මෛත්‍රී ඝාතකයා නිදහස් කිරීම ඇත්ත කතාව. (ඒක තවත් පච වැඩක්)

Published in පුවත්
Saturday, 09 January 2016 13:31

මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා උත්හස කලැයි බොරු චෝදනා නගා වසර 10 ක් මුලුල්ලේ රිමාන්ඞ් බන්ධනාගාරයේත් පසුව යළිත් 10 වසරකට සිරදඬුවමකට යටත් කොට සිටි සිවරාජා ජෙනිවන් නැමැති දෙමළ ජාතිකයාව ජනාධිපති සමාවක් යටතේ පසුගිය 07 වන දා නිදහස් කෙරී තිබේ.

නමුත් 08 වන දින පැවැති ජනාධිපති පදවිප්‍රාප්ත උළෙලේදී සිවරාජාව වේදිකාවට කැඳවා 'තමාව ඝාතනය කිරීමට ආ ඝාතකයාටත් සමාව දෙන ජාතියේ මිනිහෙක් තමයි මං ' යනුවෙන් ලොවට පෙන්වීමේ සංදර්ශනයක් කිරීමට ද කටයුතු කර තිබිණි. එහෙත් එහි සත්‍ය තතු එසේ නොවේ.

සිවරාජාට දස වසරක සිර දඬුවමක් නියම කරන ලද්දේ පසුගිය වසරේ ජුනී මාසයේ පැවැති නඩු විභාගයේදිය. සිවරාජා ජෙනිවන් අත් අඩංගුවට ගැනෙන්නේ 2006.04.23 වැනි දින පොළොන්නරුවේදී ය.
මොහු නොකල වරදක් සඳහා සිංහල භාෂාවේන් පාපෝච්ඡාරණයක් ලබා ගෙන අත්සන ලබා ගැනීම් මෙම නඩුව පැවැරීම පොලීසිය විසින් සිදු කර තිබිණි. සිංහල නොදත් සිවරාජාගෙන් ඔහුව නිදහස් කරණ පොරොන්දුව පිට මෙම ලියකියවිලි වලට අත්සන් ලබාගෙන තිබිණි .

එම නඩු විභාගය අතරතුරදී 2013 වසරේදී පොලොන්නරුව මහාධිකරණය ඊනියා පාපොච්චාරණය පිළිගැනීමෙන් අනතුරුව රජයේ නීතීඥයා සිය දේශනය කරමින් මෙය හුදෙක් පාපොච්චාරණය මත පමණක් ම පදනම් වී ඇති නිසාත් චූදිතයා අත් අඩංගුවේ බොහෝ කාලයක් රැඳී සිටි නිසාත් ඔහුට අවම දඬුවමක් ලබාදෙන ලෙස යෝජනා කළ අතර ඊට විරෝධතා එල්ල වූයේ ද නැත. නමුත් දඬුවම් නියම කිරීමේ කාලය දීර්ඝ වූ සීමාව තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ බැවින් එම රජයේ නීතිඥයාම නැවතත් දේශනයක් පවත්වමින් 2015 වසරේ පවසා තිබුණේ පළමු පුරවැසියා ඝාතනය කිරීමට පැමිණි අයකු හෙයින් මොහුට උපරිම දඬුවම් ලබාදෙන ලෙසය. වසර 10ක සිර දඬුවම නියම වන්නේ ඒ අනුවය. නොඑසේ නම් වසර 20ක් සිර දඬුවම් උරුම වන්නේ ඒ අනුවය.

මෙම අසාධාරණයට එරෙහිව පසුගිය දෙසැම්බර් මස 07 වන දින සිට සිවරාජා උපවසයකද නිරත වූ අතර මේ අසාධාරණය සම්බන්ධයෙන් තොරතුරු පල කිරීමද මේරට සියළුම මඟ හැර සිටි නමුත් මේ හෙළි කරන ලද්දේ ‘සත්හඩ“ පුවත්පත විසිනි. පසුගිය දෙසැම්බර් මස 13 වන දින එම සම්බන්ධයෙන් “ පාපොච්චාරණේ ලොකුද ? නීතිය කොහිද ? යුක්තිය නිදිද ?“ යනුවෙන් ලිපියක් සත්හඩ හී පල කර ඇත. එම ලිපිය පහත දැක්වේ.ඔහු විසින් සිදු කරන ලද මාරාන්තික උපවාසය හා මානව හිමිකම් ක්‍රියා කාරිකයන් දෙතුන් දෙනෙකුගේ ( මේ ප්‍රශ්නයට අත දැමීමට කොන්දක් තිබුනේ ඔවුන් කිහිප දෙනාට පමණි) මැදි හත් වීම මත සිවරාජාව නිදහස් කිරීමට සිදුවීම හැර මේ සිදුවූයේ අනෙකක් නොවේ.

