ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ සමන්ට, මහින්දගේ කලා ‍රැස්වීම් බාරදෙයි

Published in පුවත්
Tuesday, 30 December 2014 17:17
ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති  ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයකු හා ජනාධිපතිගේ කලා උපදේශකයා යැයි කියනු ලබන  ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වන සමන් දිසානායක වහා ක්‍රියාත්මක වන පරිදී  කලා ක්ෂේත්‍රයේ  ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු බාර දී තිබේ.
 
සැක කටයුතු මරණයකට ගොදුරු වූ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයකු වූ නාලක වෙද මුල්ල  මහතාගේ  බිරිඳ වූ ලේඛිකාවක් වන චන්දි රණතුංග මහත්මියට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පසුගිය පළවෙනිදා දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු ලක්ෂ 5 ක ශරීර ඇප හා රු 25.000 ක මුදල් ඇප මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කෙරුණේ පසුගිය 17 වනදා ය.
 
මේ වන විට නාලක වෙදමුල්ල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයාගේ මරණය සම්බන්ධයෙන් ද සැකකරුවකු වන සමන් දිසානායක  පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.එයට අමතරව ස්ත්‍රීයක් පැහැරගෙන ගොස් අතවර කිරීම සම්බන්ධ නඩුවක් මොහුට විරුද්ධව ගංගොඩවිල උසාවියේ විභාග වන අතර ගීත රචක රවී සිරිවර්ධනට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් ද නඩුවක්(B3488) මොහුට විරුද්ධව ගංගොඩවිල උසාවියේ විභාග වෙයි.
 
මෙම සියලු තත්වයන් නොතකා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් විසින් මොහු ශ්‍රී ලංකා කලා සංධානයේ සභාපති කොට මැතිවරණ ප්‍රචාරණ කටයුතු භාරකොට ඇත.මේ පිළිබඳ රෝහණ වීරසිංහ ප්‍රමුඛ කලාකරුවන්ගේ විරෝධය එල්ලවී ඇතත් ගාමිණී සෙනරත්ගේ සුරතලකු වන මෙම කුප්‍රකට අපරාධකරුට මුදල් දී බලාත්මක කොට තිබේ.

 

 

මොහු සම්බන්ධයෙන් 'දිවයින' පුවත්පතෙහි පලවූ ලිපියකි මේ


මහ පුටුවක ලැග කලාව කෙළෙසිම

ඇරැඹිය යුත්තේ කොතැනින්දැයි නොදනිමි. ඒ තරමට සිතාගත නොහැකි අලඡ්ජි සිද්ධි සමූහයකින් මේ කතාව පිරී තිබේ. දැන් එහි අලුත්ම කතාව නම් ශ්‍රී ලංකා කලා සන්ධානයේ වත්මන් සභාපතිවරයා වන සමන් දිසානායක ස්‌ත්‍රියක්‌ බලෙන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීමේ චෝදනාව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබීමයි. ඒ හදිසි අනතුරකින් මියගිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නාලක වෙදමුල්ලගේ බිරිඳ වන චන්දි රණතුංග පැහැරගෙන ගොස්‌ අතවර කිරීමට තැත් කිරීම හේතුවෙනි.

ස්‌ත්‍රීන්ට බලහත්කාරකම් කිරීම හෝ ස්‌ත්‍රී දූෂණ සම්බන්ධ සිදුවීම් වලින් අඩුවක්‌ නැති මේ රටේ මේ හිරිකිත දනවන සිදුවීම ඉතා අවශ්‍යයෙන්ම සටහන් කළ යුතු කතාවක්‌ වන්නේ මෙය මෙයාකාර වූ සිදුවීම් මාලාවක්‌ ඔස්‌සේ පැමිණි හුදෙකලා සිදුවීමක්‌ නොවනා නිසාම පමණක්‌ නොවේ. ඒ සෑම අතීත සිද්ධීන් පිටුපස නීතිය සාධාරණත්වය හා සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්‌ ද සමාජය ඉදිරියේ මුනිවරුන් සේ පෙනී හිඳින චරිතවල සැබෑ ස්‌වරූපය මේ කතාවෙන් හෙළිවන බැවිනි. එය නියමාකාරයෙන් අවබෝධ කරගත හැක්‌කේ මේ පැහැර ගැනීම හා සම්බන්ධ අතීත සිද්ධි පිළිබඳ සැකෙවින් හෝ දැනගැනීමෙනි.


