේ සිටියද කවර පාලකයෙක් බලයේ සිටියද මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සුල මුල සොයා වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යළි මෙවැනි තත්වයන ඇතිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙන් හොරා පොලිස් සෙල්ලම කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත.
කමිටුව වටවංගුවක් ද?
පසුගියදා ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභා වාර්තාවත් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභා වර්තාවත් පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් සිදුකර රජය ගත යුතු පියවරයන් සම්බන්ධ යෝජනා සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් තවත් කමිටුවක් පත්කරනු ලැබුවේ මේ රටේ අමස්ත ජනතාවටම වගකිව යුතු පාලකයෙකු ලෙස ඔහුට කටයුතු කිරීමට සිදුව තිබෙන නිසාය.
මෙම කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් වැරදි අර්ථ කතන සපයමින් ඇතැම් විපක්ෂ කොටස් ආගමික කොටස් මේ දිනවල මතු කරමින් සිටින්නේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට දඬුවම් ලබාදීම වත්මන් පාලනය විසින් මඟහැරීමට කටයුතු කරමින් සිටින බවය. එහෙත් ඒවා ඇත්ත නොවේ. මාධ්‍ය මඟින් සහ ඇතැම් දේශපාලකයන්, ආගමික නායකයන් විටින් විට මතු කරන කරුණු කාරණා හරහා ඇත්ත තේරුම් ගත නොහැක. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් රජය ඒ ඒ අවස්ථාවල ගත් පියවරයන් සහ මෙම කමිටු, කොමිසම් ආදියෙහි මුඛ්‍ය අරමුණු, ඒවායේ විෂය සීමාවන් සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් නොමැතිව, රජය විසින් මේ සියල්ල කළේ, තමන් විසින් උපකල්පනය කර තීන්දු තීරණවලට පැමිණ නම් කරගෙන සිටින පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම්දීම වෙනුවෙන් වන සිතුවිල්ල සමාජය තුල පැවැතීම මත වැරදි අර්ථකතන සමාජ ගත්වීම් පහසුවෙන්ම සිදුව තිබෙන බව පැහැදිලිය.
වියතුන්ට කරන්න බැරි වැඩ
අවසන් වශයෙන් ජනාධිපතිවරයා පත් කළ කමිටුව සහ එහි සාමාජිකයන් ලෙස නම් කර සිටින දේශපාලකයන් සම්බන්ධයෙන් සමාජය තුල පවතින ඇතැම් අප්‍රසාද ජනක හැඟීම් නිසා මෙම කමිටුව ගැන ද සමාජය තුල ඇත්තේ සැකයකි. නමුත් මෙම කමිටුව් පත්කෙරුණේ පෙර පැවැති කමිටු හෝ කොමිසම් සභා නිර්දේශයන් වෙනස් කිරීමට හෝ වැරදි කරුවන් නිවැරදි කරුවන් කිරීමට හෝ නොවේ. එය ජනාධිපතිවරයා විසින් පත්කෙරුණේ ඔහු සහ ආණ්ඩුව පියවර ගැනීමේදී ගතයුතු නිවැරදි ක්‍රමවේදයන් ගැන සාකච්ඡාකර යෝජනා ඉදිරිපත් කිරීමටය. එහිදී දේශපාලනිකව බලපවත්වන කරුණු කාරණා ගැන අවධානයක් යොමුකිරීමට පාලකයාට සිදුවීම වැලැක්විය නොහැක. දේශපාලනික කරුණු ගැන තීන්දුතීරණ ගත යුත්තේ රටේ මහජනතාව සමඟ නිරත්තරයෙන උරෙන් උර ගැටී ඔවුන් සමඟ කටයුතු කරන දේශපාලකයන්ය. ජනතාවගේ අභිලාෂයන් හොඳින්ම හඳුනන්නේ ඔවුන් මිසක් ඇකඩමික වියතුන් නොවේ. එහිදී විවිධ ජන අභිලාෂයන් නියෝජනය කරන ආණ්ඩුවට පක්ෂපාත කොටස් මෙම කමිටුවට ඇතුලත් කරගැනීම ජනාධිපතිවරය ගත් දේශපාලනික තීන්දුවකි. එය වැරදි නොවේ. විධායක බලය තිබුණා කියා හිතුවක්කාර තීන්දු ගැනීම වෙනුවට එම ක්‍රමවේදය වඩා යෝග්‍ය ක්‍රමවේදයකි. මෙම කමිටුවෙ නිර්දේශ දේශපාලනික තීන්දුවීමට තිබෙන සම්භාවිතාව ඉතා ඉහළ නමුත් එය පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට ගැලවීමේ මාර්ගයක් නොවනු ඇති බව සහතිකය. මන්ද වත්මන් පාලනයට කිසිසේත්ම ප්‍රහාරය මඟහැර යෑම දේශපාලනිකවත් සදාචාරසම්පන්නවත් සිදුකළ නොහැකි බැවිණි.
