මහින්දගේ කොලේ වහලා ගැහිල්ල ගැන.. මහාචාර්ය සූරි රත්නපාල පෙන්වා දෙයි

Published in පුවත්
Monday, 03 December 2018 14:19

ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ඔස්ට්‍රේලියාවේ වයිට්ලම් රජය විසුරුවා හැරීමේ සිදුවීම සමඟ සන්සන්දනය කිරීමේ දී තත්වය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විධායක ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව බරපතල වැරදි අවබෝධයක් පවතින බව පෙනී යන කරුණකි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ ජනාධිපතිවරයාට සිය ධුර කාලය තුළ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. ( 19 වන සංශෝධනය අනුව වසර හතර හමාරකින් පසු) ඒ අනුව යමින් ජනාධිපතිවරයා විසින් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අභියෝගයට ලක් කිරිම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති මූලිකම ප්‍රශ්නයයි.

මේ සම්බන්ධයෙන් මා දරන අදහස මා වෙනත් අවස්ථාවකදී ප්‍රකාශ කර තිබේ. මෙම සටහනේ අරමුණ වන්නේ තවත් මතබේදාත්මක කරුණක් නිරවුල් කිරීමයි. ගරු මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රකාශයේ 1975දි ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති ගාෆ් වයිට්ලම් ඉවත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පූර්ව නිදර්ශනයක් ලෙස ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශය ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ සඳහන් අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීම හා සම්බන්ධ විධිවිධාන බරපතල ලෙස වරදවා වටහා ගැනීමක් ලෙස සඳහන් කළ හැකිය. වයිට්ලම් මහතා ඉවත් කිරිම සම්බන්ධ කරුණු කටුක හා මතබේදයට තුඩු දෙන දේශපාලන තත්වයකි. ඒ සියල්ල මෙහි සටහන් කිරීම අතිශය සංකීර්ණ වනු ඇත. නමුත් මෙම ඉවත් කිරීම හා විසුරුවා හැරීම සඳහා ආසන්නතම හේතුව වූයේ පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඒ වන විටත් අනුමැතිය ලැබී තිබූ විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් සඳහා අනුමැතිය ලබා දිම සෙනෙට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 57 ව්‍යවස්ථාවේ සඳහන් ද්විත්ව විසුරුවා හැරීම සහ මැතිවරණයට සම්බන්ධ කරුණු අනුව යමින් අග්‍රාණ්ඩුකාර ජෝන් කෙර් අගමැති වයිට්ලම්ට විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් සුරක්ෂිත කර ගත නොහැකි එනම් සම්මත කළ නොහැකි ආණ්ඩුවක් ඉවත් විය යුතු බවට උපදෙස් දුන්නද එය අසාර්ථක විය.

ඉන් පසුව අග්‍රාණ්ඩුකාරවරයා විසින් විපක්ෂ නායක මැල්කම් ෆ්රෙසර්ගෙන් පහත කරුණු සහතික කර ගත්තේය. ඒ ඔහු භාරකාර අගමැති ලෙස පත් කළහොත් එම වගකිම් ඉටු කරන බවට සනාථ කර ගනිමන්ය.

1) ආරක්ෂාව සම්බන්ධයෙන් විසර්ජන පනත් කෙටුම්පත් සෙනෙට් මණ්ඩලය හමුවේ අනුමත කර ගන්නා බවට වග බලා ගැනීම.

2) මන්ත්‍රි මණ්ඩල දෙකම විසුරුවා හැර මහ මැතිවරණයක් සඳහා යොමු වීමට අග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දීම.

3) සිය භාරකාර කාලය තුළ රජයේ පත් කිරීම් සම්බන්ධ ප්‍රතිපත්ති ඒ අයුරින්ම පවත්වාගෙන යන බවට සහතික වීම .

මෙකි සහතික කිරීම් වලින් සමන්විතව අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති වයිට්ලම්ව ඉවත් කළ අතර භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ෆ්රේසර් ව පත් කර මන්ත්‍රී මණ්ඩල දෙකම විසුරුවා හැරියේය. මෙසේ ආයතන දෙකම විසුරුවා හැරිය හැකි වනුයේ ඔස්ට්‍රේලියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 57 ව්‍යවස්ථාව යටතේ පමණි.

මීට අමතරව වයිට්ලම් රජය යටතේ පැවති තවත් අස්ථාවර පනත් කෙටුම්පත් මෙම ද්විත්ව විසුරුවා හැරීම සඳහා හේතුකාරක විය. මෙහිදි ඔස්ට්‍රේලියාවේ වයිට්ලම් සිද්ධිය හා ශ්‍රී ලංකාවේ වර්තමාන වියවුල සම්බන්ධයෙන් වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කරුණු හා නීති කිහිපයක් සඳහන් කිරීම මෙහිලා වැදගත් වේ.

