නමුත් 'බොර දිය පොකුණ' කෙරෙහි අන්තර්ජාතික විචාරක අවධානය යොමුවනු වළකාලීමට ඒ කිසිදු වාරණයක් බලවත් නොවූ අතර, 2005 හොනලුලූ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම ප්‍රබන්ධ සිනමාපටය සඳහා වන විශේෂ සම්මානය සඳහා එය තෝරා ගැණින.
1989 භීෂණ සමය පසුබිම් කොටගත් 'ස්මරණ සමාප්ති' ඒකාංගික රූපවාහිනී නාටකයෙන් පටන්ගෙන 'බොර දිය පොකුණ' සිනමා පටය දක්වා වූ සත්‍යජිත්ගේ ගමන අසාමාන්‍ය ලෙස දිග්ගැස්සීම පිටුපස ඇත්තේ නිර්මාණ නිදහස සහ රාජ්‍ය මැදිහත්වීම් පිළිබඳ පුරුදු පැරණි ප්‍රශ්නයම ය. නමුත් අඟුටුමිටි සංස්කෘතික බලධාරීන් විසින් 'අශ්ලීල' යැයි නම් කළ දර්ශන කපා දැමීමට එකඟ වනු වෙනුවට සිය කුළුඳුල් සිනමාපටය සත් වසක් පමා කළ සත්‍යජිත් මේ පෙබරවාරියේදී 'බොර දිය පොකුණ' රැගෙන සිංහල සිනමා ප්‍රේක්‍ෂකයින් හමුවට යාමට නියමිත ය.
"මම අවුරුදු පහළොවක් විතර මගේ දරුවා බිහි වෙනකන් බලාගෙන හිටපු අම්ම කෙනෙක් වගේ. අනිත් අයට දරුවෝ ලැබුනා, අකුරු කියෙව්වා, දැන් ඉස්කෝලේ යන ළමයි," සත්‍යජිත් කියයි.
"ජීවිතය කලාවට වඩා දැවැන්තයි. ඒක සාගරයක්. මම දිය දෝතක් ගත්ත. ඒක බෙදා ගන්න ඕනෑ."
වාරණය, සිනමාව සහ ජීවිතය පිළිබඳව සත්‍යජිත් මාඉටිපේ JDS හා කතා කළේය.
සටහන: මංජුල වෙඩිවර්ධන
නිහඬතාව, හුදකලාව සහ ඉවසීම කියන කාරණා කලාකරුවකු විදිහට ඔබ දකින්නෙ කොහොමද? ඔබේ ජීවිතය ඇසුරෙන් මේ සංකල්ප ඔබ විග්‍රහකරගන්නෙ කොහොමද?
කලාකරුවෙකු විදියට මට මේ කාරණා පෙනෙන්නේ නැහැ. මනුස්සයෙක් විදියටයි පෙනෙන්නේ. මම යම් ප්‍රමාණයකට කලාව කරනව. මගේ පළවෙනි චිත්‍රපටයවත් තාම මගේ රටේ මිනිස්සු දැකලා නැහැ. ඉතිං මම කලාකරුවෙක්ද කියල මට අවංකවම ෂුවර් නැහැ. නිහඬතාවය, හුදකලාව, ඉවසීම පොදු මිනිස් අත්දැකීම් නේද? මමත් යම් යම් විධිහට නිහඬ වෙනවා , හුදකලාව ඉන්නවා ඉවසනවා. නමුත් නිහඬ වෙනවා..හුදකලාව ඉන්නවා ඉවසනවා.කියන්නේ මොකක්ද , කවුරු ඉදිරියේදීද, මොන කාරණයකටද වගේ ප්‍රශ්න මගේ ඔලුවට එනවා. ඔහොම අහද්දී. සද්දේ අඩු තැන්වලට මම ටිකක වැඩිපුර කැමතියි. හුදකලාව දුක්ඛිත දෙයක්ම නොවෙයි කියල මම දන්නවා. ඉවසීම බියගුළු දෙයක් වගේම මූලෝපායික ප්‍රවේශයක් වෙන්නත් පුළුවන්.
