මහ මුහුදක දිය බිඳුවක් තරම් විතර වටින අපේ ජීවිතවලට, ලෝකයටත්, අපිටත් බරක් නොවී ජීවත්වන්නේ කෙසේද කියා බුද්ධ ධර්මයෙන් කියාදෙයි. අප සැබෑ බෞද්ධයෝ නම්, ධර්මයේ කියා දෙන ආකාරයට පටු භෞතික තණ්හා අතහැර, සසරෙන් එතරවෙන්න අවශ්‍ය මානසික සංයමය හිතේ ඇතිකරගත යුතුයි. බෞද්ධ දේශයක් කියා හඳුන්වන ලංකාවෙ මෙතරම් වටින බුද්ධ ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය ගැනෙන්නෙ නැත. බුද්ධ ධර්මයට ලැබියයුතු අවධානය අද ලංකාවේ ලැබෙන්නෙ බුද්ධාගමටයි.
“බුද්ධාගම” බුද්ධ ධර්මයට හාත්පසින්ම වෙනස්.
ආගම භයානකයි
ආගම වනාහි අපට මනුෂ්‍යයින් ලෙස උප්පත්තියෙන් ලැබී ඇති, අපගේ ක්‍රියාවන්ට අප සතු වගකීමේ හා වගවීමේ හැකියාව පසෙකලා අදෘශ්‍යමාන, අධිමානුෂික පාලන බලයකට යටත් නීතිරාමුවක අප ජීවිත පාලනය කිරීමට අවස්ථාව ලබාදීමයි.
මතුපිටින් බැලූ කල ආගමේ කියන්නට තරම් වැරැද්දක් නැත. ජීවිතේ කටුකබව, අමිහිරිබව වගේම, විටෙකදී දරාගත නොහැකිතරම් වන සුන්දර බව ද විඳදරාගැනීමට අවශ්‍ය සංයමය අප තුළ ඇතිකරගන්නට විවිධ මෙවලම් ලෝකය විසින් අපට ලබා දී ඇත. කලාව, ආදරය, මත්පැන්, බලය, මත්ද්‍රව්‍ය, ක්‍රීඩාව, සූදුව… මෙවලම් ලැයිස්තුවට නිමක් නැත. ආගමත් ඒ මෙවලම් ලැයිස්තුවට අයත් වේ.
පදනම් කරගන්න දර්ශනය කොතරම් වෙනස්වුණත්, සියලු ආගම් භාවිතා කරන රාමුව බොහෝ දුරට එකමයි. “මාගේ දර්ශනය ලොව උතුම්ම දර්ශනයයි, මාගේ ශාස්තෲවරයා/ දෙවියා උතුම්ම ශාස්තෲවරයා ය/ දෙවියා ය. මාගේ දර්ශනයේ අනුගාමිකයකු වීම ස්වර්ගයට යෑමට/ නිවන් දැකීමට ඇති එකම මගයි. මාගේ ආගම පිළි නොපදින්නෝ පවුකාරයෝය, ඔවුන්ට මාගේ ලෝකයෙ ඉඩ නැත.”
ආගම් හැදෙන රාමුවත් ත්‍රස්තවාදී සංවිධාන පදනම් කරගන්න රාමුවත් අතර බියජනක සමානතා තිබේ. ත්‍රස්තවාදී සංවිධානයක් බිහිවීමට අවශ්‍ය සියලු සාධක, ආගම තුළ දැකිය හැක. ඇමරිකාවෙ වෙස්ට්බොරො බැප්ටිස් පල්ලිය පටන්, මැදපෙරදිග ISIS, ඊසාන දිග මියන්මාරයේ විරතු හිමිගේ 969 දක්වා ලෝකය පුරා, ඉතා සූක්‍ෂම හා කාර්යක්ෂම ලෙස ආගම පදනම් කරගත් ත්‍රස්තවාදී ව්‍යාපාර සාදාගත හැකි වූයේ මේ සාධක නිසාය.
ව්‍යවස්ථාවට ආගමක් කුමටද?
බුද්ධාගමට තැනක් ව්‍යවස්ථාවේ ලබාදෙන්න ඕනේ කියන අයගේ මූලික තර්කය ලංකාවේ අනන්‍යතාවයට බුද්ධාගම අත්‍යාවශ්‍යයි කියන එක.
