වේයන්ගොඩ හමුදා කඳවුරු සංකීර්ණය තුල පිහිටා ඇති ශ්‍රි ලංකා ' මධ්‍යම අවි හා උණ්ඩ ගබඩාව' සම්බන්ධයෙන් මේවන විට බරපතල අනාරක්ෂිතභාවයක් තිබෙන බව හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම ගබඩාව සහිත කඳවුර පිහිටා ඇත්තේ අතිශය ජනාකීර්ණ ප්‍රදෙශයක වීමත් කොස්ගම සාලාව කඳවුරේ තරම් හෝ ආරක්ෂිතභාවයක් නොමැතිව උණ්ඩ ගබඩා කිරීම හා එම ගබඩා, කිසිසේත්ම උණ්ඩ ගබඩා කිරීම සඳහා සුදුසු තත්වයෙහි නොවීමත් ඇතුළු කරුණු කාරනා රැසක් මේ අනාරක්ෂිතභාවය සඳහා බලපා තිබේ.
මෙම කඳවුර පිහිටියේ,වේයන්ගොඩ නගරයේ සිට වන කීනවල පාරේ මිටර 500ක් පමන ගිය තැනය. එම මාර්ගයෙම තවත් මීටර 400ක් පමණ ගිය විට කඳවුරට උතුරු දිශාවෙන් වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසල පිහිටා ඇත. එමෙන්ම එම දිශාවෙන්ම කඳවුරට ආසන්නයෙන්ම මහල් නිවාස සංකීර්ණ ඇතුලු තවත් නිවාස සිය ගන්නාවක් පිහිටා ඇත. කඳවුරෙන් බස්නාහිර දිශාවේ මීටර් 400කින් වේයන්ගොඩ ආර්ථික මධය්ස්ථානයත් නැගෙනහිරෙන් මීටර් 300කින් කොළම නුවර දුම්රිය මාර්ගය හා ඒ යාබදව නිවාස විශාල ප්‍රමාණයක්ද පිහිට ඇත.
යම් ලෙසකින් මෙම උණ්ඩ ගබඩාවට අනතුරක් සිදුවුව හොත් සිදුවන විනාශය අති විශාලය. එමෙන්ම මෙවන විට මෙම උණ්ඩ ගබඩාවේ ටොන් පහලොස් දහසකට අධික උණ්ඩ ප්ර්මාණයක්ද තැන්පත් කර තිබේ. එහෙත් මේ සියලු උණ්ඩ ගබඩා කර ඇත්තේ මෙම කඳවුරු ඉඩම හමුදාව වෙත පවරා දීමේදි එහි පවත්වාගෙන ගිය වේටෙක්ස් රෙදි පිළි කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල තුලය. මෙය නවසිය හැට ගනන්වල ඉදිකරන ලද සාමාන්‍ය ගොඩනැගිල්ලකි. එමෙන්ම මෙහි එකදූ භූගත ගබඩාවක් හො නොමැත, කොස්ගම සාලාව ගබඩාවේ කොටසක භූගත ගබඩා පැවැතිමත් ඒ වටා මහල් ගොඩනැගිලි කිහිපයක්ම පවැතීමත් නිසා කඳවුරෙන් පිටත ප්‍රදේශ වලට වූ හානිය යම් ප්ර්මාණයකට පාලනය විය.
එහෙත් වේයන්ගොඩ කදවුර වටා එවැනි ගොඩනැගිලි හෝ ගබඩාවේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වටා පස් කන්ඩි හො වැලි කොට්ට තැබීමක් හෝ සිදු කර නොමැත. සාමාන්‍යයෙන් පොළව මතුපිට අවි හෝ උණ්ඩ ගබඩාවක් පවත්වාගෙන යන්නේ නම් ඒ වටා අඩි දහයක තරමින්වත් ආරක්ෂක ආවරණයක් පැවැතිය යුතුය. එමෙන්ම ගබඩාවේ සිට මීටර් 100යක් ඇතුලත ප්‍රදේශයේ ගස් සිටුවීමද නොකරන අතර මීටර 50 ක ඇතුලත තණ කොළ හො වැවෙන්නට ඉඩ නොදේ. ඒ වියළි ශාක කොටස් වලට පහසුවෙන් ගිනි ඇවිලවීම හැකියාවක් තිබෙන බැවිනි. එහෙත් වේයන්ගොඩ ගබඩාව වටා එවැනි තත්වයක් නැත .මෑතකදීද රුක් රෝපණ වැඩ සටහනක් දියත් කර ගස් සිටුවීමද සිදු කර තිබේ. ඒ තබා මෙම ගබඩාවට මීටර් 50ක ආසන්නයේන් සොල්දාදුවන්ගේ හා නිලධාරින්ගේ විශාල මුළුතැන් ගෙවල් දෙකක් ද පවත්වාගෙන යයි.
