රාජපක්ෂලා ගුවන් සමාගම උලා කෑ හැටි පාර්ලිමේන්තුවට හෙළි කරයි

Published in පුවත්
Monday, 06 April 2015 07:43

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳ වාර්තාව මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සභාපති අජිත් ඩයස් මහතා ඊයේ පැවැසීය.

ජාතික ගුවන් සේවාවට ගුවන් යානා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන තම බලතල අනිසි ලෙස පාවිච්චි කොට ගුවන් සේවාවේ කොන්ත්‍රාත් සහ මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවත්, සුදුසුකම් නැති සේවකයන් බඳවාගෙන ඇති බවටත්, ගුවන් සේවිකාවන්ට සහ කැබින් සේවකයෙක්ට වැඩිපුර මුදල් ගෙවා ඇති බවටත්, ගුවන් සමාගමේ සේවකයන් දේශපාලන කටයුතුවලට මුදාහැරීම ඇතුළු අයථා කටයුතුවල යෙදී ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ.

මේ පරීක්ෂණය සිදුකරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරා වන (මස්සිනා) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ කාලසීමාවේ ඩොලර් බිලියන ගණනාවක වංචා සිදුවී ඇති බවට සාක්ෂි හෙළිකර තිබේ.

මේ පරීක්ෂණ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ, වරාය සහ නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග සහ ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන්ට බාර දුන් බව වත්මන් සභාපති ඩයස් පැවැසීය.

දුෂණ විරෝධී කටයුතු පිළිබඳ පුරෝගාමියකු වූ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම වාර්තාවේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, තරුණ ගුවන් සේවිකාවන් කෙරෙහි දැක් වූ ලොල් බව නිසා, ණය බරින් පිරිණු ගුවන් සේවය තව තවත් ආගාධයට ගිය අයුරු සවිස්තරාත්මකව සඳහන් ය.

වඩාත් ලාභදායි සහ කාර්යක්ෂම ගුවන් යානා තිබියදී ඩොලර් බිලියන 2.3ක් වූ නවතම ගුවන් යානයක් ලබාගැනීමට මග පෑදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පරිපාලන අංශයේ වෙනස්කම් පවා සිදුකර ඇති අයුරු අනාවරණය කර ගැනීමට වැලිඅමුණ විමර්ශන කමිටුවට හැකිවිය.

ගුවන් සේවාවට ගුවන් යානා ලබා ගැනීමට ගෙන ගිය වැඩපිළිවෙළ අතිශය දූෂිත ක්‍රියාදාමයක් බව පැහැදිලි වන හෙයින් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට විරුද්ධව අපරාධ චෝදනා ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය යුතු යැයි වැලිඅරමුණ වාර්තාව නිර්දේශ කර ඇත.

හිටපු සභාපති වික්‍රමසිංහගේ සුව පහසුව සඳහා සුඛෝපභෝගී ජව සම්පන්න මෝටර් රථයක් ගෙන්වීමට ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ එක්ව අසත්‍ය තොරතුරු සපයා ඇතැයි ද අනාවරණය විය. මේ සුපිරි වාහනය ගෙන්වා ඇත්තේ ඔහුට ලබා දී තිබු මර්සිඩිස් බෙන්ස් රථයටත්, සුපිරි ප්‍රාඩෝ රථයටත් අමතරවය.

එසේ වුවද ගුවන් සේවාවට නව යානා ලබාගැනීමේ දී සිදුකර ඇති වංචාව සහ අතරමගදී අත්හැර දමන ලද ගුවන් ටැක්සි සේවය ආරම්භ කිරීම වෙනුවෙන් කර ඇති මුල්‍ය සම්පත් විනාශය හා සම කරන විට මෝටර් රථ ගනුදෙනුව බරපතළ නොවන බව වාර්තාව කියයි.

සභාපතිවරයාගේ අකාර්යක්ෂම හා අසාර්ථක වැඩපිළිවෙළ හේතුවෙන් එවකටත් පණ අදිමින් තිබුණු ගුවන් සේවයට ඩොලර් මිලියන ගණනාවක පාඩුවක් සිදුවී තිබේ.

