නවකතාවේ ප්‍රධාන චරිතය වූ සුජාතා ඔස්සේ ශ්‍රී ලාංකේය ගැහැනිය හඳුනා ගැනීමටත්, ඇගේ සිත කියැවීමටත් අවස්ථාවක් ලැබේ. ප්‍රධාන කරුණු කිහිපයක් මගින් එම හඳුනාගැනීම කළ හැකි ය.
(I) පුරුෂාධිපත්‍යය
(II) දිළිඳුකම
(III) පවුල් සබඳතා
(IV) ලිංගිකත්වය හා ආදරය
(V) සමාජ සම්මුති
ඉන්දියාව පුමුඛ ආසියානු උප මහාද්වීපයෙහි ගැහැනිය හැමවිට ම දෙවන තැන්හි ලා සැලකිණි. එය බුදුන් දවස පටන් පැවැත එන සම්ප්‍රදාය වේ. ලෝකය කෙතරම් දියුණු වී ඇතත්; මේ කලාපයේ ස්ත්‍රියට සමතැන් ලැබී නැත. ඇතැම්විට මූලික මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව ද ඇයට ලැබෙන්නේ නැත. ස්ත්‍රිය මුල් අවදියෙහි මාපියන් යටතේ ද තරුණ අවදියෙහි ස්වාමියා යටතේ ද, මහලු අවදියෙහි පුතුන් යටතේ ද කල් යැවිය යුතු ය. ඇයට ස්වෛරීත්වයක් නැත.
මේ කතාවේ එන සුජාතා බිම් අඟලකට හිමිකම් නො කියන, තමන්ගේ ම නිවහනක් නැති අසරණ දැරියකි. කොහු මෝලක මට්ටයන් ලෙස මාපියෝ කඹුරමින් සිටියෝ ය. පියා බේබද්දෙකි. ඔහු ගෙල වැලලාගෙන ජීවිතයෙන් සමුගනී. එවක් පටන් ඔවුන්ගේ ජීවිත කබලෙන් ළිපට වැටේ. සුජාතා පාසල් ගමන නතරකොට කොහු මෝලේ වැඩට යයි. ජීවිතය කෙතරම් දුෂ්කර ද යත්; සුජාතාගේ මවට වින්කල්කාරයකු සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීමට සිදු වේ. මේ සම්බන්ධය දෙස තරුණ සුජාතා බලන ආකාරය ඉතා සියුම් ය. අපේ තරුණියකගේ සිත කියැවීමට ඒ මගින් අවස්ථාව ලැබේ.
හයවන පරිච්ඡේදයෙහි එන සිදුවීම් මාලාව ස්ත්‍රිය, පුරුෂයා හා ලිංගිකත්වය පිළිබඳ සියුම් විවරණයක් සේ සැලැකිය හැකි ය. අම්මා හා වින්කල්කාරයා අතර සම්බන්ධය සුජාතා දෑසින් දකී. ඇය මුළු ජීවිතය ගැන ම අනුකම්පාවකින් හඬා වැටෙන්නීය. පසුව වින්කල්කාරයා ඇගේ කාමරයට රිංගයි. මේ සිදුවීම අම්මාට කියන්නේ කෙසේ ද?
“වින්කල්කාරයා ගෙට රිංගූ කතාව අම්මාට කිව යුතු ද? එසේ වුවහොත් ඊළඟට උදාවන තත්ත්වය කුමක් විය හැකි ද? ඔහු අම්මාට පහර දෙනු ඇත. ඔහු ඉවතට යන විට අම්මා ඔහු පසුපසින් දණගාගෙන යනු ඇත. හඬා වැටෙන අම්මාට පයින් ගහන වින්කල්කාරයා තහඩු බිත්තිය ගලවා දමනු ඇත. අම්මා බොරලු ගොඩේ වැතිර වැලපෙනු ඇත.”
“එවන් අවස්ථාවකට මුහුණ දීමට ශක්තියක් සුජාතා සතුව නැත.”
“ඇය නිල් උණ පඳුරට සියලු බර දී නිදහස් වුණා ය.”
(06 පරිච්ඡේදය ;පිටුව112)
මේ කතාව පුරාවට ම ඇත්තේ ස්ත්‍රී - විෂයයෙහි පවත්නා දුක - වේදනාව හා දරා ගැනීමයි. එහෙත් සුජාතාගේ චරිතය නිරූපණය වී ඇත්තේ යම් වීරත්වයක් ද සමඟ ය. ඇය බොහෝ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙනමුත් ව්‍යසනවල ගොදුරක් බවට පත්වන්නේ නැත. විධිමත් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව අහිමි වුව සුජාතා ජීවිතයෙන් හා පරිසරයෙන් ඉගෙන ගනී. ඇගේ සිතිවිලි සාම්ප්‍රදායික නැත. ඇය ජීවිතයේ අභියෝග භාර ගනිමින් යම් විප්ලවයක යෙදෙයි. ඒ ප්‍රචණ්ඩ ලෙස නො ව සාමකාමී ලෙස සෙමෙන් ය.