එසෙම මෙම ගබඩාව සම්බන්ධයෙන් අනෙක් අනතුරුදායකම තත්වය නම් අවි හෝ උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලැබු ( A T ) කිසිදු නිලධාරියකු මෙම ගබඩාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනුයුක්ත කර නොමැතිවීමය. එමෙන්ම මෙම කඳවුර තුල මෙම ගබඩාවට අමතරව යුද හමුදා බල සෙනාංකයක් හා තවත් ඒකක හතරක් පිහිටුවා තිබීමද ගබඩාවේ ආරක්ෂාව කෙරෙහි බලපා ඇත. ආයුධ ගබඩා ඇති කඳවුර තුල වෙනත් ඒකක පවත්වාගෙන යාම සිදු කරන්නේ නැත. මන්ද එමඟින් හමුදාමය නොවන පිරිස්වල පැමිණීම ද වැඩි වශයෙන් සිදුවිය හැකි බැවිනි.
මෙම කඳවුරේ ගබඩා කර තිබෙන උණ්ඩ අතර වසර 20 ත් 30 තරම් පැරණි තොග පවතින බවත් යුධ සමයේදී ගෙන්වන ලද මල්ටි බැරල් හා කාලතුවක්කු උණ්ඩ විශාල ප්ර්මාණයක්ද එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්න ලද උණ්ඩ විශාල ප්ර්මාණයක්ද ඇති බව පැවැසේ. එමෙන්ම යුධ සමයෙදී චිනයේ නොරිංකෝ නම් අවි ආයුධ සමාගමෙන් මෙරට බාවිතය සඳහා ගෙන්වනු ලැබූ උණ්ඩ වලට අමතරව එම සමාගමට අයත් උණ්ඩ විශාල ප්‍රමාණයක්ද මෙහි ගබඩා කර තිබේ. යුධ සමයේදී මෙරටට අවශ්ය ප්‍රමාණයට වඩා උණ්ඩ චිනයෙන් ගෙන්වාගෙන මෙහි තැන්පත් කර තැබීමද ගැටලුකාරී තත්වයක් වන අතර එම උණ්ඩ තොග නැවත චිනය් වෙත ගෙනයාම හෝ වෙනත් රටකට ගෙනයාම හෝ සිදු නොකර වසර හතකට ආසන්න කාලයක් තිස්සෙ මෙරට ගබඩා කර තබාගෙන තිබෙන්නෙ කවර හේතුවක් නිසාද යන පැහැදිලි නැත. එමෙන්ම එවකට පැවැති රාජපක්ෂ රෙජිමය හෝ වත්මන් ආණ්ඩුව හො මේ උණ්ඩ තොගය නැවත චීනයට බාර නොදීමට කටයුතු කිරීමද ප්ර්ශන්කාරීය.
ඒ කෙසේ නමුත් සාලාව කදවුර පසුගිය ඉරිදා පුපුරා යෑමත් සමඟ ඊට පසු දින උදෑසනම මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා මෙම වේයන්ෙගොඩ කඳවුරට පැමින මෙම ගබඩාවේ ආරක්ෂාව තරකිරීම සඳහා පියවරයන් ගනනාවක් ගෙන තිබිණි.
මේ වන විට වේයන්ගොඩ ගබඩාව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණද ඒ ක්ෂණිකව කළ හැකියාවක් නොමැති බවද පැවසේ. මෙරට උන්ඩ ගබඩා කිරීම සඳහා ප්‍රධාන ගබඩා තුනක් පැවැති අතර ඒ වැලිසර, වේයන්ගොඩ හා සාලාව ගබඩා තුනය. යුද සමයේදී කොළඹ වරායේ බණ්ඩාරනයක ජැටිය තුල විශාල උණ්ඩ ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ වන විට එය ඉවත් කර තිබේ. කෙසේ නමුත් උණ්ඩ ගබඩා කිරීම වෙනුවෙන් නව ගබඩා දෙකක සැකසීමට අනුරාධපුරයේ හා මුලතිව් හී ස්ථාන දෙකක් ගැනද අවධානය යොමුව පවතින බවද දැන ගැනීමට ඇත.
- සත්හඬ පුවත්පත ඇසුරිණි