 

 පාපොච්චාරණේ ලොකුද ? නීතිය කොහිද ? යුක්තිය නිදිද ?

" අපිව නිදහස් කරන්න කියලා එළියෙ මිනිස්සු සියදිවිනසා ගන්නවා, අපි වෙනුවෙන් මිනිස්සු ජීවිත නැතිකරගන්න කොට අපි එළියට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද ?" මේ ඔහු ඇසූ පැණයයි. දිවිනසාගත් සිසුවා වෙනුවෙන් පිරෙන එකම සුසුමක් සමඟ මා නිරුත්තර ය. 
 
දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය රාජපක්ෂ රෙජීමයේ පාලන සමය තුළ පැවතියේ සිය යුධ ජයග්‍රහණයේ තවත් එක් ඊනියා පදක්ක්මක මට්ටමෙනි. සිංහල මහජාතිවාදය ඇවිළවීම සිය පවුල් පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා වන හොඳම විකල්පය බව මනාව දැන සිටි ඔවුන් මිනිසුන් නිදහස් කිරීමට නොව ප්‍රිය කළේ මිනිසුන් සිරකොට තබා ගැනීමට ය. සැබැවින් ම ගත් කළ එකල මුළු උතුරම තිබුණේ එළිමහන් සිරකඳවුරක් පරිද්දෙන් යැයි කීම නිවැරදිය. එකී පාලනය අවසන් කරන්නට යෙදුණු තැන් සිට පවා තව්මත් එදා පලිගැනීමට ලක්වූ මිනිසුන් තළා පෙළනු අසන්නට ලැබීම එක් අතකින් විස්මයකුත් නොවේ. බඳුන අළුත් වුව වයින් පැරණි ඒවාමය. මේ එසේ ස්වකීය දිවියේ තිස්විය ආසන්නයේ අත් අඩංගුවට පත්ව පුරා නව වසරක් රැඳවුම් භාරයේ සිට නැවත දස වසරක් සිර දඬුවම් ලැබූ මිනිසෙකුගේ කතාවයි. නිදහස පතා නොදත් කඩදාසි වලට අත්සන් කළ මිනිසෙකුගේ ඉරණම් කතාවයි. 
 
සිවරාජා ජෙනිවන් අත් අඩංගුවට ගැනෙන්නේ 2006.04.23 වැනි දින පොළොන්නරුවේදී ය. නාඳුනන පිරිසක් විසින් රැගෙන යන ඔහු දින පහක් පුරා යම් රහසිගත ස්ථානයක රඳවා තැබුණි. එකී දින පහට පසුව ඔහුව අපරාධ විමර්ශන අංශයේ ( CID )ප්‍රසිද්ධ හතරවැනි තට්ටුවට රැගෙන යන ලද අතර එහි මාස තුනක කාලයක් රඳවා ගන්නා ලදී. 
 
එම කාලය තුළ එහි භාරකරු වන්නේ ජ්‍යේෂ්ට පොලිස් අධිකාරි ( SSP ) මහේෂ් පෙරේරා ය. පසුව සිවරාජාව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2006.07.21 වැනි දින අනුරාධපුර බන්ධනාගරයේ රිමාන්ඩ් භාරයට පත් කරන ලදී. ඉන් පසුව නීතියට අනුව දින 14න් 14ට ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. අපරාධ විමර්ශන අංශයේ රදවා සිටියදී සහ ඉන් පසුව ඔහුගෙන් ලබාගත්තායැයි කියමින් උසාවියට ඉදිරිපත් කෙරුණු "පාපොච්චාරණ" නම් ලියවිලි චෝදනා ගොනු කිරීමට පවා ප්‍රමාණවත් නොවනා හෙයින් ඔහු නිදහස් කෙරෙණු ඇති බවට එවකට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අප්පාදොරේ විනයාගමූර්ති මහතාගේ ද බලාපොරොත්තුව වී ඇත. 
 
කරුණු පැවසෙනා ලෙසට එකී පාපොච්චාරණ ලියවිල්ලේ තිබී ඇත්තේ සිවරාජා එවකට එවැන්නෙක් සිටිනවාදැයි කියාවත් නොදත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ කතාවකි. 
 
