රාජ්‍ය අංශය මැදිහත්වී ආධාර කරන විට ඒ සඳහා විධිමත් සහ පාරදෘශ්‍ය වැඩපිළිවෙලක් තිබිය යුතු බව ඇත්තය. ඒ ගැන වාදයක්ද නැත. නමුත් ගැටළුව වන්නේ මේ ජනතාව මේ මොහොතේ පත්ව ඇති අති දුෂ්කරතාව නොසළකා ඉදිරිපත් කරන කොන්දේසිය.
මිනිසුන්ට රාජ්‍ය අංශය දෙස බලා වේලක් කන්න නොහිතෙන තරමට මේ යෝජනා, කොන්දේසි අප්‍රසන්නය. අති අමානුෂිකය.
සීතල කාමරවල සිට තීන්දු තීරණ ගන්නා සුදු කරපටි රස්සා කවදත් අප වැනි රටවල කටයුතු කරන්නේ එසේය. මන්ද ඔවුන් මහජන සේවය පිණිස රාජ්‍ය සේවයේ වැටුප් ලැබුවත් නොසිතන්නේම මහජන සුභ සිද්ධිය ගැනය. මන්ද ඔවුන් මහජන සේවය පිණිස කියාගෙන (රාජ්‍ය සේවකයින් සේවය කරන්නේ මහජනතාවට කියන ගොබ්බ අදහසේ අප නැත) ජනතා බදු මුදලින් රාජ්‍ය සේවයේ වැටුප් ලැබුවත් නොසිතන්නේම මහජන සුභ සිද්ධිය ගැනය. ඔවුන්ට මඟ පෙන්වන්නට ඉන්නා මාර ජනතා පුත්‍රයින් කියාගන්නා උදවියද එසේමය.
එහෙයින් මහත්වරුණි, රටම ව්‍යසනයකට පත්ව ඇති මොහොතේ ඔය අම්බරු තීරණ වෙනුවට, රාජ්‍ය සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් යොදවා විපතට පත් පාර්ශව සම්බන්ධව ලැයිස්තු සකස්කළ නොහැකිද? එසේම තක්සේරු නිලධාරීන් ඒ පෙදෙස් වෙත යවා නිවැරදි තක්සේරුවක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අකැපද? කරුණාකර මේ මිනිසුන් සිටින සහ ඔවුන් මුහුණදී ඇති අභාවාචී ඉරණම දෙස මානුෂීයව බලන්න. ඔවුන් පොලිසි වලට කැඳවන්නේ තම නැතිවූ ඥාතීන්ගේ අවසන් කටයුතු කරන්නටත් පෙරද? ඔවුන්ට අඳින්නට වස්ත්‍රයක්, බොන්න වතුර ටිකක් හෝ අවම ජීවන පහසුකම්ද නැති වග ඔබලා නොදන්නවාද? එසේම ජීවිත කාලයක් පුරා ඉපයූ දේ විනාශව ගිය කළ ඒ මානසිකත්වය ගැන ඔබලාට මානුෂීය අදහසක් නැද්ද? එහෙයින් මීට වඩා මානුෂීය සහ දියුණු යාන්ත්‍රණයක් සකස්කර මේ මිනිසුන්ව නැවත සිය සුපුරුදු ජීවිත වලට එක්කළ යුතුව ඇත.