ආණ්ඩු පෙරළන්න දත කන කොටි සහ මානව හිමිකම් හාවෝ Featured

Tuesday, 02 February 2021 13:50

රට දෙකඩ කර වෙනම රාජ්‍යයක් පිහි‍ටුව ගැනීම පදනම් කරගත් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකා භූමිය මත කළ යුද්ධය මුලුමනින්ම පරාජය කිරීමට හැකි වූවද තවදුරටත් ඉතිරිව සිටින එල්ටීටීඊ හිතවාදීන් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.

ලෝක සාමය රැකීම සහ සමස්ත ලෝකවාසීන්ගේම සුබසෙත පිණිස පිහි‍ටුවා ගන්නා ලද ලෝකයේ විශාලතම ආයතනය ලෙස සැලකිය හැකි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අභූත චෝදනා ඉදිරිපත්කරමින් මේ මොහොතේ පවත්නා පාලන තන්ත්‍රය වෙනස් කිරීම වෙනුවෙන් වන උත්සාහය මේ වනවිට බොහෝ දුර දිග ගොස් ඇත. පසුගිය සති කිහිපය තුල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හා ශ්‍රි ලංකා රජය අතර වන විවාදයේදී මේ වුවමණාව පැහැදිලිව පෙන්නුම් කර තිබේ. ඇතැම් වාර්තාවක් පැහැදිලිවම ' පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අවශ්‍යතාව' මතු කර ඇත.

කොහොම නමුත් පසුගිය රාජපක්ෂ පාලනය පැවැති යුගයේදිත් මෙම මෙලෙස චෝදනා රැසක් මෙරටට එරෙහිව එල්ල කර ආර්ථික සම්බාධක, මෙරට නිලධාරීන්ට සංචරණ තහංචි මෙන්ම රට අපකීර්තියට පත් කිරීම සැලසුම් ක්‍රියාත්මක වූ අතර එම රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා මෙරට ක්‍රියාත්මක බටහිර රටවල මුල්‍ය ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක්ද මෙහෙයවන ලදී. විශේෂයෙන්ම අමරිකාව මේ වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කරනු ලැබීය. මෙරට ජනතාවගේ ජනමතය වෙනස් කරවීම වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජයේ ප්‍රකට විද්වතුන් වෘත්තිකයන් කලාකාරයන් මෙන්ම ඇතැම් දේශපාලන පක්ෂද ඔවුන් පාවිච්චි කරනු ලැබීය. මේවායේ අවසන් ප්‍රතිපළය ලෙස රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සිදු විය.

එහෙත් රාජපක්ෂ පාලනය පිහි‍ටුවා ගැනීමෙන් පසුව බටහිර වුමණාවන් අනුව පිහිටවනු ලැබූ යහපාලනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගෙන් හෝ මේ බටහිර රාජ්‍යයන්ගෙන් බලපෑම එල්ල වූයේ නැත. එදා එල්ල කළ යුධ අපරාධ චෝදනා මානව හිමිකම් චෝදනා කිසිවක් එල්ල වූයේ නැත. ඒ ඔවුන්ට අවශ්‍ය පරිදි මෙරට ආර්ථික සමාජීය සංස්කෘතිය වෙනස් කරවීම් වෙනුවෙන් යහපාලනය ක්‍රියාත්මක වූ නිසාය.

එහෙත් ඒ සිදුවෙමින් පැවැතියේ රටට ජාතියට ආගමට සංස්කෘතියට ද්‍රෝහී ක්‍රියාමාර්ග බව වැඩි කලක් යන්න පෙර යහපාලනය වෙනුවෙන්ම ඡන්දය ප්‍රකාශ කළ පිරිස වටහා ගන්නා ලදී. එමෙන්ම යහපාලනයේ අසාර්ථකභාවයන් මත ජනතාව විශාල ආර්ථික පීඩාවන්ටද ලක්වූ අතර ජාතික ආරක්ෂාව අයාලේ යාම නිසා ත්‍රස්ත බිය බොම්බ බියද ජනිත විය. මේ අනුව යහපාලන යුගය අවසන් කිරීමත් රටට ගැලපෙන නායකත්වය ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට තෝරා පත් කරගැනීමටත් රටේ බහුතර ජනතාව පියවර ගන්නා ලදී. එමෙන්ම පාර්ලිමේන්තු බලයද තුනෙන් දෙකකට ආසන්න මට්ටමකින් ජනාධිපතිවරයා වෙත ලබා දීමට ද ජනතාව පියවර ගනු ලැබීය. මේ දැවැන්ත ජයග්‍රහණය ලැබීමට හේතු වූයේ යහපාලනයෙන් සිදුවූ විනාශයේ තරම නිසාය.