1. සාම්ප්‍රදායික වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ රාජාණ්ඩුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලබා දීමේ තත්වය වැරදිසහගතය. අවම වශයෙන් 19 වන සියවසේ මුල් භාගයේ සිට රාජාණ්ඩුව අගමැතිගේ උපදෙස් ලබා ගැනීමෙන් සීමා වූ අතර අගමැතිවරයා ගේ බලය සම්මුතිය මගින් සීමා කරන ලදි.

කෙසේ වෙතත් එක්සත් රාජධානියේ කිරීටය සතු අභිමත බලය 2011 ස්ථාවර කාලීන පාර්ලිමේන්තු පනතේ 14 වන වගන්තිය මගින් ඉවත් කරන ලදී.

 

ඒ අනුව මෙම පනත මගින් පස් වසරකට පත් වන ව්‍යවස්ථාදායකය විසුරුවා හැරිය හැකිවන්නේ :

(අ) රජය තවදුරටක් පවත්වාගෙන යා නොහැකි බවට විශ්වාස භංගයක් ගෙන ඒමෙන්.

(ආ) ව්‍යවස්ථාදායකය විසින් සිදු කරන විසුරුවා හැරීමේ ඉල්ලීමක් එකී ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වීමෙන්,

 

1. ශ්‍රී ලංකාවේ 19වන ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඉහත කොන්දේසි දෙක ඔස්සේ සීමා කර තිබේ.

2. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 වගන්තිය අනුව අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අග්‍රාණ්ඩුකාරවරයාගේ අභිමතය යටතේ සේවය කරයි. නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට එවැනි බලයක් නොමැත.

ඔහු හෝ ඇය අග්‍රාමාත්‍යවරයා තෝරා ගත යුත්තේ ව්‍යවස්ථාදායකයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා ලෙස වන අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීම ද සිදු කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවටම පමණි.

3. වයිට්ලම් රජය මෙන් නොව වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ සහාය ලබාගෙන ඇති අතර රජයේ පුනරාවර්තන වියදම් සඳහා සුරක්ෂිත අනාගත අරමුදල් ලබා ගත හැකි බව සනාථ කර තිබේ.

4. ශ්‍රී ලංකාව යනු වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ සම්භාව්‍ය පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති රාජ්‍යයක් නොවේ. ඒ අනුව ජනාධිතිපතිවරයාට පරමාධිපත්‍ය බලයක් හිමි නොවේ. ඔහුගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථෘවේ අනු ව්‍යවස්ථා සහ වගන්තිවලින් සීමා වී තිබෙන බව නිරීක්ෂණය කිරීමේදි කිව යුතුය.

මහාචාර්ය සුරි රත්නපාල

ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය

ඔස්ට්‍රේලියානු නීති ඇකඩමියේ සාමාජික

නීතිඥ - ශ්‍රී ලංකාව

(පරිවර්තනය : සුපුන් භාග්‍යා වීරකෝන්)

............................................................................................................................. 

 

මහාචාර්ය සූරි රත්නපාල විසින් මීට පෙර පවතින ව්‍යවස්ථා අර් බුධ්ය ගැන කළ පැහැදිලි කිරීමක්

රනිල් වික්‍රමසිංහව අස්කිරීම, මහින්ද රාජපක්ෂව පත්කිරීම සහ
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි ය

මහාචාර්ය සූරි රත්නපාල

නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි.

1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද?

2. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, මහින්ද රාජපක්ෂව අගමැති ධුරයට පත්කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද?

3. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යැයි කියමින් 2018 නොවැම්බර් 9 වැනි දා ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශය ව්‍යවස්ථාවට අනුකූල ද?

1. අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත.

අගමැතිවරයාව පත්කිරීමේ බලය ඇති තැනැත්තාට ඔහුව ඉවත් කිරීමේ බලයත් ඇතැයි යන තර්කය සාවද්‍ය ය. වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය යටතේ හෝ ලංකාවේ ව්‍යවස්ථාව යටතේ හෝ එවැනි බලයක් ජනාධිපතිවරයාට හිමි නොවේ. මේ තර්කය ගොඩනගා ඇත්තේ ජනාධිපතිවරයාගේ කැමැත්ත යටතේ අගමැතිවරයා පවතින්නේය යන වැරදි අවබෝධය මතයි. සාමාන්‍ය පොදු නීතිය යටතේ වුවත්, සේවයට ගන්නා සේවකයෙකු ඉවත් කිරීමට පවා සේවායෝජකයාට අයිතියක් ලැබෙන්නේ, රැකියා කොන්ත්‍රාත්තුවේ සහ ඊට අදාළ නීතිරීතිවලට යටත්ව පමණි.

