වැලන්ටයින් විදින්නේ හදවතට නොව පොකැට්‍ටුවටයි

Published in අනං මනං
Monday, 09 February 2015 16:29
හිමාෂි   පෙබරවාරි 14 ළඟයි නේද හිටිගමන් ප්‍රින්සිපල් මගෙන් ඇහුවා. 
 
'ආ..ඔව් මැඩම්, මං මේ රෝස මලක් ගන්න විදිහක් හොය හොය හිටියේ. රෝස මල් නම් නැතත් කමක් නැහැ.
 
චොකලට් එකක්වත් කන්න විදිහක් හදා ගන්න ඕනේ. මම තොර තෝංචියක් නැතුව විහිලුවට කියවගෙන ගියා.'
 
'මොකක්?'
 
පාසලේ ප්‍රින්සිපල් මැඩම් ඇඟට පැන්නා. 'නැහැ මැඩම් විහිළුවක් කළේ. ඇයි මට කතා කළේ.?'
 
'දැන් හෙට වැලන්ටයින්නේ.. පොඩි කෙල්ලෝ කොල්ලෝ මල් චොකලට් මාරු කර ගනියි. ඔයයි තව ප්‍රිෆෙක්ස්ලා දෙන්නෙකුයි හෙට උදේම ගේට්ටුවේ ඉඳන් ළමයින්ගේ බෑග් චෙක් කරන්න ඕනේ.'
 
'මං...?'
 
'ඔව්, ඇයි?'
 
'නෑ නෑ මැඩම් මං චෙක් කරන්නම්.'
 
'අහුවෙන එවුන්ව මං ගාවට ගේන්න ඕන හරිද?'
 
'හරි මැඩම්.' අපි තුන් දෙනා උදේ පාන්දරම ගේට්ටුව ගාව ඉඳන් මුර කරන්න ගත්තා
 
"අනේ අක්කේ මැඩම්ට කියන්න එපා.."
 
සමහරක් ළමයි චොකලට් රෝස මල් පිටින් අහුවෙද්දි අපි ගාව වැළපෙන්න ගත්තා. ''හරි හරි චොකලට් එක දීලා  'මල' අරන් යනවා.''....
 
 
පාසල් කාලයේදී වැලන්ටයින් දවසට චොකලට් කාපු හැටි මතක් වුනා. 
 
මව්වරුන්ගේ දිනය, ළමා දිනය, ගැහුණු ළමයින්ගේ දිනය, මේ විදිහට සමරන දින ගොන්නට එකතු වෙන තවත් දිනයක් තමයි පෙම්වතුන්ගේ දිනය . එහෙමත් නැතිනම් “වැලන්ටයින්”  සමහරක්ගේ අයගේ හැඳින්වීම අනුව වැලන්ටයින් කියන්නේ “සංස්කෘතික ආක්‍රමණයක්” අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක ප්‍රතිලයක් විදිහට තමයි ලංකාවට වැලන්ටයින් ආවේ කියලා කියපු අයත්  හිටියා. 
 
තවත් සමහරුන්ට අනුව, ඒ කියන්නේ ඉන්දියාව වැනි රටවලට අනුව වැලන්ටයින් දිනය කියන්නේ ආගමික පරිහානිය කියාපාන දිනයක් බවටත් පත්වුණා. කොහොම වුණත් පෙබරවාරි 14 වැනිදා පිළිබඳ අප යමක් ලිවිය යුතුම වන්නේ මේ කාරණා දෙකම නෙමෙයි.
 
පෙබරවාරි 14 වැනිදාට දෙහිවල ගල්කිස්ස පැත්තේ කාමර පිරිලා. ලංකාව පුරාමත් එහෙමයි. වැටකෙයියා ගාලකට පයින් පාරක් ගැහුවොත් කපල්ස් දෙකක් තුනක් එයින් එළියට විසි වෙනවා. පෙම්වතුන්ගේ දිනය සමරන්නේ අන්න ඒ විදිහට. ලිංගික ආදරය  එහෙම තමයි.
 
ඒත් ආදරය හෝ ලිංගිකත්වය පිළිබඳ අපේ කොල්ලෝ කෙල්ලන්ට හරි හැටි අවබෝධයක් නැහැ.
 
 ඒ අතරෙම වැලන්ටයින් තවත් විදිහකට කියනවනම් ආදරවන්තයන්ගේ සාන්තුවරයාට මුවා වෙලා අදටත් බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වෙනවා.  අපිට තියෙන ගැටළුව අන්න ඒ දේ. 
 
කොහොම වුණත් වැලන්ටයින්ට කියන්නේ දුක හිතෙන පුරාවෘත්තයක්.
 
 ඉතිහාසයට අනුව 'දෙවැනි ක්ලෝඩියස්' කියන්නේ නරුම පාලකයෙක්. ක්ලෝඩියස්ට වුවමනා වුණා බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. ක්ලෝඩියස් කියන්නේ ජනතාව ආස නොකරපු පුද්ගලයෙක් නිසාම තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ.
 