අතීත කතාව

මේ පැහැර ගැනීමට ලක්‌වූ චන්දි රණතුංග මීට වසර කිහිපයකට පෙර සේවය කළේ සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත අනුමණ්‌ඩලයේය. සමන් දිසානායක එවකට ජනාධිපතිවරයාගේ සංස්‌කෘතික හා කලා කටයුතු ඒකකයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. ඔහුගේ බලතල ප්‍රකාරව ජනාධිපති කාර්යාලයේ විවිධ රාජකාරි කටයුතු සඳහා බව පවසමින් චන්දි රණතුංග තම කාර්යාලයට නිතර ගෙන්වා ගැනීමට සමන් දිසානායක පුරුද්දක්‌ කොටගෙන තිබේ.

ඒ ඇය පිළිබඳ නොමනා අදහසකින් කළ ක්‍රියාවක්‌ බවත් යම් අවස්‌ථාවකදී සමන් දිසානායක ඇගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය එය ප්‍රතික්‍ෂේප කළ බවත් මීට ඉහත වූ සිදුවීමකදී චන්දි රණතුංගම මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. පසුව 2012 ජුලි මාසයේදී සමන් දිසානායක චන්දි රණතුංග ඔහුගේ කාර්යාලයට ගෙන්වාගෙන බලහත්කාරකම් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියක්‌ මත ඔහු ජනාධිපතිවරයාගේ සංස්‌කෘතික හා කලා කටයුතු ඒකකයේ සම්බන්ධීකරණ ලේකම් තනතුරින් පහකර හරිනු ලැබේ.

ඒ අතරතුර නාලක වෙදමුල්ල තම බිරිඳට වූ සිදුවීම සම්බන්ධව සමන් දිසානායක සමග දුරකථනයෙන් බහින්බස්‌ වීමක්‌ සිදුකරගෙන ඇත. එම සිදුවීමෙන් ටික කලකට පසු නාලක වෙදමුල්ල හදිසි අනතුරක්‌ හේතුවෙන් තමන් පැදවූ රිය අනතුරකට ලක්‌වීමෙන් මියගියේය. එම සිද්ධියෙන් කෙටි නිහැඬියාවකට පසු යළිත් සමන් දිසානායක ඇය පසුපස පැමිණීම හේතුවෙන් ඇය බුද්ධශාසන අමාත්‍යාංශයට ස්‌ථාන මාරුවක්‌ ගෙන එම කරදරයෙන් මගහැර යැමට උත්සාහ කරන්නීය. නමුත් එයින් ද ඇයට ගැලවීමක්‌ නොලැබේ.


ආන්දොලනාත්මක පැහැර ගැනීමේ සිදු වීම

වර්තමාන අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියට නෑකම් කියන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූ චන්දි රණතුංග පැහැර ගැනීමට තැත් කිරීමේ ආන්දොaලනාත්මක සිදුවීම වන්නේ පසුගිය අගෝස්‌තු 19 වැනිදාය. එදින සමන් දිසානායක විසින් චන්දි රණතුංග සිය මෝටර් රථයට බලහත්කාරයෙන් දමාගෙන පැහැර ගැනීමට උත්සාහ කළ විටදී දෙදෙනා අතර ආරවුලක්‌ ඇති වී ඇය මෝටර් රථය තුළදීම සිහිසුන්ව තිබේ. නමුත් මේ පිළිබඳ ඇය මිරිහාන පොලිසිට පැමිණිලි කිරීමට ප්‍රථම සමන් දිසානායක මිරිහාන පොලිසියට ගොස්‌ චන්දි රණතුංග තම රථයට බලෙන් ඇතුල් වී අනර්ථයක්‌ සිදු කළ බව පවසමින් පැමිණිලි කරන්නේය. ඒ හේතුවෙන් නොමඟ යන මිරිහාන පොලිසිය ඇය එහිදීම අත්අඩංගුවට ගෙන පසුදා වන තුරුම පොලිස්‌ අත්අඩංගුවේ තබන්නීය.


ශ්‍රී ලංකා කලා සංගමයටත් චෝදනා

මේ සිද්ධිය වූ අවස්‌ථාවේ මිරිහාන පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විවේචනයක්‌ තිබුණු අතර එයට බලපෑ හේතුව වූයේ සමන් දිසානායක සභාපතිවරයා වන ශ්‍රී ලංකා කලා සංගමයේ පිරිසක්‌ මීට මැදිහත් වීම බවට ප්‍රතිපාර්ශවයෙන් චෝදනා එල්ල වීමය. එහිදී අප මේ පිළිබඳ එම සංගමයේ තනතුරක්‌ දරන ප්‍රකට නිළියකගෙන් විමසීමක්‌ කරන ලදුව ඇය ප්‍රකාශ කළේ තමන් ඇතුළු පිරිසක්‌ මේ ගැන සොයා බැලීමට එදින මිරිහාන පොලිසියට ගිය නමුත් එහිදී තම සංගමයේ සභාපතිවරයාට වාසි වන මැදිහත්වීමක්‌ නොකළ බවය.