නීතිය ක්‍රියාත්මකයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමට අදාල නෛතික ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව අරඹා ඇත. ජනාධිපති කොමිසම් වාර්ථාවද දැන් නීතිපතිවරයා අත තිබේ. එම කටයුතු වලට කිසිදු බාධාවක් ජනාධිපතිවරයාගේ නව කමිටුව හරහා සිදු නොවනු ඇත. මන්ද එම කමිටුවට එම නෛතික ක්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමේ බලයක් නැති නිසාය. ඒ තබා ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති කිසිදු පියවරක වෙනස් කිරීමේ හෝ වැලැක්වීමේ නීතිමය බලයක් එයට නැත.
මතක් කළ යුතු තවත් කරුණක් නම් මේ රටේ මීට පෙර විවිධ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් රැසක් පත් කර නිර්දේශ්යන් ඉදිරිපත් කිරීම තිබුණද එවා සියල්ලම පාවේ හමස් පෙට්ටියට එක්තුවී තිබුණු බවය. අවශ්‍ය පියවරයන් ගැනුණේම නැති තරම්ය. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා කොමිසමෙහි නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීමට කමිටුවක් පත්කිරීමත් වඩා ඉදිරිගාමි පියවරක් ලෙස සැලකිය හැකිය.
ඇත්ත තේරුම් ගමු
මේ නිසා පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩු විරෝධි කොටස් විසින් මතු කරනු ලබන බොහෝ කරුණු කාරණාවල පදනමක් නැත. සමාජ මාධ්‍ය හරහා ගෙනයන අභූත ප්‍රචාරයන් වල පදනමක් නැත. ආණ්ඩුවට එරෙහිවීම සඳහා ආණ්ඩුවට එරෙහි මතවාදයක් ගොඩනැගීම සඳහා හුදු ප්‍රචාරක වාසි වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රශ්නයේ ඇත්ත මුහුණුවර විකෘති කිරීම හැර මේවා තුල වෙන යමක් නැත.
එහෙත් සැබවින්ම සිදුවිය යුත්තේ මේ රටේ ජාති ආගමික සම්බන්ධ සංවේදී ප්‍රශ්න මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය පක්ෂ විපක්ෂ කොටස් එකතු වී කිසිදු පාර්ශ්වයකට හානියන් නොවන හොඳම විසඳුම් යෝජනා කර, ඒවා බාරගෙන විසඳා ගැනීමය. එහෙත් එතරම් දියුණු දේශපාලනික භාවිතාවක් මේ රටේ නැතිවීම සමස්ත පුරවැසියාගේම අවාසනාවකි. පුරවැසියන් ලෙස අප සියලු පාර්ශ්වවලට බල කළයුත්තේ එවැනි දියුණු ශිෂ්ඨසම්පන්න දේශපාලන භාවිතාවක් වෙනුවෙන් හැඩ ගැසෙන ලෙසය. මේ මොහොත වැදගත්වන්නේ ඒ වෙනුවෙන් මිස පාර්ශ්වික කුලල් කා ගැනීමකට නොවේ.
- the novemberist