එලඹෙන අගෝස්තු 3-9 දින වලදී පැවැත්වීමට නියමිත මෙම කමාන්ඩෝ 4x4 ක්‍රියාන්විතය කි.මී. 775ක දුරකින් යුතු පේදුරු තුඩුවේ සිට ඌව කුඩා ඔය ප්‍රදේශය දක්වා සිදු කිරීමට නියමිත ය. මෙම ගවේෂණ මාර්ගය නැගෙනහිර වෙරල කලාපයේ ඉතා අනැගි මට්ටමේ වෙරළ තීරයන්, කලපු, කැලෑ හා කඳු අතරින් වැටී තිබෙන අතර මෙම ක්‍රියාවලිය සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ මිනිසා විසින් පරිසරයට එරෙහිව එතෙක් මෙතෙක් සිදුකරන ලද වැඩිම හානිදායක ක්‍රියාවන්ගෙන් එකක් බවට මෙය පත් වනු ඇත.
“ක්‍රීඩා සංචාරක කර්මාන්තය” යන නමට මුවාවී පරිසරයට හානි කිරීම මෑතක සිට ශ්‍රී ලංකාවේ අලුත්ම සම්ප්‍රදාය බවට පත් වී ඇත. කෙටිකාලීන ආර්ථික වාසි ඉල්ලක්ක කොට ගෙන සිදු කරන්නා වූ මේ විශාල පරිසර විනාශය පිලිබඳව සෑම ශ්‍රී ලාංකිකයකුම දැනුවත් විය යුතු ය. මෙවැනි ක්‍රියාවන්ගෙන් රටට හිමිවන සොච්චම් ලාභය එමගින් විනාශ කරනු ලබන පාරිසරික සම්පත් වල වටිනාකම හා එම නිසා අනාගතයේ දී අපට ගෙවීමට සිදුවන වන්දි මුදල් හා සැසඳූ කල් හි අල්ප මාත්‍රය කි.
මෙවැනි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති වලින් දිවයිනේ සීමා සහිත පාරිසරික ජෛව පද්ධතීන්වලට සිදුවන හානිය මිලිබඳව පැහැදිලි දීප ව්‍යාප්ත ප්‍රතිපත්තියක අවශ්‍යතාව මේවන විට දැඩිව පැන නැගී ඇත. මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් බලධරයින් විසින් මුදලට, දේශපාලන හෝ හමුදා බලයට යට නොවී සිය ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීමට කටයුතු කල යුතු ය.
පුදුමයට කරුණ නම් කමාන්ඩෝ භටයින් විසින් මෙම “ක්‍රියාන්විතය” සිදු කිරීමට පරිසර අධිකාරියෙන් අවසරය ලබාගෙන තිබීම යි. මෙම ඉසව්වේ මාධ්‍ය නිවේදනයට අනුව පැහැදිලිව දක්වා ඇත්තේ මෙය මානල්කඩු වැලි පර අතරින් ගොස් කොක්කුතුඩුවායි, චලෙයි හා දෙහිවත්ත කලපු තරණය කරමින් තොප්පිගල කඬට ලඟාවන “විනෝදකාමී සවාරියක්” බවයි. තොප්පිගල තරණය කොට නැගෙනහිර පලාතේ කැලෑබිම් අතරින් ධාවනය කොට අරුගම්බේ වෙරල තීරය පසුකොට ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයට පැමිනීමෙන් මෙම ඉසව්ව කෙලවර වේ.
මෙම ඉසව්ව හේතුවෙන් පරිසරයට සිදුවන සත්‍ය බලපෑම කුමක් ද යන්න පිලිබඳව පරිසර බලධාරීන් සලකා බලා තිබේ ද? 50කට අධික අධිබල ජීප් රථ ප්‍රමාණයක් මෙම වනබිම් හා වෙරල තීර ඔස්සේ “පෙරහැර” කල පසු විනාශ වන පරිසරය නැවත යථා තත්වයට පත්වීමට කෙතරම් කලක් ගත වේ ද? මෙම රථ පෙලපාලිය කලපු තරණය කල පසු එහි මසුන් ප්‍රමුඛ ජලජ ජීවි පද්ධතියට අත්වන ඉරණම කුමක් ද? මෙම වාහන වලින් නිකුත් වලින් නිකුත් වන දුම්, හා ග්‍රීස් තෙල් වලින් නැගෙනහිර නොයිඳුල් වනබිම් වලට සිදුවන බලපෑම කෙසේ වනු ඇද්ද?
මීට පෙර මෙවැනි ඉසව්වක් පොතුවිල් හා අරුගම්බේ ප්‍රදේශවල සිදුකිරීමට උත්සාහ කලත් ප්‍රදේශවාසී ධීවර ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් එය අවලංගු කිරීමට සිදු විය. නමුත් එය මහා පරිමානයෙන් නැවතත් මතු වී තිබේ.
මෙවැනි තරග පැවැත්වීම අවශ්‍යම නම් මීට පෙර සකස් කර තිබෙන මාර්ග වල මේවා පැවැත්වීමෙහි වරදක් නොමැත. එනමුත් කිහිප දෙනකුගේ ප්‍රීතිය සඳහා පරිසරය බිල්ලට දීම කිසි සේ ත් ම අනුමත කල නොහැක්කකි.
අවාසනාවකට පරිසරවේදීන් යැයි කියාගන්නා සමහරුන් ද මෙම පරිසර විනාශය නොදුටුවා සේ සිටිති. මෙම විනාශය ඉක්මනින් නැවැත්වීමට කටයුතු නොකල හොත් මෙය වාර්ෂික ඉසව්වක් වී රටේ සම්පූර්ණ පරිසරයම විනාශ කරනු ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ භටයෝ සෑම විටම සිය මවු රටේ යහපත උදෙසා සිය දිවි කැප කලහ. එබැවින් මෙම රෙජිමේන්තුවේ හොඳ නමට කැලලක් මින් ඇතිවීම වැලැක්වීමට ආරක්ෂක ලේකම් වරයා හා කමාන්ඩෝ බලසේනාඅධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා ඉක්මනින් ම පියවර ගත යුතු ය.
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්
සොබාදහම පිළිබඳ අධ්‍යන මධ්‍යස්තානය