එමෙන්ම විගණකාධිපතිවරයා විසින් ඒ වන විටත් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිය විමර්ශන ආරම්භ කර තිබිණි. එම වාර්තාව නිකුත් කිරීමටත් පෙර මෙම ගනුදෙනුව සිදු කිරීමට දේශපාලන අධිකාරිය හදිසි විය. ඒ කෙසේ නමුත් මෙම ටෙන්ඩරය ස්විස් සිංගප්පූරු සමාගමටම ලබා දීමේ තක්කඩි උත්සාහය විගණකාධිපතිවරයාගේ වාර්තාව තුළින් මේ වන විට රටටම හෙළිදරව් වී තිබේ.
විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේ ඉතා පැහැදිලිව මෙම ටෙන්ඩරය ස්විස් සිංගප්පූරු සමාගමටම ලබා දීම සඳහා ගෙන තිබෙන තක්කඩි ක‍්‍රියාවලිය අනාවරණය කර ඇත. ඒ අනුව ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් අඩංගු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහය - 2006 සහ ඊට පසුව එකතු කරන ලද සංශෝධන උල්ලංඝනය කර තිබෙන බව පෙන්වා දී ඇත. මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීමේ දී අනුගමනය කළ යුත්තේ එම මාර්ගෝපදේශ සංග‍්‍රහය බව 2014 සැප්තැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබිණි. නමුත් වත්මන් යහපාලන ආණ්ඩුවේ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය සහ එම ටෙන්ඩර් කමිටුව එම උපදෙස් පිළිපැදීම සිදු කර තිබුණේ නැත.
එමෙන්ම මෙම දූෂිත ටෙන්ඩර් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී ටෙන්ඩරය අවලංගු කර අලූතෙන් ටෙන්ඩර් කැඳවන ලෙස ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීන්දු කර තිබූ අතර ඒ අනුව කටයුතු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය ද එවකට තීන්දු කළ නමුත් පසුව අමාත්‍ය මණ්ඩලය ද නොමඟ යවමින් වැරැදි තොරතුරු ඉදිරිපත් කර විදුලිබල ඇමැතිවරයා යළි ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද සමත්ව තිබිණි. ඒ අතරතුරේ දී මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් අනෙක් සමාගමක් විසින් පැවරූ මූලික හිමිකම් නඩුවක දී ශ්‍රේෂ්ඨාධිකරණය (නඩු අංක SCFR394/2015) මෙම ටෙන්ඩරය කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් ප්‍රදානය කර තිබෙන බව පෙන්වා දුන්නේය. එහි දී අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය මෙම නඩුව මහජන මුදල් සම්බන්ධයෙන් වන නිරීක්ෂණයක් ලෙස සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හදවත කම්පා කළ බවය. මෙම ගල් අඟුරු ටෙන්ඩරය අහෝසි කොට නැවත ටෙන්ඩර් කැඳවීම සිදු කළ හැකි බව ද එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇත.
එසේ තිබිය දී වත්මන් ගල් අඟුරු වෙළෙඳපොළේ මිලට වඩා 11%ක් වැඩිපුර මිලකට නොරොච්චෝල වෙත මිලදී ගැනීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සිදු කළේය. එමඟින් රටට බිලියන 2.2 කට ආසන්න පාඩුවක් සිදු විය හැකිව තිබූ බව එවකට ලැබුණු තොරතුරු අනුව සඳහන් වූව ද විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව එය බිලියන 4 කට ආසන්නය.
මෙම විමර්ශනය සඳහා විගණකාධිපතිවරයාට ලබා දිය යුතු ඇතැම් වැදගත් ලියවිලි පවා ලබා නොදීමට වගකිවයුත්තන් කටයුතු කර තිබුණු අතර එමඟින් ද සනාථ වන්නේ මෙම ගනුදෙනුවේ දූෂිත බව මිස වෙනෙකක් නොවේ.
මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණය අනුව ද මෙය රටට අලාභදායක බවත් එවකට ලෝක වෙළෙඳපොළ මිල ගණන් ශීඝ‍්‍රයෙන් පහත බසිමින් තිබිය දී එහි වාසිය රටට අත්පත් කර නොගැනීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දී තිබිණි. එසේම වසර තුනක් වැනි දීර්ඝ කාලයකට එම ටෙන්ඩරය ලබා දීම මඟින් විශාල පාඩුවක් රටට සිදු වන බවත් පෙන්වා දී ඇත. එහෙත් ඒ අනුව වෙනස්කම් සිදු කළ බවට අමාත්‍ය මණ්ඩලය නොමඟ යැවීම සිදු කර එම ටෙන්ඩරය අදාළ සමාගමටම ලබා දීම සිදු කර ඇත. එහි දී ගණිත විජ්ජා රැසක් පෙන්වීය. අදාළ සමාගම පෙරදී ගල් අඟුරු මෙටි‍්‍රක් ටොන් 1 ක් සඳහා ලබා දුන් ඩොලර් 68.72 වෙනුවට ගල් අඟුරු මෙටි‍්‍රක් ටොන් 1 ක් මිලදී ගන්නා මුදල අමෙරිකානු ඩොලර් 58 කට අඩු කළ බව පෙන්වමිනි. එහෙත් මෙහි දී අදාළ සමාගමේ වාසියට සකසනු ලැබූ මිල සූත‍්‍රයක් යොදාගෙන සමාගමට අධිලාභයක් ලැබෙන සේ සටකපට උපක‍්‍රමයක් යොදාගෙන තිබිණි. ඒ අනුව සමාගමට කිසිදු අවාසියක් සිදු නොවුණි. මෙහි දී නිශ්චිත ඒකකයක් ලෙස ඩොලර් 58 ක් යොදා ගන්නේ 2015 සැප්තැම්බරයේ දී ජාත්‍යන්තර මිල දර්ශකය වන API4දර්ශකය අනුව පැවැති ඩොලර් 51.85 මිලට සාපේක්ෂවය. එසේම මෙම දර්ශකයේ මිල මාසයෙන් මාසයට අඩු වැඩි වීම සිදු වීම මත දීර්ඝකාලීනව නිශ්චිත මිලක් පවත්වාගෙන යාම අසීරු වේ. ඒ අනුව මේ දීර්ඝකාලීන මිලදී ගැනීමේ දී දෙපාර්ශ්වය සඳහාම සාධාරණ ක‍්‍රමවේදයක් සකසා ගැනීමේ පදනම මත යැයි කියමින් මෙම සමාගමෙන් මිලදී ගන්නා ගල් අඟුරු මිල තීරණය කිරීම වෙනුවෙන් මෙම මිල සූත‍්‍රය විදුලිබල මණ්ඩලය විසින් නිර්මාණය කරනු ලැබීය. එහි සම්පූර්ණ වාසිය හිමි වූයේ සමාගමටය. (මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මීට පෙර සත්හඬ කලාපයක පළ විය.)
ලෝක වෙළෙඳපොළෙහි ඒ ඒ මාසවල දී පවතින මිල ගණන් අනුව ගල් අඟුරු මිලදීගත හැකි ලාභදායක ක‍්‍රමය වන්නේ ක්ෂණික මිලදී ගැනීමය. එහෙත් රටට අධික පාඩුවක් වන බව දැන දැනම දීර්ඝකාලීන ක‍්‍රමය යටතේ මෙම සමාගමටම මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීමට ගත් දැඩි උත්සාහය තුළ මිලියන ගණනක අත යට ගනුදෙනුවක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් මතු වීම වැළැක්විය නොහැකිය. නමුත් එම සැකය දුරු කළ හැකි වන්නේ ඇමැතිවරයාටත් එම ලේකම්වරයාටත්ය. එහෙත් ඔවුන් මෙතෙක් ඊට අපොහොසත්ව සිටී. එසේ නම් මේ සැකය දුරු කර ගැනීමේ මීළඟ පියවර විය යුත්තේ මේ කාරණය මූල්‍ය අපරාධ කොට්ඨාසයට භාර දී සාධාරණ විමර්ශනයක් සිදු කිරීමය.