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය, කඩා වැ‍ටුණු ආර්ථිකයක් සහ කොවිඩ් තත්වය මත වූ දැඩි අසීරුතාවයන් මධ්‍යයේ වුව හැකි උපරීමයෙන් සමහර විට බලාපොරොතු නොවිය හැකි තරම් ඉහළ මට්ටමකින් තැබීමට වත්මන් පාලනයට හැකිව තිබේ. යහපාලන යුගයේ දී රට විදේශයන්ට පාවා දෙමින් එකඟ වූ ගිවිසුම් කොන්දේසි විශාල ප්‍රමාණයක් ආපසු හැ‍රැවීමටද වත්මන් පාලනය කටයුතු කර තිබේ.

මේ තත්වයන් අද වෙන විට මෙරට ගිලිගැනීමට සිටි බටහිර රාජ්‍යයන්වලට මෙන්ම බටහිර ලැදි ඉන්දියාවට පවා දරාගැනීමට නොහැකිව තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක විය හැකි සියලු දේ (ප්‍රජාතන්ත්‍රාවාදී ලේබලයට මුවාවී) සිදුකරමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඒ සඳහා ඉහළ සහයක් එල්ටිටීඊ හිතවාදින්ගෙන් ලැබී තිබීම ඔවුන්ගේ කටයුතුවලට පහසුවක් වී ඇත. පෙර යුගවල එල්ල කළ යුධ අපරාධ චෝදනා මානව හිමිකම් චෝදනා වලට අමතරව දැන් අලුත් බරකින් එල්ල කරන චෝදනාව වී ඇත්තේ ජාතීන් අතර සංහිඳියාව සහ වගවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී නොසිටීම බව සහ රාජ්‍යය මිලිටරිකරණය කිරීමය. මේ මොන විකාරයක්දැයි මේ රටේ ජීවත් වෙන ඕනෑම මිනිසෙකුට නැගෙන ප්‍රශ්නයකි. ජාතීන් අතර විශ්වාසයන් අනවබෝධයන් මෙරට තුල තිබූ බව ඇත්තය. 30 වසරක් යුද්ධයට හේතු වී තිබුණේද කාලන්තරයක් තිස්සේ ගොඩ නැගුනු එම තත්වයන්ය. මේ රටේ ජීවත් වෙන බහුතර සිංහල ජනතාව සහ දෙමළ මුස්ලිම් පුරවැසියා සමඟ ගැ‍ටුම් ඇවිලවීමේ නින්දිත දේශපාලනයක්ද මෙරට ක්‍රියාත්මක විය. තවදුරටත් එවැනි උත්සාහයන් තිබේ. මේවාට අසුව මේ වාර්ගික ඇවිලවීම් වලට දැන හෝ නොදැන කටයුතු කරන මෝඩ මිනිස්සුද සිටිති. එහෙත් මහ පොළොවේ ඇත්ත කාරණ මේ කිසිදු ජාතිකයෙක් ආගමිකයෙක් අතර කතා කරන්න තරම් ගැ‍ටුමක් නොමැති බවය. සියල්ලෝ සාමයෙන් සහජීවන්යෙන් මේ රටේ ජීවත් වෙති. ජන ප්‍රජාවන්ගේ අයිතිය හා නිදහස වෙනුවෙන් යම් යම් අඩු පාඩු නැතුවා නොවේ. එහෙත් ඒවා දිනෙන දිනම නිවැරදි කරගනිමින් වඩා ශිෂ්ඨසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් පියවරයන් ගනිමින් තිබේ. මේ වෙනුවෙන් රටේ යල් පැන ගිය නීති රීති ප්‍රතිසංකරණය කිරීම් රැසක් පසුගිය වකවානු වල සිදුවිණි.තවදුරටත් ඒවා ගැන සාකච්ඡාද සිදුවෙමින් තිබේ. අනෙකාගේ නිදහස සහ අයිතිය වෙනුවෙන් සංවේදී වීමේ අවශ්‍යතාවය අද ජනතාවත් පාලකයනුත් අවබෝධයක සිට මේ වෙනුවෙන් වඩා සාධාරණ ලෙස ගෙන තිබෙන පියවරයන් සහ ඒවායේ සාර්ථකත්වයන් ගැන නොතකා බාහිර පාර්ශ්වයන් විසින් කරන චෝදනා පිළිගත නොහැක. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට වාර්තා වන හුදකලා සිද්ධියක් දෙකක් පදනම් කරගෙන එය සමස්තය යැයි තේරුම් ගන්නවා නම් ඒ ඔවුගේ බරපතල අඩුපාඩුවකි.