මම සතුන්ට හිරිහැර කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, කියන සුපිරි බොරු පහේ පදනම මතයි ලංකාවේ බුද්ධාගම හැදෙන්නේ. ඇත්තටම ලංකාවේ ඔය පන්සිල් පහම රකින මිනිස්සු සීයට පහක්වත් ඉන්නවද? මස්මාලු නැති කොට දානෙ වලඳන්නෙ නැති හාමුදුරුවො ඉන්න, බොරුවෙන්ම ජීවත් වෙන දේශපාලනඥයො වැහි වැහැපු, සිල්ලර බඩු කඩේ ලාච්චුවෙ සිට මහ බැංකුව වෙනකම්ම හොරකම් සිද්ධ වෙන, පාසැල් ළමුන් කාලේ ඉඳන් පටන් ගන්න මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිරුණු රටක අනන්‍යතාවය තුළ ඇත්තටම බුද්ධාගමට ඉඩ තිබේද?
මම එසේ කියන විට ඔබ පෙරළා අසන්නට පුලුවන්, මේ ප්‍රශ්න රටේ තියෙන නිසාම නේද ව්‍යවස්ථාවට ආගමක් අවශ්‍ය කියා. මෙය ජනප්‍රිය තර්කයක් වුණත්, මට ඒ තර්කයේ දුර්වලතා බොහොමයක් පෙනේ.
එක: ආගමට ව්‍යවස්ථාවේ හිමිවෙන තැන රටක විනය ඇතිකරන්නට සාධක වෙනවා නම්, මෙතරම් කාලයක් බුද්ධාගමට ප්‍රමුඛතාව දුන්න ව්‍යවස්ථාවක් තිබ්බ රටක් වංචාව, දූෂණය, මතට ඇබ්බැහීවීම අතින් මෙච්චර අගාදයකට වැටුනේ කෙසේද?
දෙක, ආගමේ නාමයෙන් සිදුවන දූෂණය, හොරකම, අනුගාමිකයින් දේශපාලන වාසීන් සඳහා හැසිරවීම, දේශපාලන හැලහැප්පීම් මේ ප්‍රශ්න තවත් උත්සන්න කරනවා නොවේද?
තුන: සංඝයාට සමාජයේ සියල්ලදත් පඬිවරයාගේ තත්ත්වය ලබාදීම තාත්විකද? ගිහියන්ට හාත්පසින්ම වෙනස් දිවිපෙවෙතක් ගතකරනා භික්‍ෂු භික්‍ෂුණීන්ට, ගිහි ජීවිතයේ අපි මූණදෙන සංකීර්ණතා ගැන දැනුමක් තිබේද? පවුල් ජීවිතයේ, රැකියාවේ, සමාජයේ මුහුණ දෙන ඉතා බැරෑරුම් ප්‍රශ්නවලට ගිහි අපි, සංඝයාගෙන් පිළිතුරු ඔවදන් බලාපොරොත්තුවීම සාධාරණද?
බුද්ධාගම හුදෙක්, බුද්ධ ධර්මයේ පහනින් එළිය බලන හෙන්චයියෙකි. කෞතුකාගාරයක තිබිය යුතු නටබුනකි. මානව විද්‍යාව, ඉතිහාසය වැනි විෂයයන්හි ශාස්ත්‍රාලික විශ්ලේෂණය සඳහා ඇති වටිනාකමින් ඔබ්බට ගිය අවශ්‍යතාවක් අද සමාජයේ ආගමට නැත.
බුද්ධාගමට රටේ ප්‍රමුඛත්වය දිය යුතුයි කියන බොහෝ දෙනෙකු සොයන්නේ තමන්ගේ කියන්නට දෙයකි. ඔවුන් ආගම දකින්නේ පිලක් ලෙසය. තමන්ගේ කියා අනන්‍යතාවක් සාදාගැනීමට අපහසු වූ කලි, තමා සම්බන්ධකම් කියන සමාජ සංවිධානයකට තම සහය ප්‍රකාශ කරන ඔවුන් ඒ තුලින් මේ දැවැන්ත විශ්වය තුල ඔවුන්ට දැනෙන අනාරක්ෂිතබව යම්තාක් දුරට අඩු කරගනී. මේ තුලින ඔවුන් පන්තිවාදයක් ඇති කරගෙන, ඒ පන්ති අරගලයේ ඉහල මාලයේ පිලට ඔවුන්වම ඇතුල් කර ගනිති. මෙය සංස්කෘතිකවාදයේ ලක්ෂණයකි. සංස්කෘතිකවාදය විවිධ මුහුණුවර ගනී. කුඩාකල තමා ඉගෙනගත් පාසලද මේ සංස්කෘතික පිල් බෙදීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් කර ගැනීමට නූතන සංස්කෘතිකවාදියා සමත් වී ඇත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති විශමතා ප්‍රයෝජනයට ගනිමින් පන්ති භේදයක් ඇතිකර ගැනීම තම පුද්ගලික අනාරක්ෂිතබාවය වසා ගත හැකි මෙවලමක් බව ඔවුන් හදුනාගෙන ඇත.