මේ කාරණය ක්ලෝඩියස් තේරුම් ගත්තේ ඉතාමත් අමානුෂිය විදිහට. තරුණයින් තමන්ගේ බිරිඳට පෙම්වතියට තදින්ම ඇලුම් කරන නිසා හමුදාවට බැදෙන්න අකමැතියි කියලා ඔහු හිතන්න ගත්තා.  
 
ඒ නිසා ඔහු පැනෙව්වා නියෝගයක්. 'කසාද බැඳීම තහනම්!'
 
ඒත් මේ  නරුම කුරීරු අධිරාජ්‍යාට එරෙහිව එක් පුද්ගලයෙක් නැඟී සිටියා. ඒ තමයි 'වැලන්ටයින් පූජකතුමා'. ඔහු කසාද බඳින්න කැමති අයව ගෙන්නලා රහසින් කසාද බන්ඳවන්න තීරණය කළා.
 
වැඩි කාලයක් මෙහෙම රහසින් කසාද බන්දවන්න වැලන්ටයින් පූජකතුමාට හැකි වුණේ නැහැ. ක්ලෝඩියස්, වැලන්ටයින් පූජකතුමා හිරයට නියම කළා. ආගමික විශ්වාස අතහැර දාන්න යැයි බල කළා. මේ කිසිම දෙයකින් පූජකතුමා සැලුණේ නැහැ.
 
රෝමයේ තරුණ තරුණයින් හිර ගෙදරට මල් පොකුරු වීසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තා. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන්ගේ වීරයෙක් බවට පත්වෙන්නේ අන්න ඒ විදිහට.
 
ක්ලෝඩියස් හැම උත්සහායක්ම ගත්තා වැලන්ටයින් පූජකතුමාව ඔහුගේ අදහස් වලට එකඟ කර ගන්න. පහර පිට පහර දුන්නා. අවසානයේ ක්‍රි.ව 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පියතුමා ඝාතනය කෙරුණා. ඒ සුවහසක් රෝම පෙම්වතුන්ගේ දෑස් කඳුලින් තෙත් කරමින්.
 
රෝමයේ පුරාණ සිරිත් විරිත් අනුව “ආදරයේ දෙවඟන ජූනා” සමරන දිනය යෙදී තිබුණෙත් වැලන්ටයින් මුණිතුමා ඝාතනය කෙරුණු එදිනමයි. පෙම්වතුන්ගේ වීරයා වූ වැලන්ටයින් මුණිතුමා ඝාතනය කෙරුණු එදින සමරා පත්‍රිකා නිර්මාණය වුණා.
 
එහෙත් මේ වැලන්ටයින්, කොමර්ෂලයිස් වෙන්න පටන් ගත්තේ අද ඊයෙක නෙමෙයි.
 
19 වැනි සියවසේදී එනම්  1870 දි මැසචූසෙටිස් ප්‍රදේශයේ ජීවත් වුණ 'ඊස්තර් හොලන්ඩ්' කියන යුවතිය පිහාටු පබළු ආදියෙන් ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළේ විකුණන්න ගත්තා.
 
පෙබරවාරි 14දා විතරක් වැලන්ටයින් කාඩ් මිලියන බිලියන ගණන් තැපැල් කන්තෝරුවල ගොඩගැහෙනවා.
 
1969 වසරේදි  වැලන්ටයින් පියතුමා සාන්තුවරයෙක් ලෙස ද නම් කෙරුණා. එදා ඔහු ඝාතනය කළ දිනය සිහිපත් කරන 14 වැනිදා ආගමික ස්වරූපයක් ගත්තත් වත්මන වන විට එහි තිබෙන්නේ වාණිජමය ස්වරූපයක් විතරමයි.     
 
ෂේක්ස්පියර් ඔහුගේ "මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම්"  නාටකයේ මෙසේ ලියා තියෙනවා. 'ආදරය දකින්නේ දෑසින් නොව මනසෙනි. එබැවින් ආදරයට අධිපති මල්සරා සිත්තම් කර ඇත්තේ අන්ධ ලෙසිනි.'
 
වෙළඳපොළ ආර්ථිකයේ කේන්ද්‍රීය සාධකය  මිනිස් මනසයි. වෙළඳපොළ කතා කරන්නේ මිනිස් මනසටයි. එය විසින් සන්තර්පනය කර ගත නොහැකි වූ  මිනිසාගේ  ආශාවට උත්තර වෙළඳපොළෙන් සොයා දෙයි.  ආදරයත් අද වෙළඳපොළ භාණ්ඩයක් වන්නේ ඒ හේතුවෙනි, ඇත්තටම  සැබෑ ආදරය  සොයා දීමට අද වැලන්ටයින්ට නොහැකිය. ඔහු අද සෙල්ස් රෙප් කෙනෙකි.        
 
 
සටහන
 
හිමාෂි කරුණාරත්න   
 
 
(උපුටා ගැනීම ලක්බිම පුවත්පත )                                            
        
Last modified on Monday, 09 February 2015 16:48

ld add copy

Connet With Us