ස්විස් සමාගමෙන් මෙම මිලදී ගැනීම සිදු කිරීම නිසා මෙටි‍්‍රක් ටොන් එකකින් ඩොලර් 9 කට ආසන්න මුදලක් වැඩිපුර ගෙවීමට සිදුව තිබේ. ස්විස් සිංගප්පූරු සමාගම මඟින් 2015.11.16 වන දින සිට 2016.03.28 වන දින දක්වා මිලදී ගෙන තිබෙන ගල් අඟුරු ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 1,064,724 කි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ අපේ‍්‍රල් මාසය දක්වා ද එවැනිම හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මෙම සමාගම හරහා මිලදී ගැනීම මේ වන විට සිදු වෙමින් පවතී. මේ දූෂිත ටෙන්ඩරය මෙම සමාගමට ලබා දීමට ගත් උත්සාහයේ දී මෙටි‍්‍රක් ටොන් එකකින් එක් ඩොලරය බැගින් කොමිස් මුදල් ලැබුණත් එය ඩොලර් මිලියන ගණනක් වන බව පැහැදිලිය. මෙය මහා ඉල්ලමකි. ඒ ඉල්ලමෙන් කවුරු කෙසේ වාසි අත්පත් කර ගන්නවාද යන්න අපි දන්නේ නැත. නමුත් ඒ වෙනුවෙන් ගෙවන්නේ රටේ ජනතාවගෙන් අත්පත් කර ගන්නා බදු මුදල්ය. ගැටලූව ඇත්තේ එතැනය.
මෙම දූෂිත ගනුදෙනුව ගැන විගණකාධිපති වාර්තාව මඟින් සිය නිරීක්ෂණ සහ නිගමනයන් පැහැදිලිව දක්වා ඇත. එහි දී අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූල නොවන ලෙස අනුමැතියෙන් තොරව කටයුතු කිරීම ද පැහැදිලිව හඳුනාගෙන තිබුණි.
එමෙන්ම ප්‍රසම්පාදන මාර්ගෝපදේශය උල්ලංඝනය කළ අවස්ථා ගණනාවක් පෙන්වා දී ඇත. මෙම ගනුදෙනුවට අදාළව වී තිබූ බරපතළ කාරණය වූයේ මෙහි දී අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගමට එම ටෙන්ඩරය ප්‍රදානය නොකර 5 වන ස්ථානයේ සිටි ස්විස් සිංගප්පූර් සමාගම සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ වාසියට ටෙන්ඩර කොන්දේසි වෙනස් කිරීමට මෙම ප්‍රසම්පාදන කමිටුව ගෙන තිබූ තක්කඩි පියවරය. ලන්සු විවෘත කළ අවස්ථාවේ සිට කොන්ත‍්‍රාත්තුව ප්‍රදානය කරන අවස්ථාව දක්වා ලංසු පිළිබඳව වන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් කිසිදු ලන්සුකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වීමට ප්‍රසම්පාදන කමිටුවට අවසරයක් නොමැති නමුත් එම නීති විරෝධී කටයුත්තෙහි එම කමිටු සාමාජිකයන් යෙදී සිටි බව ද මෙම වාර්තාව මඟින් තහවුරු කර තිබේ. එමෙන්ම බාල ගල් අඟුරු ගෙන්වීම, නියමිත ප්‍රමාණයට සහ අඟුරු කැටයේ ප්‍රමාණය නියමිත ප්‍රමිතියට නොතිබීම, සිදුව තිබෙන පාඩුව සහ පරිසරයට සිදුව තිබෙන හානිය ගැන ද නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
කෙසේ නමුත් විගණකාධිපතිවරයා විසින් නිගමන ගණනාවක් ඉදිරිපත් කර තිබූ අතර එම නිගමන අනුව මෙම ගල් අඟුරු ටෙන්ඩරය විශාල මගඩියක් බව පහසුවෙන් නිගමනය කළ හැකිය. එම නිගමන කිහිපයක් මෙසේය.
මෙම වාර්තාව මඟින් අනාවරණය කර ඇති රුපියල් මිලියන 4,145.43 ක ඇස්තමේන්තුගත අලාභය/ අමතර වියදම/ ආදායම අහිමි වීම සඳහා වගකිවයුතු නිලධාරීන් හඳුනාගත යුතු අතර ඉදිරියේ දී එවැනි අලාභ/ අමතර පිරිවැය / ආදායම් අහිමි වීම ඇති නොවන පරිදි ප්‍රසම්පාදන ක‍්‍රියාවලිය විධිමත් කළ යුතු බව නිගමනය කරනු ලැබේ.