අගමැතිවරයාගේ ධුර කාලය අපේ ව්‍යවස්ථාවේ 46 (2) යටතේ මෙසේ දැක්වෙයි:

(අ) අග්‍රාමාත්‍යවරයා, ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ මිස,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම නතර වී ඇත්තේ ද නැත. මරණය නිසා ඔහුගේ ධුරයේ පුරප්පාඩුවක් සිදුවී ඇත්තේ ද නැත.

දැන් ඉතිරි වන ප්‍රශ්නය වන්නේ, ඇමති මණ්ඩලය පවතින්නේ ද නැත් ද යන්නයි. ඒ කාරණය, අපේ ව්‍යවස්ථාවේ 48 (1) සහ (2) වගන්තිවලින් පැහැදිළි කර දී ඇත.

48 (1): පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට, 70 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය...

(2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජණ පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළහොත් එවිට ද, ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය...

යළි සඳහන් කළොත්, මරණය නිසා හෝ ඉල්ලා අස්වීම නිසා හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය අහිමි වීමක් නිසා හෝ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වී නැත.

අනිත් අතට, පාර්ලිමේන්තුව පවතින තාක් කල් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ,

(අ) ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කෙරුණොත්,
(ආ) විසර්ජණ පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කෙරුණොත් හෝ
(ඇ) ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත්
පමණි.

ඉහත කී කිසි දෙයක් මෙතෙක් සිදුව නැත. වික්‍රමසිංහ මහතාගේ ධුරය අහිමි කෙරෙන කිසි ව්‍යවස්ථාමය සිද්ධියක් ඇති වී නැති තත්වය තුළ ඔහු අගමැති වශයෙන් තවදුරටත් සිටින අතර, ඒ නිසාම අගමැති ධුරයේ පුරප්පාඩුවක් සිදුව නැත.

තව සඳහන් කළ යුතු දෙයක් තිබේ. වර්තමාන පාර්ලිමේන්තුව ව්‍යවස්ථානුකූලව විසුරුවා හැරීමක් සිද්ධ වුවත්, ව්‍යවස්ථාවේ 47 (1) වගන්තියේ සඳහන් පරිදි, වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය භාරකාර ආණ්ඩුවක් වශයෙන් එක දිගටම පවතිනු ඇත. එබැවින්, මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා වශයෙන් පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත.

 

2. ව්‍යවස්ථාවේ සිංහල පඨිතය යොමු වන්නේ ද එම නිගමනයටම ය.

වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා පදනම් කරගන්නේ, ව්‍යවස්ථාවේ 48 (1) වගන්තියේ සිංහල පඨිතයයි. එය වලංගු තර්කයක් නොවේ. අගමැතිවරයා ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින්’ යනුවෙන් එම සිංහල පඨිතයෙන් කියැවෙයි. ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීම’ යන්න අදාළ වන්නේ, ව්‍යවස්ථාවට අනුකූලව ඉවත් කිරීම යන්නටයි. ව්‍යවස්ථාවට අනුකූලව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සිදුවිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා පමණි. ඒ කෙසේද යත්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් සම්මත කර ගැනීමෙන් හෝ පමණි.

එබැවින්, ව්‍යවස්ථාවේ සිංහල පඨිතයේ සඳහන් යැයි කියන අර්ථයෙන් පවා ජනාධිපතිවරයාගේ ක්‍රියාවට වලංගු භාවයක් නොලැබේ.

3. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදැයි කීම (උද්දේශිත විසුරුවා හැරීම)

2018 නොවැම්බර් 9 වැනි දා ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ යැයි කියැවේ. මේ ප්‍රකාශනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් ප්‍රමාණයක් සැලකිල්ලට ගැනීමෙන් පසුව, 2018 දෙසැම්බර් 7 වැනි දා දක්වා එම ප්‍රකාශනය බලපැවැත්වීම අත්හිටුවීමට 2018 නොවැම්බර් 13 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබේ. ඒ සම්බන්ධයෙන් වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සලකා බැලීමට දෙසැම්බර් 4. 5, සහ 6 යන දිනයන් යොදාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ප්‍රකාශනය, කෙලින්ම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය උල්ලංඝණය කිරීමකි. එහි සඳහන් වන්නේ මෙසේ ය:

70 (1): “ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය.

එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.”

තමන්ව විසුරුවා හරින්නැයි පාර්ලිමේන්තුව ඉල්ලීමක් කර නැත.

ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය ප්‍රකාරව, පාර්ලිමේන්තුව ‘කැඳවීමට, වාරාවසාන කිරීම සහ විසුරුවා හැරීමට’ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. එහෙත් එය පරම බලයක් නොවන අතර, ඒ බලය ජනාධිපතිවරයා අභ්‍යාස කළ යුත්තේ ව්‍යවස්ථාට අනුකූලව ය. ඒ අනුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවාගෙන ඇති ආකාරයට ව්‍යවස්ථාවේ ඉහත සඳහන් 70 (1) වගන්තිය අනුව ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබේ.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්, ව්‍යවස්ථා අර්ථ නිරූපණ පිළිබඳ වැදගත් පූර්වානුමිති දෙකක් අදාළ කර ගත හැකිය.

ඉන් පළමුවැන්න වන්නේ, සාමාන්‍ය විධිවිධානය විශේෂ විධිවිධානයෙන් නිදහස් වන්නේ නැති බවයි. වෙනත් වචනවලින් කිවහොත්, සාමාන්‍ය විධිවිධානය, ඒ විෂයට අදාළ විශේෂ විධිවිධානය මගින් පාලනය කෙරෙන බවයි. ඒ අනුව, ව්‍යවස්ථාවේ 33 (2) සහ 70 වැනි වගන්තිවල සඳහන් පොදු විධිවිධානයන්, 70 (1) විශේෂ විධිවිධානය මගින් පාලනය කොට සීමා කෙරේ.

දෙවැන්න වන්නේ, කලින් තිබූ පටහැනි පැනවුමක්, පසුව ඇති කර ගත් පැනවුමකට යටත් වන බව ය. 70 (1) වගන්තිය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පසුව ඇති කර ගත් පැනවුමයි. ඉන් පැහැදිළිවම අපේක්ෂා කරන ලද්දේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට එතෙක් තිබූ බලය වෙනත් කොන්දේසියකට යටත් කොට, සීමා කිරීමයි.

4. නීතිපතිවරයාගේ තර්කයේ හරයක් නැත

2018 නොවැම්බර් 13 වැනි දා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පහත සඳහන් තර්ක ගොනු කර ඇති බව වාර්තා විය.

“19 වැනි ව්‍යවස්ථාවේ කිසි විධිවිධානයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොකෙළේය. ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීමක් කළ යුතුව තිබුණේ ජනමත විචාරණයක් හරහා ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොකෙළේ ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීමක් ඒ මගින් සිදු නොවුණු නිසා ය. විධායක බලතල සෝදාපාළු කළ නොහැක. එවැන්නක් සම්මත කර ගත හැක්කේ ජනතාව ඡන්දයක් පාවිච්චි කිරීමෙනි.

ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීමක් නොවීම හේතුවෙන්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමස්තයක් වශයෙන් ගත් විට ජනමත විචාරණයක් අවශ්‍ය නොකළ තත්වයක් තුළ, ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය වෙනම ගෙන කියැවිය නොහැක.”
(2018 නොවැම්බර් 13 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත)

මෙය හර සුන් තර්කයකි.

2015 අප්‍රේල් 1, 2 සහ 6 යන දිනයන්හිදී ශ්‍රේෂ්ඨාධිකරණය 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සලකා බලා සිය තීන්දුව දුන්නේය. මේ කෙටුම්පතේ දීර්ඝ උද්ධෘතය යටතේ එහි සඳහන් වුණේ ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය සඳහා වන සංශෝධනයක් යනුවෙන් නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දු කිරීමට තිබූ එකම ප්‍රශ්නය වුණේ, ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව මේ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කරන්නේ ද යන්න පමණි. (129 අතුරු විධානය (අ) වගන්තිය). මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.

එදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ පෙත්සම්කරුවන් ඉදිරිපත් කෙළේ ද අද නීතිපතිවරයා ඉදිරිපත් කරන තර්කයමයි. එනම්, ජනාධිපතිවරයාගේ විධායක බලය, ජනමත විචාරණයකින් තොරව, සීමා කළ නොහැකිය යන්නයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ තර්කය සලකා බැලුවේය. අවසානයේ එම තර්කය ප්‍රතික්ෂේප කෙළේය.