2007.10.21 දින පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිවරාජා ජෙනිවන් නිදහස් කෙරෙණු ඇතැයි ඔහු සහ නීතිවේදියා බලාපොරොත්තුවෙන් සිටියද එදින අපරාධ විමර්ශන අංශය ( CID )විසින් රැඳවුම් නියෝග ( DO ) මත ඔහුව නැවත රැගෙන යාමට උසාවියෙන් අවසර ඉල්ලා තිබුණි. ඒ අනුව ඔහුව රැගෙන ගොස් ප්‍රශ්න කර නැවත බන්ධනාගාරයට භාරදෙන ලෙස උසාවියෙන් නියෝග කෙරිණි. කෙසේවෙතත් පසුව 2007.11.29 දින ත්‍රස්ත විමර්ශන අංශය (TID ) විසින් බූස්ස බලා රැගෙන යන ඔහුව යළි බන්ධනාගාරයට ගෙන එන්නේ මාස 9කට පසු එනම් 2008.08.18 දිනය. 
 
මෙකී කාලය තුළ සිංහල නොදත් සිවරාජාගෙන් ඔහු නිදහස් කෙරෙණා පොරොන්දුව පිට නොයෙකුත් ලියකියවිලි වලට අත්සන් ලබාගෙන තිබිණි. ඒ කිසිවක් ඔහු ලබා දුන් පාපොච්චාරණ නොවේ. ඔහු පවසනා ආකාරයට එකී පාපොච්චාරණ ලබාගත් බවට අධිකරණයෙහි කියනා සහකාර පොලිස් අධිකාරී ( ASP) සේනක කුමාරසිංහව එම කාලය තුළ ඔහු දැක හෝ නැත. 
 
2009. 06 වෙනි මාසයෙහි මහාධිකරණ නඩු කැඳවිණි. ඒ, පොළොන්නරුව මහාධිකරණයේ 17/2009 HC සහ 18/2009 HC වශයෙන් ද යාපනය මහාධිකරණයෙහි 1228/2009 HC වශයෙන්ද යනුවෙනි. මෙම නඩු පවරා තිබුණේ තනිකරම පාපොච්චාරණය යැයි කියනා ලියවිල්ල මත පමණක්ම පදනම් වෙමිනි. 
 
යාපනය මහාධිකරණයේ පවරා තිබෙන නඩුවට සිවරාජාගේ පාපොච්චාරණය ලබාගත් බව කියනා ත්‍රස්ත විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ පැමිණෙන්නේ නැත. පසුගිය වසර 6 තුළ නඩුව 30 වතාවක් පමණ කැඳවා ඇති අතර අදාල සහකාර පොලිස් අධිකාරීවරයා 15 වතාවක් පමණ වරෙන්තු ලබා ඇත. එනම් ඔහු බරපතළ ලෙස අධිකරණයට අපහාස කොට ඇත. 
 
කරුණු එසේ තිබියදීම පොලොන්නරුව මහාධිකරණයේ ගොනුකෙරුණු නඩුවට එකී සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ ඉදිරිපත් වන අතර නීතිපති දෙපාර්තමේන්තුවද එම නඩුව කඩිනමින් විභාගයට ගැනීමට කටයුතු කළේ ය. 2010 වසරේ විභාගයට ගැණුනු එම නඩුවේදී සිවරාජා වෙනුවෙන් නීතීඥ ජෙයකුමාර් ඉදිරිපත් වූයේය. 
 
අවසන පොලොන්නරුව මහාධිකරණයෙන් පෙරකී එවකට සිංහල නොදත් මිනිසෙකුගෙන් ලබාගත් පාපොච්චාරණයක්යැයි කියනා ලියවිල්ල 2013 වසරේදී පිළිගැණුනි. එම වසරේදීම එකී ලියවිල්ල පිළිගත් මහේස්ත්‍රාත්වරයා වූ ෂවේන්ද්‍ර සෙනෙවිරත්න මහනුවරට මාරු කෙරිණි. වසර දෙකකට පසුව නැවත 2015.07.03 දින පැමිණි ඔහු විසින් සිවරාජාට වසර 10ක සිර දඬුවමක් නියම කෙරිණි. 
 
මේ වන විට ඔහු දඬුවම් ලැබීමට පෙර අත් අඩංගුවේ පසු වූ කාලය ම වසර 9 කි. 
 
2013 වසරේදී ඊනියා පාපොච්චාරණය පිළිගැනීමෙන් අනතුරුව රජයේ නීතීඥයා සිය දේශනය කරමින් මෙය හුදෙක් පාපොච්චාරණය මත පමණක් ම පදනම් වී ඇති නිසාත් චූදිතයා අත් අඩංගුවේ බොහෝ කාලයක් රැඳී සිටි නිසාත් ඔහුට අවම දඬුවමක් ලබාදෙන ලෙස යෝජනා කළ අතර ඊට විරෝධතා එල්ල වූයේ ද නැත. නමුත් දඬුවම් නියම කිරීමේ කාලය දීර්ඝ වූ සීමාව තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ බැවින් රජයේ නීතිඥයා නැවතත් දේශනයක් පවත්වමින් 2015 වසරේ පවසා තිබුණේ පළමු පුරවැසියා ඝාතනය කිරීමට පැමිණි අයකු හෙයින් මොහුට උපරිම දඬුවම් ලබාදෙන ලෙසය. වසර 10ක සිර දඬුවම නියම වන්නේ ඒ අනුවය. නොඑසේ නම් වසර 19ක් සිර දඬුවම් උරුම වන්නේ ඒ අනුවය. 
 