ශ්‍රී ලංකන් පාලක මණ්ඩලය අතුරු පල විපාක හොඳින් දැන දැනත් මිලදී ගැනීම්වලට උපදෙස් දීමට පත් කර තිබූ පුද්ගලයන්ට සම්බන්ධ සමාගම් සමඟ ප්‍රෝඩාකාරී ගනුදෙනු කිරීමට පෙලඹීමෙන් සිදුකර ඇත්තේ විශාල ආර්ථික හානියකි.

එවකට ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

ඇය විසින් මන්ත්‍රීවරයා වෙනු‍ෙවන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැත. එසේ වී තිබියදී ගුවන් යානාවක සේවය කළා සේ සලකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්ෂ 42කට අධිකය.

වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අය කර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

කිහිපවතාවක්ම ඇතුළුවීමේ විභාගවලින් අසමත් වූ ඇතැමුන්ට පාලනාධිකාරියේ කටවචනය උඩ පත්වීම් ලබා දී ඇති අයුරුත් මේ මණ්ඩලය හමුවේ අනාවරණය වී තිබේ.

සභාපති වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් “ශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපති” ලෙස පත් කරගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. මෙම යුවළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ටිකට් පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගම්වලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ.

ගුවන් සේවිකාවන් ගණනාවක් සමඟ සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මූල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.

සමාගමට අනර්ථකාරී ලෙස සමාගමේ සභාපතිවරයා හැසිරෙන විටදීත්, ඒ පිළිබඳ යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගත හැකි අන්දමේ කශේරුකාවක් ඇති අධ්‍යක්ෂ මණ්ඩලයක් හෝ ඉහළ පෙළේ පාලන අධිකාරියක් සමාගම තුළ ක්‍රියාත්මක නොවීම නිසා සමාගමට බරපතළ හානියක් සිදුව තිබේ.

ප්‍රධාන විධායක නිලධාරි ධුරය දැරූ කපිල චන්ද්‍රසේන එම තනතුරට කිසිසේත්ම සුදුස්සෙකු නොවු අතර, අනෙකුත් දීමනාවලට අමතරව ඔහු ලක්ෂ පහළොවක වැටුපක් ලබා තිබීම ගැන විමර්ශන මණ්ඩලය විමතියට පත්විය. එසේම තවත් තනතුරු ගණනාවක් දරමින්, ඒ සඳහා ද ඔහු රජයෙන් වැටුප් ලබා ගෙන තිබේ.

මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද නීති විරෝධී ලෙස අමතර වැටුප් ලබාගෙන ඇති බව මණ්ඩලය හඳුනා ගෙන ඇත.

මේ නිසා මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ වික්‍රමසිංහ හා චන්ද්‍රසේන මෙන්ම මෙම දූෂිත කටයුතුවලට හවුල් වූ අනෙකුත් උසස් නිලධාරින්ට විරුද්ධව ද නීති මගින් කටයුතු කළ යුතු බව ය.

යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රී ලංකන් ගුවන් යානා පාවිච්චි කරමින්, නීති විරෝධී ලෙස ‍මෝටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් සිදුකරද්දී ලන්ඩන් නුවර ශ්‍රී ලංකන් කළමනාකරු ඊට එරෙහි වී ඇත. ඔහු වහාම මාරුකර යවන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ නියෝගය, කිසිදු සාධාරණ පදනමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ද පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අතර ප්‍රධාන ගුවන් නියමු දෘවි පෙරේරා සහ කපිතාන් යූ. ඒ. වී. පතිරණ යන දෙදෙනා අතින් සිදුවන්නට ගිය භයානක ගුවන් අනතුරු දෙකක් යට ගැසීමටත් ගුවන් සමාගම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මිනිස් ජාවාරම් සිදුකළ බවට ද සැක පහළ වී ඇත. මිනිස් ජාවාරමේ යෙදුණු මාණ්ඩලික නිලධාරින් දෙදෙනකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නැති අතර, ඇතැම් ගුවන් සේවකයන් මිනිස් ජාවාරම්කරුවන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වූ බවට ද තොරතුරු ලැබෙමින් පවතී.