මං දන්න විදිහට සත්‍යා සිනමාව වුණත් දකින්නෙ සාමුහික ප්‍රයත්නයක් විදිහට. මේ වගේ මාධ්‍ය සාකච්ඡාවකට ආවත් සත්‍යා කැමති තමන් එක්ක එකට වැඩකරපු අයගේ මතවාදයන් සාමුහිකව මුදාහරින්නයි. නමුත් මේ මොහොත වන විට සන්දර්භය වෙනස්. තාමත් ඔබ විශ්වාස කරනවද සිනමාව සාමුහික ප්‍රයත්නයක් කියල? එහෙම නැත්තං එය සිනමාකරුවාගෙ නොහොත් අධ්‍යක්ෂවරයාගේ කලාව විතරද?
මගේ කියවීමේ හැටියට සිනමාව සාමුහික කලාවක්. එදත්, අදත් හෙටත්. මාධ්‍ය සාකච්ඡාවකට එකට වැඩකරපු අයත් එක්ක සහභාගී වෙන එක අතිශයින් ප්‍රීති ජනකයි. ඒකෙ සරල ජොලියක් පවා තියෙනවා. යාළුවො එක්ක ට්‍රිප් එකක් යනවා වගේ දෙයක්. යාළුවන් ව බයිට් කරමින්, ඔවුන් ට ආදරය කරමින් යන ගමනක් කොයි තරම් සුන්දරද? සිනමාව අධ්‍යක්ෂකවරයාගේ කලාව නොවේ යයි මම කියන්නේ නැහැ.හැබයි සිනමාව අධ්‍යක්ෂවරයගේ කලාව යැයි පුන පුනා කීම මට නම් ග්‍රාම්‍ය ,නොදියුණු, හීනමාන කතාවක්. එක හරියට මහින්ද රාජපක්ෂ තනියම යුද්දේ දින්න කියල කියනවා වගේ ගොන් පාට් එකක්. චිත්‍රපටයට සම්බන්ධ අනිත් අයට චිත්‍රපටයක් තුල මගේ කියවීම යට කරගෙන වෙන ආඛ්‍යානයක් ගොඩ නගන්න නම් මම ඉඩ දෙන්නේ නැහැ. මම කියන්නේ. චිත්‍රපටයේ අභ්‍යන්තර වියමන තුළ මම හිතන්නේ වෙන කෙනෙකුට ඔය දේනම් මාත් එක්ක කරන්න ටිකක් අමාරු වෙයි. හැබැයි සමහර සහෝදර ශිල්පීන් දැවැන්ත ආලෝකයක් ශක්තියක් දෙනවා ඒක කොහොමටවත් අවතක්සේරු කරන්න බැහැ. ඒ ගොල්ලන්ව සඟවන්න, යටපත් කරන්න උත්සහ කිරීම මම මට කරගන්න ලොකුම අවමානයක්.
බරපතල ලෙස ප්‍රවණතාත්මක දේවල් තමයි අදාළ මොහොතේදීම සමාජගතවීම සිදුනොවුණහොත් අර්බුදයට යන්නේ. නමුත් මනුෂ්‍ය අධ්‍යාත්මය ගවේෂණය කරන්න උත්සාහ ගන්න ඔබ වැන්නකුගේ නිර්මාණ එහෙම පරණවීමක් වෙන්න විදිහක් නෑ. ඒ මගේ අදහස. ඔබේ අදහස මොකද්ද?
මාව එහෙම තැනක තියල කථා කරනවාට සතුටුයි. හැබැයි මම දන්නේ නැහැ අපේ රටේ ප්‍රේක්ෂකයන් මොන විධියට මගේ චිත්‍රපටයට පිළිතුරු දෙයිද කියල. සමහරු අවුරුදු 12 -14 පස්සෙත් චිත්‍රපටයේ එහෙම දෙයක් දකින බව කිව්වා, කියනවා. නමුත් ඒවා පුද්ගලික මට්ටමින් කිව්වා කියලයි මම හිතන්නේ. හැබැයි අපි එහෙම පරණවීමක් වෙන්නේ නැති නිර්මාණ ඕන තරම් දැකලා තියෙනවා. That could be the ‘ultimate test’ for a work of art. ඔය විභාගෙන් ජයගන්න කවුද අකමැති?
