කිසිදු දේශපාලනික හරයක් නැති වැල්වටාරම් රැසක් ගැන නන්දොඩවා තිබෙන ඇය, ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජාජබය දේශපාලනික ඇද වැටී තිබෙන බංකොලොත් තත්වය ගැන කෙලින්ම පැවසීමට තරම් නිර්භය වී ඇත.
හරිනි දැන් චෝදනා මුඛයෙන් කතා කරන්නේ රටේ මාධ්‍ය ආයතනයට ඔවුන්ට සහය දී නැති බවය. ඇවන්ට්ගාර්ඩ් වැනි මුදලාලිලාගේ සල්ලි ඉදිරියේ ඔවුන් අසමත් වී ඇති බවය. මේ විප්ලවාදී සමාජ බලවේගයක් කියන පක්ෂයක දැන් තත්වය එවැනිය. මේ අයට දේශපාලනය කරන්න, ආණ්ඩු පිහිටුවන්න රටේ ජනමාධ්‍ය ටික එකතු වී උදව් කළ යුතුය, ඇවන්ට්ගාර්ඩ් මුදලාලිලා තමන්ගේ දේශපාලනය වෙනුවෙන් කරන මෙහෙයුම්, වියදම් කිරීම් ආදිය නැවැත්විය යුතුය.
ජවිපෙ තමන්ගේ ආදරණීය ගුරුවරුන් මහා විප්ලවවාදීන් ජනතා වීරයන් ලෙස සලකන ලෙනින්ලා, මා වෝ සේතුන්ලා, හෝ චිමින්ලා, කිම් ඉල් සුංලා, පිදෙල් කත්‍රෝලා චේ ගුවේරලාත් ඔය විදිහට කල්පනා කළා නම් මේ ලෝකෙ කවදාවත් සමාජවාදී විප්ලව තියා සමාජවාදය කියා දෙයක් අහන්නවත් ඉතිරිවන්නේ නැත. ඒ තබා ජවිපෙ නිර්මාර්තෘ රෝහණ විජේවීරත් ඔය විදිහට හිතුවා නම් කිසිදා ජනතා විමුක්ති පෙරමුණ බිහිවන්නෙත් නැත. වඩේ කකා මුට්ටකර ගසමින් එම පක්ෂය ගොඩ නැගීමට ඔහු කැපවූ අයුරු ඉතිහාසයේ ලියැවී තිබේ. ආණ්ඩු බලය අල්ලන්න විශාල අරගල දෙකක් රොහණ විජේවීර කළේ ඔය ජනමාධ්‍යයේ සහයෙන් නොවේ. ඇවන්ට්ගාර්ඩ්ලා වැනි එවකට සිටි මුදලාලිලාගේ බලය හමුවේ ඔහු අසරණ වූයේ නැත. නිවට වුයේ නැත. ඒ අභිබවා සටන් කිරීමට ඔහුට ධෛර්යය තිබිණි. හරිණිලාගේ මේ නිවට කතා වලින් වැඩිම අපහාසය සිදුව ඇත්තේ මේ රටේ සමාජ විප්ලවයක් වෙනුවෙන් 71 දී 88 - 90 කාලවල ජීවිත පූජාවෙන් කටයුතු කළ තරුණ තරුණියන්ටය. ජවිපෙ දේශපාලන මතවාදය කුමක් වූවත් ඒ දේශපාලන අරමුණු වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ මේ ජවිපෙ පාක්ෂිකයන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ අනාගත අයිතිකරුවන් මෙතරම් නිවට නියාලු මුග්ධයන් වෙනු ඇතැයි සිහිනෙන්වත් සිතන්නට නැතුව ඇත.