තරුණ සුජාතාගේ සිතුම් - පැතුම් මේ පොතෙන් කදිමට නිරූපණය වේ. ඈ පළමුව ආදරය කරන්නේ ඇගෙන් ම වැලි පහර කා දෑස් තුවාල කරගත් සුගතදාස නම් දඟකාර කොලුවාට ය. එහෙත් එම ආදරය අප්‍රකාශිත ය. සුගතදාස කොහු මෝලේ කරත්තයකට යට වී අකාලයේ මිය යයි. සුජාතා මුළු ජීවිතය පුරාවට ම තම අප්‍රකාශිත ප්‍රේමය වෙනුවෙන් විඳවයි. ලෝකයේ සෑම ගැහැනියකට ම මෙබඳු ප්‍රේමයක් තිබෙන්නට පුළුවන.
සුජාතාට දෙවනුව පෙම් කරන්නේ පියසේන ය. ඔහු ඇයට තෑගි කළ පබළු මාලය සුජාතා වෙතින් ප්‍රතික්ෂේප වෙයි. ඊළඟට එම පබළු මාලය වැටෙන්නේ සුජාතාගේ හොඳ ම යෙහෙළිය වූ ජානකීගේ ගෙලට ය. මේ මාලය දකින වාරයක් පාසා සුජාතාගේ කෝපය ඇවිස්සෙයි. තරුණියකගේ සිතෙහි ආදරය සම්බන්ධයෙන් මතුවන භය, සැකය, ඊර්ෂ්‍යාව හා කැමැත්ත කතුවරිය මනාව නිරූපණය කරයි.
කොහු මෝලේ මට්ටා පවුල්වල දුක්ඛිත ජීවිත නිරූපණය සඳහා කතුවරිය යොදන සංකේත නිදර්ශන හා නිරූපණ බෙහෙවින් ආකර්ෂණීය වේ. ඇතැම්විට ඒවා මගින් ජීවිතයේ සංකීර්ණ ස්වාභාව ය ද ප්‍රකට කෙරේ.
“මෙට්ටකාරයා ගැන සුජාතාට දුක සිතේ ඔහු. මේ උසුලාගෙන යන්නේ ඔහුගේ ම ජීවිතය නො වේ ද?”
(01-පරිච්ඡේදය - පිටුව ; 10)
“යන්ත්‍රයට මෙන් ම තාත්තලාට ද නැවතීමක් නැත. ඔවුන් කතා කළේ කලාතුරෙකිනි. බුලත් විටක් එදා හක්කේ තබා නිවී සැනසිල්ලේ හපා බලන්නට ඔවුනට වේලාවක් නැත.”
(02- පරිච්ඡේදය - පිටුව ; 34)
“සීනු නාදයත් සමඟ යන්ත්‍ර අසලට දිවඑන පණ ඇති යන්ත්‍ර කුහුඹුවන් සේ වැඩ අරඹති.”
(02 - පරිච්ඡේදය - පිටුව ; 42)
මේ කතාවේ එන යෙදුම් හා කථන කියවන විට ඊශ්‍රායල් ලේඛිකාවක වන යේල් දයාන් සිහියට නැඟේ ඈ විසින් 1964දී ප්‍රකාශයට පත් කරන ලද ‘DUST’ නම් කෙටි නවකතාවේ දී කාන්තාරය හා ජීවිතය එකට බද්ධ වේ.
“The city was yellow, and its substance was dust. Its pulse beat was infinity, and it was one year old. It had a name and an identity, it had meaning and shape, and it spreads in white and blue squares as far as the eye could see”
(Dust – page ; 136)
ගේල් දයාන් මේ කියන්නේ කාන්තාරයේ පිහිටුවන අලුත් නගරයක් ගැන ය. එහෙත් එහි යටි අරුත ජීවිතය හා සමාජය යි. අලුත් නගරයේ ඇත්තේ ද පරණ පිස්සු මිනිසුන් ම ය. ඔව්හු ජීවිතය සොයමින් හා ආදරය පතමින් ඔහේ කල් යවති.
සාර්ථක නවකතාකරුවා තමන්ගේ භූමිකා හා ඒ අවට පරිසරය එකට බද්ධ කරයි. පරිසරයේ සාධක සංකේත ලෙස යොදා ගනියි. ඒවායින් ජීවිතය පිළිබඳ අලුත් අර්ථ හා නිර්වචන නිපදවයි. සාම්ප්‍රදායික නවකතාකරුවා වටපිටාව පිළිබඳ වර්ණනා ඉදිරිපත් කරන අතර සූර නවකතාකාරයා පරිසරය හා චරිත ඒකාබද්ධ කරමින් ජීවිතයට අලුත් අර්ථ සපයයි. මානෙල් කරුණාතිලක දෙවන ගණයට වැටෙන නවකතාකාරියක ලෙස හඳුන්වා දෙන්නට කැමැත්තෙමු.