එහෙත් එවැනි සිදුවීම් අරඹයා මේ එක්සත් ජාතීන්, අමරිකාව හෝ බටහිර රටකට එරෙහිව මීක් ගාන්නේ නැත. ඒවා ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇහෙන්නේ නැත. මානව හිමිකම් චෝදනා ආදිය ශ්‍රි ලංකාව වැනි රටකට එරෙහිව නිර්මාණය වෙන්නේ ඇත්තටම මේ මානව හිමිකම් ගැටළුවක් නිසා නොවේ. බටහිර රජයයන්ට අවශ්‍යව තිබෙන අධිරාජ්‍යවාදී වුවමනාව සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එසේ කිරීමට සිදුවන්නේ එම සංවිධානය පෝෂණය කරන අමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන්ගෙන් ලැබෙන විශාල අරමුදල් මත වීම නිසාද විය හැකිය. එවිට බටහිර න්‍යාය පත්‍රයට අනුව ඔවුන්ටද හැඩ ගැසීමට සිදුවේ. ලෝක බලවතුන් කල්පනා කරන්නේ ලෝකයම පාලනය විය යුත්තේ ඔවුන්ගේ කැමැත්තට අනුගතව කියන එකය. අමෙරිකාව හා චීනය අතර වන යම් ගැ‍ටුම්කාරිත්වයන්ට හේතුවද මේ බලවතුන් ලෝකය පාලනය කිරීමට වෙනවෙනම ගන්නා උත්සාහය තුලය. මීට පෙර සොවියට් රුසියාව සමඟ අමරිකාව පැටලුනේද ඒ අනුවය. නමුත් මේ ආකාරයෙන් පරිධියේ රටවල් තමන් වෙත නතුකර ගැනීම වෙනුවෙන් අධිරාජ්‍යවාදී බලවත් කේන්ද්‍රීය රටවල් මේ මොහෙයුම් ඉතා සුක්ෂමව ක්‍රියාත්මක කරවන බවද කිව යුතුය.
බොහෝ විට අප හසුවන්නේ ඔවුන් අටවන යටි උගුල් වලටය. අපි උගලක පැටලුන බව දැනගන කොට ඉන් මිදෙන්න පුලුවන් හැකියාව දුර්වල වී අවසන්ය. ශ්‍රි ලංකාව අද මුහුණ දෙන ජාත්‍යන්තර බලපෑම ගැන සලකා බැලුවොත් අපත් නොදැන හසුවූ උගුල් ‍රැසකි. මේවායෙන් ගැලවීමට කරන දැඟලීම් හමුවේ තවතවත් උගුල්වල පැටලීම ද සිදුව තිබේ.

මේ තත්වයන් අද අපි නොදන්නා දේ නොවේ. මේ නිසා ජාත්‍යන්තරය සමඟ කරන ගනුදෙනුවේදී අපට සෙල්ලම් කරන්න බැරිය. අතිශ්‍ය සූක්ෂමව උපක්‍රමශීලීව ඒවා මෙහෙයවා ගතයුතුය. මෙහිදී පළමු කාරණය අපි අපේ තරම මුලින් කිරා මැන ගත යුතු වීමය. අපට එකතුකරගත හැකි ශක්තිය ගැන අවබෝධයක් සහිතව සිටීමය. බාහිරෙන් ලබාගත හැකි සහයෝගයන් සූදානම් කරගැනීමය. ඒ අනුව අප පාවිච්චි කරන උපාය උපක්‍රමයන් සැකසිය යුතුය.

