සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක් Featured

Published in Gossip
Friday, 05 April 2024 20:17

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ විවාදය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන රූපවාහිනි සභාපති සුදර්ශන ගුණවර්ධනට දැනුම් දී ඇතැයි දැනගැනීමට ඇත.

පසුගිය බදාදා දින ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී මෙම විවාදය පිළිබඳ ඇතිවුණ කතා බහ අතරේදී මෙම දැනුම් දීම සිදු කර ඇත. මෙරට රූපවාහිනි නාලික අතරින් ලංකාව පුරා වැඩිව ආවරණයක් ඇත්තේ ස්වාධීන රූපවාහිනී සේවාවටය. මේ අනුව මෙම විවාදය රටේ බහුතරයකට දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

එහිදී, “සජබේ කතා කෙළේ ජාජබේ ආර්ථික කමිටුවයි එයාලගේ ආර්ථික කමිටුවයි දෙගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරමු කියලායි. හැබැයි දැන් ජාජබේ කියනවා මේ විවාදය කරන්න ඕනේ අනුර හා සජිත් කියලා.” ඇමති ප්‍රසන්න රණතුංග කීවේ සිනහ මැදය.

“හැබැයි ඉස්සෙල්ලා පක්ෂ දෙකේ ආර්ථික කමිටු කතා කරලා ඉවර වෙලා නායකයෝ කතා කරමු කියලා තමයි සජබ කියන්නේ. ජාජබෙ නම් ඒකට කැමති නෑ.” ඇමති ශෙහාන් කීවේ එවැන්නකි.

“හැබැයි මේක අනුර හා සජිත් කළොත් ඓතිහිසික විවාදයක් වෙන්න පුළුවන්. මොකද දෙන්නගෙම බර වචන ජනතාවට තේරෙයිද දන්නේ නෑනේ.” මන්ත්‍රී මධුර කී විට සැමට සිනහව නතර කර ගත නොහැකි වූහ.

“හැබැයි අපේ ජනාධිපතිතුමාගේ කතාව නෑ වැඩ විතරයි.” ඇමති මනූෂ කීවේ බර කරමිනි.

“චැනල් ගණනාවක් ඔවුන්ගේ නාලිකාවේ විවාදය පෙන්වමු කියලා ආරාධනා කරනවා. රජයේ මාධ්‍ය නිහඩයි.” මන්ත්‍රී දොලවත්ත කී විට ජනපති රනිල් සාගලට කීවේ අයි.ටි.එන් සභාපතිට කතා කර මෙය කියනා ලෙසය.

සාගල වහාම ස්වාධින රූපවාහිනියේ සභාපති සුදර්ශනට කතා කොට ඔවුන්ගේ නාලිකාවේ මෙය විකාශය කිරීමට ආරාධනා කරන්නැයි කීවේය.
නාලිකාවට එන්න බැරි නම් ඔවුන් කියන තැනකට සිය කැමරා ආම්පන්න රැගෙනවිත් සජිවී විකාශයක් ලැහැස්ති කිරීමට හැකිබව පවසන්නැයි ද” සාගල උපදෙස් දුන්නේය.

සිහල දමිල අවුරුද්දට පෙර මෙම විවාදය නරඹන්න හැකි නම් එය මහත් ප්‍රයෝජනයක් වනු ඇතැයි එහි සිටි බහුතරයකගේ අදහස වූවේය.

මේ අතර, ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ රත්නපුරය බලා ගියේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඉදිකළ මැණික් කුළුණ විවෘත කිරීමටය. එහිදි චාමර සම්පත් ඇමතිවරයා ජනපති ලගට පැමිණ කීවේ සජිත් එක්ක විවාදයට නම් යන්න එපා කියාය.

“මට නෙවෙයි ආරාධනා කරලා තියෙන්නේ අනුරට. මේක විපක්ෂයේ ප්‍රශ්නයක්.” ජනපති කීවේ සිනාසෙමිනි.

Last modified on Friday, 05 April 2024 20:34

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us