මෝස්තරකාර ජනාධිපති Featured

Published in Gossip
Monday, 09 March 2015 22:16

“..විලාසිතාව යනු අවලස්සන කෑලි එකතුවකි. එය හය මසෙන් හය මසට ඉවත් කළ යුතු තරමටම අවලස්සනය..” ඔස්කාර් වයිල්ඩ් විලාසිතා ගැන එසේ කියා තිබිණි.

මේ අවලස්සන කැලී කිහිපය එකතු කොට ගත් විට ඒ අනෙකෙකුගේ අවධානයෙන් ආකර්ශනයෙන් මිදෙන්නට නොහැකි වෙයි.

පසුගියදා අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එංගලන්ත සංචාරය අතර තුරදී ඔහු හීත්‍රෝ ගුවන්තො‍ටු පොළට ආවේ අපූර්ව විලාසිතාවකින් සැරසීලාය. ඒ එතරම් සුලබ නැති විලාසිතාවකි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විලාසිතා ගැන දැඩි කතා බහට ලක්වූයේ ජනාධිපති සටන අතර තුරය. ඒ ඔහු ජාතික ඇඳුමට උඩින් ඉන්දියානු පන්නයේ කබායක් පාවිච්චි කිරීමය. ඊට එරෙහිව ප‍ටු විවේචන එල්ල වූවද ඔහු එහි වර්ණය , මෝස්තර හා දිග පළල වෙනස් කරමින් පාවිච්චි කළේය. මීට කලකට පෙර ඔහු සාටකයක් පැලැඳියේය. ඒ නිල් පැහැ විය. එහෙත් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සාටකය වඩා ජනප්‍රිය වීම නිසාදෝ ඔහු ඒ අත් හැර දමා තිබිණි.

ජනාධිපතිවරණයට පෙර කාලයේදී සාමාන්‍ය සුදු පැහැති ජාතික ඇඳුම ප්‍රසිද්ධ උත්සව වලදී වැඩි පුර යොදා ගත්තද අන් බොහෝ තැන්වලදී ඉතා සැහැල්ලු හා වර්ණවත් ලෙස සැරසී සිටීම ඔහුගේ දිගු කාලීන පුරුද්දකි.

may3-fashion-2

මීට පෙර මෙරට සිටි රාජ්‍ය නායකයෝ බොහෝ විටම එකම 'යුනිෆොර්ම්' එකක් ලෙස ඇඳුම පාවිච්චි කළහ. ජේ. ආර්. ජයවර්ධන තරුණ අවධියේදී යුරෝපීය ඇඳුම පාවිච්චි කළද පසුව සාමාන්‍ය ජාතික ඇඳුම හැම විටම ඇන්දේය. ප්‍රේමදාස මහතාද බොහෝ විට ඇන්දේ සාමාන්‍ය ජාතික ඇඳුමයි. ඔහුගේ විශේෂත්වය වූයේ කෙස් ගසක්වත් අවුල් නොවුනු කොණ්ඩයය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියව නිතර දැක්කේ ඉන්දියානු සාරියෙනි. 1994 ජනාධිපතිවරණ සමයේදී ඇය ඔසරිය නිතර ඇඳීමට කටයුතු කළ අතර එකල ඈ ඉතා ආකර්ෂණීය චරිතයක් වුවාය. පසු කාලීනව ඇය සිය හිසකේ කොටසක් සුදු පැහැයකින් තබා ගැනීමට කටයුතු කළාය. ඉන්දියාවේ සිටි අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මියගේ ස්වරූපය ගැනීමට ඈ වෑයම් කළ බව පෙනෙන්නට විය.දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඈ කොන්ඩය කොටට කපා දැමුවාය.

රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කාලයේදී වරක් දෙවරක් ජාතික ඇඳුමෙන් සැරසුනද යුරෝපීය සම්පූර්ණ ඇඳුම හැරුණු විට ඔහුටම ආවේනික කලු කලිසමත් ඊට යටකර අඳින අත්දිග කමිසයත් නිතර යොදා ගනී. එම විලාසිතාව වෙනත් කිසිවකුගෙන් දකින්නට නොලැබෙන්නකි. එමෙන්ම ඔහු සිය කොණ්ඩයේ ස්වභාවික පැහැය වයසත් සමඟ වෙනස් වූවද ඒ වර්ණවත් කිරීමට කිසිදා උත්සුක වූයේ නැත.