මෙහිදී ඇති වැදගත්ම දේ පුරවැසියාගේ ශක්තිය, පාලකයා සමඟ එක්ව පැවැතීමය. එම ශක්තියට පරාජය කළ හැකි දේ අති විශාලය. මෑත හොඳම උදාහරණය නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය බේරාගත් ආකාරයයි. මේ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එල්ටීටීඊ උවමනාවන් දඩමීමා කරගෙන බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කැමැත්ත ඉ‍ටුකරන්න ගන්නා උත්සාහය පරාජය කළ හැකිය. නියත වශයෙන්ම ඒ සිදු කළ හැකිය.

එල්ටීටීඊ හිතවාදින් මොන නැ‍ටුම නැටුවත් ඒක ගැන හිතන්නවත් දෙයක් අපට නැත. මන්ද එහෙම ප්‍රශ්නයක් රටේ නැති නිසාය. ඒ නිසා ඒ මත අධිරාජ්‍යවාදී රටවල් කරන චෝද්නාවට කිසිදු පදනමක් නැත. මෑතකදී ජනාධිපතිවරයා මේ අභුත චෝදනා ගැන විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේ මේ චෝදනා වල පදනමක් නැති බව නියමාකාරයෙන් ඔප්පුකර පෙන්වීමේ අවශ්‍යතාවය නිසාය. මෙය විශිෂ්ට උපක්‍රමික තීරණයකි. අප ඇත්ත පෙන්වා දුන් විට තවදුරටත් එක්සත් ජාතීන්ට බොරුවක් වෙනුවෙන් පෙනී සිටිය නොහැක.

එහෙත් පවතින පාලනය පෙරළා දැමීම වෙනුවෙන් දේශපාලන බලලෝභී ව්‍යාපෘතිවල යෙදෙන පිරිස එක්සත් ජාතින්ගේ වුවමනාව වෙනුවෙන් සහයෝගය දැක්විය හැකිය. ජනතාව මෙන්න මේ ක්‍රියාමාර්ගය ගැන අවදියෙන් සිටිය යුතුවා සේම මෙය පරාජය කිරීම කළ යුතුය. කවර පක්ෂයක් නියෝජනය කළත් කවර ජාතියක් ආගමක් නියෝජනය කළත් මේ රටට සතුරු බලවේග පරාජය කිරීමට ජනතාව වෙතින් විය යුතු වගකීමකි. අපේ ප්‍රශ්න අපිට අපේ විදිහට බේරාගත හැක. ශ්‍රී ලංකාව අවුරුදු දහස් ගනනක් තිස්සේ ගොඩනැඟුණු ශිෂ්ඨාචාරයක් ඇති රටකි. අප ගරු කරන හර පද්ධතීන් රැසක් තිබේ. ඒවා නූතන ප්‍රජාතන්ත්‍රවාදී නියමයන් ඉක්මවා ගිය මනුස්සකම් හා බැඳුනු දේය. ඒ නිසා අපේ ප්‍රශ්න විසඳා ගන්න වඩාත් හොඳම විදිය දැනගන්න කාගෙවත් අමුතු උපදෙස් අවශ්‍ය නැත. මේ අනුව හෙට අනිද්දාට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා එන අයුතු බලපෑම් අපට පරාජය කළ හැකිවන්නේ ශ්‍රි ලංකේය සමස්ත පුරවැසියම එකට එකතු වුවහොත් පමණි. එසේ නොවී එහි පරාජය යනු අප සැම දෙනාගේම පරාජයකි. යහපාලනයේ ආදීනව විඳවා ඇති අප සියලු දෙනාට මේ පරාජය හමුවේ වෙන්නෙ කුමක්ද යන්න අමුතුවෙන් කිව් යුතු නැත.

 

- the novemberist

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us