ජනපති කෙරෙහි ඇතැම් භික්ෂුන්ගේ විරෝධයට හේතුව කුමක්ද? Featured

Published in Gossip
Tuesday, 09 February 2021 13:10

පසුගිය ජාතික නිදහස් දින උලෙළ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයෙහි අවධාරණ කරනු ලැබු වැදගත් කරුණක් වූයේ තමන්ව බලයට පත් කිරීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව සහයෝගය දැක්වූ නමුත් පෞද්ගලික සහ ව්‍යපාරික වුවමනාවන් වෙනුවෙන් එලෙස සහයෝගය දැක්වූවන්ගේ ඉල්ලීම් අනුව කටයුතු නොකරන බවය.

මේ කතාව යළි අප විසින් අවධාරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති තනතුරට පත්කිරීම වෙනුවෙන් සහය පළ කරමින් ඒ වෙනුවෙන් විශාල ලෙස සක්‍රීය දායකත්වය සැපයූ යම් යම් පිරිස් මේ වෙන විටත් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි මත වපුරමින් සිටිම දැකින්ට ලැබීම නිසාය. මෑතක සිට විශේෂයෙන්ම එලෙස කටයුතු කරන ව්‍යපාරිකයන් සහ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම කටයුත්තේ දිගින් දිගටම නියැලී සිටී.

මේ අතර එක්තරා ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් ජනාධිපතිවරයා නිදහස් දිනය දා කළ ප්‍රකාශයම අල්ලාගෙන ඔහුට එරෙහිව දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළේ භික්ෂුවකට නොගැලපෙන තරම් බස් වහරක් යොදාගෙනය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතා පහත් තැනැකට ඇද දමමින් මේ භික්ෂුව කීවේ ' අම්මාගේ වස්ත්‍රය තමයි' කියාය.

ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීම වෙනුවෙන් මේ රටේ සිංහල බෞද්ධ ජන විඤ්ඤානය අවධිකරමින් දැඩි වෙහෙසක් ගත් මේ භික්ෂුව මෑතක සිට එලෙස අදහස් ප්‍රකාශයට පත් කිරීමට හේතු භූත වූ කරුණු කාරණා සොය බැලීමේදී දැනගැනීමට ලැබුණේ ඖෂධීය එතනොල් වර්ගයක් ගෙන්වීමේ ටෙන්ඩරයකට අනුමැතිය ලබා දීම සිදු නොවීම නිසා මේ භික්ෂුව යක්ෂාවේෂ වී ඇති බවය. 2020 වසරේදී මෙරටට අවශ්‍ය ඖෂධීය එතනෝල් ගෙන්වීම වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක පමණ වටිනාකමකින් යුතු මෙම ටෙන්ඩරය මෙම භික්ෂුවට සම්බන්ධතා ඇති සමාගමක් මඟින් ඉල්ලා තිබේ. නමුත් එම ටෙන්ඩරය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් ඒ කෙසේ හො ලබාගැනීම වෙනුවෙන් මෙම භික්ෂුව දේශපාලන අධිකාරියේ ඉහළ පුද්ගලයන්ට බලපෑම් කර ඇති මුත් ඒ නොලැබිනි. මේ භික්ෂුව, ජනාධිපතිවරයා සහ ඔහුට සමීප යැයි හැඟෙන මැති ඇමැතිවරු, නිලධාරීන් සතුරන් කරගත්තේ ඉන් පසුවය.

පසුගිය වසරේ මැයි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහිම සභාපතිවරුන් කැඳවා උපදෙස් දී තිබුණේ, අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළයුතු බවත් ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කර සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බවත්ය. එසේම ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස ද උපදෙස් දී තිබිණි.

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා දෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවය. එහි සභාපතිවරයා වන වියත්මග සංවිධානය ද නියෝජනය කරන, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉලක්කකර අවලාද ව්‍යාපාරයක් දියත් වන්නේ ද අදාල භික්ෂුවට මෙම ටෙන්ඩරය නොලැබීමේ වෛරය පිරිමහ ගැනීමටය.

එතෙකින් නොනැවතී එලෙස තම ව්‍යපාරික හා පෞද්ගලික වුවමනා එපාකම් ඉ‍ටු කරගැනීමට උත්සහ කර එය නොහැකි වූ ව්‍යාපාරිකයන් සහ වෙනත් පිරිස් මේ භික්ෂුව හා දැන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනාධිපතිවරයාට එරෙහි මඩ අවලාද ගැසීමේ සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම කණ්ඩායම තුල තමන්ට වාසියක් නොවුණු ජාතික ව්‍යාපාර සංවිධායකයන්, භික්ෂූන් පිරිසක්ද, ප්‍රබල මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකුද වෙයි.

කොහොම නමුත් තම තමන්ගේ කූට ජාවාරම් හෝ පෞද්ගලික වාසි ලාභ මත දේශපාලනික කටයුතුවලට මැදිහත් වන දුෂ්ශීල භික්ෂූන් සහ ජාවාරම්කාර ව්‍යපාරිකයන් වර්තමානය වන විට රටට ලොකු පිළිලයක් වීම පැහැදිලිවම දකින්නට තිබේ. ආණ්ඩු පත්කිරීමට, පෙරැළීමට මේ දුෂ්ඨ බලවේගයන් ශක්තිමත් වී සිටීමේ ආදීනව රටට රහසක් නොවේ. හැමදාම ආණ්ඩු අමාරුවේ දැන්මේ මේ පිරිස්ය. කොහොම නමුත් අවසානයේදී ලොකුම හානිය සිදු වනු ඇත්තේ මේ රටේ ජනතාවටය. ජනාධිපතිවරයා ඊට ඉඩක් නොතබන බව නිදහස් දිනයේ කළ ප්‍රකාශය මේ දුෂ්ඨ බලවේග වල වෛරය උත්සන්න කිරීම හේතුවී ඇති බවත් පැහැදිලිය.

-the novemberist

Leave a comment

ld add copy

Connet With Us