මානෙල්ගේ කතාවේ එන නිල් උණ පඳුර එක අතෙකින් ප්‍රබල සංකේතයකි. එය සොබාදාහම හෝ නීතිය හෝ වන්නට පුළුවන. ඇතැම්විට යුක්තිය, සාධාරණත්වය හෝ අදෘශ්‍යමාන බලවේගයක් හෝ වන්නට පුළුවන. කුමක් වුව මේ සමාජය තුළ ස්ත්‍රියගේ අඳෝනාව සාකල්‍යයෙන් ම භාර ගන්නට කෙනකු නැති බව කතුවරිය අපට කියයි. ඒ අතින් බලනවිට “නිල් උණ” යනු ස්ත්‍රීවාදී නවකතාවක් ලෙස ද කෙනකු හඳුන්වන්නට පුළුවන.
ස්ත්‍රීවාදී නවකතාව බිහිවූයේ ඉංග්‍රීසි සාහිත්‍යයෙන් ය. ධනේශ්වර සමාජය තුළ ආර්ථික, සාමාජික හා දේශපාලනික වශයෙන් ස්ත්‍රියට සිදුවන පීඩන පසුකාලීන ස්ත්‍රීවාදීන්ගේ ක්‍රමය වුව වර්ජිනියා වුල්ෆ් වැනි මුල්කාලීන නවකතාකාරියන් වෑයම් කරන ලද්දේ පුරුෂ සමාජයෙන් ස්ත්‍රියට සිදුවන අයුක්තිය විවරණය කිරීමට ය. ‘අ රූම් ඔෆ් වන්ස් ඕන්” වැනි ප්‍රබන්ධ ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේ වනවිට ස්ත්‍රීවාදී නවකතාව සෑම මහාද්වීපයක් කරා ම පැතිර ගොස් තිබේ. මාක්ස්වාදී විචාර කලාව නිසා මේ ප්‍රබන්ධ කථා විශේෂයට වැඩි ආකර්ෂණයක් ලැබුණු බව ද කිව යුතු ය.
චරිත නිරූපණය අතින් ද, භාෂාව හැසිරවීම අතින් ද කතුවරිය දක්වන ප්‍රවීණතාව බොහෝ දෙනකුගේ සැලකිල්ලට ලක් වනු ඇත. සුජාතා, සුජාතාගේ මව, පියා, කොහු මෝලේ සෙසු පවුල්, මුදලාලි, වින්කල්කාරයා, සමරසේන හා ඔහුගේ පවුලේ සෙසු චරිත ද කතාවේ අර්ථ සමඟ ගළපමින් විශ්වසනීය ලෙස නිරූපණය කෙරේ.
මෙහි ප්‍රධාන චරිතය වූ සුජාතා අපේ කාන්තා සමාජයට යම් පණිවිඩයක් ද ලබාදෙයි. එනම්; ඉවසීමෙන්, බොහෝ දේ දරාගැනීමෙන් පමණක් නොව නිවැරැදි තීන්දු හා තීරණ ගැනීමෙන් ද ගැහැනිය ස්වකීය ජීවිතය ජයගත යුතු බව ය. සුජාතා දුර්වල ගැහැනියක නො වේ. හැඟුම්බර හෝ ආවේගශීලී හෝ කාන්තාවක ද නො වේ. ඇයගේ සමාජ නිරීක්ෂණය නිවැරැදි ය. ඇගේ සැලැසුම් හා වැඩපිළිවෙළ ද නිවරැදි ය. එබැවින් සුජාතා සිය ජීවිතය යම් ජය කණුවක් කරා රැගෙන යන්නීය. හරි පැවැත්මක් ඇතොත්; ඕනෑම ගැහැනියකට ස්වකීය ජීවිතය ජයගත හැකි බ ව සුජාතා අපට කියා දෙයි.
සුජාතාගේ චරිතය ආදර්ශවත් ය. මේ ආදර්ශවත් චරිතය ඔස්සේ අපේ කාන්තාවට බොහෝ දේ උගත හැකි ය. කතුවරිය නවකතාව ඔස්සේ උපදේශන නො සපයන අතර යථාර්ථවාදී ලෙස චරිත හසුරවයි. මුළු නවකතාව පුරාම පවත්වාගෙන යන රිද්මය ඉතා වැදගත් ය. ආරම්භය ඉතා ආකර්ෂණීය වන්නා සේම සෑම පරිච්ඡේදයක් මුලට ම එකතු කර ඇති සංක්ෂිප්ත විවරණය කවියකට සමාන ය. එය සිංහල ස්වතන්ත්‍ර නවකතාවට එකතු කරන ලද අලුත් ම ශිල්පීය අංගයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන.
මේ නවකතාවේ ප්‍රධාන දුර්වලතාව වන්නේ එහි අවසානය යි. කතාව නිමාවට පත්කරන ආකාරය සිත්ගන්නාසුලු නො වේ. නවකතාවට සාර්ථක නිමාවක් ලබාදෙන ආකාරය මේ යැයි අපට කිව නො හැකි ය. එහෙත් මේ නිමාව අසාර්ථක බව පමණක් අපට පෙන්වා දිය හැකි ය.
රන්ජන් අමරරත්න
සිළුමිණ