මේ ජවිපෙ මන්ත්‍රීනී හරිනිගේ ප්‍රකාශය අනුව පැහැදිලිවෙන අනිත් කාරණය නම් ඇවන්ට්ගාර්ඩ් මුදලාලිගේ සාර්ථකත්වයයි. ඒ බව ජවිපෙ ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව ද මේ විය හැකිය. නමුත් මෙතැන තවත් පොඩි පරස්පරයක් තිබේ. මන්ද අපි දන්නා තරමින් ජවිපෙට තිබෙන ආර්ථික හැකියාව ලංකාවේ වෙත් කිසිදු දේශපාලන පක්ෂයකට නැත. පක්ෂයේ බැංකු ගිණුමේ රුපියල් බිලියන 8 ක පමණ මුදල තිබුණු බව කලකට පෙර හෙළි වී තිබිණි. එමෙන්ම ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, කිලී මහරාජා වැනි මහා ව්‍යාපාරිකයන්ගේ මුල්‍යමය ආධාරයන් ජවිපෙට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. ඒ මදිවට ව්‍යපාරිකය බිය වද්දා කප්පන් ගන්නා බවටද බරපතල චෝදනාවක් ද ඔවුන්ට තිබේ. ජවිපෙ කියන්නේ මුදල් අගහිඟකම් නැති පක්ෂයක් බව ඔප්පු කෙරෙන තවත් සාධයක් වී ඇත්තේ එහි නායකයන්ගේ සුපිරි ජීවන තත්වයන් නිසාය. ඉඩකඩම් දේපොළ ඔවුන් යහමින් රැස් කර තිබේ. ඔහුගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල නැතිනම් විදේශීය අධ්‍යාපන ආයතන වලය. කා බී ජොලියේ සුපිරි ජීවිත ගතකරන්නට මේ අයට වත්කම් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප නොගන්නවා යැයි කියන කතාව ඇත්තක් නම් මේ සුපිරි ජීවිත ගත කරන්නට ඊට වඩා ලෝකු ආදායම් මේ අයට තිබෙන බවත් පැහැදිලි කරුණකි.
ජවිපෙ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන කුණුකන්දල් ගැන තවත් ඕනෑ තරම් දේවල් කිව හැකිය. ඒවා ගැන ඕනෑ තරම් දේ ලියැවීද ඇත. ඒවා ගැන තව තවත් කතා කිරීමෙහිද තේරුමක් නැත. අද හරිනිලා විසින් ඔප්පු කරමින් සිටින්නේ ජවිපෙ දේශොලනිකව සහ සංවිධානාත්මකව ඇද වැටී තිබෙන බංකොලොත්කම ගැනය. පසුගිය මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 3 කට වැටී ඡන්ද පදනම තව දුරටත් අඩු කර ගත්තේ වත්මනෙහි ජවිපෙ නායකත්වයේ අනූභාවයෙනි. හරිනිලාට තවත් කළ හැක්කේ මේ ඉතිරි 3 ත් තලා පොඩිකර නැති භංගස්ථාන කිරීම පමණි.
ජවිපෙ (ජාතික ජන බලවේගය) පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය
දිනමිණ සමඟ කළ (ගමේ බලය අපි අල්ලනවා) සාකච්ඡාවෙන් උපුටාගත් කොටසක්
l ඇයි ජාතික ජනබලවේගයට විශාල ඡන්ද පදනමක් නැත්තේ?
"ඡන්දය කියන්නේ ව්‍යාපාරයක්. රටේ තියෙන අසමතුලිතතාව මත තමයි ඡන්ද ව්‍යාපාර තීරණය වන්නේ. ඒ වගේම එහි විශාල කාර්යභාරයක් මාධ්‍ය මඟින් සිදුකරනවා. ඒ මාධ්‍ය 90%ක් අපිට නැහැ. අපිට තියෙන්නේ 10% ඉඩක් පමණයි. ඉතින් අපිට එතැන විශාල අභියෝගයක්. මොකද අද මාධ්‍ය ආයතන හිමිකරුවන් ඔක්කෝම එකම තැනක ඉන්නේ. ඔවුන් කිසිම හිරිකිතයකින් තොරව ආණ්ඩුවට කඩේ යනවා. එතකොට ජනතාව අපි ගැන තියෙන අදහස් හා ආකල්පවලින් තොරවෙලා කටයුතු කරනවා. රජයේ ප්‍රධාන අරමුණත් ඒකයි. ඒකට ඕන තරම් මුදල් වියදම් කිරීමට ඇවන්ගාඩ් මුදලාලිලා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඔස්සේ කියනවා. අපිව බින්දුවටම බස්සනවා කියලත් කියනවා. මිලියන ගණන් ඔහු ඒවාට වියදම් කරනවා කියලත් කිව්වා. ඉතින් අපිට හරිම අමාරුයි එහෙම මුදල් එක්ක හැප්පෙන හොර මුදලාලිලා සමඟ වැඩ කරන්න. එවැනි අසමතුලිත දේශපාලන පිට්ටනියක තමයි අපිට දේශපාලනය කරන්න වෙලා තියෙන්නේ."