‘ස්මරණ සමාප්ති‘ ටෙලි සිනමාපටය වගේම ‘බොරදිය පොකුණ‘ත් මනුෂ්‍ය අධ්‍යාත්මයේ අර්බුදය සාකච්ඡාවට පාත්‍ර කරනවා. නමුත් ඔබට මේවා ස්ථානගත කරන්න වෙන්නෙ අර්බුදයට ගිය අධ්‍යාත්මයක් සහිත සමාජයකට. සමාජ අධ්‍යාත්මයේ අර්බුදය ගැන සත්‍යගේ විවරණ මොන වගේද?
අර්බුදයට ගිය අධ්‍යාත්මයක් සහිත සමාජයක අපි ජීවත් වෙනවා කියන එක සරල වගේම බරපතල ඇත්තක්.”It is a consistent day to day reality. Not a complex political – social analysis for me”. සම්පත් බෙදී යාමේ දරුණු අසමතුලිතතාවයක් සහ ගරුත්වයෙන් යුතුව සියලු ජන කොටස්වලට නොසැළකීම සහ එසේ නොසැළකීම විවිධාකාරයෙන් සාධාරණීකරණය කරන මිනිසුන් සිටින වට පිටාවක අපි ඉන්නේ. ගොඩක් දුර යා යුතු නැහැ. අපේම, ගෙවල් ඇතුළෙම අපිත් එක්ක ම ජීවිතය බෙදා ගන්න ළඟම ජීවිත පවා සමහර විට එහෙමයි. ඉතින් මට ලෙහෙසි ඒ දන්නා අය සහ මා අතර ඇතිවෙන ගැටුම, දිහා එබී බලන්න. ඒ සංවාදයට සාවධානව ඇහුම් කන් දෙන්න. හාරගෙන ටික ටික ඇතුලට යන්න. දොර ඇරගෙන එළියට ගිහින් ආගන්තුකයන්ගේ ජනෙල් කවුළු වලින් එබෙන්නේ මොකටද? අනිත් මිනිස්සුන්ගේ දොරවල් අරින්නට මම උත්සහ කරන්නේ මොකටද? ඒ විනාශය හුදු පුද්ගලික විනාශයක් නොවන බව එසේ අපි අපේ අය දිහාම බලා සිටිද්දී පෙනෙනවා.
ඔබ සිංහලෙන් ‘‘බොරදිය පොකුණ‘ කියලා සිනමාපටය නම් කරද්දි එන අර්ථය සෘජු එකක්. ඒක දර්ශනයක් ලෙසත් චිත්‍රපටයට ඇතුළත්. අනිත් හේතුව මං ඊළඟ ප්‍රශ්නෙදි කියන්නම්. ඒ හින්දා ඒකෙ උත්ප්‍රාසයක් නෑ. ඉංග්‍රිසියෙන් ඒකම Scent of Lotus Pond: A Buddhist parable of three parts කියලා. නම සහ තේමාව යන දෙකම ගත්තත් ඒකෙ උත්ප්‍රාසාත්මක ප්‍රවේශයක් තියෙනවා. මං අහන්නෙ මේකයි මේ ඉංග්‍රිසි නාමකරණය ජාත්‍යන්තරය දිනීමේ උපක්‍රමික භාවිතයක් කියල මම යෝජනා කළොත් ඔබ මොකද කියන්නෙ?