දැන් එම පෙර සිදුවීම සම්බන්ධයෙන් සමන් දිසානායක සහ චන්දි රණතුංග යන පාර්ශවයන් දෙකෙන්ම ගොනු කළ කරුණු මත නඩු දෙකක්‌ විභාග වෙමින් තිබෙන්නේය. ඒ අතරතුර පසුගිය කාලයේ චන්දි රණතුංග වෙනුවෙන් පෙනී සිටිමින් මේ සිද්ධියට මැදිහත්වීම නිසා සමන් දිසානායක තමන්ට මරණීය තර්ජනය කළ බව පවසමින් රවී සිරිවර්ධන කළ පැමිණිල්ලකට අනුව ගංගොඩවිල උසාවියේ ද සමන් දිසානායකට එරෙහිව නඩුවක්‌ (නඩු අංක බී 3488) විභාග වන්නේය.

ඒ සියලු සිදුවීම් පෙළ මෑද පසුගියදා යළිත් සමන් දිසානායක විසින් ඇය පැහැරගෙන ඉතා නින්දිත ස්‌වරූපයෙන් අතවරයට ලක්‌කිරීමට තැත් කර ඇත. ඒ ඇය ත්‍රිරෝද රථයකින් රැකියාවට එන අතරතුරේදී එම ත්‍රිරෝද රථ රියෑදුරු ද බියගන්වා ඇය බලහත්කාරයෙන් තම මෝටර් රථයට දමාගෙන සිදුවූවක්‌ බව වාර්තා වේ. පසුව මේ සිද්ධිය තලංගම පොලිසියට වාර්තා වීමෙන් පසු ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ තලංගම පොලිසිය පැය 24 ක්‌ ඇතුළත සමන් දිසානායක අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම නිසා දැන් ඔහු පසුවන්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය.

අප මේ සටහන් තැබුවේ ඒ නින්දිත සිද්ධි මාලාවේ ඔබ අවශ්‍යයෙන්ම දැන ගත යුතු කරුණු කාරණා පමණය. තව නොලියෑවුණු බොහෝ දේ ඒ තුළ ඇතත් ඒවා මෙහිලා නොලියෑවෙන්නේ මේ කතාවේ කුණු රස තව තවත් අවුස්‌සා තුප්පහි වින්දනයක්‌ සමාජයට ලබාදීමේ කාලකණ්‌ණි සතුටක්‌ අපට නැති නිසාය.

චන්දි රණතුංග යනු සැමියාගේ වියෝවෙන් මේ සමාජය තුළ හුදකලාව ජීවත් වන එක්‌ චරිතයක්‌ වුවත් ඇය නියෝජනය කරන්නේ පිරිමියකුගේ රැකවරණය අහිමිව මේ සමාජයේ ජීවත් වන එයාකාර වූ කාන්තා සමූහයමය. ගැහැනියක එසේ අසරණ වූ විට ඇයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන පිsරිමින් ඕනෑ තරම් ඇති බව අප අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඇයට සද්භාවයෙන් අත දෙන්නේ මේ සමාජයේ කීයෙන් කී දෙනෙක්‌ද?

අනෙක්‌ අතට මේ කතාව අසන ඇතැමෙක්‌ ගත් කටටම කියන්නේ ඇය ඔහු සමග පෙර සම්බන්ධයක්‌ තිබෙන්නට ඇතැයි කියාය. එයින් කියෑවෙන්නේ ඒ නිසා මෙවැන්නක්‌ සිදුවූවා යෑයි නොකියා කියෑවෙන සාධාරණීකරණ හැඟීමක්‌ය.

මෙවැනි සිද්ධි දෙස අද සමාජය බලන ආකාරය සහ එලෙස ඒවා සාධාරණීකරණය වීමට ඉඩ දීම තුළින් මේ සමාජයේ පිරිහීමේ තරම සිතාගත හැකිය. එසේම මෙවැනි චෝදනා ලද චරිතයක්‌ සරස්‌වතිය වැඩ සිටිනා ස්‌ථානය බඳු ශ්‍රී ලංකා කලා සංගමයේ වන්දනීය වේදිකාවේ මුල් පුටුවේ හිඳුවීම එහි සාමාජිකයන් තවදුරටත් පිළිගන්නේ දැයි අපි නොදනිමු. ඇතැම් විට එහි නිලධාරියකු මෙවැනි චෝදනාවක්‌ ලැබුවද ඔහු එම තනතුරෙන් ඉවත් කළ යුතු යෑයි එම සංගමයේ ව්‍යවස්‌ථාවේ නොමැති නිසා වන්නට ද පුළුවන.

විනිවිද සේනාරත්න

Last modified on Tuesday, 30 December 2014 17:40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us