සංස්කෘතිය වනාහි සියලු මානුශික හා විද්‍යාත්මක තර්ක මියදෙන්නට යන ගැඹුරු ළිදකි. එම ළිදෙහි සිටින මැඩියාට ළිද වටා ඇති තාප්පය පණටත් වඩා වටී. ඒ තාප්පය මත වැවෙන පාසි, වල් පැලෑටි මැඩියාගෙ ලෝකයේ දෙවිවරුය. එම දෙවියන්හට රටේ ව්‍යවස්ථාවේ ප්‍රමුඛත්වය දියයුතුබව මැඩියාගේ විශ්වාසයයි. මැඩියාගේ පැත්තෙන් බැලූ විට එය සාධාරණ ඉල්ලීමකි.
ආගම ගැටලු සහගතයි
ව්‍යවස්ථාව වනාහි රටක් පාලනය කිරීමට අවශ්‍ය මූලධර්ම ඇතුළත් වූ ලේඛනයකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට භාවිතා කළ හැකි මූලික මෙවලම ද ව්‍යවස්ථාවයි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආගම අතිනත යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස “the seperation of church and state” නොහොත් ආගම සහ රාජ්‍යයේ වෙන්වී කටයුතු කිරීමේ අතිශය වැදගත්කම දේශපාලන විද්‍යාවේ කියාදෙන්නේ මේ නිසයි. ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදයේ 12 වන වගන්තියේ සඳහන් වන සියලු ජාති, ආගම්වල සියලු පුරවැසියන් සතු සම අයිතීන් හා සම තැන, දෙවන පරිච්ඡේදයේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමෙන් ව්‍යවස්ථා වගන්ති අතර එකිනෙකට පරස්පරසහගත තත්ත්වයක් මතුකරයි.
සම අයිතීන් ගැන කතාකරන විට බුද්ධ ධර්මයේ නැති ලිංගවාදී, කුලවාදී සංකල්ප බොහොමයක් ලාංකීය බුද්ධාගමේ තිබේ. කොටින්ම කිවහොත් ඒකීය රාජ්‍යයක් ඉල්ලන ලාංකීය සංඝරත්නය පවා තදබල ලෙස බෙදීගිය කුල-පන්ති (නිකාය) පද්ධතියක සිරවී කටයුතු කරති. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක ආගම රජයට ඇගිලි නොගසයි. දශක ගණනක් පුරා රැවුලත් සමග කැඳ බීපු අපහට දැන් තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත: වතිකානුවේ මෙන් පූජක පක්‍ෂයට රජය කරගෙනයාමට භාර දෙනවාද, නැතිනම්, අවංකවම ප්‍රජාතන්ත්‍රවාදී, ආගම් ජාති නොතකා සියලු මිනිසුන්හට සමතැන දෙන ව්‍යවස්ථාවකට යටත් නූතන දේශයක් තනනවාද බැවු තීරණය කල යුතුවේ.
ඥානසාරගෙන් මෛත්‍රිය ඉගෙන ගන්නට, සමන්ත්‍රභද්‍රගෙන් අල්පෙච්ඡතාවය ඉගෙන ගන්නට තරම් අන්ධ වූ අපේ බුද්ධාගම කෙරෙහි ඇති භක්තිය, බුදුන් දෙසූ ධර්මයට අපහාසයකි. බුද්ධාගමට නව ව්‍යස්ථාවේ ප්‍රමුඛත්වය දුන්නහොත්, ආගම තවදුරටත් දේශපාලනීකරණය කෙරෙනු ඇත.
බුද්ධාගමට නව ව්‍යවස්ථාවේ ඉඩක් දීම බුද්ධ ධර්මයට කළ හැකි ලොකුම නිග්‍රහය යි.
- තිසුරි වන්නිආරච්චි
*තිසුරි වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ ලාබාලතම රාජ්‍ය සම්මාන ලාභී ලේඛිකාවයි.
උපුටා ගැනීම : www.colombotelegraph.com