‘බොර දිය’ මට අනුව සෘජු අර්ථ දෙන්නක් නොවෙයි. සංකීර්ණ , බහු අර්ථ බහු සංඥා මතු කරන පදයක්. ඒක සිංහල මිනිස්සු දන්නවා. එතන උත්ප්‍රාසයක් තියෙනවා. වෙන කෙනකුට වතුර බොර කරන්න පුළුවන්. නමුත් පෑදෙන එක එයාගේ වැඩක්. ඉංග්‍රීසි පද වැල බොර දියේම නෙළුම් පිපෙන බවයි කියන්නේ. ජාත්‍යන්තරය දිනීම කෙසේ වෙතත්. ජාත්‍යන්තරයට මම ස්ථීරව එක දෙයක් පැහැදිලිව කියනවා. මගේ කතාවට අයිති මල, රෝස මලක් හෝ ලයිලැක් මලක් නොවෙයි. ඉතින් නෙළුම ගැන ටිකක් කියවල එන්න. නැත්නම්, වෙන (පෙරදිග) මලක් ගැන කතාවකට පොඩ්ඩක් සුදානම් වෙන්න කියල. නමුත් මම අවංකව පිලිගන්නවා, මා එලෙස කියූවත් ඉංග්‍රීසි නාමය තුලින් Exotic/Unusual /sensual බවක ජායාවක් ජාත්‍යන්තරය තුල ජනිත වන බව හෝ විය හැකි බව පිළිබඳව සහ මේ යෙදුම යම් දුරකට උපක්‍රමික වීම පිළිබඳව මම සවිඥාණිකව සිටි වග.
දැන් මං කලින් සඳහන් කළ විදියට, ඒ ප්‍රශ්නෙම ඌණපූර්ණයට එන්නම්. මේක ඔබගෙම ප්‍රකාශයක්. මට මතකයි ඔබ මේ සිනමාපටය නිර්මාණය කළ මොහොතේ කළ සංවාදයකදි කිව්වා ගෝතමී, විපුල වැනි චරිත බොරදියේ මසුන් කියලා. ඔබට ඔවුන් පෙනෙන්නෙ සතුන් වගේ කියලා. දැන් නැවත කියන්න පුළුවන්ද මේ චරිත අත්පත් කරගන්න විමුක්තිය ගැන? චිත්‍රපටයේ නාමකරණයත් එක්ක ඔවුන්ගෙ තියෙන සම්බන්ධය.
ඔව් මම තාමත් කියනවා ඔවුන්; ගෝතමී, විපුල, මංගලා බොර දියේ මසුන් වගේ කියල. ඒ විතරක් නෙවයි ඔවුන් ගැන ලියාපු මාත් බොර දියේ මාළුවෙක්. මම ලඟම ඉන්න ගැහැනුන් සහ මිනිසුන්ද ඒ වගේමයි කියල මට හිතෙනවා. අපි අවට වෙන දේ, අපි අපිටම කරගන්න දේ, අපිට අනිත් අය කරන දේවල්, අනිත් අයට අපි කරන දේවල් අපිට ඒ ඒ මොහොතවල්වල හරියට පෙනෙන්නේ නැහැ. පෙනෙනවා දැනෙනවා කියල හිතාගෙන අපි ඉන්නවා, යනවා, එනවා. අපිට යම් යම් හැඟීම් , දැනීම් තියෙනවා. නමුත් කියවා ගැනීම් බොහෝ විට අසම්පූර්ණයි, අපැහැදිලියි. මනුෂ්‍යත්වය ඒ වගේ දෙයක්. ඒ අසම්පූර්ණ බව තුළ අපේ මරණීයත්වය. අපේ සම්බන්ධතා තුළ ඇති යථා ස්වභාවයන් නිරතුරුව කියා පානවා. හැබැයි කාලයක් ගියාම අපි සමහර වෙලාවට සමහර දේවල් කියවා ගන්නවා, පරිසමාප්තමව නොවුණත්. අපි සිහි එලවා ගන්නවා. අපි සමහරුන්ට වෙලාවකට එහෙමවත් කියවා ගන්න බැහැ. එකම දේ තුළ කැරකෙනවා. එකම දේ නැවත නැවත කරමින්, වෙනසක් කරනවා කියලා, අලුත් වෙනවා කියා ගනිමින්, ගැලවුනා - බේරුනා කියාගනිමින් අපි, අපිවවත් අනිත් අයවත් රවට ගන්නවා. ඔය දේ වෙලාවකට අහිංසකයි, ශෝචනීයයි. යම් පමණකට කාව්‍යාත්මකයි - වෙලාවකට අති බිහිසුණුයි. විහිළු-විකාර සහගතයි. මට සහ මගේම අයට වුනු ඔවැනි දේ තමයි මම විපුල, ගෝතමී මංගලා හරහා කියන්න උත්සාහ කළේ. මගේ සහ මගේ අවට ජීවිතවල නම් විමුක්තියක් පේන තෙක් මානයක නැහැ. ඇත්තේ කිසියම් කියවා ගැනීමක් පමණයි. කෙළවීමක් පිළිබඳ යම් කියවීමක් පමණයි.