ගුවන් සේවා ආරක්ෂක කටයුතු පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති ජී. චන්ද්‍රවංශ නමැති විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු රුපියල් හාර ලක්ෂ පනස්දාහක වැටුපකට ගුවන් සේවාවට බඳවා ගෙන තිබේ. කිසිදු විධිමත් පටිපාටියකින් තොරව පත් කළ මේ පුද්ගලයා සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකන් සමාගමෙන් විශාල වැටුප් ලබමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන වැඩ කටයුතුවල නිරතවීම ය.

මේ පුද්ගලයාගේ සේවය වහාම අත්හිටුවන ලෙස නිර්දේශ කරන විමර්ශන කමිටුව සමාගමේ නීතිරීති උල්ලංඝනය කිරීම පිළිබඳව විනය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත. ගුවන් සේවා ආරක්ෂක අංශය දැවැන්ත ලෙස දේශපාලනීකරණයට ලක් කර ඇති බවටත් මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

ආධුනික ගුවන් නියමුවන් බඳවා ගනිද්දී ලකුණු මට්ටම පහළ දැමීමට ගත් තීරණයට විරෝධය පාමින්, තම තනතුරුවලින් ඉල්ලා අස්වු පැට්රික් ප්‍රනාන්දු සහ රංගා අමදෝරු යන ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් දෙදෙනා විමර්ශන මණ්ඩලයේ පැසසුමට ලක්වී ඇත.

2013 වසරේදී ආධුනික නියමුවන් වශයෙන් නුසුදුස්සන් තෝරා ගැනීම වැළකී ගියේ ඔවුන් දෙදෙනා ගත් එඩිතර තීරණය හේතුවෙනි. සම්මත වෘත්තිමය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා එවැනි පියවරක් ගැනීම පිළිබඳ ඔවුන් දෙපළ සුවිශේෂී ප්‍රශංසාවකට ලක් කළ යුතු බව මණ්ඩලය යෝජනා කර තිබේ.

ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී කටයුතු කර ඇති දූෂිත ආකාරය ලැයිස්තු ගත කර ඇති අතර, මත්පැන් සහ තීරු බදු රහිත භාණ්ඩ අලෙවියේ දී සිදුකර ඇති වංචනික ක්‍රියා රැසක් ද මණ්ඩලය විසින් හෙළි කර ගෙන තිබේ. මේ පිළිබඳව විධිමත් අපරාධ පරීක්ෂණයක් කළ යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇත. රටවල් ගණනාවක ප්‍රධාන අලෙවි නියෝජිතයන් පත්කරද්දී ක්‍රියා කර ඇති විෂමාචාර සහ යටිකූට්ටු වැඩපිළිවෙළ සම්බන්ධව ද විමර්ශන මණ්ඩලය චෝදනා කර තිබේ.

ප්‍රධාන අලෙවි නියෝජිතයන් පත් කරද්දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග හා ඩිලාන් ආරියවංශ යන දෙදෙනාගේ මැදිහත්වීම ගැන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ යුතු යැයි ද, වැලිඅමුණ විමර්ශන මණ්ඩලය යෝජනා කරයි.

ශ්‍රී ලංකන් සමාගම ගෙන ගිය අවිධිමත් පාලන සංස්කෘතිය නිසා, බලය අනිසි ලෙස යොදා ගැනීමට පමණක් නොව, ව්‍යාපාර කටයුතු සඳහා බාහිර බලපෑම් හා ඇඟිලි ගැසීම් සිදුකිරීමටත් පසුබිම සැලසී ඇතැයිද, එය සමාගමේ විනාශයට හේතු වී ඇතැයි ද විමර්ශන මණ්ඩලය අවධාරණය කර තිබේ.

Last modified on Monday, 06 April 2015 08:06

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us