මහින්ද රාජපක්ෂ ඉතා දීර්ග කාලයක සිට සිය පවුලේ උරුමයක් වන කුරහන් පැහැ සාටකය පලඳියි. එය ජාතික ඇඳුමටත් සරල සැහැල්ලු ඇඳුමටත් ඔහු යොදා ගත්තේය. විවිධ මෝස්තර රටා සහිත සැහැල්ලු ඇඳුම් ඇඳීමටද ඔහු ප්‍රිය කළ අයෙකි.එමෙන්ම සිය කොණ්ඩය හා ‍රැවුල තද කළු පැහැයෙන්ම තබා ගැනීමට ඔහු කටයුතු කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විලාසිතාවන් නිතර වෙනස් වීම අනෙකුත් රාජ්‍ය නායකයන් හා සැසදීමේදී විශේෂය. මන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා විලාසිතා තේරීමේදී අන් අයට වඩා හිතුවක්කාර හා නම්‍යශිලි බව පැහැදිලිවම පෙනෙන්නට තිබීමය.

විශේෂයෙන්ම අප වැනි විවිධ ප‍ටු අදහස් නිසා පසුගාමී වූ සංස්කෘතික භාවිතාවන් සහිත රටකදී දේශපාලකයකුට තම දේශපාලන ප්‍රතිපත්ති මෙන්ම ඇඳුම පැලඳුමද එම සංස්කෘතිකත්වය හා සමගාමීව යොදා ගැනීමට සිදුවේ. ඇතැම් විට මේ පසුගාමිත්වය ඇති කළේ ගෝත්‍රවාදී දේශපාලකයන්ම විය හැකිය. මේ නිසා ජාතිය, ආගම, කුලය මෙරට දේශපාලනයේදී වැදගත් සාදකයන්ය. අගමැති බණ්ඩාරනායක යුරෝපීය ඇඳුම ගලවා ජාතික ඇඳුමට බැස්සා මෙන්ම මෙරට බොහෝ දේශපාලකයන් ජාතික ඇඳුමට බැස්සේ ඒ නිසාය. සම්පූර්ණ යුරෝපීය ඇඳුමටද මෙරට යම් තරමක පිළිගැනීමක් වේ. ඒ ශිෂ්ඨසම්පන්න ඉංග්‍රීසි කතා කරන සුද්දාගේ ඇඳුම බැවිනි. නමුත් දේශපාලනයේදී ඇතැම් ඡන්දදායකයකුගේ ගෝත්‍රික කෑල්ලක් අදත් නිරායාසයෙන් එළියට පනී. ‍රැවුලට පවා වටිනාකමක් තිබේ. රැවුල්කාරයකු දිනවිය යුතු බවට මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන්නේ එබැවිනි.

ඒ කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ එතරම් වැදගත් නැති බව ඔහු අනුගමනය කරන විලාසිතාවන් අනුවම පෙනේ. ඔහු වැනි ගෝත්‍රවාදී මානසිකත්වයෙන් අත් මිදුනු පාලකයකු සිටීම රටේ වාසනාවකි. ඔහු මේ වන විටත් විලාසිතාවේදී මෙන්ම දේශපාලනයේදීද ඉතා නම්‍යශීලී පාලකයකු බවද පෙන්වා තිබේ.

වරක් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පැවසුවේ සිංහලයා ජාතියක් ලෙස වඩාත් සමීප වෙන්නේ ඉන්දියානු උප මහද්වීපිකයාට නොව යුරෝපීයයාට බවය. ඊට හේතුව ඕනෑම සංස්කෘතියක් වැලඳ ගැනීමටත් ඒ ඉවසීමටත් සිංහලයාගේ ඇති නම්‍යශීලත්වය බවය. අද රට කරවන්නේත් එවැනි නියම සිංහලයෙකු බව හැඟේ.

- විලාසිනී

may3-fashion-4

Last modified on Monday, 09 March 2015 22:21

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us