ඒ වුනාට මම චිත්‍රපටයෙදී ගෝතමීට ඩෙස්මන්ඩ් කෙනෙක්ව මුණ ගස්වනවා. මගේ කෙළවගත්තු යාළුවො මට අසීමිතව ස්තුති කළා ඒ වැඩේට. 'ජීවිතේ අලුත් පටන් ගැනීම් තියෙනවා කියල උඹ කියනවා' කියලා ඔවුන් මට කීවා -සුභ පැතුවා. මගේ එක ඉන්දියානු මිතුරියක් මගෙන් පුන පුනා ඇහුවා කොහොමද ඒ දෙන්නා, ඒ කියන්නේ 'ගෝතමීට ඩෙස්මන්ඩ්'ව හමු උනේ, ඇයි ඒ කොටස මම පෙන්වන්නේ නැත්තේ කියලා. මම කිව්වා "එක උඹගේ අම්මගෙනුයි - තාත්තාගෙනුයි අහගනින් කියලා. පස්සේ කාලෙක එයා මාත් එක්ක තරහ උනා. ජීවිතේට ආපහු කතා කළේ නැහැ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා චිත්‍රපටයේ දල-රළු පිටපත බලලා මට කීවා, "Satyajit! I expected Gothami to kill herself, hang herself or throw herself at a running train. The man she marries, I expected him to be a lair. There could not be any salvation for her; she is a 'Joan of Arc' persona...that is her character arc...How come you save her?" කියලා. ඒත් මම එතුමාට ආදරෙන් සිංහල විහිළුවක් කළොත්..මෙන්න මේ වගේ කතාවක් කියාවි..."මානෙල් සුවඳමය - කුඩ මසු පිලී ගඳම ය...දෙකට එක දියමය' කියලා. ඔය විහිළුව කට්ටිය කොහොම කියව ගනීද මන්දා?
මේ සියලු වාරණය වීම්, බාධාකිරීම් ඇතුළෙත් ඔබ ‘බොරදිය පොකුණ‘ සමාජය මත පිහිටුවන්න උත්සහ කරන්නෙ ඉහත සඳහන් කෙරුණු ‘තුන් ඈඳුතු බෞද්ධ වෘතාන්තයක්' යන තේමාත්මක සන්දර්භයක රාමුගත කරලා. දාර්ශනිකව ගත්තම ඒක නිවැරදි වෙන්න පුළුවන්. නමුත් ඔබ දාර්ශනිකව පිවිසෙන්නෙ අති සරල කරන ලද 'බෞද්ධ සිනමාවක් කියලා දෙයක් ඇති වපසරියකට? මොකක්ද ඔබේ විග්‍රහය?
සරලයි. ඉතින් ඔය ගොල්ලෝ ඔහොම එන්න. මම මෙහෙන් එන්නම්. එච්චරයි.
‘බොරදිය පොකුණ‘ දීර්ඝ කාල පරාසයක් පුරා අතිශයින් විශාල සංකේත ප්‍රමාණයක් උසුළා ගන්නට ප්‍රේක්ෂකයාට සිදුවන වෙනස් අත්දැකීමක්. මෙවන් සංකේත රාශියක් එක නිර්මාණයක් හරහා සමාජගත කරන්න හදන එක මොන පැත්තෙන් බැලුවත් බර නැද්ද?