ඊට කලින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණි අවස්ථාවේ, ‘ව්‍යවස්ථා සභාවක්’ පිහිටුවීම මගින් ජනාධිපතිවරයාගේ අභිමානුසාරී බලය සීමා වීම පිළිබඳ ප්‍රශ්නය අධිකරණය සැලකිල්ලට ගත්තේය. ඉහළ තනතුරුවලට පත්වීම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අභිමතයට විලංගු ලෑම, ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති මගින් ස්ථාපිත කොට ඇති ජනතා පරමාධිපත්‍යය සමග අනුකූල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තීන්දු කෙළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණි අවස්ථාවේ තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගරු විනිශ්චයකාරවරු, ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය මගින් ස්ථාපිත කොට ඇති, පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා වගකිව යුතු වීම යන කාරණය අවධාරණය කළහ. එහිදී ඔවුහූ මෙසේ කීහ: “ව්‍යවස්ථාව කියැවිය යුත්තේ සමස්තයක් වශයෙන් අරගෙන නිසා, 4 (අ) වගන්තිය කියැවිය යුත්තේ ද 42 වැනි වගන්තියේ අර්ථයට අනුගත වෙමිනි. පැහැදිළිවම, ආණ්ඩුවේ වෙනත් ආයතන මගින් පාලනය නොවන, සීමා බන්ධන නැති විධායක බලයක් වශයෙන් ජනාධිපතිවරයා කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභිලාෂය නොවීය.”

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය ව්‍යුත්පන්න වන්නේ, පැරණි රාජකීය පරමාධිකාරියෙනි. අතීතයේ එය සීමා කෙරුණේ චාරිත්‍ර සම්මතයෙන් පමණි. නූතන විධායක බලයේ ස්වභාවයට එය අයත් නොවේ. එක්සත් රාජධානියේ, ඕස්ටේ්‍රලියාවේ, නවසීලන්තයේ සහ කැනඩාවේ මේ විධායක බලය සැලකෙනු ලබන්නේ අවශේෂ රාජකීය බලයක් වශයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය සීමා කිරීම සේම, එම බලය පාර්ලිමේන්තුවට පැවරීමම, ජනතා පරමාධිපත්‍යය නංවාලීමකි.

5. නිගමනය

ඉහත සඳහන් හේතු නිසා,

(අ) අගමැති ධුරයෙන් වික්‍රමසිංහ මහතාව ඉවත් කරනු ලැබූවේ යැයි කියන ක්‍රියාව ව්‍යවස්ථානුකූල නැත.
(ආ) රාජපක්ෂ මහතාව අගමැති වශයෙන් පත්කරනු ලැබුවේ යැයි කියන ක්‍රියාව ව්‍යවස්ථානුකූල නැත.
(ඇ) 2018 නොවැම්බර් 9 වැනි දා නිකුත් කරන ලද ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ යැයි කියන ක්‍රියාව ව්‍යවස්ථානුකූල නැත.

(සූරි රත්නපාල, ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි)

2018 නොවැම්බර් 19 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ
Sacking RW, Appointing MR & Dissolution of Parliament are Unconstitutional
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

..............................................................................................................................

මහින්ද රාජපක්ෂ ඊයේ කළ නිවේදනයේ මහාචාර්යවරයා ප්‍රශ්න කරන කොටස

1978 ව්‍යවස්ථාවේ, පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාල සියලුම ප්‍රතිපාදන සඳහන් වුණේ 19 වෙනි
සංශෝධනයට පෙර තිබුණු 70(1) වගන්තියෙයි. ඒ වගන්තිය අහෝසි කරලා නම් තියෙන්නෙ, අද
ආණ්ඩුවක් රාජාසන කතාව පැරදුනත්, අයවැයක් පැරදුනත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත
වුනත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නෑ.
ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ලෝකයේ
පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයොයි. ඒ වගේ
රටවල පවා, සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍යයේ ඒ.වී. ඩයිසි කියන නීති විශාරදයා
කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා
හැගෙනවනම්, රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා. 1975 දී
ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා, තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විට්ලම්ව ධූරයෙන්
නෙරපලා මහ මැතිවරණයක් කැදෙවුවා.


ඒ වගේම ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් කියලා තියෙනවා පාර්ලිමේන්තුව
විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දීය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදු විය යුතු
බව. ඉන්දීයාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත
ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 දී
පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්‍ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී.ගිරි ඉන්දීය
පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 දී සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච
අරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා.

එහෙම වුණේ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නෙ ඍජුවම ජනතාව
විසින් ඡන්දයෙන් පත් කරන විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු
කල නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙනවා.

Last modified on Monday, 03 December 2018 14:34

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us