මෙම වාර්තාවෙන් අනාවරණය වූ කරුණු අනුව මෙම ප්‍රසම්පාදන කටයුතුවල දී එවකට පැවති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම,ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා නැව් සංස්ථාව යන ආයතන ද මෙම මිලදී ගැනීම සඳහා පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කෙරෙන ස්ථාවර ප්‍රසම්පාදන කමිටු විසින් සිය කටයුතු ඉටු කිරීමේ දී නිසි වෘත්තීය පරීක්ෂාවකින් (Professional due care) කටයුතු කර ඇති බවට තහවුරු නොවූ බව නිගමනය කරනු ලැබේ.
එමෙන්ම ගල් අඟුරු මිලදී ගැනීමට අදාළ සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගමේ ක‍්‍රියාකාරිත්වය රජයට අවම පිරිවැයක් සහ අවම අවදානමක් ඇති වන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය ආයතනයක් බව තහවුරු නොවූයෙන් මෙම සමාගම තවදුරටත් පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳව පුළුල් අධ්‍යයනයක් අදාළ පාර්ශ්ව විසින් සිදු කළ යුතු බව ද නිගමනය කෙරේ.
ප්‍රසම්පාදනයේ දී තීරණ ගැනීම සඳහා අදාළ සමහර වැදගත් තොරතුරු අමාත්‍ය මණ්ඩලය සංදේශ මඟින් අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දී නොතිබුණු අවස්ථා පැවැති බව නිගමනය කරනු ලැබේ.
කෙසේ නමුත් 2009 වසරේ සිට ගල් අඟුරු මිලදී ගැනීම විවාදාත්මක වූ අතර එම වකවානුවේ දී මෙලෙස මිල සූත‍්‍ර කිහිප වතාවක්ම වෙනස් කිරීම ද එවකට පැවති රාජපක්ෂ රජයට හිතවත් පිරිස් සම්බන්ධව සිටි අනෙක් සමාගමකට එම ටෙන්ඩර් අධිමිලකට ලබා දීම සඳහා ද ටෙන්ඩර් කොන්දේසි පවා වෙනස් කිරීම එවකට සිටි නිලධාරීන් කටයුතු කර තිබුණු බව පැහැදිලිවම අනාවරණය වී තිබුණත් ඔවුන් කිසිවකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීමක් අද වන තුරු සිදුව නොමැත. යහපාලන ආණ්ඩුවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වූයේදූෂණ අක‍්‍රමිකතාවන්ට එරෙහි ක‍්‍රියාමාර්ගය. නමුත් දේශපාලන අධිකාරිය, නිලධාරීන් හා සමාගම් වෙනස් වූව ද සිදු වෙමින් පවතින්නේ රාජපක්ෂ යුගයේ පැවති මජර ක‍්‍රමවේදයමය. ඊට බාධා කරන වඩාත් විනිවිදභාවයකින් යුතුව මෙම ගනුදෙනු පවත්වාගෙන යාමට යහපාලන නියමුවන් තවමත් අසමත් බව පැහැදිලිය. මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම අනුමත කළ ජනාධිපතිවරයා අගමැතිවරයා සහ මුළු කැබිනට් මණ්ඩලයම සහ පාර්ලිමේන්තුවත් මෙරටේ මහා ජනතාවත් රැවටීමකට ගොදුරු කර ඇති බව මේ අනුව පැහැදිලිය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයකු යටතේ විදුලිබල අමාත්‍යාංශය පැවැතීම නිසා හෝ ඔහු තමන්ගේ බරපතළ දේශපාලන හතුරෙකු නොවීම නිසා හෝ මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් ඊනියා දූෂණ විරෝධීන්ගේ කෑ කෝ ගැසීම සිදු නොවීමත් මෙම ගනුදෙනුවේ ඇති අනෙක් විශේෂත්වය ය.
සුභාෂ් ජයවර්ධන