මට අනිත් අයගේ බර සැහැල්ලු කරන්න අමාරුයි. මට නිර්මාණ කරණයේදී කිසියම් විදියකට ඒ ගැන සවිඥානික වෙන්න, මානුෂික වෙන්න පමණයි පුළුවන්. ඕන නම් මට වෙළඳ අර්ථයෙන් සූක්ෂම විය හැකියි. ඒක සීමාසහිතයි.ඒ ඒ අය තම තමන්ගේ බරෙන් නිදහස් විය යුතුයි.බර දැනෙන්නේ අවිඥානිකව හෝ එය කියවා ගත්තොත් නේ. කියව නොගන්න කෙනාට, අනාදාල කෙනාට එය බරක් නොවේවි. කම්මැලි වෙන කෙනා නැගිටලා යාවි. මමත් එහෙමයි කම්මැලි හිතුනම. ඔලුව කැක්කුමක් නම් නැගිටලා යනවා.
කොහොම වුණත් බොරදිය පොකුණෙ මායාව දැන් ඉවරයි. ඒක දැන් හැමෝටම බලන්න පුළුවන්. ඔබේ මීළඟ නිර්මාණ ප්‍රවේශය මොකද්ද?
මම අවුරුදු පහළොවක් විතර මගේ දරුවා බිහි වෙනකන් බලාගෙන හිටපු අම්ම කෙනෙක් වගේ. අනිත් අයට දරුවෝ ලැබුනා, අකුරු කියෙව්වා, දැන් ඉස්කෝලේ යන ළමයි. ඒ අය අඬනවා , හිනාවෙනවා, රණ්ඩු වෙනවා,යාළුවෙනවා. මේ ඔක්කොම මට පෙනෙනවා. සමහරු අසනීපවලින් නැති උනා. සමහරු ජව සම්පන්නව කෙළිදෙලෙන් ඉන්නවා මට පේනවා. ඉතින් මම ගොඩක් දේවල් මෙහෙම බලාගෙන ඉන්දැද්දී දැක්කා.
මගේ ජීවිතය තුළත් සිදුවුන ආකාර - විප්‍රකාර ඒ අතරතුරේදී දැක්කා. අනිත් අයගේ කෝලම් - නාටකත් දැක්කා.
ජීවිතය කලාවට වඩා දැවැන්තයි. ඒක සාගරයක්. මම දිය දෝතක් ගත්ත. ඒක බෙදා ගන්න ඕනෑ. කලින් කරපු මෝඩ වැඩ, රැවටීම්වලින් ගැලවිලා ඒක සමාජගත කරන්න ඕනි.
මට හුඟක් බලපාපු මිනිස් චරිත එන්නේ, තියෙන්නේ…පෙරදිග හෝ අපරදිග නවීන සාහිත්‍යයේවත්, සිනමාවේවත් නෙවෙයි. පුරාණ බෞද්ධ සහ කතෝලික සාහිත්‍යයේ. බයිබලයේ සහ ත්‍රිපිටකයේ. ඒ, මහා මොග්ගල්ලාන (මුගලන් හාමුදුරුවෝ) අංගුලිමාල (ගග්ග මන්තානි පුත්ත), අම්බපාලි (බුදුන් දවස වෛශාලියේ ගණිකාව) ජුදාස් ඉස්කාරියත් (Judas Iscariot - ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙන ඔහුගේම ගෝලයා) සහ ස්නාවක ජුවාම් (John the Baptist -ක්‍රිස්තුස් වහන්සේව බෞතිස්ම කළ පෘතග්ජන මිනිසා) කියන අයයි. මම නිතරම ඔවුන් ගැන කියවනවා. හැමදාම මට අලුත් අලුත් දේවල් පෙනෙන්නට පටන් ගන්නවා.
ඔවුන්ගේ ජීවිත අති නාටකීයයි, විචිත්‍රයි, අති බිහිසුණුයි, ගැඹුරුයි. ඒවායේ අධ්‍යාත්මික වර්ණ හැඩ-තල අප්‍රමානිකයි. මගේ අලුත් කතා නායකයා, මේ චරිතවල අවිධිමත් සම්මිශ්‍රණයක් වගේ.
“He is very cosmopolitan: a modern day anti -hero, whose life is scary, hilarious and very dark."☐
© JDS