යාපනය මහාධිකරණයෙහි නඩුව හිතාමතාම අධිකරණයට ද අපහාස කරමින් ත්‍රස්ත විමර්ශන අංශය විසින් මඟ හරිනු ලබන්නේ එහිදී ඊනියා පාපොච්චාරණ ලේඛනය ප්‍රතික්ෂේප වනු ඇතැයි යන සැකය නිසා ය. මේ අනුව තමුන් අත් අඩංගුවට පත්වන මොහොතේද නමින් හෝ නොදැන සිටි ප්‍රභූවරයෙක් ඝාතනයට තැත් කිරීමේ වරදට මෙන් ම එකී නොදැන සිටි ප්‍රභූවරයා අවසන රටේ ජනාධිපතිවරයා ද වීමේ "වරදට" සිවරාජාගේ නව වසරක රැඳවුම් දිවියට තවත් දස වසරක දඬුවමක් එක්කොට ඇත. මේ ලංකාවේ නීතියයි. 
 
මෙවන් ඉරනමක් ඉදිරියේ සිවරාජා ජෙනිවන් 2015.12.07 දින දහවල් සිය උපවාසය ආරම්භ කර තිබේ. ඔහු ඒ බව යාපනය බන්ධනාගාර අධිකාරී එච්. එස්. සී. පෙරේරා හරහා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙතද දැනුම් දී ඇත. ඔහු ඉල්ලන්නේ නිදහස හෝ ඇප හෝ පුනරුත්ථාපනය හෝ නොවේ. යුක්තියයි. සාධාරණයයි. 
 
නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ අගමැති කාර්යාලයේ වගකිවයුතු නිලධාරියකු පැමිණ යාපනය මහාධිකරණයෙහි නඩුව විභාගයට නොගන්නා හේතුව විමසා බලන ලෙසත් සාක්ෂියට ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරියා නොපැමිණි හේතුව විමසා බලන ලෙසත් ඔහු ඉල්ලා සිටී. පොලොන්නරුවේ නඩුවට ඉදිරිපත්වනා සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ යාපනයේ නඩුවට ඉදිරිපත් නොවන්නේ එකී පාපොච්චාරණ යම් අක්‍රමිකතාවක්, කුමන්ත්‍රණයක් පිළිබඳව හෙළිදරව් වන නිසාදැයි ඔහු විමසයි. පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ජාතිවාදී පදනමින් ගෙනයන පළිගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ විමසා බලන ලෙස ද ඔහු ඉල්ලා සිටී. මේ ඔහුට පමණක් අදාල ඉල්ලීම් නොවේ. දැනට නඩු පැවරී ඇති සහ ඉදිරියට පැවරෙන බොහෝ දෙනෙකු වෙනුවෙන් කෙරෙණා ඉල්ලීමකි. මේ මිනිසා උපවාස කරන්නේ ඔවුන් සියළු දෙනා වෙනුවෙනි. මේ ගැටළු සමාජය ඉදිරියෙහි දිග හැරීමේ වුවමනාව වෙනුවෙනි. 
 
ලංකාවේ පොලීසියේ පාපොච්චාරන පිළිබඳ සැලකීමට අවශ්‍ය නම් මඳක් සේයා සදෙව්මි ළදැරිය ඝාතන සිද්ධිය පිළිබඳ මතකයට නඟා ගමු. කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියන්තගේ පාපොච්චාරණය යැයි කිවූ පට්ට පල් බොරුවක් කිසි හිරිකිතයක් නොමැතිව මාධ්‍ය ඉදිරියේ වැමෑරීමට ඔවුන්ට නොහැකිවීද ? ජාතිකත්වය තුළින් ම වෛරයට භාජනය වූ දෙමළෙකු ගැන තවත් කවර නම් කතාද ? එවන් කඩදාසි මත පමණක් පදනම් වෙමින් නඩු විමසා  මිනිස් ජීවිතවල වසර ගණනින් සිරගත කිරීම ඉවසිය හැක්කේ කවර නම් මානුශික පදනමක් යටතේද ? මේ මිනිසාගේ උපවාසය ඉදිරියේ හෝ අවදිවන දෑස් කීයක් තිබේද ? 
 
~ රුවන් නෙලූ 
 
Last modified on Saturday, 09 January 2016 13:36

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us